ක්‍රීඩා

වසර 5කට එපිට ඒ සොඳුරු මතකය අහෝ! කාලය විසින් මැවූ වෙනස අරුමයක්මය

වර්ෂ 1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ස්වර්ණමය අවස්ථාව එළැඹී, මෙම අප්‍රේල් 06 වැනිදාට වසර 5කි. වර්ෂ 2014 අප්‍රේල් 06 වැනිදාවේ, බංගලිදේශයේ මීර්පූර්හි ෂරේබංගලා ක්‍රීඩාංගණයේ 2014 වසරේ මාර්තු 06 වැනිදා පැවැති 5 වැනි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව විසින් කඩුලු 6කින් ඉන්දියාව පරදවා ලෝක ශූරයන් බවට පත්වීම ඒ ඓතිහාසක සිදුවීමයි.

එතෙක් මෙතෙක් ගෙවුණු වසර 5ක කාලයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය ගැන සිතන විට ක්‍රීඩා ලෝලියාගේ ළය කලඹා පිටව යන සුසුමන් අතරින්, ඒ ජයග්‍රාහී අතීතයේ අගය තව තවත් තීව්‍රව දැනෙයි. ඒ අතීත මතකය යළිත් සිහිපත් කිරීමට කව්රුන්ද අකැමැති….

එදා ඒ පන්දුවාර 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූයේ ලෝක කුසලානයක් පිණිස තිබිය යුතු මානසික සූදානමකින් නම් නොවේ. තරග කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතර විරසකයක් මතුවිය. අනෙක් රටවල ක්‍රිකට් පරිපාලනයේ සමස්ත ඉපැයුමෙන්, එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවන කොටස අනුව සැසඳීමේදී, ශ්‍රී ලංකාව තම ක්‍රීඩකයන්ට ගෙවන කොටස බොහෝ වැඩි බව ක්‍රිකට් බලධාරීන්ගේ මතය විය. ඒ අනුව එම ගෙවීම් යම් පමණකට අඩුකර ඒ ඉතිරිවෙන මුදල රටේ ක්‍රිකට් සංවර්ධනයට යෙදවිය යුතු බව එවක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මතය විය.

නමුත් ක්‍රීඩකයන් දැරුවේ එයට වෙනස් මතයකි. 2007 සහ 2011 එක්දින ලෝක කුසලානයත්, 2009 සහ 2012 පන්දුවාර 20 ලෝක කුසලානයත් ලෙසින් එයට ප්‍රථම වසර 7ක කාලයක් තුළ ලෝක කුසලාන අවසන් මහා තරග 4කට වරම් ලබාගත් ක්‍රීඩකයන් සිටින කණ්ඩායමක සාමාජිකයන් හට මෙය නිගරුවක් ලෙසිනි ක්‍රීඩකයන් දුටුවේ. තමන් දක්වා ඇති දක්‍ෂතා අනුව හරි නම් විය යුත්තේ එම කොන්ත්‍රාත් වටිනාකම වැඩිකිරීම වුවත්, එය තවත් අඩුකර තිබීම ක්‍රීඩකයන් ඉවසුවේ නැත. ක්‍රිකට් පරිපාලනයේ අකාර්යක්‍ෂම මූල්‍ය පරිපාලනය නිසා සිදුවූ පාඩු තමන්ගේ කරමතින් යවන්නේ යැයි ක්‍රීඩකයෝ පරිපාලනය විවේචනය කළහ. මෙම තීරණයේදී සිය සත්භාවය දක්වා සිටීමට පරිපාලනය කටයුතු කළහ. දෙපාර්ශ්වයම තම තමන්ගේ ස්ථාවරයේ නොවෙනස්ව රැඳී සිටියහ.

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට රටේ මුල් පෙළම සිටින මේ ක්‍රීඩකයන් අකමැති නම්, ඒ වන විට පන්දුවාර 20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු තැන සිටි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් මෙම ලෝක කුසලාන සඳහා යැවීම පිණිස එවක ක්‍රිකට් පරිපාලනය සූදානම්ව සිටියේය. එසේ වූවානම් එම ලෝක කුසලාන ජයග්‍රහණය පමණක් නොව, එම ලෝක කුසලානත් සමගින් පන්දුවාර 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර සිටි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර යන මෙරට ඉතිහාසයේ බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රීඩක දෙපළට ජයග්‍රාහී සමුගැනීමකට තිබූ අවස්ථාවද අහිමිව යනු නියතය. මෙසේ තිබියදී කණ්ඩායම බංගලිදේශය වෙත පිටත්ව යෑමට නියමිත වූ දිනට පෙර දිනයේ අදාළ ක්‍රීඩකයන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට කැඳවා තමන් විසින් පිරිනැමූ කොන්ත්‍රාත් ගාස්තුවට යටත්ව එය අත්සන් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. ක්‍රීඩකයෝ එයට එකඟ නොවූහ. නමුත් ගෙවුණු වසර 7 ක කාලයේ ලෝක කුසලාන 4ක් තමන්ගේ අතෙහි ගෑවෙන දුරට පැමිණ ගිලිහී ගිය බැවින්, සංගා සහ මහේලගේ ශක්තියද සමග ලෝක කුසලානයක් දිනාගැනීමේ අසීමිත ආශාව මුදුන්පමුණුවා ගැනීම පිණිස තමන්ට ලැබෙන හොඳම අවස්ථාව මෙය බවත් ක්‍රීඩකයෝ දැන සිටියහ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අදාළ කොන්ත්‍රාත්තුවට අත්සන් නොකර, ලෝක කුසලානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය හා ක්‍රීඩකයන් බැඳෙන වාණිජ ගිවිසුමට පමණක් අත්සන් තබමින් ඒ සඳහා සහභාගීවීමට තමන් සූදානම් යැයි ක්‍රීඩකයෝ පැවසූහ. අවසානයේ දෙපාර්ශ්වයම එයට එකඟ වූහ. ඒ අනුව තවත් පැය කිහිපයක් තුළ තම ඇඳුම් මලු සහ ආම්පන්න පොදි බැඳගනිමින් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ලෙසින් අප ක්‍රීඩකයෝ බංලිදේශය වෙත යෑම පිණිස ගුවන් යානයට නැගගත්හ. සැබැවින්ම ඒ ගෙවුණේ ලෝක කුසලාන පිණිස තීරණාත්මක වූ පැය කිහිපයකි.
බංගලිදේශයට ගිය ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානේ පළමු තරගය යෙදුණේ දකුණු අප්‍රිකාව සමගිනි. එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දු 40කදී ලකුණු 61ක් ලබාගත් කුසල් ජනිත් සහ ලකුණු 43ක් ලබාගත් මැතිව්ස්ගේ පිතිහරඹ හේතුවෙන් ලකුණු 166ක ඉලක්කයක් ප්‍රතිවාදීන් හට පිරිනැමිය හැකි විය.

දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සාර්ථකව ඉලක්කය පසුපස හඹා ආ නමුත් නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග විසින් යැවුණු අවසන් පන්දුවාර දෙකෙහි සාර්ථකත්වය හේතුවෙන් ලකුණු 5ක තියුණු ජයකින් ලෝක කුසලාන ගමන ඇරඹීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහි දෙවැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පිල ලකූණු 39කට සීමා කරමින් ඉතාම පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එංගලන්තය සමගින් යෙදුණු එහි තෙවැනි තරගයේදී මහේල ජයවර්ධන විසින් පන්දු 51 කදී ලකුණු 89ක් වාර්තා කරමින් සහ ඩිල්ෂාන්ගේ ලකුණු 55ක ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 189ක් ලබාගත්තද, පන්දු 64කදී ලකුණු 116ක් ලැබූ ඇලේක්ස් හේල්ස් සහ පන්දු 38 කදී ලකුණු 57ක් ලබාගත් ඉයන් මෝගන් විසින් කඩුලු 6ක ජයක් වෙත එංගලන්තය රැගෙන ගියේය.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ නවසීලන්තය සමග තරගය අතිශයින් තීරණාත්මක විය. දිනුවොත් පෙරට විය. පැරදුණි නම් ගමන එතැනින් අහවර වන්නේය. පෙර තරගයේදී ශ්‍රී ලංකාව පන්දු යැවීම සඳහා නියමිත වේලාවට වඩා වැඩි වේලාවක් ගැනීමේ වරදට නායක චන්දිමාල්ට එම තරගය තහනම් විය.

තරගයේ නායකත්වය මාලිංග වෙත පැවරුණි. එදා ඒ තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 119කට සීමාවෙද්දී එම ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය එතැනින් හමාර වනු ඇතැයි සියල්ලෝම සිතූහ. නමුත් ශ්‍රී ලංකාවේ නිහඬ සටන්කරුවා එදින ක්‍රියාත්මක නොවන්නට මෙවැනි සටහනක් සඳහා හේතුවක් නම් ඉතිරි නොවන්නේය. ඒ රංගන හේරත්ය. රංගන එහිදී පන්දු 21ක් (පන්දුවාර 3.3ක්) තුළ නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 3කට නවසීලන්ත කඩුලු 5ක් දවාගත්තේය. ප්‍රතිඵලය වූයේ ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ලකුණු 60කට සීමාකරමින් ශ්‍රී ලංකාව එහි අවසන් පූර්ව තරග අවස්ථාව හිමිකරගැනීමයි.

අවසන් පූර්ව තරගය කොදෙව්වන් සමගින් යෙදුණි. නමුත් නායකත්වය චන්දිමාල් සමගින් නොයෙදුණි. ලකුණු අතරට පැමිණීම පිණිස අරගලයක සිටි චන්දිමාල් නිත්‍ය නායකයාය යන කරුණ පසෙක දැමූ ශ්‍රී ලංකා කළමනාකාරීත්වය හොඳම 11 දෙනා හට අවස්ථාව දිය යුතු බව පවසමින් තරමක් රැඩිකල් තීරණයක් ගත්තේය. ඒ අනුව නායකත්වය මාලිංග හටම භාරවිය. එම තරගයේදී කොදෙව්වන් ඉදිරියේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් කඩුලු 6ක් දැවී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 160දී කුසල්, ඩිල්ෂාන්, තිරිමාන්න සහ මැතිව්ස් ගේ පිතිහරඹයන් කැපී පෙනුණි. මාලිංග සහ සචිත්‍රගේ දක්‍ෂ පන්දු යැවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට එම තරගය ජයගෙන ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට වරම් දිනාගත්තේය.

තරගයේ වීරයා වූයේ පන්දු 23 කදී ලකුණු 40ක් ලැබූ මැතිව්ස්ය. පසුදා පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දියාව අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්විය. එයින් පසුව ශ්‍රී ලංකා පිලේ තිරය පිටුපස තවත් දෙයක් සිදුවිය. එම ලෝක කුසලානේ තමන් එතෙක් ක්‍රීඩා කළ ඉනිම 4දීම ලකුණු 19ක් පමණක් ලබා සිටි සංගක්කාර කණ්ඩායමේ පුහුණුකරු පොල් ෆාබ්‍රේස්වෙත ගොස්, අවසන් මහා තරගය ජයගැනීමේ හැකියාව ඇති හොඳම කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් ලකුණු අතර නොසිටින තමන්ගේ ස්ථානය අන් අයෙකුට ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හෝ මෙය තමන්ගේ අවසන් ජාත්‍යන්තර පන්දුවාර 20 සහභාගීත්වය වීම නොසලකා තමන්ව කණ්ඩායමෙන් ඉවත් කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය. එහෙත් සංගා කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් බව අන් සියල්ලන්ගේ ඒකමතික තීරණය විය.

ඒ තීරණාත්මක දිනය එළැඹිණි. තවදුරටත් නායකයා මාලිංග ම විය. නායකත්වයේ ඔටුන්න ගිලිහුණු චන්දිමාල්ට අවසන් මහා තරගය වරමද නොවීය. කාසියේ වාසිය මාලිංග සතුවිය. ශ්‍රී ලංකාවේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමයි. විරාත් කෝලිගේ පිතිහරඹයේ එක් අවස්ථාවක ඔවුන් ලකුණු 180ක් කරා යන අයුරක් වරෙක දිස්විය. නමුත් කුලසේකර, මැතිව්ස්, සචිත්‍ර, මලිංග මෙන්ම රංගන සෙසු ඉන්දීය පිතිකරුවන්ව පාලනය කළ ආකාරය අති විශිෂ්ටය. කලෙක ලකුණු මැෂිමක් වූ යුවරාජ් සිංට තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී පන්දු 21කට ලබාගත හැකිවූයේ ලකුණු 11ක් පමණක් වීමද, අවසන් පන්දුවාර දෙකේදී පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනිට පන්දු 7කදී ලබාගත හැකිවූයේ ලකුණු 4ක් පමණක් වීමද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පාලනය පිණිස උදාහරණ විය. අවසානයේ පිතිකරුවන්ගෙන් ‘බරවූ’ ඉන්දියාවට ලබාගත හැකි වූයේ පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 130ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි පන්දුවාරයේදීම කුසල් දැවී ගියේය. මුළු ලකුණු 41 ක් වන විට ඩිල්ෂාන්ද දැවී ගියේය. මෙතෙක් තරගාවලියේ අසාර්ථකව සිටි සංගක්කාර පිටියට පිවිසියේ එහිදීය. මුල් පන්දු දෙක තුනේදී සිය රිද්මය තබාගැනීමට අපොහොසත් වුවද රවීන්ද්‍ර ජඩේජාගේ වමත් දඟපන්දුවට ස්විප් පහරින් ලකුණු 4ක් සහ 6ක් ලැබූ සංගක්කාර අවශ්‍යම මොහොතේ සුපුරුදු රිද්මය සොයාගත්තේය. මහේල සහ තිරිමාන්න දැවීයන විට ලකුණු පුවරුව 78ට කඩුලු 4ක් ලෙසින් වුවද තිසර පැමිණ සිය සුපුරුදු වේගවත් පිතිහරඹය ක්‍රියාත්මක කළේය. ඒ අතරවාරයේ සංගාගේ තවත් පහර 5ක් හතරේ සීමාව ඉක්මවා ගොස් තිබිණි. ඔහුගේ අර්ධ ශතකයද වාර්තා වී තිබුණි. අශ්වින් විසින් යැවුණු තරගයේ 18 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී සිය සීමාවෙන් ඉදිරියට පැමිණ තිසර පෙරේරා ගැසූ හයේ පහරින් ඒ ඓතිහාසික ජය සනිටුහන් විය.

සංගක්කාර පන්දුවාර 20 ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තේ එම අවසන් මහා තරගයේ වීරයා ලෙසිනි. ඒ ඓතිහාසික ලෝක කුසලාන ජය, මහේල සහ සංගාට සුපිරි සමුගැනීමේ සාදයක් බවට පත්විය. එම තරගාවලිය ආරම්භයේදී කිසිවෙකුත් නොසිතූ පිරිදි මාලිංග ලෝක කුසලාන ජයග්‍රාහී නායකයෙක් බවට පත්විය. එම තරගාවලිය අවසන් වූයේ චිත්‍රපටයක අවසන් ජවනිකාව පරිද්දෙනි.

මේ කතාව අද සිට බලන විට රැය දුටු සිහිනයක් මෙනි. එම ඓතිහාසික ජයග්‍රහණයද සමගින් පන්දුවාර 20 ජාත්‍යන්තර පිටියේ ඒ දක්වා තමන් තරග වැදුණු තරග 66ක් අතුරින් 41 ක් ජයගෙන සිටි ශ්‍රී ලංකාව එම ලෝක කුසලාන ජයෙන් පසු මුහුණදුන් තරග 48කින් ජයගෙන ඇත්තේ තරග 14ක් පමණි.

එදා ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලොව අංක 1 ස්ථානයේ රැඳුණු ශ්‍රී ලංකාව අද සිටිනුයේ එහි 9 වැනි ස්ථානයේය. ඇෆ්ගනිස්තානයටද එක් ස්ථානයක් පහළින්ය. එදා අංක එකට ලෝක කුසලාන වරම් ලැබූ අපිට මෙදා ඒ සඳහා සහභාගී වන්නට සිදුව ඇත්තේ සුදුසුකම් ලැබීමේ තේරීම් තරග වටයකටද සහභාගී වීමෙන් පසුවය. කාලය මැවූ වෙනස සැබැවින්ම අරුමය.

ඉන්ද්‍රජිත් සුබසිංහ