විශේෂාංග

වසරකට සර්පයෝ අසූදාහක් මිනිසුන් කති

ගමේ කතාබහේ හැටියට, නයෙක්, පොළඟෙක් හෝ කරවැලෙක් බඳු විෂඝෝර සර්පයෙක්, ඉර මුදුන් වේලාවක දෂ්ට කළ හොත්, ඒ තැනැත්තාට තවත් කවුරුන් හෝ මනුෂ්‍යයකු මුණගැසෙන තෙක් අපහසුවෙන් හෝ ඇවිද යා හැකි ය. ඉක්බිති, ඔහුට තමන්ට සිදු වූ විපත ගැන කියන්නට අවස්ථාවක් ඇතිව හෝ නැතිව, සිහි මුර්ඡාවී ඇද වැටේ.

ආගන්තුක මනුෂ්‍යයා, තමන් ඉදිරියට පැමිණි තැනැත්තාට සිදුව ඇති විපැත්තිය ඉවෙන් මෙන් දැන ගනියි. ඔහු එ විගස ම, සෙස්සන්ගේ ආධාර උපකාර ද ඉල්ලයි. ඒ අතර, ‘සර්ප විෂ වෛද්‍යවරයෙක්’ සොයා දිව යයි.

අතීතයේ ගම්වල සිටි දේශීය සර්ප විෂ වෛද්‍යවරු, වර්තමානයේ මෙන් ‘ආණ්ඩුවේ ලියාපදිංචි වෛද්‍යවරුන්’ නො වෙති. ඔවුහු පාරම්පරික විෂ වෙද පරම්පරාවලින් පැවත එන දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරු වෙති. ඒ අය ගුප්ත විද්‍යාව, ජ්‍යෝතිෂ්‍ය සහ ‘අගදතන්ත්‍රය’ හෙවත් ‘විෂ වෛද්‍ය විද්‍යාව’ යන අංග මුල්කර ගෙන විෂ වෙදකම් කරන්නෝ ය. වර්තමානයේ නම් සර්ප දෂ්ටනයට හසුවුණු තැනැත්තා රජයේ රෝහලකට ගෙන යන විට, දෂ්ට කළ සර්පයා ද පණපිටින් අල්ලා රැගෙන යා යුතු ය. එහෙත් අතීතයේ නම් දේශීය විෂ වෛද්‍යවරයා ‘රෝගියාගේ’ තත්ත්වය නිරීක්ෂණය කළේ, ‘දූත ලක්ෂණ’ හෙවත් සර්ප ප්‍රහාරයට ලක්වූ තැනැත්තා හෝ සිද්ධිය ගැන දැනුම් දෙන්නට එන තැනැත්තා පළ කරන ‘අභින’ හෝ ‘ඉරියව්’ අනුව යමිනි. ‘දූතයාගේ’ ලක්ෂණ නිරීක්ෂණය කරන සර්ප විෂ වෛද්‍යවරයා, දෂ්ඨ කළ සර්පයා කවරෙක් ද, උගේ විෂ කොපමණ ශරීරගතව තිබේ ද? යන්න සහ රෝගියාගේ තත්ත්වය කුමක් ද? ආදී තොරතුරු රැසක් දැන ගනියි. ඔහු ‘රෝගියා’ පරීක්ෂා කරන්නට යන්නේ ඒ අනුව සකසා ගත් ඖෂධ ද රැගෙන ය.

ඇතැම් වෛද්‍යවරයෙක් දූතයා අමතා කියන්නේ, ‘දැන් ඉතිං මං ගිහින්  වැඩක් නෑ බොල’ කියා ය. ඒ යන විට ද ‘ලෙඩා’ මිය පරලොව ගොසිනි. ගම්වල සිටි විෂ වෛද්‍යවරුන් එදා හැඳින්වූයේ, ‘සර්ප  වෙද මහත්වරු’ වශයෙනි.

අතීතයේ පටන් ම, ශ්‍රී ලංකාවේ මිනිසුන් ඉතා බහුල ලෙස සර්පයන්ගේ සපා කෑම්වලට ලක් වන්නෝ ය.  සර්පයින් සහ සර්ප විෂ වෙදකම් ගැන මේ කතාබහට මුල පිරුවේ විශේෂ කාරණයක් නිසා ය. වර්තමාන ශ්‍රී ලංකාව මිනිසුන් සර්පයන්ගේ සපා කෑම්වලට ලක් වීම අතින්,  ලොව ඉහළ ම තලයකට එසවී යාම, ඒ විශේෂ කාරණයයි. ඉකුත් දිනයක ‘BBC’ සිංහල වෙබ් අඩවිය මේ බව වාර්තාකර තිබිණි.

ලෝකය සම්බන්ධයෙන් ගත් කල, වසරකට සිදු වන සර්ප දෂ්ටන සංඛ්‍යාව පණස් ලක්ෂයක් පමණ වේ. එයින් මියයන සංඛ්‍යාව 1,38,000ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මිනිසුන් විශාල ලෙස සර්ප දෂ්ටනයට ලක් වීම් අතින් ඉදිරියෙන් ම සිටින්නේ, දකුණු ආසියාතික රටවල් ය. ඒ අතරින් ද, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලය යන රටවල් කැපී පෙනෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තොරතුරු (VER 3-5.10.2017) අනුව, වර්තමානයේ ‘සර්ප දෂ්ටන’ නිසා අපේ රටේ වසරකට රෝහල්  ගත වන ජන සංඛ්‍යාව 80,000 ද ඉක්මවයි. එයින් 30,000ක් ම, සර්ප විෂ ශරීරගත වීම් වේ. සර්ප දෂ්ටන නිසා වසරකට සිදු වන මරණ සංඛ්‍යාව 450ක් පමණ වන්නේ යයි ගණන් බලා තිබේ. මින් වැඩි හරියක් වාර්තා වන්නේ රටේ වියළි කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවලිනි.

ශ්‍රී ලංකාව ලොව බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලට නතු වූයේ වර්ෂ 1505න් පසුව ය. ඒ, ‘පෘතුගීසීන්’ මෙහි පැමිණීමත් සමගිනි. බටහිර ජාතීන් මෙහි එන විට ද, අපේ රටේ බොහොම දියුණු වෛද්‍ය ක්‍රමයක් තිබිණි. එය දේශීය සහ ආයුර්වේද දැනුම මත පදනම්ව තිබිණි.

කෘෂිකාර්මික ජන සමාජයක් වූ ලංකාවේ එකල ද, සර්ප දෂ්ටන බහුලව සිදු විය. එහෙත් ගම් මට්ටමේ සිටි ‘සර්ප වෙද මහත්වරු’ ඔවුන්ට ප්‍රතිකාර කොට සුවපත් කළහ. මේවාට හසු වුණු මිනිසුන් මියෑදුණේ කලාතුරකිනි. මිනිසුන්, සර්ප දෂ්ටන සහ අනෙකුත් ලෙඩ රෝග ආදිය සඳහා ‘බටහිර වෛද්‍ය ක්‍රමයේ’ පිහිට පතන්නට පුරුදු වූයේ යුරෝපීය ජාතීන් මෙහි පැමිණ, ඔවුන්ගේ වෛද්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසුව ය.

සුප්‍රකට උරග සහ උභය ජීවී විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන අන්දමට, මේ වන විට ලංකාවේ සර්ප විශේෂ 105ක් පමණ හඳුනා ගෙන ඇත. ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ තොරතුරු අනුව නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා (මගමරුවා), මුදු කරවලා, වැලි පොළඟා, කුණකටුවා (පොළොන් තෙළිස්සා) සහ මුහුදු නාගයා යන සර්පයින් උග්‍ර විෂ සහිත ය. පොදුවේ ගත් කල, අපේ රටේ සර්ප සංහතියෙන් සියයට 61ක් පමණ විෂ රහිත සතුන් වෙති. අඩු තරමින් 1960 දශකය වන තුරුම අපේ රටේ පැවතියේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයකි. එයට වියළි කලාපීය හේන් ගොවිතැන මෙන් ම, වී ගොවිතැන ද අයත් විය. ගොවිතැන, වර්ෂාව, වැව් අමුණු සහ ඇළවල්  ඇතුළු වාරි පද්ධතිය මත පදනම් වූ බැවින් පරිසරය සහ වනාන්තර යනු වැදගත් ම සාධකයක් විය. ඒවාට හානි නො කිරීම, සමාජ සම්මුතියක් බඳු විය.  එබැවින් වනාන්තරයෙන් ගලා එන ජල සම්පත මෙන් ම, එහි වෙසෙන සතා සීපාවුන් පවා පරිසරයේ ම කොටසක් බව සැලකිණි. ගම්වල වෙසෙන මනුෂ්‍යයන් පරිසරය සහ වනය සමග බොහොම සහජීවනයෙන් ජීවත් වූහ. මිනිසුන් සහ සතුන් එකිනෙකාගේ චර්යාවන් දැන උන්හ. ඔවුනොවුන් ඒවාට ගරු කළ බැවින් සතුන් සහ මිනිසුන් අතර ගැටුමක් නොවිණි.

අපේ රටේ ගොවි සමාජයට මග පෙන්වීම් ලැබුණේ බුදු සමය ඔස්සේ ය. එය කරුණාව සහ මෛත්‍රිය මුල්කරගත් දහමක් විය. ඉන් පරිසරය, ගහකොළ සහ සතා සීපාවාට පවා කරුණාව දක්වන්නට හුරු කෙරිණි.

එකල ගම්මු, සතුන් කලඑළි බසින කාල වේලාවන් ගැන ද, උන් ගැවසෙන මං පෙත් ආදිය ගැන ද දැන උන්හ. රාත්‍රියේ ගමන් කරන විට, හුළු අත්තක් දල්වා ගෙන යාම, අඩි පාරේ යන විට කෝටුවකින් පොළොවට තට්ටු කරමින් ගමනේ යෙදීම ආදිය සර්පයන් ගෙන් ආරක්ෂා වීමේ උපක්‍රම විය. ඇතැමුන් සර්පයන් ගෙන් දෙපා ආරක්ෂාකර ගැනීම සඳහා  ‘මන්ත්‍ර’ පවා භාවිතා කළ බව කියනු ලැබේ. ගමක් ගමක් පාසා ‘සර්ප වෙදුන්’ සිටි බැවින් මහත් පහසුවක් අත්විණි.

සර්ප වෙදකම පිළිබඳ ගම් පළාත්වල ජන වහරේ හැටියට, සර්පයන්ගේ මුවෙහි ‘විෂ දළ’ පහක් තිබේ. මිනිසුන්ට විෂ ශරීරගත වන්නේ උන් කුපිතව, එයින් පහර දීමෙනි. උන්ගේ විෂ දළවලට අධිගෘහිත ‘තකරිය’, ‘මකරිය’, ‘යමිය’, ‘යම දූතිය’ සහ ‘කාල රාක්ෂිය’  යනුවෙන් යක්ෂණියන්  පස් දෙනෙක් ද වෙති. දවසේ ඔවුන්ට හිමි කාල වේලාවන් ද දක්වා තිබේ. සර්ප දෂ්ටනය  සිදු වුණු වේලාව අනුව, එය කුමන යක්ෂණියගේ හෝරාවෙන් සිදු වූවක් ද යන්න, දේශීය සර්ප වෙදැදුරන් දනිති. එක් එක් යක්ෂණියන්ගේ කාල හෝරාවේ දී විෂ පැතිරීම ද වෙනස් ය. දේශීය සර්ප වෙදැදුරන් සිය ප්‍රතිකාර පිළිවෙල තීන්දුකර ගන්නේ ඒ අනුව ය. දෂ්ටනය සිදු වුණු ‘කාල වේලාව’ අනුව ද විෂ අඩු වැඩි වන බව, දේශීය විෂ වෛද්‍ය ශාස්ත්‍රයෙහි ඉගැන්වේ.

කලකට ඉහත, පොළොන්නරුවේ ‘බිත්තර වී ගොවිපොළේ’ සේවය කළ ජී. කේ. පියසේන මහතා ද ප්‍රදේශයේ ප්‍රකටත ම දේශීය විෂ වෙදැදුරෙකි. එකල බිත්තර වී ගොවිපොළෙහි ද විශාල පිරිසක් සර්පයන්ට ගොදුරු වූහ. එබැවින් ‘පියසේන වෙද මහත්තයා’ ගොවිපොළේ වැඩවලින් මුදා හැර, වෙදකම් සඳහා යොමු කරන්නට ගොවිපොළ පාලකයන් කටයුතුකර තිබිණි.
‘අපේ ගුරුතුමා ලෙඩාට මතුරලා  මුරුංගා අත්තෙන් විෂ බානවා. ඒ කාලේ අපි එතුමා ගෙන් වෙදකම ඉගෙන ගන්නවා. ඔය 1970 ගණන්වල අපි තමයි ප්‍රතිකාර ගන්න එන අයගේ නම් ‘සී. ආර්. පොතේ’ ලියන්නේ. ඒ කාලේ සර්ප දෂ්ටන කොච්චර තිබුණා ද කියනවා නම්, අපි දහතුන් දාස්-දාහතර දාස් ගණන්වල නොම්මර ලිව්වා. දැන් නම් සර්ප දෂ්ටන එදාට වඩා අඩුයි’, පියසේන වෙද මහත්තයාගේ ශිෂ්‍යයෙකු වන හිඟුරක්ගොඩ කේ. එම්. ජයතිලක (60) මහතා ‘සති අග අරුණට’ පැවසී ය. ඇතැම් පෙදෙසක විෂ බාන්නේ, දෙහි කොළ ඉත්තකින් පිස දමමින් මැතිරීමෙනි. පොළොන්නරුවේ ගොවි නායකයකු වන කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා ද වරක් ‘පොළොං දෂ්ටනයකට’ ලක්ව දැඩි සේ රෝගාතුර වූ තැනැත්තෙකි.

‘ඒ කාලේ අපේ තාත්තලා කියන්නේ, දවල් 12.00 සිට 1.00 වෙනකල් කුඹුරුවල නියරේ යන්න එපා කියලයි. අනිවාර්යයෙන් ම නයා හෝ පොළඟා ඒ වෙලාවට වතුර බොන්න එනවා. රාත්‍රී 7.30ත් 8.00ක් අතර කාලෙදි පොළඟා සැරිසරනවා’, ඔහු කියන්නේ ය.

හිඟුරක්ගොඩ කේ. එම්. ජයතිලක වෙද මහත්තයා පවසන අන්දමට, ගෘහාශ්‍රිත පරිසරයේ දී වැඩියෙන් ම මිනිසුන්ට දෂ්ට කරන්නේ කරවැලා, මාපිලා, නිදි මාපිලා ආදී සර්පයන් ය. රාත්‍රී කාලයේ දී මිනිසුන් වැඩිපුර ම හසු වන්නේ පොළඟුන්ට සහ නාගයන් ට ය. කුඹුරුවල ගොයම් කැපෙන කාලයට ද සර්ප දෂ්ටන ඇති වේ.

දේශීය සර්ප වෙදකමේ හැටියට මුලින් ම කෙරෙන්නේ ‘මැතිරුමකින්’ විෂ බෑමයි. ඉන් පසුව දෂ්ටනය සිදු වුණු ස්ථානයට යම් යම් ශාක ඖෂධ ගල්වනු ලැබේ. ඒ අතර හීනැටි හාලේ කැඳ බීමටද නිර්දේශ කෙරේ. දින කිහිපයකට පසුව ඖෂධීය කොaළ වර්ග තැම්බූ වතුරෙන් ස්නානය ද නියම කෙරෙයි. මෙසේ කරන්නේ සර්ප විෂෙන් ඇතිවන අතුරු ආබාධ වැළැක්වීමට ය. විෂ සහිත සර්පයන් දෂ්ට කළ විට, දෂ්ට කළ ස්ථානයේ අධික වේදනාව සහ ඉදිමුම, බිබිලි මතුවීම, වමනය, බඩ රිදුම, ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වීම, සිහි මුර්ඡා වීම, වකුගඩු අක්‍රිය වීම, බාහිර සහ අභ්‍යන්තර රුධිර වහනය, මුත්‍රා හෝ මළ සමග රුධිරය පිට වීම සහ විදුරුමස්වලින් ලේ ගැලීම ආදී රෝග ලක්ෂණ මතු වෙයි. සර්ප දෂ්ටනයට ලක් වූ  ඇතැමෙක් මිය යන්නේ ‘අධික ලෙස මරණ භය’ දැනීම නිසා ය. එබැවින් රෝගියාගේ සිත සන්සුන් කිරිම ද සර්ප විෂ වෙදකමේ දී වැදගත් වේ.

වර්තමානයේ නම්, සර්ප දෂ්ටනයට ලක් වුණු වැඩි දෙනෙක් යන්නේ රජයේ රෝහල්වලට ය. සාමාන්‍යයෙන් දැන් සෑම රෝහලක ම පාහේ සර්ප විෂ මර්දනය සඳහා එන්නත් ප්‍රතිකාර තිබේ. එයින් විශාල පිරිසකට ක්ෂණික ප්‍රතිකාර ලැබී, දිවි ගලවා ගැනීමට අවස්ථාව උදා වේ. වඩා වැදගත් කාරණය වන්නේ, සර්ප දෂ්ටනය සිදුවූ විගස ම, රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කිරීම ය.
කෙසේ වෙතත්, රෝගියා ද සමග දෂ්ට කළ සර්පයා ද රැගෙන ආ යුතු බව රජයේ රෝහලේ නියමයයි. ඒ, ප්‍රතිකාර කිරීම පිණිස සර්පයා කවරෙක් දැයි හරියට ම හඳුනාගත යුතුව ඇති බැවිනි. මෙහිදී ප්‍රතිකාර විධි සහ ඖෂධ තීන්දු කෙරෙන්නේ ඒ අනුව ය.

තිලක් අබේසේකර යනු බලංගොඩ ප්‍රදේශයේ ජීවත් වූ පරිසරවේදියෙකි. තුවාල ලැබූ සර්පයන් නිවසට ගෙනවුත්, උන් සුවපත්කර යළි කැලයට මුදා හැරීම, ඔහුගේ සිරිතයි. දිනක්, එසේ සුවපත් කළ නාගයෙක් කැලයට ගෙන යන්නට සුයදානම් වෙද්දී ඔහුට දෂ්ඨ කළේ ය. සතාගේ හැටි දන්නා තිලක් වහාම බලංගොඩ රජයේ රෝහලට ඇතුළත් විය. තමන්ට නාගයෙක් දෂ්ඨ කළ බවත්, ඒ අනුව ප්‍රතිකාර කරන ලෙසත් ඔහු අයැදී ය. ‘ඔයා කොහොම ද සර්පයාව දන්නේ?’ යයි ඇසු වෛද්‍යවරු, විෂ වර්ගය හඳුනා ගැනීමට රෝග ලක්ෂණ මතුවන තුරු බලා සිටියහ. ඒ අතර තිලක්ට අමාරු දැනුණි. ඔහු තමන් කවුරුන්දැයි යන්න, පවසා, තමන්ට යම් එන්නතක්  ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් බලංගොඩ රෝහලේ වෛද්‍යවරුන් කළේ ඔහු රත්නපුර රෝහලට මාරුකර යැවීමයි. එහි දී ඔහු මියගියේ ය. මෙය කලකට ඉහත වූ සිද්ධියකි.

‘වෛද්‍යවරුන්ගේ නො දැනුවත්කම් නිසාත් සර්ප දෂ්ටනයට ලක් වුණු රෝගීන් මියයනවා’, එසේ කියන්නේ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ය.

කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා පවසන අන්දමට, මුස්ලිම් ජාතිකයන් සර්ප දෂ්ටනයට හසු වුණු විට දේශීය ප්‍රතිකාර වැඩ පිළිවෙළ වෙනස් ය.

‘මම අහලා තියෙන විදිහට, ඒ වෙද මහත්තුරු කියන්නේ සර්පයා අල්ලලා වතුරේ බැඳලා එන්න කියලයි. ඒක ‘කෙමක්’ වෙන්න ඇති. තවත් සමහරු, සර්පයෙක් කෑව ගමන්, ප්‍රතිකාර ගන්න ගමට යනවා. මුත්තූර්වල රොබට් නොක්ස් ගොඩ බැහැපු තැන ගලක් තියෙනවාලු. සමහර මුස්ලිම් අය ප්‍රතිකාර කරන්න එතැනට යනවාලු’, ඔහු කියන්නේ ය.

විෂ සහිත සර්පයන් මාරාන්තික බව සැබවි. එහෙත් සෙසු සතුන් සේම, සර්පයන් ද පරිසරයේ ඉතා වැදගත් ජීවීන් කොට්ඨාශයකි. පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීම පිණිස උන් ගෙන් සිදුවන මෙහෙය ද අති විශාල ය. සර්පයින්, බව භෝග වගාවන්ට හානි කරන මීයන් ආදී සතුන්ගේ විලෝපිකයන් ද වෙයි. එසේම, මිනිසාට වින කරන ලාදුරු, ඇදුම, රූමැටික් උණ, මහාමාරිය සහ සරම්ප ආදී ලෙඩ රෝග සුව කිරීමේ ඔසු නිපදවන්නට ද සර්ප විෂ යොදා ගැනේ.

අවට පරිසරය ගැන අවධානයෙන් සිටීමත්, සර්පයන්ගේ ගමන් බිමන් ගැන පරීක්ෂාවෙන් සිටීමත්, සර්ප දෂ්ටනවලින් බේරීමට ගත හැකි ක්‍රියාමාර්ගයකි. සර්පයන්ට වැඩියෙන් ම ගොදුරු වන්නේ මිනිසුන්ගේ දෙපා ය. සර්පයින් වෙසෙන පෙදෙස්වල සැරිසරන විට, දෙපා ආවරණය වන පාවහන් (බූට් සපත්තු) පැළඳීම ද තවත් ආරක්ෂක පියවරක් වන්නේ ය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර