brand logo

වයිට්ට ගහනකොට මහින්දට රිදෙයි

25 September 2021

ඔයාට ගහනකොට ගුටිකන්නේ මමයි කියලා ජනාධිපති කිව්වා - එලියන්ත වයිට්

ශ‍්‍රී ලංකාවේ පිළිගත් රජයේ වෛද්‍යවරයකු වීමට අවැසි MBBS සුදුසුකම ඔහු සතුවූයේ නැත. එහෙත් ඔහු මෙරට රාජ්‍ය නායකයාගේ වෛද්‍යවරයාය. MBBS නොමැති වෛද්‍යවරුන් ‘හොර වෙද්දු’ ලෙස සමාජය තුළ හංවඩු ගැසෙද්දී ඔහු තවදුරටත් ‘රාජකීය වෛද්‍යවරයා’ විය. සැබැවින්ම ඔහු මෙරට පුවත් මවන වෛද්‍යවරයකු විය. සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක උපුල් තරංගට තව ඩිංගෙන් සදාකාලිකව ක‍්‍රිකට් අහිමි වන්නට ගියේ ඔහු නිසා බව සමහරු කියද්දී සුපිරි ඉන්දීය ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කීවේ තමා තවදුරටත් ක‍්‍රිකට් පිටියේ සිටින්නේ ඔහුට පින්සිදුවන්නට කියාය. කෙසේ වෙතත් සමහරු කීවේ MBBS සහතිකය නැතත් එලියන්ත වයිට්ට MR සහතිකය ඉහළින්ම ලැබී තිබෙන බවය. ඒ මහින්ද රාජපක්ෂ සහතිකයයි. ඔවුන් කියන අන්දමට නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එලියන්තගේ බෙහෙත් අත්දුටුය, ප‍්‍රත්‍යක්ෂය. එනිසාම ඔහුගෙන් බෙහෙත් ගන්නට එන්නේ සුපිරි රාජ්‍ය නායකයන්ය, සුපිරි ක‍්‍රීඩකයන්ය, සුපිරි නළු නිළියන්ය. ඒ එන්නේද මෙරට රාජ්‍ය නායකයාගේ අවසරය ලදොත් පමණි. ක්ෂණයෙන් ලෙඩ සුව කරන එලියන්ත මේ කිසිදු ප‍්‍රතිකාරයක් සඳහා මුදල් අයකරන්නේද නැත. මෙරට මාධ්‍ය තුළද වයිට් කලකට සුදුය, කලකට කළුය. සැබැවින්ම රාජ්‍ය නායකයාගේ උපරිම විශ්වාසය දිනාගත් මේ මිනිසා සතු බලය කුමක්ද? එලියන්ත වයිට්, වෛද්‍ය එලියන්ත වයිට් වන්නේ කෙසේද? එතැන් පටන් අප ඔහුගෙන් බොහෝ දෑ විමසුවෙමු.

එලියන්ත වයිට්, ඔබ කවුද? කොහෙන්ද ආවේ?

මං හිතන්නේ ඔබ අහන්නේ මගේ පරම්පරාව ගැන. අපේ මුල්ම සීයලා එංගලන්තේ ඉඳන් තමයි ඇවිල්ලා තියෙන්නේ එක්දහස් අටසිය ගණන්වල. ශ‍්‍රී ලංකාවේ තියෙනවා රතුපොත කියලා එකක්. ඒකෙ අපේ සීයගේ සම්පූර්ණ ඉතිහාසෙ තියෙනවා. ඕන කෙනෙක්ට ඒක බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලො සිංහල නෝනලා කසාද බැඳලා ලංකාවේ පදිංචි වෙලා. මං හිතන විදිහට ඒ කාලේ ලංකාවේ වැඩිම ඉඩම් හිමිකරු හැටියට හිටියේ අපේ සීයා. ඒ වගේම ලංකාවේ මුල්ම තැපැල් සේවය පටන්අරගෙන තියෙන්නේත් ඒගොල්ලෝ. මගේ පරම්පරාව ඒ වගේ සේවයක් මේ රටට කරලා තියෙනවා.

මොකක්ද ඔබ අදහන ආගම ?

මෙහෙමයි, අපේ ජාතිය හැටියට මම කතෝලික. නමුත් අපේ අම්මලා සිංහල හින්දා වැඩිහරියකට යොමුවුණා පන්සලට. දැන් කතෝලික ආගමයි, බුද්ධාගමයි දෙකම අදහනවා.

ඔබ ‘වෛද්‍ය එලියන්ත වයිට්’ කියලා තමයි සමාජගත වෙන්නේ. කොහොමද මේ වෛද්‍ය කෑල්ල එන්නේ?

කුඩා කාලේ ඉඳන්ම මාත් එක්ක කිසියම් ශක්තියක් තිබ්බා. ඒක මට දැනෙන්න ගත්තේ අවුරුදු දහය, එකොළහ කාලෙ විතර. ඒ නිසා මම කල්පනා කළා මේ පැත්ත සොයාගෙන ගියොත් හොඳයි කියලා. ඒ අනුව මම පාරම්පරික වෛද්‍ය ක‍්‍රමවේද හැදෑරුවා. 1990-1991 වගේ කාලේ අපි හිටියේ කළුබෝවිල. කළුබෝවිල සුනන්දාරාමේ කහතුඩුවේ ප‍්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් හිටියා. ඒ හාමුදුරුවෝ මාව හඳුන්වලා දුන්නා මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහත්තයාට. ‘මෙයාත් නිල සම්බන්ධව කරන වෛද්‍ය ක‍්‍රමයක් හදාරනවා. ඔබතුමාලත් ඔය ඇකියුපන්චර් (චීන කටුු චිකිත්සාව කරනවනේ, පුළුවන්නම් මෙයාටත් උදව් කරන්න’ කියලත් කිව්වා. ඊට පස්සේ ඇන්ටන් ජයසූරිය මහත්තයා මාව වැල්ලවත්තේ ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කරගෙන, මට කටු චිකිත්සාව උගන්වන ගමන්ම මගේ වෛද්‍ය ක‍්‍රමයත් එතුමා පරික්ෂාවට ලක්කරමින් පොතකට ගත්තා. ඊට පස්සේ මට ඒ විශ්වවිද්‍යාලයෙන් ඕල්ටනේටිව් මෙඩිසින් (වෛකල්පිත වෛද්‍ය විද්‍යාව  වෛද්‍ය සහතිකය ලබාදුන්නා. ඒ ක‍්‍රමයට තමයි මට වෛද්‍ය කියන නාමය එන්නේ.

ඔබ කිව්වා ඔබට යම්කිසි ශක්තියක් දැනුණා කියලා. අපි දන්නවා, සමහර කට්ටඩිත් ඉන්නවා විවිධ ශක්තීන්ගෙන් වැඩ කරන. සමහරු මළ පෙරේතයෝ බන්දගෙන කරනවා. සමහරු කියනවා මට දේව ආරූඪයෙන් විවිධ දේ කරන්න පුළුවන් කියලා. මේ ආරූඪ දෙකෙන් ඔබට තියෙන්නේ මොන ආරූඪෙද?

නෑ, නෑ, ඕක වරදවා පටලවා ගන්න එපා. මම කපුරාළෙක් ගාණට වැටෙන්න කැමැති නෑ. මේ වෛද්‍ය ක‍්‍රමයට අවශ්‍ය බෙහෙත් සොයාගන්න විතරයි මම ඒ ශක්තිය පාවිච්චි කරන්නේ.

මොකද්ද ඒ ශක්තිය?

කුණ්ඩලීනි ශක්තිය කිව්වොත් ඒක නිවැරැුදියි. මොකද මේක පුරාණ ක‍්‍රමවේදයකට තමයි අපි කරගෙන යන්නේ. යම් රෝගයකට බෙහෙත් සොයාගත්තට පස්සේ අපි කරන්නේ ඒ ඖෂධ පුරාණ ක‍්‍රමයට ස්තෝත‍්‍ර කියලා ‘බල’ කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත රෝගියාට දෙන්නේ.

දැන් කාටහරි ප‍්‍රශ්නයක් එන්න පුළුවන්, එලියන්ත වයිට් කියන බි‍්‍රතාන්‍ය සම්භවයක් තියෙන මිනිසා කොහොමද යන්තර, මන්තර දැනගත්තේ කියලා?

මං මුලින්ම ඔයාට කිව්වනේ, මට කුඩා කාලේ ඉඳන් කොඳුරන්න ගත්තා කියලා. ඊට පස්සේ මම පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය ඉගෙනගත්තා. ඉගෙනගත්තේ මට මේකෙන් දවසක ප‍්‍රයෝජනයක් ගන්න ඕනෙ හින්දා. එතකොට අපි ලෙඩෙක්ගේ නාඩි අල්ලලා පරීක්‍ෂණ පවත්වලා මේකයි ලෙඬේ කියලා හොයාගත්තාට පස්සේ, අපි ටක්ගාලා අර සම්බන්ධතාවලින්, ඒ කියන්නේ මම කිව්වේ අර කනට කොඳුරනවා කියලා. ඒ විශ්වයේ සම්බන්ධතාවලින් අපි ඒකට අදාළ ඖෂධ මොකක්ද කියලා හොයාගන්නවා. අපි හිතමු කස්තුරි, සාදික්කා, තිප්පිල කුඩු, සංජීවනී වගේ හතරකොන පාවිච්චි කරලා ඒ හතරකොනට මේ ස්තෝත‍්‍රයෙන් පාවිච්චි කරන්න කියලා කිව්වා කියලා. එතකොට ඒ ස්තෝත‍්‍රයෙන් කියන ප‍්‍රමාණයක් තියෙනවා. ඒක කිව්වට පස්සේ මේකෙ බෙහෙත් බලයක් ඇතිවෙනවා. ඇතිවුණාට පස්සේ තමයි මේක අපි ඒ ලෙඩාට දෙන්නේ.

කවුද ඔබේ කනට කොඳුරන්නේ? නැතිනම් සන්නිවේදනය කරන්්නේ ?

මේකේ අපිට කියන්න පුළුවන් ප‍්‍රමාණයක් තියෙනවා. ඒ ප‍්‍රමාණය විතරයි මං ඔයත් එක්ක කතාකරන්නෙ. අපි මේකට ‘බලවේගයක් ’කියලා කියමුකෝ. ඒ බලවේගයත් එක්ක තමයි මම සන්නිවේදනය කරන්නේ.

ඒ කියන්නේ ඔබ අදෘශ්‍යමාන බලවේගත් එක්ක සන්නිවේදනය කරනවා?

ඔව්. සන්නිවේදනය කරනවා.

වයිට් මහත්තයා, අද කවුරු, මොනදේ කිව්වත් ඒක ජනතාව පිළිගන්නේ විද්‍යාත්මකව සසඳලා. ඔබ ඔය ‘බලවේග’ත් එක්ක සන්නිවේදන කරමින් කරනවා කියන වෛද්‍ය ක‍්‍රමය 100%ක් ජනතාව පිළිගනී කියලා හිතන්න බෑ. මේ තවත් බොරුකාරයකුගේ බොරුවක් කියලා ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රවණතාව වැඩියි. මොකක්ද ඔබේ ඔය වෛද්‍ය ක‍්‍රමයට ලැබිලා තියෙන විද්‍යාත්මක සහතිකය?

මම රාජ්‍ය නායකයා ගාව ඉන්න වෛද්‍යවරයා. රාජ්‍ය නායකයෙක් ගාවට සාමාන්‍යයෙන් මොන මොන වගේ කට්ටියක් එන්න පුළුවන්ද? එක එක වර්ගයේ කපුරාලලා එන්න පුළුවන්, එක එක ශක්තීන් තියෙන කට්ටිය එන්න පුළුවන්. ඇයි මං විතරක් රැුඳිලා ඉන්නේ එතැන. ඇයි රටේ රාජ්‍ය නායකයා ලෝකෙට කියන්නේ මෙතැනට ඇවිල්ලා බේත් ගන්න කියලා. වෙන වෛද්‍යවරුන්ට වගේ නෙවෙයි, රාජ්‍ය නායකයාගෙන් අවසරයක් ගන්න ඕනෙ මගෙන් බෙහෙත් ගන්නනම්. ඒ තැනට මේක ගෙනාවේ, මේකෙ වටිනා දෙයක් තියෙන බව රාජ්‍ය නායකයත් පිළිගත්ත නිසා. ඊට පස්සේ අපි පොඩ්ඩ පොඩ්ඩ ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තර ක‍්‍රීඩකයන්ට බෙහෙත් කළා, අපේ ක‍්‍රීඩකයන්ට බෙහෙත් කළා. ඉන්දියාවේ සිනමා නළු නිළියන්ට බෙහෙත් කළා. ඒ විතරක් නොවෙයි විදේශ රාජ්‍ය නායකයන් පවා මගෙන් ප‍්‍රතිකාර ගන්නවා. එතකොට ඒ මට්ටමටම ගියේ මේ ඖෂධවල කිසිම අහිතකර දෙයක් නැති හින්දා.

ඔබතුමා ඇහුවනේ මොකක්ද මේකට තියෙන විද්‍යාත්මක සහතිකය කියලා. ස්තෝත‍්‍රයක් මනින්න තාම මීටරයක් නෑ. ඔය ප‍්‍රශ්න අහන කට්ටියට ලෙඩක් දුකක් හැදිලා කරදර වුණාට පස්සේ පන්සලකට ගිහිල්ලා බාරයක් වෙනවා. බෝධිපූජා කරනවා. එතකොට මොකද්ද එතැන තියෙන විද්‍යාත්මක සහතිකය. මේ හැම දෙයක්ම තියෙන්නේ විශ්වාසය මත. විශ්වාසය උඩ තමයි අපි ඒ තැන්වලට ගිහිල්ලා, ඒ දේවල් කරන්නේ. එතකොට ඒ දේවල් වැටෙන්නේ විකල්ප ක‍්‍රම ගොඩට. ඒ වගේ මේකත් විකල්ප ක‍්‍රමයක්.

අයි.පී.එල්. තරගය වෙලාවේදී සචින්ගේ ඇඟිලි දෙකක් කැඩුණා. ඒ කියන්නේ ලිගමන්ට් එක ගියා. වෛද්‍ය විද්‍යාව අනුව ලිගමන්ට් එක සාමාන්‍යයෙන් සනීපවෙන්න සති තුනක්-හතරක් යනවා. ඒ අවස්ථාවේදී මමත් හිටියේ ඉන්දියාවේ. මේ වෙලාවේ මුකේෂ් අම්බානි ජනාධිපතිතුමාට කතාකරලා අහලා තිබුණා පුළුවන්ද බෙහෙත් කරන්න කියලා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කියලා තිබුණා, ‘ඩොක්ටර් ඉන්දියාවේ ඉන්න එක හරි, හැබැයි සචින්ට කියන්න ලංකාවට ආවොත් ඉරිදා මැච්එක ගහයි කියලා මට ගැරන්ටියක් දෙන්න පුළුවන් කියලා. මොකද අපේ පොළොවේ තමයි අපි බෙහෙත් කරන්නේ. මොනවා වුණත් අපේ රටේ ශක්තිය අපි ලෝකෙට පෙන්නන්න ඕනේ’ මේක වෙන්නේ සිකුරාදා. මම හිටියේ බැංගලෝර්වල. එතකොට, එදා ? සචින් මාවත් බැංගලෝර්වලින් අරගෙන ප‍්‍රයිවට් එයාක‍්‍රාෆ්ට් එකක ඇවිල්ලා ලංකාවේ එයාපෝර්ට් එකේදී තමයි මං බේත් කළේ. ප‍්‍රතිකාර ලබාගෙන යන අතරතුරේ ෆ්ලයිට් එකේදීම එයා සනීප වුණා. ඇඟිලි වැඩකරන්න ගත්තා. ඊට පහුවදා සෙනසුරාදා, ඉරිදා තමයි මැච්එක තිබ්බේ.  8ට මැච්එක පටන් ගන්න තියෙද්දී සවස 6 ඉඳන් එන්.ඩී.ටී.වී. එකේ සජීවී අයි.පී.එල්. එක ගැන විස්තර ප‍්‍රචාරය කරනවා. අද සචින් තෙන්ඩුල්කාර් ෆයිනල් එකේ ගහන්නෑ කියලා තමයි ප‍්‍රචාරය ගියේ. මං දන්නෑ ඒ දවස්වල ඒ රූපරාමු ඕගොල්ලන්ට ගන්න පුළුවන්නං බලාගන්න පුළුවන්. මේගොල්ලන් කාටූන්ස් පවා හැදුවා සචින්ගේ ඇඟිලි තුනක් බැන්ඬේජ් කරලා තියෙනවා. එතකොට කොහොමද මේ ග්ලවුස් එක දාන්නේ, ඒවා පෙන්න පෙන්න එන්.ඞී.ටී.වී. එක කිව්වා, අද සචින් තෙන්ඩුල්කාර් ග්ලවුස් එකත් දාලා, බැට් කරොත් හරි, ෆීල්ඞ් කරොත් හරි වෛද්‍ය විද්‍යාව වෙනස්වෙන්න විය යුතුයි කියලා. අන්තිමට හතහමාරට කිව්වා සචින් ගහන එක 50/50 තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අටට පහක් තියෙද්දී සචින් ටොස් එක දාන්න ආවා. මං හිතන්නේ එදා ඔහු ලකුණු 48ක් ගැහුවා. කැචස් දෙකක් ඇල්ලූවා. ෆීල්ඞ් කරා, කිසිම අමාරුවක් ඔහුට තිබ්බෙ නෑ. මේවා වෙන්නෙ කොහොමද කියලා විද්‍යාත්මක පරීක්‍ෂණයක් පවත්වලා නෑ මම. හැබැයි කාරණාව සිද්ධවෙනවා. කාරණාව සිද්ධවෙන හින්දා තමයි, ජනාධිපතිතුමා කියන්නේ මේක විශ්වාසයෙන් ගන්න කියලා. අනික තව කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේක සල්ලි හම්බකරන්න කරන දෙයක් නෙමේ.

ඔබ කිව්වා වගේ ඉන්දියාවේ විස්තර විචාරකයෝ කිව්වා නම්, මේක වෛද්‍ය විද්‍යාව වෙනස්වන තැනක් කියලා, අත්තටම ඒක එහෙම විය යුතුයි. මොකද අපි ශ‍්‍රී ලංකාව උදාහරණයට ගත්තොත්, වර්ෂයකට වෛද්‍ය වරයෙක් බිහිකරන්න විශාල පිරිවැයක් රජය දරනවා. ඒ වගේම ඉස්පිරිතාල හදලා, ඖෂධ ගෙන්නලා සේවකයන්ට පඩිනඩි ගෙවන්නත්, විශාල පිරිවැයක් දරනවා. නමුත් ඔබ වගේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සුන්ට පුළුවන්නම්, උපාධිධාරී වෛද්‍යවරයෙක් සුමාන තුනකින් සුව කරන රෝගයක් පැය තුනකටත් අඩු කාලයකදී සුව කරන්න. ඇත්තටම මේ තරම් වියදම් කරලා වෛද්‍යවරු බිහිකරන්නේත් ඉස්පිරිතාල හදන්නේ ඇයි?

ඔව්, ඒකට මං කෙටි උත්තරයක් දෙන්නම්, ලංකාවේ ජනගහනයත් එක්ක මට දවසකට, මිනිහෙකුට කතාකරන්න පුළුවන් ප‍්‍රමාණයක් තියෙනවා. දැනටත් මගෙන් ප‍්‍රතිකාර ගන්න අහලා ලක්‍ෂ ගණන්වලින් ලියුම් එනවා. දැන් ඔය විදිහටම තව කෙනෙක් ප‍්‍රශ්නයක් අහයි, ඇයි බැරි? පිළිකා ලෙඩ්ඩු ඔක්කොම හොඳකරන්න කියලාත්. ඒකට වාසනාවකුත් තියෙන්න ඕනේ. ඒකට මුණගැහෙන්නත් ඕනේ. මේකට බේත් ඖෂධ අපි හොයාගන්නත් ඕනේ. මේක ලේසි නෑ.

ඔබ කිව්වා ඔබේ ඖෂධවල කිසිම අහිතකර දේවල් නෑ කියලා. නමුත් ඔබට චෝදනාවක් ආවා නේද  ඔබෙන් බෙහෙත් බීපු ක‍්‍රීඩකයෙක්් තහනම් උත්තේජක ලබාගත් වරදට හසුවුණා කියලා?

වර්ල්ඩ් කප් එකේදී ටීම් ඩොක්ටර් හැටියට හිටියේ මම. ටීම් ඩොක්ටර් කෙනෙක්ට නිකන් කපුරාළ කෙනෙක්ව ගන්නෙ නෑනේ. මම අවුරුදු 4ක් ලංකාවේ ක‍්‍රිකට්වලට බේත් කළා. ජාත්‍යන්තර ක‍්‍රීඩකයන්ටත් බෙහෙත් කළා. අද සචින් තෙන්ඩුල්කාර් ලෝක වාර්තා තියෙන හැම අවස්ථාවෙදීම ලංකාවට ස්තුති කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ඇෙඟ් තහනම් උත්තේජක තිබ්බා නම්, අද අපේ රටත් නෑ. එතකොට මේක වුණේ මෙහෙමයි, අපි වර්ල්ඞ් කප් එකේදී අපේ ක‍්‍රමවේදයට ටීම් එකට බේත් කළා. උත්තේජක වර්ග ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. ඉතින් ඒ නිර්දේශවලට අනුකූලව පරීක්‍ෂණවලට භාජනය කරලා තමයි අපි වර්ල්ඞ් කප්එකක් වගේ එකක් කළේ. මං වැඩියෙන්ම බෙහෙත් කරලා තියෙන්නේ මාලිංගට, මැතිව්ස්ට, ඒ වගේම මුරලිට. ඔබට මතක ඇති එක වෙලාවක මුරලිගේ කකුලේ මස්පි`ඩු ඉරිලා දරුණු ආබාධයක් ආවා.

ඒ වෙලාවේ වෛද්‍යවරු කිව්වා මුරලිට සෙල්ලම් කරන්න බෑ කියලා. ඒ වෙලාවේ ෆිසියෝ තෙරපි විදිහට හිටියේ ටොමී කියලා ඔස්ටේ‍්‍රලියන් ජාතිකයෙක්. එයා කිව්වා හෙට මැච්එකට දාන්න මටනම් කරන්න දෙයක් නෑ, ඩොක්ටර් වයිට්ට ට‍්‍රයිඑකක් දාන්න කියන්න කියලා. අන්තිමට මුරලි ෆයිනල් එකට ගැහුවේ මගෙන් බෙහෙත් අරගෙන. ඔබට ඕන නම් මුරලිලාගෙනුත් අහගන්න පුළුවන් මේක සත්‍යයක්ද කියලා.

එතකොට උපුල් තරංගට අපි බෙහෙත් කළේ පෙබරවාරි 1,2,5. ඔය ප‍්‍රශ්නේ වුණේ 26, 27, 29. එතකොට පෙබරවාරි 1,2,5 කරපු බෙහෙතක් එච්චර කල් ඇෙඟ් තියෙයිද? 26,27 අපි ඔයිල් ටී‍්‍රට්මන්ට් කළා ඔය ක‍්‍රීඩකයෝ ඔක්කොටම. එහෙම බැලූවහමත් ඔය කියන ජාතියේ බෙහෙතක් කවදාකවත් මොන විදිහකිින්වත් යන්න විදියක් නෑ. අනිත් එක ඒක ඉංග‍්‍රීසි බේතක් . ඊටපස්සේ අපි පාවිච්චි කරපු බෙහෙත් රස පරීක්ෂණේට යවලා ‘බී සාම්පල්’ වාර්තාව ගත්තා. අන්තිමට මොකද වුණේ, ඒවල කිසිම දෙයක් අඩංගු නෑ කියලා ඔප්පු වුණා. ඒක පාර්ලිමේන්තුවෙත් හැන්සාඞ් ගත කළා. නමුත් හුඟක් අය උත්සහ කළේ අර පොඩි කතාවක් ගියාට පස්සේ පුළුවන් තරම් ඒකට ගහලා මේක යටකරන්න. එත් ඇත්තටම මේක නැතිවුණේ නැත්තේ මේක ව්‍යාපාරයක් නොවුණ නිසා.

ඔබ කිව්වා සංජීවනී, සාදිරික්කා නටු, කස්තුරි වගේ දේ යොදාගෙන ඔබ ඖෂධ හදනවා කියලා. නමුත් මේ එකක්වත් මේ රටේ නෑ. ඔබට කෙහෙන්ද මේවා ලැබෙන්නේ?

හිමාලයෙන් තමයි අපි ඒවා ලබාගන්නේ. ඒකට අපිට ඉන්දියාවෙන් උදව් කරනවා.

ඒ සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද?

මේකට මුදලක් යන්නෙ නෑ. ඇත්තටම මේ බෙහෙත් ටික ලබාගන්න ඉන්දියාවේ ඉන්න ප‍්‍රබල ව්‍යාපාරිකයෝ අපිට උදව් කරනවා. උදව් කරනවා කියන්නේ සල්ලිවලින් නෙවෙයි. ඒගොල්ලෝ අපිට අවශ්‍ය ප‍්‍රමාණයට බෙහෙත් එවනවා. ඒ වෙනුවෙන් අපි ඉන්දියාවේ රෝගීන්ට බෙහෙත් කරනවා. අපි හිතමු අපි ඉන්දියාවේ 500කට මේ අවුරුද්දේ බෙහෙත් කරනවා කියලා, එතකොට ඒගොල්ලන් 1250කට හරියන්න අපිට බෙහෙත් එවනවා. එතකොට ඒකෙනුත් අපි තෝරලා බලලා තමයි අවශ්‍ය දේ කරන්නේ.

ඔබ සමග ඉන්දියාවේ ගිවිසුමක් තියෙනවද?

වාචිකව. කිසිම තැනක අත්සන් කරලා ගහගත්ත එකක් නෑ. මේක අපි හිතවත්කමට කරන්නේ.

ඔබ ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයාද?

මම පෞද්ගලික වෛද්‍යවරයා.

නමුත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙ ඒ ප‍්‍රශ්නය අහපු වෙලාවේ ආණ්ඩුව කිව්වේ එහෙම කෙනෙක් ඇත්තෙත් නෑ. එහෙම කෙනෙක් දන්නෙත් නෑ කියලානේ?

ඒ ප‍්‍රශ්නෙ ඇහුවේ මෙහෙමයි. ජනාධිපති උපදේශකවරයෙක් ඉන්නවද එලියන්ත වයිට් කියලා, නැත්නම් ජනාධිපතිගේ වෛද්‍යවරයෙක් ඉන්නවද එලියන්ත වයිට් කියලා. මේකෙ හරිම කතාව දැනගන්න පුළුවන් ඔයාට අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තයාගෙන් ඇහුවොත්. මොකද එතුමා ඒ අපැහැදිලි වෙච්ච ප‍්‍රශ්නේ පැහැදිලි කරලා දුන්නා. එදායින් පස්සෙ තමයි මට තවත් ප‍්‍රහාර එල්ලවෙන්්න ගත්තේ.

මොකද ජනාධිපතිතුමාම කියනවා එලියන්ත වයිට් මගේ වෛද්‍යවරයා කියලා. නමුත් පාර්ලිමේන්තුවේදී කියනවා එහෙම කෙනෙක් නෑ කියලා. හේතුව වුණේ ජනාධිපති මන්දිරේ ඉන්න අනිත් වෛද්‍යවරු ඔක්කොටම සැලරි එකක් හම්බවෙනවා. නමුත් මම ඒ පඩි ලිස්ට් එකේ නෑ. විපක්ෂය ගත්තා මේ ලිස්ට් එක. ලිස්ට් එක බලනකොට උපදේශක ලිස්ට් එකෙත් මම නෑ, පඩිගන්න ලිස්ට් එකෙත් නෑ.

ඒ ලිස්ට් එක එවලා තිබුණා පාර්ලිමේන්තුවට. මේක බලලා ඇමැතිතුමා කිව්වා එහෙම එක්කෙනෙක් නෑ කියලා. ප‍්‍රශ්නෙ උඩ කෑල්ල විතරනේ එතැන පෙන්නන්නේ. යට කෑල්ල පෙන්නන්නේ නෑ. ඉතින් ගැඹුරත් එක්ක බලනකොට මේ කිව්ව එකේ වරදක් නෑ. හැබැයි කියපු ක‍්‍රමය වැරැුදියි.

විපක්ෂය තමයි පාර්ලිමේන්තුවේදී ඔබ ගැන ප‍්‍රශ්න කරන්නේ. ඒ වගේම පසු කාලයකදී විපක්ෂයම තමයි ඔබට ප‍්‍රශස්ත ගයන්නේත්. ඔබ හොඳය, ඔබ මෙහෙම කෙනෙක්, ඔබ ආරක්ෂා කරගන්න ඕනේ ආදී වශයෙන්. කොහොමද මේක වුණේ?

ඇත්තටම ඒ අවස්ථාව වෙනකල් අපි බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් මට ප‍්‍රහාරයක් එල්ල වුණාම ජනාධිපතිතුමාටත් ඒ ප‍්‍රහාරය එල්ලවෙනවා. ඇයි මේ වගේ එක්කෙනෙක් ජනාධිපතිතුමා තියාගෙන ඉන්නේ කියලා.

ජනාධිපතිතුමාම දවසක් මට කිව්වා ඔයාට ගහනකොට මමයි ගුටිකන්නේ කියලා. දැන් ඉතිං අපි ළිං කටින්ම ගොඩ එන්න ඕනේ කියලාත් එතුමා කිව්වා.

ඉතින් කොහොමහරි දවසක් විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් ජනාධිපතිතුමා හම්බවෙලා අහලා තියෙනවා, ‘ඔබතුමා ගාව ඉන්නවද එලියන්ත වයිට් කියලා එක්කෙනෙක්’ කියලා. එතුමා එවෙලේම කියලා තියෙනවා, ‘ඔව් ඉන්නවා මොකක්ද කෙරෙන්න ඕනේ’ කියලා. ‘නෑ නෑ අපේ දරුවකුටත් අසනීපවෙලා තියෙනවා. අපිටත් අවස්ථාවක් ලබාදෙන්නකෝ එයාගෙන් බෙහෙතක් කරගන්න’ කියලා. ඉතින් ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා මට දුරකතනයෙන් කතාකරලා කිව්වා, මෙහෙම පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉන්නවා. අන්න හොඳ අවස්ථාවක්. ඔයාට මේ ප‍්‍රශ්න ටික විසඳගන්න. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය දේවල් කරන්න. අවශ්‍ය ඖෂධ තියෙනවා නම් මට කියන්න. මම ඒ ටික අරන් දෙන්නම් කියලා. එතකොට මට ඒ වගේ අභියෝගයක් දෙනකොට ඔබතුමාම හිතන්න කොයි වගේ ලෙඩ්ඩු ටිකක් දෙයිද? කියලා. නිකන් හෙම්බිරිස්සාව, කැස්ස තියෙන ලෙඞ්ඩු ටිකක් දෙයිද?

බරපතළ රෝගීන් පහළොස්දෙනෙක් මට දුන්නා. ඒ 15 දෙනා දෙනකොට ඔවුන් මට මෙහෙම කතාවක් කිව්වා. ඔබතුමා මේ දේ කළොත් ඔබතුමා ගැන ඔය කියන දේවල්වලට අපි උත්තර දෙන්නම් කිව්වා. එතකොට මම දින කිහිපයක් ඇතුළත අර ලෙඞ්ඩු ටික සුව කළා. විපක්ෂය වුණත් කියූ පොරොන්දුව ඉෂ්ට කළා. ඒක තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ මං හිතන්නේ වැඩිම මන්ත‍්‍රී ප‍්‍රමාණයක් කල් තැබීමේ විවාදයට ආපු අවස්ථාව.

ජනාධිපතිතුමාගේ වෛද්‍යවරයා වෙන එක ලේසි නැහැ. ඔබ වෛකල්පිත වෛද්‍ය විද්‍යාව හදාරලා රටේ ප‍්‍රධාන පුරුවැසියගේ වෛද්‍යවරයා බවට පත්වෙනවා. ඔබව මොන විදියටද පරීක්ෂා කළේ්?

මිනිස්සු එක එක කතන්දර කියනවානේ. අර සහතික තියෙනවද? මේ සහතිකේ තියෙනවාද? සභාවේ රෙජිස්ටර්ද? එහෙම බැලූවොත් මේක මුල් කාලයට ආයෙත් රිවයින්ඩ් කරලා ගියොත් මොනවද ඒ කාලේ තිබ්බ රෙජිස්ටේෂන්? බුදුන්ගේ කාලේ බුදුන්ට බේත් කරපු අයට මොන සභාද තිබ්බේ? අපි ගෙදර සුරතලේට හදන බළලා ගත්තොත් බළලත් වෛකල්පිත ක‍්‍රමයම තමයි භාවිත කරන්නේ. අපි සුරතලයට ඇතිකරන බළලට බඬේ අමාරුවක් ආවොත් අපි ඌව ඉස්පිරිතාලෙට එක්කන් යනවා. නැත්නම් ඒකා එළියේ ලැගලා හිටියොත් කවුරුත් කියන්න ඕනේ නෑ ගිහිල්ලා කුප්පමේනියා ටික කාලා, තණකොළ ටික කාලා සුව වෙනවා.

ඔබට කොහොමද ජනාධිපතිතුමා මුණ ගැහුණේ?

ජනාධිපතිතුමාට මාව සම්බන්ධ කරලා දුන්නේ මගේ හිතවත් නෝනා කෙනෙක්. දවසක් ජනාධිපතිතුමා මට එන්න කියලා විනාඩි 45ක් විතර අරලියගහ මන්දිරේ කතාකළා. එතුමා එදා මගෙන් මට මොනවාද කරන්න පුළුවන් කියලා ප‍්‍රශ්න 10ක් ඇහුවා. මම ප‍්‍රශ්න 10ටම උත්තර දුන්නා මට මේ වගේ දේවල් කරන්න පුළුවන්, මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ හැම එකක්ම අසාමාන්‍ය දේවල්. එතකොට එතුමා, ආ... ඇත්තද? ආ... ෂෝක්නේ. ආ.... ඇත්තද? කාටවත් එහෙම කරන්න බෑනේ. කොහොමද කරන්නෙ ඒක? කියලා එතුමා මට හොඳ ප‍්‍රතිචාර දැක්කුවා. ඕන නම් එතුමාට තිබුණා මට යන්න හැරලා ඇයි මේ මගේ කාලය නාස්ති කරන්න මේ වගේ අය ගේන්නේ කියන්න. නමුත් එතුමා එහෙම කළේ නෑ. අන්තිමට ජනාධිපතිතුමා මට කිව්වා, මම විවේක වෙලාවක ඔයාට එන්න කියන්නම්. ඔය කියූ කාරණා 10 අපි එකින් එකට, එකින් එකට බලමු නේද කියලා. ඒ කිව්වා වගේම වැඩි දවසක් යන්න කලින් මට එන්න කියලා අර කියපු 10 කරලා පෙන්වන්න කිව්වා.

මම කීපයක් කරලා පෙන්නුවට පස්සේ ජනාධිපතිතුමා කිව්වා මේක බොහොම වටිනා ශාස්ත‍්‍රයක්, මේක කවදාවත් විකිණෙන්න දෙන්න හොඳ නෑ. මේක මගේ ගාවට ගමුද කියලා ඇහුවා. එහෙම වුණොත් මේකෙන් ඔයත් රැුකෙයි, අපේ රටටත් දවසක හොඳක් වෙයි කියලාත් එතුමා කිව්වා. එහෙම තමයි ජනාධිපතිතුමා මාව ළඟට ගත්තේ. අදටත් රටේ ලෝකෙ මිනිස්සු මට මොන දේ කිව්වත් අදටත් මම ජනාධිපති පවුලට බේත් කරනවා. ජනාධිපති පවුල විතරක් නෙමෙයි ජනාධිපතිගේ සුරතල් සතුන්, එතකොට අශ්වයන් ඒ සියලූදෙනාම පුරුදුවෙලා තියෙන්නෙත් මේ ක‍්‍රමවේදයට.

ඔබ කැමැතිද ජනපති ඉදිරියේ පෑ ඒ විස්මිත ක‍්‍රියා 10 මොනවද කියලා කියන්න?

ඒක මම හිතන්නේ නෑ සුදුසුයි කියලා.

ඔය තරම් සමාජයට මෙහෙයක් කරන්න පුළුවන් ඔබ ඇයි සමාජයෙන් වසන් වෙලා ඉන්නේ ?

මෙහෙමනේ මම කට්ටිය අතරට ගිහිල්ලා අර ඇමැතිකෙනෙක්, මන්ත‍්‍රීකෙනෙක් වගේ පොරොන්දු දීලා මට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මට හැමෝම එක්ක කතාකරන්න පුළුවන්ද? දවසකට පැය කීයක් කතාකරන්න පුළුවන්ද? දවසකට ලෙඞ්ඩු කී දෙනෙක් බලන්න පුළුවන්ද?

ඔබ සතියකට දවස් කීයක් වැඩ කරනවද?

දවස් 5ක් විතර වැඩ කරනවා.

දවස් පහෙන් පැය කීයක් වැඩ කරනවාද?

ඖෂධ හදනකොට තමයි සෑහෙන වෙලාවක් යන්නේ. මම දවසකට ලෙඞ්ඩු උපරිමය බලන්නේ 6ක් නැත්නම් 7ක්. මොකද ඒ 7ත් එක්කම හොඳටම කතා කරනවා. ඒ කාල වෙලාව උපරිමය ගන්නවා.

ජනාධිපතිතුමා නිර්දේශ කරන කෙනෙක්, විදේශිකයෙක්, විදේශයක ඉන්න බලවත් ව්‍යාපාරිකයෙක්, නළුවෙක්, නිළියක් , ක‍්‍රීඩකයෙක් හැරෙන්න සාමාන්‍ය ගමේ ගොඬේ ඉන්න කෙනෙක්ට පුළුවන්ද වෛද්‍ය එලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ලබාගන්න?

ඉතින් දැනට ඒකනේ කරන්නේ. දැන් මම ඕකට උදාහරණයක් දෙන්නම්. මම වැඩිම බේත් කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට. නමුත් ජනපි‍්‍රය පුද්ගලයෝ ගැන විතරයි මාධ්‍යයෙන් ප‍්‍රසිද්ධ කරන්නේ. මම මහරගම පියදාසට බේත් කළා කියලා පියදාස ගැන මොනවා දාන්නද පත්තරේ.

ඔබෙන් බෙහෙත් ගන්නවා නම් ජනාධිපති නිර්දේශයක් අවශ්‍යද?

ඔව්, ඒක තමයි දැන් තත්ත්වය. දැන් අපි මෙහෙමයි කරන්නේ. ගොඩක් කට්ටිය ලිපි එවනවනේ, මට අවස්ථාවක් ලබාදෙන්න මම සෑහෙන කලක් බලා හිටියා ආදී වශයෙන් ලියලා. අපි මේ ලිපි ඔක්කෝම එකතු කරලා අර ලොතරැුයි ක‍්‍රමයට කීප දෙනෙක් තෝරාගන්නවා. මම නම් කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ වාසනාව අනුව. පෙර කුසල් අකුසල් අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒක හින්දා සමහරවෙලාවට පෙර කුසලක් තිබ්බොත් මේ ක‍්‍රමවේදයට එන්න පුළුවන් වෙයි. දැනට ලක්ෂ 250කට එහා පැත්ත ආපු ලියුම් ප‍්‍රමාණයක් තියෙනවා.

සාමාන්‍යයෙන් අද කෙනෙක් ලියුමක් එව්වොත් ඔහුට අවස්ථාව ලැබෙන්නේ කොයි කාලේ වගේද?

දැනටත් 2021 තමයි කලින් ආපු ලියුම් වලටත් දින තියෙන්නෙ. මොකද මමත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න ඕනේ. මගේ ව්‍යාපාරය කරගන්න ඕනේ.

මොනවාද ඔබේ ව්‍යාපාර?

මම හිතන්නේ, අපි තමයි ලංකාවේ ඉන්න පරණම වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නෝ. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල අපේ ව්‍යාපාරයේ ශාඛා තියෙනවා. ඒ ඇරුනාම අපේ අනිත් ව්‍යාපාර ඔක්කොම තියෙන්නේ ජපානේ. ඒ වගේම අපට නැව් සමාගමක් තියෙනවා. අපේ කන්ටේ‍්‍රනර්ස් මුළු ලෝකේ පුරාම ගමන් කරනවා.

මෙච්චර කල් ලෝකේ තිබ්බේ වෛද්‍ය ක‍්‍රම දෙකයි. ඒ තමයි හෝමියෝපති සහ ඇලපති කියන ක‍්‍රම දෙක. නමුත් ඔබේ මූලිකත්වයෙන් තව අලූත් ක‍්‍රමවේදයක් ‘වීනපති’ කියලා මේ මෑතකදී ලෝකයට හඳුන්වා දුන්නා. මේ ක‍්‍රමවේදය ලෝකයට හඳුන්වා දෙන්න කලින් මොකක් හරි පරීක්‍ෂණයකට බඳුන් වුණාද? කොහොමද ඒක වුණේ?

පරීක්ෂණයට බඳුන් වුණා කියන්නේ මෙහෙමයි. මෙච්චර කල් අපට සහතික ලැබුණේ අපෙන් බෙහෙත් ගත්ත අයගෙන්නේ. බෙහෙත්වලින් හොඳ වුණාම එක එක්කෙනා අපිව අගය කරනවා. ජනාධිපතිතුමා හොඳයි කියනවා. ඇමැතිගොල්ලො හොඳයි කියනවා. නමුත් කවුරු හරි මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවොත් මේ ක‍්‍රමය මොකද්ද කියලා මට කියන්න තියෙන්නේ ආයුර්වේදයට නෑකම් කියනවා කියලා. ඉතින් ජනාධිපතිතුමත් දවසක් කිව්වා අපි ඕකට යමක් කරමු, හැබැයි ඉතින් ලේසි නෑ කියලා. ලෝක විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා වෛකල්පිත වෛද්‍ය සභාවක්. එතකොට අපේ මහාචාර්ය ගීතාංජන මෙන්ඩිස් මහත්තයා තමයි ඒ විවෘත විශ්වවිද්‍යාලයේ සභාපති. එතුමා කතාකරලා කිව්වා අපිට පුළුවන් මේක ලෝක විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරන්න, හැබැයි මේකට අපි පරීක්ෂණ කරන්න ඕන කියලා. ඊට පස්සෙ එතුමා තුන් මාසයක් කිට්ටුවෙන්න මාව විශේෂ පරීක්ෂණයකට භාජනය කළා. ඊට පස්සේ එතුමාම තමයි මේක හඳුන්වා දුන්නේ ලෝක විවෘත විශ්වවිද්‍යාලයට, ගිය මාසේ 20 වැනිදා මැලේසියාවෙදී. තුන් මාසයක් එක දිගට මාත් එක්ක මම ලෙඞ්ඩු බලනකොට එයා අනිත් පුටුවේ වාඩිවෙලා මාව පරීක්ෂා කළා, මම කොහොමද ලෙඞ්ඩු බලන්නේ කියලා. මේක දැක්ක සමහර කට්ටිය ප‍්‍රචාරයක් යැව්වා අන්න ගීතාංජන මෙන්ඩිස්ටත් අසනීප වෙලා මගෙන් බේත් ගන්න එනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමේ සිද්ධ වුණේ. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ.

ලංකාවේ වෛද්‍ය සභාව පිළිඅරන් තියෙනවා  ඔබ සහ ඔබේ වෛද්‍ය ක‍්‍රමය?

වෛද්‍ය සභාව පිළිඅරන් තියෙනවද කියලා මම දන්නෙ නෑ. හැබැයි මම වැඩක් කරලා තියෙනවා.

එලියන්ත වයිට් ඔබ වෛද්‍යවරයෙක් විතරක් නොවෙයි ඔබ දක්ෂ ගායකයෙක් කියලාත් කියනවා?

ඔව්. මං කලාවට සම්බන්ධයි. ඇත්තටම ඒ ගැන මම කතානොකර හිටියේ මේ දෙක පැටලෙන හින්දා.

මං සංගීත විශාරද විභාගයත් පාස් කරලා ඉන්නේ. ඒවගේම ගුවන් විදුලියේ සරල ගී කියලාත් තියෙනවා. ළමා පිටියේ ඉ`දන් ඒ දක්ෂතා ඔස්සේ ඉදිරියට ආවත් ඇත්තටම මම හිතනවා දෛවය විසින් ඒ පැත්තට මාව ප‍්‍රසිද්ධ නොකළේ මගෙන් ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වූ නිසා වෙන්න ඇති.

රටේ ප‍්‍රධාන පුරවැසියාට ප‍්‍රතිකාර කරන්නේ් ඔබ. ඔබ කියන විදිහට එතුමගෙ පෞද්ගලික වෛද්‍යවරයාත් ඔබ. කටකතාවක් තියෙනවා ජනාධිපතිතුමා බරපතළ රෝගාබාධයකින් පෙළෙනවා කියලා. ඔබ ඒක පිළිගන්නවාද?

අමූලික බොරුවක්. සමන් සමරක්කොඩි -  2012 වසරේදී රන්දිව පුවත්පතට කළ සම්මුඛ සාකච්චාවක උපුටා ගැනීමකි.
 

More News..