කතුවැකි

ව්‍යවස්ථා අර්බුදය මැද්දේ පොල් නගී

විපක්ෂයත්, ජනමාධ්‍යයත් පමණක් නොව ආණ්ඩුවේද ඇතැමුන් 20 හැදුවේ කවුදැයි සොයමින් සිටින අතරේ පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් තිබේ. පොල් ගෙඩියක පමණක් නොව එළවළු, මස් මාළු, ආදියේද මිල ඉහළ ගොස් ඇත. රුපියල් සියය ආසන්නයට ඉහළ ගිය සහල් මිලද තවමත් අඩු වී නැත. රුපියල් විසිපහද ඉක්මවූ බිත්තර මිල පමණක් යම් තරමකට අඩු වී ඇතත් එය මහා සහනයක් නොවන්නේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ සියල්ලකම පාහේ මිල ඉහළ ගොස් ඇති බැවිනි. ඉන්දියාව යළිත් වරක් ලොකු ලූනු අපනයනය තහනම් කරන්නට සූදානම් බව වාර්තා වී තිබේ. මේ අනුව ඉදිරියේදී ලොකු ලූනු මිලද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑමය. අපේ රටේ ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන්නකි. ඒ නිසා මේ දිනවල කන බොන දේවල මිල ඉහළ යෑමේ මහා අරුමයක් නැත. එහෙත් මේ දිනවල ජීවන වියදම ඉහළ යෑම වෙනදාට වඩා තදින් දැනෙන්නේ කොරෝනා වසංගතය බොහෝ දෙනකුගේ ආදායමට තට්ටු කර ඇති බැවිනි.

රජයේ සේවකයන්ට නිවසට වී සිටියත් වැටුප් ගෙවූ නමුත් පෞද්ගලික අංශයේ බොහෝ තැන්වල අදටත් ගෙවන්නේ අඩ වැටුප්ය. ඒ අතරේ රැකියා අහිමි වූවෝද සිටිති. ඇතැම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසී ගොස් ඇති අතර බොහෝ ව්‍යාපාරවලට තවමත් කොරෝනා පසුබැස්මෙන් ගොඩ එන්නට හැකි වී නැත. ‘බ්ලූ චිප්ස්’ සමාගම් පවා සේවක පඩිනඩි කප්පාදු කර තිබේ. මේ අතර ලබන දෙසැම්බර් මස 31 දා තෙක් අඩ වැටුප් ගෙවීමට අවසර දෙන්නැයි සේව්‍යයන්ගේ සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු ඇමැතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතත් කොරෝනා ව්‍යසනය විසින් ආර්ථිකයට සිදුකර ඇති අලාභයේ තරම ඉන් මැනගත හැකිය.

මේ නිසා කල් නොයවා ජීවන වියදම ඉහළ යෑම පාලනය කර ගන්නා ක්‍රමයක් සෙවිය යුතුය. එසේ නොහැකි නම් ජීවන වියදම ඉහළ යෑමෙන් ජනතාවට සිදුවන පීඩාව සමනය කිරීමට යමක් කළ යුතුය. හෙට අනිද්දා වන විට පොල් මිල තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විස්ස හැදුවේ කවුදැයි නොදන්නා බව කීවත් මේ ප්‍රශ්නයට හේතුව කුමක්දැයි හෝ කරන්නට යමක් නැතැයි කියන්නට අමාත්‍ය මණ්ඩලයට නොහැකිය.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියන අන්දමට පොල් මිල ඉහළ ගියත් ඉන් වාසි ලබන්නේ අතරමැදියාය. පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල තීරණය වන්නේ රුපියල් 45 ත් – 50ත් අතර මිලකටය. එසේ නම් පොල් සංවර්ධන අධිකාරිය කළ යුත්තේ ඒ බව කිය කියා සිටීම නොව මේ ප්‍රශ්නයට කිසියම් පිළියමක් යෙදීමය. ඒ වගකීම ඇත්තේ ජල සම්පාදන මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය වැනි ආයතනයකට නොව ඔවුන්ටය.

සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ එකී භාණ්ඩයේ නිෂ්පාදනය අඩුවීමය. නැතහොත් නිෂ්පාදකයා විසින් සැපයුම සීමා කිරීමය. ඉන්ධන වැනි භාණ්ඩවල මිල අපට පාලනය කළ නොහැක්කේ මේ නිසාය. එහෙත් පොල් යනු අපේ රටේ නිෂ්පාදනයකි. එසේම මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවක් දක්නට ද නැත. වසරකට මෙරට පොල් පරිභෝජනය ගෙඩි බිලියන එකයි දශම අටක් පමණ වන අතර වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන දෙකයි දශම අටකි.

පරිභෝජන අවශ්‍යතාවටත් වඩා නිෂ්පාදනයක් තිබියදීත් වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යන්නට හේතු වී ඇත්තේ පොල් ගෙඩි වශයෙන් මෙන්ම තෙල් ආකාරයෙන්ද අපනයනය ඉහළ ගොස් තිබීමය. අපනයනය ඉහළ යෑම නිසා රටට එන විදේශ විනිමය වැඩිවන නමුත් අටුව කඩා පුටුවක් හදා පලක් තිබේද?

ඉන්දියාව ලොව ප්‍රමුඛ ලොකු ලූනු නිෂ්පාදකයකු වුවත්, යළිත් වරක් ලොකු ලූනු අපනයනය තහනම් කරන්නට යන බව වාර්තා වී තිබේ. මෙවරද ඉන්දියාව එම තීරණය ගෙන ඇත්තේ රටේ ලොකු ලූනු නිෂ්පාදනය අඩුවීම නිසාය. නිෂ්පාදනය අඩුව තිබියදීත් ආපනයනය කළහොත් රට තුළ ලොකු ලූනු හිඟයක් ඇතිවීම වළක්වාගත නොහැකි හෙයිනි.

පොල් මිල ඉහළ යෑම රටේ කාටත් බලපාන ප්‍රශ්නයක් නමුත් එයින්ද වැඩිපුර පීඩාවට පත්වන්නේ නැති බැරි මිනිසාය. පොල් මිල දරන්නට බැරි තරමට ඉහළ යෑමෙන් සම්බෝලයක් සමග හෝ බත් ටිකක් කන්නට නොහැකි වන නිසාය. එපමණක් නොව මේ පොල් ප්‍රශ්නය නිසා පෙඩි මිනිසාට තවත් ආකාරයකින් පීඩා විඳින්නට සිදු වේ. ​පොල් මිල ඉහළ යෑම නිසා ජරා පොල්තෙල් කන්නට සිදුවීමෙන් ඔවුන් රෝගීන් වන නිසාය.

ඉහළ යන පොල් මිලට සාපේක්ෂව පොල්තෙල් මිල ඉහළ යෑම නිසා ජනතාවට සිදුව ඇත්තේ ෆාම් ඔයිල් කන්නටය. නැතහොත් ෆාම් ඔයිල් මිශ්‍රිත පොල්තෙල් කෑමටය. රටේ පොල් ගෙඩියෙන් නිපදවන සුපිරි පොල්තෙල් (Virgin Coconut Oil) කන්නේ පිටරැටියන්ය. සුපිරිසුදු පොල්තෙල් කන්නට තරම් අතේ මිටේ වත්කමක් නැති මිනිසා ෆාම් ඔයිල් හෝ අපිරිසිදු පොල්තෙල් කෑමෙන් සදාකාලික රෝගීන් වූ පසු ඒ බර දරන්නට සිදුවන්නේ ද රටටය.

මේ නිසා පොල්මිල වැඩිවන කාලයට ​ලොරියකින්, දෙකකින් අඩු මිලට පොල් විකුණා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පමණක් පොල් ප්‍රශ්නය විසඳිය නොහැකි බව වගකිවයුත්තන් දැනගත යුතුය.