විශේෂාංග

වයිරසයට වඩා ලෙඩක් සමාජයට ඇවිත්

ලෝකය අඛණ්ඩව වෙනස් වෙමින් පවතී. නමුත් 2020 වර්ෂයේ පසුගිය මාස කිහිපය මිනිසාගේ මනෝ සමාජීය ජීවිත ශීඝ්‍ර වෙනස්වීම්වලට ලක් කළ කාල සීමාවකි. මින් පෙර සාකච්ඡාවට ලක් නොවූ විවිධ මාතෘකා, සංකල්පයන්, භාවිතයන් කරළියට පැමිණෙමින් තිබේ. මේ සෑම දෙයකට ම වගකිවයුත්තා තවමත් ඔහුගේ කාර්යය ඉටු කරමින් සිටියි. කොවිඩ්-19.

කොවිඩ්-19 සම්බන්ධයෙන් ඔබ මේවනවිටත් සෑහෙන තරම් තොරතුරු ග්‍රහණය කරගෙන සිටිනවාට සැක නැත. කොවිඩ්-19 වයිරස ආරම්භය, එය බෝවන ආකාරය, ආරක්ෂා වීම වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග වැනි නොයෙකුත් මාතෘකාවන්ට අප සමාජය බහුලව නිරාවරණය වෙමින් සිටියි. (එකී උපදෙස් අනුව ක්‍රියා කරනවා දැයි වෙන ම සාකච්ඡා කළ යුතු ය). සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සිය උපරිම කැපවීම මේ වෙනුවෙන් යොදවා තිබේ. මේ උත්සාහය එකී මාතෘකා අතර වඩාත් කතාබහට ලක් නොවන, නමුත් උක්ත මාතෘකා මෙන් ම වැදගත් සහ කොවිඩ්-19 වයිරසය මෙන් ම මිනිස් ජීවිත ක්‍රමයෙන් පීඩනයට පත් කරවන සංකල්පයක් සමාජගත කිරීම වෙනුවෙනි. ඒ කොවිඩ්-19 ආශ්‍රයේ ගොඩනැගෙන සමාජ අපකීර්තිය යි.

කොවිඩ්-19 සම්ප්‍රේෂණයවන ආකාරය තවමත් තීරණය කරමින් සිටිය ද, වයිරසය ශරීරගත වී ඇති හෝ එසේ යැයි අනුමාන කරන්නා වූ පුද්ගලයන් විවිධාකාර අපකීර්තියන්ට ගොදුරු වීම ගෝලීය වශයෙන් සිදුවන්නකි. අප සමාජය තුළ එය සාමාන්‍යකරණය වෙමින් පැවතීම සැබැවින් ම ඛේදජනක ය. සුවය ලැබීමෙන් පසුව හෝ නැත්නම් කොවිඩ්-19 යැයි අනුමාන කර පසුව එසේ නොවේ යැයි පර්‌යේෂණවලින් තහවුරු කරගත් පුද්ගලයකුට වුව ද සමාජගත වීමට අපහසුවන පමණට ම මෙය බරපතළ වී තිබේ. මෙය ගැඹුරින් විමර්ශනයට පෙර අපකීර්තිය යන සංකපල්පය ලුහුඬින් හෝ දැන සිටීම වටියි.

අපකීර්තිය යනු….?

අපකීර්තිය යන්නට පුද්ගලයකු අනෙක් පුද්ගලයන්ට වඩා වෙනස් යැයි සලකුණු කරන්නා වූ ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් මත පිහිටා ඇයගේ හෝ ඇයගේ අනන්‍යතාව වෙනුවෙන් නිෂේධාත්මක ආකල්පයන් ගොඩනැගීම නැතිනම් වෙනස්කොට සැලකීම ඇතුළත් වේ. විශේෂයෙන් ම මෙම අපකීර්තිය යන සංකල්පය මූලික වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, ජාතිය, ආගම සහ සංස්කෘතිය වැනි ඕනෑ ම සංකල්පයක් සමග සම්බන්ධ විය හැක. පුරාණ ග්‍රීකයන් අපකීර්තිය (stigma) යන වදන භාවිත කරනු ලැබුවේ වහලෙකු, අපරාධකරුවෙකු, හෝ ද්‍රෝහියෙකු වැනි සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිත අයකු ලෙස නම් දැරූවෙකුගේ සිරුරට කැපූ හෝ පුලුස්සා දැමූ සලකුණක් විස්තර කිරීමට ය. සමාජ විද්‍යාඥ අර්වින් ගොෆ්මන් මෙම පදය නූතන විද්‍යා ලෝකය තුළ ප්‍රචලිත කිරීමෙහි ලා පුරෝගාමියෙකු විය. ඔහුට අනුව අපකීර්තිය යනු පුද්ගලයකුගේ අනන්‍යතාව දූෂ්‍ය කරන්නා වූ ගුණාංගයක්වන අතර ම ඔහු හෝ ඇය අන් අයගේ මනස් තුළ පරිපූර්ණ සුපුරුදු පුද්ගලයාගේ සිට අපකීර්තිමත් අවම පුද්ගලයකු දක්වා පරිවර්තනය කරනු ලබයි. කෙසේවෙතත් අපකීර්තිය පිළිබඳ නූතන නිර්චනයන් පැහැදිලිව ම සමාජ නිර්මාණාත්මක රාමුවක් අනුගමනය කරයි. නිදසුනක් ලෙස මහාචාර්ය ජී. එම්. හෙරක් අපකීර්තිය අර්ථ දක්වන්නේ යම් නිශ්චිත ලක්ෂණයක් ඇති හෝ විශේෂිත කණ්ඩායමකට අයත් පුද්ගලයන්ට සමාජය සාමූහිකව ලබා දෙන්නා වූ ඍණාත්මක සැලකීම සහ සාපේක්ෂ බල රහිතභාවය යනුවෙනුයි. මෙම අර්ථකතන සංක්‍රාන්තිය අපකීර්තියේ ප්‍රභවය මූලික වශයෙන් අපකීර්තියට ලක්වන්නන්ගේ භෞතික ස්වභාවයෙන් පිටතට ගෙනයන අතර එහි මූලාරම්භය සමාජීයව ස්ථානගත කරනු ලබයි.

අපකීර්තිය යන සංකල්පය විශ්වීය වේ. මෙම විශ්වීයත්වයෙන් හැඟවෙන්නේ අපකීර්තියට විටෙක පුද්ගලයන්, කණ්ඩායම් හෝ සමාජමය වශයෙන් යම් ක්‍රියාකාරී වටිනාකමක් ලබාදිය හැකි බවයි. පුද්ගල මට්ටමින් හෝ කණ්ඩායම් මට්ටමින් පුද්ගලයකු පහත්කොට සැලකීමෙන් අපකීර්තියට ලක් කරන්නාට පුද්ගලයකු ලෙස තමා පිළිබඳ වඩා යහපත් හැඟීමක් ඇතිවිය හැක. පරිණාමීය මනෝවිද්‍යාඥයන් යෝජනා කරනුයේ අන්‍යයන් සමග ජීවත්වනවිට ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා අපකීර්තිය යන සංකල්පය මිනිසුන් අතර පරිණාමය වන්නට ඇති බවයි.‍

කොවිඩ් සහ අපකීර්තිය

ඒ අපකීර්තිය යන සංකල්පය පිළිබඳව සරල වූ ද සාමාන්‍ය වූවද හැඳින්වීමකි. එසේනම් කොවිඩ්-19 සහ අපකීර්තිය අතර පවතින සබඳතාව කෙබඳු ද? කොවිඩ්-19 පැතිරීමට හෝ පාලනයට මෙම අපකීර්තිය බලපාන්නේ කෙසේ ද? මේ ඇරඹුම එකී සාකච්ඡාව වෙනුවෙනි.

ඕනෑ ම අඛණ්ඩව පවතින වසංගත තත්ත්වයක් තුළ අපකිර්තිය සහ වෙනස් කොට සැලකීම සාමාන්‍යකරණය වන්නා වූ සංකල්පයන් ය. අදාළ වයිරස කාරකය ශරීර ගත වන්නන් හෝ එසේ යැයි සැක කරන්නන් සමාජය විසින් විඥානිකව හෝ අවිඥානිකව අපකීර්තියට ලක්කරනු ලබයි. රෝගය මාරාන්තික යැයි සිතන විට, එමෙන් ම ආසාදනය ඇතිවීමේ අවදානමක් ඇතිවිට අදාළ සමාජ සන්දර්භය තුළ ම ජීවත්වන පිරිස් නව රෝගය පැතිරීම සම්බන්ධව ගොඩනැගෙන බිය සමග කටයුතු කරමින් සිටියි. ආචාර්ය රොන් බැරෙට්ට අනුව බොහෝ සමාජවල ජාතිකවාදී, ජනවාර්ගික හෝ ආගමික බහුතර කණ්ඩායමට වඩා වෙනස් පුද්ගලයන් වයිරස පැතිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වනු ලබයි. ලාංකීය සමාජය තුළ පළවන කොවිඩ් රැල්ල පැතිරීම සම්බන්ධව මූලික එක් ජන කණ්ඩායමකට චෝදනා එල්ල වීම මෙහි දී සිහියට නැගේ.

රෝග සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් එවැනි සමාජ මතවාදයන් මූලික කාරණා කිහිපයක් ම ඉටු කරන බව ආචාර්ය ඒ. නෝවුන් ඇතුළු පිරිස පර්යේෂණ මගින් තහවුරු කොට තිබේ. එනම් පිරිසක් අපකීර්තියට ලක් කිරීම ඔස්සේ වසංගත කාලයක් තුළ චූදිතයන්ට දැනෙන්නා වූ කාංසාව සමනය කරනු ලබයි. පිරිසකගේ කාංසාජනක තත්ත්වය සමනය වූව ද ඒ ඔස්සේ තවත් පිරිසක් දැඩිව මානසික සහ සාමාජීය වශයෙන් දැඩි පීඩාකාරී තත්ත්වයක් මතුකිරීම සැබැවින් ම ගැටලු සහගත ය. මේ ආශ්‍රයේ ලාංකීය සමාජයේ තත්ත්වය ද මින් වෙනස් නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය

2020 මාර්තු 18 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස ප්‍රකාශයක් නිකුත් කරන ලදී. “සමහර සෞඛ්‍ය සේවකයන්, ආසාදිතයන් වෙත අවාසනාවකට තම පවුලේ අය හෝ ප්‍රජාව විසින් ගොඩනගන අපකීර්තිය නිසා සමාජ ප්‍රතික්ෂේප කිරීමවලට ලක්වනු ලැබේ. මෙය දැනටමත් අභියෝගාත්මක තත්ත්වයක්වන අතර වසංගත තත්ත්වය වඩාත් දුෂ්කර කරවයි.” මේ තත්ත්වය ලංකාවේ පවතින තත්ත්වයක් පමණක් නොවේ. ලොව පුරා මෙම වසංගතය තුළ සෞඛ්‍ය සේවකයන්, රෝගීන් සහ දිවි ගලවා ගත් අය අපකීර්තියට පත් කිරීමේ සිද්ධීන් බහුලව මතුවෙමින් තිබේ. නිදසුනක් වශයෙන්, මෙක්සිකෝවේ වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩි වශයෙන් බයිසිකල් භවිතාවට පෙලඹුණේ ඔවුන්ට පොදු ප්‍රවාහන පහසුකම් තුළ සිදු වූ හිංසනයන් නිසාවෙනි. එසේ ම, මලාවි හි, සෞඛ්‍ය සේවකයන්ට පොදු ප්‍රවාහනය භාවිත කිරීම තහනම් කර, කුලියට ගත් මහල් නිවාසවලින් ඉවත් කිරීම වාර්තා විය. ඉන්දියාවේ, මාධ්‍ය වාර්තා හෙළි කළේ, කොවිඩ්-19 රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සැලකිය යුතු සමාජ නෙරපා හැරීමකට මුහුණ දී ඇති බවයි. කුලී නිවාසවලින් ඉවත්ව යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර, ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේ දී පවා ඔවුන්ව ශාරීරික හිංසනයන්ට ලක් විය.

කොවිඩ් හමුවේ මාධ්‍ය භාවිතය

ලාංකීය සන්දර්භය තුළ කොවිඩ්-19 ආශ්‍රයේ මෙම අපකීර්මත් ස්වභාවය ගොඩ නැගීමෙහිලා මූලික වන්නා වූ හේතුකාරකයන් පිළිබඳ විමර්ශනයේ දී මාධ්‍ය යන සාධකය නිරායාසයෙන් මතුව පෙනේ. මෙම වසංගතය හමුවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සැබැවින් ම වැදගත් සහ ප්‍රමුඛ වේ. මන්දයත් වසංගත තත්ත්වය ආශ්‍රිත පුවත් ජනතාව අතරට ගෙන යන වාහකයා බවට පත් වන්නේ මාධ්‍යයි. එනමුත් මේ ආශ්‍රයේ ලාංකීය මාධ්‍ය භාවිතයන් සැබැවින් ම ගැටලුකාරී ය.

සමාජමාධ්‍ය ජාල විටෙක වාරණයකින් පිළිගත් ආචාර ධාර්මික පද්ධතියකින් තොර වීම හේතුකොට ගෙන ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි වුව ද වගකිව යුතු මාධ්‍යන්ගේ මෙවන් හැසිරීම් අනුමත කිරීම වෙනුවෙන් තර්ක කළ හැකි ද? මාර්ක් ට්වේන් මාධ්‍ය වගකීම පිළිබඳව කියා සිටින්නේ මෙවැන්නකි. “ඔබට නිවැරදි යැයි සිතෙන දේ කරන්න.’’ සමහර මාධ්‍ය භාවිතයන්, අවම වශයෙන් මෙකී ප්‍රකාශයවත් සැලකිල්ලට ගන්නේ නම් මාධ්‍ය චර්යාවන් සාපේක්ෂව මීට වඩා ධනාත්මක වනු ඇත.

කොවිඩ්-19 ආසාදිතයන්ගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි මාධ්‍යයේ හැසිරීම විටෙක ධනාත්මකව අගය කළ හැකි වුව ද අදාළ පුද්ගලයන්ගේ නිවෙස්, ඒ අවට සිදුවන සංවාදයන් පටිගත කිරීම වැනි තත්ත්වයන් මත එකී ධනාත්මක තත්ත්වය ද පහව යයි. මන්දයත් පුද්ගලයාගේ මුහුණු ආවරණය කිරීම ම පමණක් ඔවුන්ගේ අනන්‍යතාව වසංකරනවා යැයි සිතීම සැබෑ ම අනුවණකමකි. එය මාධ්‍ය සදාචාරය රකිනවා යැයි කියමින් සිය හෙලුව විනිවිද පෙනෙන සළුවකින් වසා ගැනීමක් වැනි ය. එකී ප්‍රදර්ශනාත්මක හෙලුව මේවනවිට සමාජය ප්‍රශ්න කරමින් සිටියි. සමාජ මාධ්‍ය ජාලා ඊට සාක්ෂි සපයයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් අපකීර්තියේ පැතිඩක

තව ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් අපකීර්තියේ පැතිඩක් ද ආසන්න කොවිඩ් රැල්ල ආශ්‍රයේ අපට හඳුනා ගත හැකි විය. අපකීර්තිය වෙනස් කොට සැලකීම, සැබැවින් ම ලැජ්ජාව සහ භීතියට හේතු විය හැක. කාන්තාවන්ට මෙම තත්ත්වය මෙවන් කාලසීමාවක් තුළ උග්‍ර විය හැකි ය. එය ඔවුන්ගේ විවාහ අපේක්ෂාවන් සීමා කිරීම, ප්‍රජාව මෙන් ම ගෘහ හා පවුල් භූමිකාවන් සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සීමා කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය හීන කිරීමට ද බලපෑම් කරනු ලබයි.

සමාජ අපකීර්තියේ අවසන් ඵලය

වසංගත කාලය තුළ ගොඩනැගෙන මෙම සමාජ අපකීර්තියේ බලපෑම් කෙබඳු ද? පර්‌යේෂණවලින් පෙන්වා දී ඇති ආකාරයට සමාජ අපකීර්තිය මූලික වශයෙන් පුද්ගලයා තුළ ආතතිමය තත්ත්වයක් ගොඩනගන්නේ නිරායාසයෙනි. ආචාර්ය ඩරිස් කේ. එස්. චෑන් වැනි විද්වතුන් සිදුකළ පර්යේෂණයන් මීට සාක්ෂි සපයයි. එකී තත්ත්වයම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය, ආයතනික අධ්‍යාපනික කාර්ය සාධනය වෙනුවෙන් ප්‍රබල ඍණාත්මක වටපිටවක් ගොඩනගනු ලබයි. වසංගත කාලයක් තුළ වුව ද මෙහි වෙනසක් සිදු නොවේ. සිදුවන්නේ මෙකී ඍණාත්මක තත්ත්වයන් උත්සන්න වීම පමණි. වයිරසයට වඩා සමාජ අපකීර්තියට බිය වී ආසාදිතයන් නැතිනම් ආසාදිතයන් යැයි සැක කරන්නන් පවා සමාජයෙන් සැඟ වේ. තොරතුරු දීමට පවා මැළිකමක් දක්වයි. මෙම ඍණාත්මක තත්ත්වය වසංගත තත්ත්වයක් තුළ වඩාත් භයානක අතුරු ඵලයන් නිර්මාණය කරනු ලබයි. කෙතරම් තොරතුරු හෙළි කරන්න යැයි මාධ්‍යයෙන් පැවසුවත් ඔවුන්ගේ අනන්‍යතාවන් අනවශ්‍ය ලෙස සමාජගත වේනම් ඔවුන් තව දුරටත් සැඟවෙනු ඇත.

අපකීර්තිය අවම කිරීමට කළ හැකි දේ…

කොවිඩ්-19 ආශ්‍රයේ මෙම අපකීර්තිය අවම කිරීමට කළ හැක්කේ කුමක් ද? අපකීර්තියට එරෙහිව සටන් කිරීමට අධ්‍යාපනය ප්‍රධාන ක්‍රමයකි. හානිකර අපකීර්තිමත් තත්ත්වයන් විසුරුවා හැරීමට එය උපකාරී වේ. ලංකාවේ නම් රාජ්‍ය මට්ටමින්, ගෝලීය වශයෙන් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පිළිගත් ප්‍රභවයන්ගෙන් කොවිඩ්-19 පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ ඒවා ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගැනීම වැදගත් ය. මීට අමතරව සෞඛ්‍ය සේවා අපේක්ෂා කරන අයගේ සහ ඕනෑම සම්බන්ධතා පරීක්ෂණයක කොටසක් විය හැකි අයගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. තව ද ලිපියේ ඉහතින් දක්වා ඇති පරිදි අප භාවිත කරන භාෂාව අප නොදැනුවත්ව ම අපකීර්තිය ගොඩනැගීමට හේතු පාදක වේ. එබැවින් අපකීර්තියට හේතු විය හැකි ඍණාත්මක භාෂාව නිවැරදි කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි. මේ සඳහා ප්‍රමුඛතාවක් ගෙන කටයුතු කළ යුත්තේ මාධ්‍යයයි. ඔවුන් තොරතුරු සන්නිවේදනයේ දී භාවිත කරන රූප සහ භාෂාව තුළින් විවිධ වූ අපකීර්තිමත් ස්වභාවයන් ශක්තිමත් නො කරන බවට වග බලා ගත යුතුය. සමාජ මාධ්‍යජාලා භාවිත කරන්නන් ලෙස අප ද කටකතාවලට තටු ලබා නොදී නිවැරදි තොරතුරු ජනගත කිරීමට උත්සාහ ගන්නේ නම් කොවිඩ් 19 ආශ්‍රයේ ගොඩනැගෙන මෙම සමාජ අපකීර්තිමත් ස්වභාවය අවම කරගැනීමට වැඩි හැකියාවක් තිබේ.

වසංගත තත්ත්වයක් තුළ මිනිසුන්ට හානි කරනු ලබන්නේ වයිරසය පමණක් නොවේ. අපකීර්තිය වැනි තත්ත්වයන් විටෙක වයිරසයකට වඩා මිනිසුන්ගේ ජීවිතවලට කරනු ලබන හානිය අතිමහත් ය. යථාර්ථය විමර්ශනයේ දී එවැනි තත්ත්වයන් ගොඩනැගීමට මාධ්‍ය වැනි සාධකවලට අමතරව අපි ද දැනුවත්ව හෝ නො දැනුවත්ව වගකිවයුත්තන් වී සිටිමු. එය තේරුම් ගන්නා තාක් තවත් මිනිසුන් සිය ගණනින් සමාජ අපකීර්තියෙන් පීඩා විඳිනු ඇත.

කොවිඩ් 19 කවදා හෝ ලොවින් තුරන් වනු ඇත. නමුත් ඒ ගොඩනැගූ සමාජ අපකීර්තිය?

ඕෂද පෙරේරා
තාවකාලික කථිකාචාර්ය, මනෝ විද්‍යා අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය