අතන මෙතන

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අභිරහස් ලෙස මරා පුළුස්සන ලද අලියෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අභිරහස් ලෙස මරා පුළුස්සන ලද අලියෙකුගේ සිරුරු කොටස් කිහිපයක් ඊයේ (02) හමුවූ බව වවුනියාව වනජීවි නිළධාරී කාර්යාලය පවසයි.

වවුනියාව වනජීවි අඩවි නිළධාරී ඒ.ජේ.ඩී.කේ.තෙන්නකෝන් මහතා සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීට ලද තොරතුරක් මත සිදුකල දැනුම්දීමකින් අනතුරුව එම ස්ථානය පරික්ෂා කිරීමේ දී සෙට්ටිකුලම නීරියාමොටෙයි ඉඩම් මායිමක තිබී පුළුස්සා දමන ලද අලියෙකුගේ ශේෂ කොටස් කිහිපයක් හමුවූ බවත් තවමත් එම ස්ථානයේ දැවෙමින් පවතින බවත්ය.

සිද්ධියට අදාලව එම ස්ථානයේ තිබී අලින්ගෙන් ආරක්ෂාවට විදුලි රැහැන් අදින ලද බවට සැක කම්බි තොගයක්ද අත්අඩංගුවට ගත් බවත් මෙම අලියා විදුලි සැර වැදීමෙන් මිය යන්නට ඇති බවටද සැකපල කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මියගිය අලියා පිළිබඳව පශ්චාද් මරණ පරික්ෂණ උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරී බී.ගිරිදරන් මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබේ.