අතන මෙතන

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනකු පෙබ. 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබාගැනීම මුද්‍රණය කිරීම, මුද්‍රණ උපකරණ ළග තබාගැනීම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයට මුදාහැරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ.

මෙලෙස බන්ධනාගාර ගත වූයේ මොනරාගල දොඩම්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අම්පාර ඉඟිනියාගල පල්ලිය පාර අංක 14 පදිංචි කෝන්ගහගේ ඇන්තනී ෆීලික්ස් පෙරේරා (64) සහ මොනරාගල හිඳිකිවුල ඩෝසර් පාර පදිංචි ආර්.එම් හින්නිමහත්තයා (65) නැමති යන අයයි.

මෙම දෙදෙනා හිටපු රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමතිවරයා මෙන්ම වත්මන් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොනරාගල නිවසේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ ස්වේච්ඡාවෙන් සේවය කරන අයයි.

පළමුවන විත්තිකරු ඉකුත් (29) වෙනි දින මොනරාගල නගරයේ ලොතරැයි ටිකට්පත් අලෙවි කුටියකින් ව්‍යාජ රුපියල් පන්සියයේ නෝට්ටුවක් මාරු කරන විටදී වෙළෙඳකුටියේ සේවකයා විසින් මොනරාගල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් සියයේ ව්‍යාජ නෝට්ටු දෙකක්,රුපියල් විස්සේ ව්‍යාජ නෝට්ටුවක්ද සොයාගෙන තිබිණි.

මෙම සිද්ධිය පිළිබදව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොනරාගල පොතුවිල් පාර නිවසේ කාර්යාලය පරීක්ෂාකිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නට ඇතැයි සැකපිට XYDW 218579 දරණ ඉප්සන් වර්ගයේ පින්ටරයක්,පවර් කේබල් 1,විවිධ වර්ණයේ තීන්ත බෝතල් 4,පරිගනක කේබල් 1,මවුස් 1,ඩෙල් වර්ගයේ ටෝනර් 1,VGA කේබල් 1,ඩෙල් වර්ගයේ සැපයුම් එකකයක් ඇතුළු පරිගනක වලට අවශ්‍ය උපාංග රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රොෂාන් ඒකනායක මහතා පෙනී සිටියේය.