විශේෂාංග

වසමක් ඇති – විසුමක් නැති ග්‍රාම නිලධාරී මහත්තුරු

‘අයවැය දවසේ’ පාර්ලිමේන්තු වටරවුම ඇරඹෙන තැන, සුදු සාරි – සුදු කමිස ඇඳගත් පිරිසක් ‘මිනිස් පවුරක්’ බවට පත් වෙමින් සිටියහ. එය දියවන්නාවේ සිටි ‘පෙලිකන් කුරුල්ලන්’ මහපාරට පැමිණ එක පෙළට පෙළගැහුණාක් මෙනි. බත්තරමුල්ල-රාජගිරිය මාවතේ ගමන් ගනිමින් තිබූ සියලු මහජන රථ වාහන ද, ‘අයවැය කතාව’ අහන්නට පාර්ලිමේන්තුව වෙත යමින් සිටි මැති ඇමතිවරුන්ගේ ‘වී අයි පී වාහන’ ද, මිනිත්තු විස්සකට තිහකට එක තැන නතර විය.
සුදු ඇඳ පාර අවුරා සිටි උද්ඝෝෂකයින්, ‘පෙලිකන් පක්ෂීන්’ මෙන් මුණිවතින්, අලසව සිටියේ නැත.

‘‘ජනපතිඳුනි මේ අහන්න
වජිර බබා අහන්නෙ නෑ…
බොරු පොරොන්දු දෙන්න එපෝ

නමට කැතයි ඇමැතිතුමෝ
කොන්දක් නැති ඇමැතිතුමෝ…’’ ආදී වශයෙන් සටන් පාඨ කියමින් හඬ නැගූහ.

කෑගැසූ අය අතරින් කිහිප දෙනෙකු ‘පාර්ලිමේන්තු පාරේ’ බිම ඉඳගනු ද පෙනිණි. පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටි නමුත්, වෙනත් උද්ඝෝෂකයින්ට මෙන් දරුණු ප්‍රතිචාර දැක් වූයේ නැත.

‘‘මහත්තුරු දැන් පාරෙන් අයින්වෙමු… නෝනලා පොඩ්ඩක් අර හෙවණට යමුකො…’’
පොලිසියේ ඉහළ නිලධාරීන් උද්ඝෝෂකයින්ට ‘උපරිම නම්බු දී කතා කරනු’ ද පෙනුණ. ඒ අනෙකක් නිසා නොව, එදා එම උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස රාජකාරි මට්ටමින් පොලිසිය සමග ‘එකට වැඩ කරන’ ග්‍රාම නිලධාරීන් වූ බැවිනි.

‘‘ඉතිහාසේ පළමුවැනි වතාවටයි අපි මෙහෙම පාරට බැස්සේ. ඔය මහත්තුරුත් අපේ ප්‍රශ්න දැන ගන්න. අපට ඇහුම්කන් දෙන්න. මේක වැරදි වැඩක් නෙවෙයි’’ උද්ඝෝෂණයෙහි නිරත වූ ග්‍රාම නිලධාරීන් ද පොලිස් නිලධාරීන් ඇමතුවේ සුහදත්වය පළ කරමිනි.

‘‘ඒ වුණාට මහත්තයෝ, අද අයවැයනෙ. මන්ත්‍රීවරු එක වෙනකොට පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනැනෙ. අනික සාමාන්‍ය මිනිස්සුත් රස්තියාදුවෙ’’ යැයි පොලිස් නිලධාරීන් පවසන විට, එක්තරා ග්‍රාම නිලධාරියෙකු ‘ටිකක් සැරට’ කතා කළේ ය. ‘‘අද වගේ දවසක මේ වගේ වැඩක් කරන්නෙ ඒ ගොල්ලන්ට දැනෙන්න ම තමයි. කරුණාකර අපට බාධා කරන්න එපා. මෙතැන කිසිම දේශපාලනයක් නැහැ. අපි මේ අරගලය කරන්නෙ අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විතරයි.’’

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ‘අාශු මාරසිංහ’ උද්ඝෝෂකයින් මැදට පැමිණියේ, මේ අතර ය.
‘‘පස් දෙනෙක් එන්න මාත් එක්ක. පාර්ලිමේන්තුවට ගිහින් ඇමැතිතුමා මුණ ගැහිලා ප්‍රශ්නෙ කතා කරන්න’’ ඔහු කීය. ඒ ඉල්ලීමට එකඟ වූ ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් පස් දෙනෙකු අාශු මාරසිංහ මන්ත්‍රීවරයා පසු පසින් පැමිණි ‘පොලිස් වාහනයට’ ගොඩ වූ අතර, උද්ඝෝෂණය කරමින් සිටි සෙසු ග්‍රාම නිලධාරීන් පාර දෙපසට වෙමින්, පාර්ලිමේන්තුව දෙසට යමින් සිටි මැති ඇමැතිවරුන්ට ‘හූ සංග්‍රහයක්’ පවත්වන්නට පටන් ගත්තෝය.
උද්ඝෝෂණය පවත්වා පසෙකට වූ ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙකු ‘සති අග අරුණ’ සමග කතා බහ කරන්නට විය.
‘‘අපිට මේ වගේ පාරට බහින්න සිද්ධ වුණේ, ඇමැතිතුමාටයි, ඉහළ නිලධාරීන්ටයි කියලා කියලා බැරිම තැන. ව්‍යවස්ථාවක් නැති කමේ ඉඳන් පරිපාලන ප්‍රශ්න ගණනාවක් තියනවා. බේසික් වැටුප් අඩුයි. ඒකත් කමක් නෑ කියමුකො. අවුරුද්දට ම නිල ඇඳුම් දීමනාව හැටියට දෙන්නෙ රුපියල් 4500 යි. අවුරුද්දට ම ලිපි ද්‍රව්‍යවලට දෙන්නෙ රුපියල් 1500 යි. මේ ගණන් හොඳටම මදි. ’’ ඔවුහු කීහ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත, මැතිවරණ පනත් ඇතුළු ආණ්ඩුවේ අණ පනත් 150 කට පමණ අදාළ වන රාජකාරි ගණනාවකට බැඳී සිටින ග්‍රාම නිලධාරීන්ට ලබා දෙමින් තිබෙන මෙම ‘දීමනා සොච්චම’ වැඩිවිය යුතු බවට සැකයක් නැත. එපමණක් නොව; තුන්වැනි ශ්‍රේණියේ ග්‍රාම නිලධාරියෙකුට ගෙවන මූලික වැටුප වන රුපියල් 28,000 ත්, දෙවැනි ශ්‍රේණියේ ග්‍රාම නිලධාරියෙකුට ගෙවන මූලික වැටුප වන රුපියල් 32,000 ත් ඉහළ යා යුතු ය. පළමු වැනි ශ්‍රේණියේ ග්‍රාම නිලධාරියෙකුට ලැබෙන මූලික වැටුප ද රුපියල් 38,000 ට වඩා වැඩි නැත.

‘‘අපි ගමට ඉහළ නිලධාරීන් වුණාට, වැටුප් තත්ත්වයන් අපිව තියල තියෙන්නේ හරි පහත් මට්ටමක. ගමනාගමන දීමනාව කියල ගෙවන්නෙ මාසෙටම රුපියල් 1000 යි. වසම පුරා බයිසිකලෙන් යන ගමන් වලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන ගමන්වලට ඔක්කොටම ඔච්චරයි. ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳන් හැමෝම එක එක රාජකාරි අවශ්‍යතා සඳහා අපට කතා කරන්නෙත්, අපි ඒ අයට කතා කරන්නෙත් ෆෝන් එකෙන්. ඒත් අපට දුරකථන දීමනාවක් ගෙවන්නෙ නැහැ. ගිය දෙසැම්බර්වල රුපියල් 300 ක දුරකථන දීමනාවක් ගෙව්වා. ඒත් ඒ මාසෙ විතරමයි. ඊට පස්සෙ ඒ 300 ත් නැහැ’’ ග්‍රාම නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ එසේ ය.

මීට අමතරව ග්‍රාම නිලධාරීන්ට ගෙවන කාර්යාල දීමනාව ද සොච්චමකි. මාසයකටම රුපියල් 1000 කි. ඒ අනුව ඔවුන් සිය කාර්යාලය පවත්වාගෙන යාමට කාමරයක් කුලියට ගත යුත්තේ රුපියල් 1000 කට ය.

‘‘රුපියල් 1000 ක මාසික කුලියට ගන්න වෙන්නෙ සමහරවිට හරිහමං දොරක් ජනේලයක්වත් නැති කාමරයක්. එක්කො කපරාරු කරල නැහැ. අපි කාර්යාල පවත්වගෙන යන්නෙ මේ වගේ අඩුපාඩු කප්පරක් එක්ක. ඒ මදිවට ගෙයක කාමරයක් කුලියට ගත්තම, ගෙදර මිනිස්සුන්ට ඕන හැටියට තමයි රාජකාරි කරන්න වෙන්නෙත්. මේවා අවුරුදු ගාණක් තිස්සෙ නොවිසඳුනු ප්‍රශ්න. බැරිම තැන තමයි ඉතිං අපි මෙහෙම පාරට බහින්න තීරණය කළේ’’ යැයි පැවසුවේ ග්‍රාම නිලධාරී මහත්මියකි.

ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, වගා නිලධාරී වැනි ‘ගමක් සම්බන්ධයෙන්’ කටයුතු කරන සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල එකම වහලක් යටට ගෙන ඒම සඳහා ‘නිල සෙවණ’ නමින් යුත් බහුකාර්ය ආයතනයක් පිහිටුවීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා ගනු ලැබූ ‘පියවර’ එසැ වී ඇත්තේ, ජනාධිපතිතුමාගේ ‘පොළොන්නරුව රාජධානිය’ වෙතත්, ඇමැති වජිර අබේවික්‍රමගේ ‘ගාල්ල රාජධානිය’ වෙතත් පමණි. එම දිස්ත්‍රික්ක දෙකේ හැරුණු විට අනෙක් දිස්ත්‍රික්කවලට අදාළ වසම්වලට ‘ග්‍රාම නිලධාරී කාර්යාල’ කියා ජාතියක් නැත. ඒ අනුව ග්‍රාම නිලධාරියා කුලී පදනමට ගෙයින් ගෙයට යන ‘කුලීකාරයෙකු’ බවට පත් වී ඇත.

කෙසේ වෙතත් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු වට රවුමේ පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ ග්‍රාම නිලධාරීන් අප සමග ද සාකච්ඡා කරමින් ‘අන්නාසි – අයිස්ක්‍රීම් – බුලත්විට’ කමින් මඟ බලා සිටියේ පාර්ලිමේන්තුවට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් නැවත පැමිණෙන තුරු ය. විෂය භාර අමාත්‍යවරයා තමන්ගේ ගැටලුවලට දුන් ‘උත්තර’ දැන කියා ගැනීමට ය.

සැලකිය යුතු වේලාවක් ගත වී, පාර්ලිමේන්තුවට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් නැවත පැමිණි නමුත්, සැබැවින් ම ඔවුන් පැමිණ තිබුණේ ‘හිස් අතිනි’.
‘‘අපිව චෙක් පොයින්ට් එකේ නවත්තලා අාශු මාරසිංහ මන්ත්‍රීතුමා කෙළින් ම පාර්ලිමේන්තුව ඇතුළට ගියා. ඊට පස්සෙ ඇමැතිතුමාවත් එතුමාවත් අපට කතා කළේ නෑ. අපි ටික වෙලාවක් චෙක් පොයින්ට් එකේ හිටියා. ඇතුළට යන්න ඇහුවා.

ඒත් චෙක් පොයින්ට් එකේ අය කිව්වෙ, ඇතුළින් කිසිම දැනුම් දීමක් නැතුව යවන්න බෑ කියලා. අයවැය විවාද ඉවර වෙලා එතුමන්ලා එනකල් හිටියොත් සමහර විට එතුමන්ලාව හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා චෙක් පොයින්ට් එකේ හිටපු ආරක්ෂක නිලධාරීන් කිව්වා. ඒත් ඉතිං අයවැය කීයට ඉවර වෙයි ද, ඒ එන කොටත් අපිට කතා කරන්න ලැබෙයි ද දන්නෙ නෑනෙ. පහුවදාට රාජකාරි වාර්තා කරන්නත්, දුර බැහැර ගම්වලට යන්නත් ඕන නිසා හිස් අතින්ම ආපහු ආවා. මං හිතන්නෙ අපි ආපහු රැවටුණා.’’ එසේ පැවසූවේ, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. ඩී. බී. රත්නායක මහතා ය.

ග්‍රාම නිලධාරින්ට හමු නොවූ ඇමැතිතුමා මතු වූයේ දින දෙකකට පසු පාර්ලිමේන්තුවෙනි.
පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ඇරඹෙන්නට කලින්, සභා ගැබේ නැඟී සිටි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අඟහරුවාදා උද්ඝෝෂණයට සහභාගි වූ ‘ග්‍රාම නිලධාරීන්’ ට හතර අතේ ‘දෙහි කපන්නට’ පටන් ගත්තේ ය.

‘‘අපි බලමු මේ අය විභාග ලියල පාස් වෙලා ග්‍රාම නිලධාරීන් වෙච්චි අය ද, එහෙමත් නැත්නම් සමෘද්ධි නියාමක තනතුරේ ඉඳලා ග්‍රාම නිලධාරී තනතුරට අන්තර් ග්‍රහණය කළ අය ද කියලා. මේ අය එදා හැසිරුණු විදිය ඉතාම නින්දිතයි. මම දැක්කා වාහනයකටත් ගහන්න යනවා. ඒ අය ගැන වෙනම පරීක්ෂණයක් කරන්න කියලා මම උපදෙස් දීලා තියනවා. ග්‍රාම නිලධාරීන් කියන්නෙ දේශපාලන අයිතිවාසිකම් නැති අය. ඒ අයට උද්ඝෝෂණ කරන්න තහනම්. මෙහෙම ගියොත් පොලීසියත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරයි. එහෙම වුණොත් මොකද කරන්නේ? මේක නං මහ නරක පූර්වාදර්ශයක්’’ ඇමැති වජිර කීවේ එසේ ය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකරත් ඇමති වජිර අබේවර්ධනගේ එම කතාවට විරෝධය පළ කළහ. ‘‘ග්‍රාම නිලධාරීන් උද්ඝෝෂණය කළේ, දේශපාලන හේතුවකට නෙවෙයි. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. විශේෂයෙන් ඔවුන්ට සේවා ව්‍යවස්ථාවක් නැති ප්‍රශ්නය තියෙනවා. ඔබතුමා ඔවුන්ට තර්ජනය කරනවා වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන විදියක් ගැන කල්පනා කරල බලන්න’’ ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පැවසුවේ ය.

ගම සංවර්ධනය කරන්නට යැයි කියමින් ‘ගම්පෙරළිය’ වැනි ‘මෙගා ව්‍යාපෘති’ දියත් කරන ආණ්ඩුව ‘ග්‍රාම නිලධාරියා’ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත කනගාටුදායක ය. හිටපු ග්‍රාම නිලධාරිවරයකු ජනාධිපති ධුරය දක්වා ‘උසස් වී’ සිටින කාලයක ‘ග්‍රාම නිලධාරියා පාරට වැටීම’ අතිශයින් ම කනගාටුදායක ය.

සුරේඛා සමරසේන