විශේෂාංග

වයිමාටත් කරන්න බැරි වූ දේ ගෝඨාභය කරයිද?

රජයේ නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී, ජනාධිපතිවරයා රටට ඉතා හිතකර තීන්දුවක් ගෙන තිබේ. රටේ දුප්පත්කම දුරලීමේ වගකීම පමණක් ඉටු කිරීමට, කෙනකු පත් කිරීමය. ඒ හා සමග දුම්රිය සේවය, සේවක හා යාන්ත්‍රික අනතුරුවලින් මුදා ගැනීමට පමණක්, රාජ්‍ය ඇමැතිවරයකු පත් කර තිබේ. රාජ්‍ය ගිණුම් කළමනාකරණය සඳහා පමණක් ද, කෙනෙකු පත් කර තිබේ.

සතුටුදායකය. ඔවුනට පැවරී ඇත්තේ එක් කේන්ද්‍රීය වගකීමක් පමණක් හෙයිනි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද ඒ නියෝජ්‍ය ඇමැති ධුර එසේම පවතිනු දැකීම රටේ අපේක්ෂාවය. පත්කර ඇත්තන්, ඒ කේන්ද්‍රීය වගකීම්, ස්ථාවරව කඩිනමින් ඉටු කරනු දැකීම රටේ අපේක්ෂාවය.

තවත් රාජ්‍ය ඇමැති පුරප්පාඩු දෙකක් ඇත. ඉන් එක් කෙනකු වෛද්‍ය හා රෝහල් අනධ්‍යයන සේවකයන් භාරව පත් කරන්නේ නම් යෝග්‍යය.

ඒ සියල්ල 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ යහපත් අතුරුඵලය. රට්ටුන් අපේක්ෂා කරන්නේ රට පිළිබඳ එබඳු සතුටුදායක ප්‍රතිඵලය.

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන විවරණය කළ එක් කෙටි වැකියක් අපේ කනට ඇසුණි. තවෙකක් ඇසට පෙනුණි. එක, 2019 ජනාධිපතිවරණය පැවැත්වුණේ, සනීපාරක්ෂාව හා ජාතිකාරක්ෂාව අතර බවය. දෙක, ගෝඨාභය රාජපක්ෂ දිනවන ලද්දේ, රටේ ජනගහනයේ විශාලම කොටස වූ, දුප්පතුන් විසින් බවය. පළමුවැන්න ලියා තිබුණේ, මාධ්‍යවේදියකු විසිනි. දෙවැන්න ප්‍රකාශ කර තිබුණේ පළපුරුදු දේශපාලකයකු වූ ඩිව් ගුණසේකරය. දෙදෙනාම නිවැරදි බව අපේ මතයය.

අපේ වැටහීම අනුව, උතුරු නැගෙනහිර මැතිවරණ දිස්ත්‍රික්ක පහේ, දුප්පත් ජනතාව ද මනාප දී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂට බවය. ( 2.77.019)

” මා මුළු රටේම ද රටේ සියලු වැසියන්ගේ ද ජනාධිපති” යැයි, ධුරය භාර ගනිමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඒ අවබෝධයෙනැයි අපි සිතමු.

අපි නැගෙනහිර පළාතේ වසර හතරක් පමණ රාජකාරියක යෙදුණෙමු. සිංහල මාධ්‍ය පාසල්වලය.ඒ පාසල්වල ඉගෙනුම ලද්දේ ඒ ප්‍රදේශවල ඉතා දුප්පත් සිංහල හා පෘතුගීසි පවුල්වල දරුවන් ය. සිංහල දරුවන් බොදුනු විය. පෘතුගීසි දරුවන් කිතුනු විය. දෙපිරිසම බැඳී සිටි හුය දුප්පත්කම ය. දෙපිරිසේ වැඩිහිටියන් වැඩිදෙනෙක් මත්ලෝලීහු වූහ.

ගෝඨාභය, විය යුතු පරිදි රටේ ප්‍රධාන වුවමනා දෙක ගැන අවධානය යොමුකර තිබේ. ජාතිකාරක්ෂාව තරකරන්නට හා මත්උවදුර දුරු කරන්නටය.

ඊළඟට ඔහු, ‘ඉරිදා අරුණ’ ද පුන පුනා හෙළිකර සිටි පරිදි, දුප්පත්කමෙන් රට මුදන මුල් පියවර ගෙන තිබේ. මුලින් සඳහන් කරැති පරිදි, සමාජ ආරක්ෂණය සඳහා රාජ්‍ය ඇමතිවරයකු පත් කිරීමෙනි.

ඉංග්‍රීසින් රට හැර ගිය වකවානුවේම ඇරැඹුණු ලංකාව දුප්පත් වීමේ උවදුර අද දක්වා වර්ධනය වූවා මිස හීන වූයේ නැත. ඒසා දිගු කලක් තිස්සේ දිග ඇදුණු උවදුරක්, කෙතරම් විශාල උනන්දුවක් දැරුවද තකහනියේ රටෙන් දුරු කිරීම පහසු කටයුත්තක් නොවේ.

බන්දුල ගුණවර්ධන ඇමැත්තාණන් බලය ඇති විටත්, නැති විටත් පවසා ඇත්තේ එබඳු උවදුරු මෙරටින් දුරු කිරීමට වයිමාටවත් බැරි බවය. 71 කැරැල්ලට හේතු සෙවූ, ලක්ෂ්මන් ජයතිලක තරුණ කොමිසම ද, කැරැල්ලට ප්‍රධාන හේතුවක් ලෙස හෙළි කළේ රටේ ග්‍රාමීය පෙදෙස්වල පවතින හා වැඩෙන තියුණු දුප්පත්කමය.

අනුරාධපුර හා හම්බන්තොට දිසාවල අතීතයේ සේවය කළ සුදු නිළධාරින්, සිය අත්දැකීම් සඳහන් කර පසුව ලියූ ග්‍රන්ථවල දක්වා ඇත්තේ ද, ඒ ප්‍රදේශවල එදාත් පැවති දුප්පත්කම නම් වූ උවදුරේ තරමය.

අදත් තත්ත්වය එසේම බව, වාර්ෂිකව ශ්‍රී ලංකා මධ්‍ය මහ බැංකුව හෙළි කරයි. අද රටේ දුප්පත්කමේ තරම තේරුම් ගන්නට සමෘද්ධි සහනාධාර ලබන්නන්ගේ සංඛ්‍යාවම ප්‍රමාණවත්ය. ඔවුන්ටත් වඩා දුගීව සිටින, මසකට රු. 4000.00 හම්බ කර ගත නොහැකි, ලක්ෂ දහයක පමණ ජන කොටසක් මෙරට සිටින බව පර් යේෂණ කාර්යයේ නොකඩවා යෙදෙන නිහඬ උගත්තු පෙන්වා දෙති. ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වීමට පෙර, ඇයි ඔය තොරතුරු දේශපාලන වගකිවයුත්තන්ට ඉදිරිපත් නොකරන්නේ යැයි විමසූ විට, ඔවුන් අපෙන් ආපසු විමසූ ප්‍රශ්න දෙකක් තිබේ.

“ඕව තේරුම් ගත හැකි අය අපේ රටේ දේශපාලනයේ ඉන්නවද ? ඇහුම්කන් දුන්නත් විසඳුම් දෙන අය ඔවුන් අතර ඉන්නවද?”

සමෘද්ධිය දේශපාලන අල්ලසක් බව ද, හොඳ ජීවන පහසුකම් ඇති අය පවා, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් මගින් සමෘද්ධිය කොල්ලකාගෙන ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

එසේම සමහර ප්‍රදේශවල සැබෑ දුගීනට සමෘද්ධිය ලැබී නැතැයි ද ඒ සමහරු පෙන්වා දෙති. ඒ අසාධාරණය පෙන්වා දුන් විටක, එක් පූර්ව ඇමතිවරයකු, රට පිළිගත් උගතකුට පවසා ඇත්තේ, ” ඒ අපේ මිනිස්සු නෙමේ” බවය.

නව සමාජ ආරක්ෂණ නියෝජ්‍ය ඇමැතිවරයා මේ තත්ත්වය හදාරා, වහාම ජනාධිපතිවරයා දැනුවත් කළ යුතුව තිබේ.

කරන්නට කිසිම දෙයක් නැතිව තිබියදීත් ඒ සියලු දුප්පතුන් මෙවර මනාප පළ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ය. ඩිව් ගුණසේකර පෙන්වා දෙන්නේ ඒ සත්‍යය.

ඒ සියලු දුප්පතුන් අතර, රට මැද පදිංචි වැඩිදෙනා කෘෂිකාර්මිකයන්ය. සිංහල බෞද්ධයන්ය. රට වට මුහුදුබඩ පදිංචි වැඩිදෙනා සිංහල හා දමිළ කිතුනුවන්ය. භාවිත බස හා දහම වෙනස් වුව, ඔවුන් සියල්ලන්ම එකට බැඳ ඇති හුය ද දුප්පත්කමමය.

රටේ ජනගහනයෙන් 80% දුප්පතුන් බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ බැංකු වාර්තා වැරදි බව ද, බැංකු එසේ වැරදි සංඛ්‍යා ඇතුළත් කරන්නේ, පාලකයන් මුලා කරන්නට බව ද පෙන්වා දෙන ආර්ථික විද්‍යාඥයෝ පිරිසක් රටේ සිටිති.

ගෝඨාභය රාජපක්ෂට මනාප පළ කළ ඒ දුප්පත් කෘෂිකාර්මිකයන් හා ධීවර කාර්මිකයන්, ආර්ථිකව පමණක් නොව, වෘත්තීයමයව ද දුප්පතුන්ය.

දෙපිරිසම අදත් වෘත්තීන්වල යෙදෙන්නේ, පරම්පරා හත අටකට පෙර විසූ ඔවුන්ගේ ඥාතීන් යෙදුණ ආකාරයටම ය. ඔවුන්ගේ ආම්පන්න පැරණිය. ඒ සමහර පරම්පරාවක් මේ වන විට සිය පාරම්පරික වෘත්තියෙන් ඉවත් වෙලාය. වෙහෙසෙන තරමට තම ජීවිත ගෙනයාමට තරම් ආදායමක් නොලැබෙන නිසාය. තම ඉඩම් ක්‍රමයෙන් කුඩා වීම නිසාය. නැතහොත් තම පාරම්පරික මුහුදු සීමා පටු වීම හෝ සංචාරක ව්‍යාපාරිකයන් ඒවා අධි මිලට අයත් කර ගැනීම නිසාය. නැතහොත් තම මුහුදු සීමාවල මසුන් හිඟවීම නිසාය. ඉන්ධන හා පොහොර වැනි දේට අධි වියදමක් දරන්නට වීම නිසාය.

ඔවුන් සඳහා හඳුන්වා දෙන වෘද්ධ අධ්‍යාපන ක්‍රම මෙරට නැත. රටට අයත් විදේශ සංචිත වර්ධනය කර ගත හැක්කේ කෘෂි හා මත්ස්‍ය නිෂ්පාදන නිර්යාත වෙළෙඳපොළට සැපයුවහොත් පමණි. ඒ වෙනුවට අද සිදුව ඇත්තේ, මෙරටට අවශ්‍ය සහල් සහ මාළු විදේශවලින් ආනයනය කිරීමය. ඉන් සිදුවන්නේ මෙරට විදේශ සංචිත වර්ධනය වීම නොවේ.
කෘෂි නිෂ්පාදන හා ධීවර නිෂ්පාදන නිර්යාත නිෂ්පාදන බවට පත් කර ගතහොත් රටට මහ වාසනාවක් උදා වෙනු නියතය.

රටමැද කෘෂිකාර්මිකයන් මත් ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇත. රට වටා පදිංචි සමහර ධීවරයන් මුහුදු යන්නේ මාළු අල්ලන්නට නොවේ. විදේශ ජාවාරම්කරුවන් හා බද්ධව මෙරටට මත් ද්‍රව්‍ය හොරෙන් ගෙන ඒමටය. වත්තල, හැඳල, පල්ලියවත්තේ සිට, හලාවතට උතුරින් පුත්තලම හා මන්නාරම දක්වා ඒ ව්‍යාධිය දැන් පැතිරිලාය. ඇරඹුම අද ඊයේ නොවේ. ඒ අපරාධය වන්නේ දේශපාලකයන් ද පොලිසිය ද දැනුවත්වය.

කෙටි වෙහෙසකින් , අඩු කාලයකින් හා අඩු වියදමකින් විශාල ආදායමක් ගැනීමට ඔවුන් සමත්ව සිටී. ඒ සමහරු සිය ගම් ප්‍රදේශවල පල්ලි හා පන්සල්වල සත්ගුණවත් දායකයෝය!
රටමැද පදිංචි වැඩිහිටි කෘෂිකාර්මිකයන් තම පවුලට සෑහෙන පමණට පමණක් යමක් නිපදවා ගැනීමට ඇබ්බැහිව සිටී. රට වටා පදිංචි ධීවරයන් අතර ඒ ඇබ්බැහිය දක්නට නැත. දුප්පත්කම හා මත් ලෝලිත්වය නිසා ඒ දෙජනකොටස් අද බරපතළ පවුල් අවුල්වලට මැදිව සිටී. ඔවුන් අතරට වෘද්ධ අධ්‍යාපන ක්‍රම අවශ්‍යව ඇත්තේ ඒ නිසාය.

අද ලෝකයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ මතයක් තිබේ. ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් වසර දහයක් ඇවෑමෙන් පරණ වන බවය. යළි වහා වෙනස් කළ යුතු බවටය. අපේ රටේ ද වසර දහයෙන් දහයට පමණ අධ්‍යාපන ක්‍රම වෙනස් කෙරේ.

රටට බත හා මාළු සපයන ක්‍රම! එතැනමය!
රටේ ධීවරයන් මුහුණ නොදෙන අර්බුදයකට කෘෂිකාර්මිකයනට මුහුණ දෙන්නට සිදුව ඇත. තමන් වෙහෙසී උපයා ගත් දේ ඉක්මනට ද, හොඳ මිලකට ද අලෙවි කර ගන්නට අවස්ථාව නැතිකමය. ධීවරයා ගොඩට ගෙන එන දේ වහා මිලදී ගන්නට සූදානම් පිරිසක් උදේ පාන්දර වෙරළටම පැමිණ සිටී.

කෘෂිකාර්මිකයා!
හොඳ මිලක් ලැබෙන තුරු බලා සිටිය යුතුය. එහෙත් ඔහුට එතෙක් බලා සිටිය නොහැක. ජීවත්වීම සඳහා තමන් උපයා ගත් දේ හැකි ඉක්මනට විකුණා ගත යුතු හෙයිනි. සමහර ගොවීනට අස්වැන්න කලක් සුරැකිව තබා ගන්නට, ඉඩ ද නැත.

කෘෂි පෙදෙස්වල සත්ගුණවතුන් ඉදිරිපත් වන්නේ එතැනදීය. සමහර ග්‍රාමීය සහල් මෝල් හිමියන් අස්වැන්න කපන්නට ද පෙර ගොවියාට විටින් විට ණය දී, ඔහුගේ අස්වැන්න තමාගේ කර ගනී. නැතහොත් අස්වැන්න හොඳ මිලකට විකුණා ගත නොහැකිව දුකට හා කෝපයට පත්ව සිටියදී, ගොවියා සොයා එයි. (සේරිවාණිජ සේ) කුණු කොල්ලයට ඔහුගේ අස්වැන්න මංකොල්ල කන්නටය.

කෘෂි අමාත්‍යධුරය ඊයේ පෙරේදා භාරගනිමින්, චමල් රාජපක්ෂ, සිය මතයක් පළ කර සිටියේය. වී බුසලක සහතික මිල රුපියල් 50.00 කරන්නට තමා අපේක්ෂා කරන බවටය. ඒවා මත ද, අපේක්ෂා ද නොව, තීන්දු වන්නේ නම් !

රටවටා, රටටත් වඩා විශාල මුහුදක් තිබියදී, රට මැද කුඹුරු වැව් සිය දහස් ගණනක් තිබියදී, විදේශ මාළු හා සහල් ගෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ යුගයේවත් තිත තැබෙන්නේ නම්!
රට තමා වෙනුවෙන් යුතුකම ඉටු කරන්නේ නම්, තමා සියලු රට්ටුන් වෙනුවෙන් තම යුතුකම ඉටුකරන බව, ගෝඨාභය රාජපක්ෂ ඉතා තහවුරුව කියනු අපට සිහිනෙන් නොව හැබැහින් දැනුත් ඇසෙමින් තිබේ.

ගම්වල ඉපද ජීවත් වන සාමාන්‍ය උගතුන් අතර ප්‍රබල මතයක් තිබේ. ස්වභාව ධර්මය අපේ රටට ලබා දී ඇති ප්‍රධාන දායාද දෙක වූ, රට වටා පිහිටි මුහුදිනුත්, රට මැද පිහිටි කෘෂි ඉඩම්වලිනුත්, නිසි ප්‍රයෝජන ගන්නට, රට මෙහෙයවන පාලකයකුට, දෙවියන් හා බුදුන් මහා ශක්තියක් වෙනු නිසැක බවටය.

සිරිල් එඬේරමුල්ල