විශේෂාංග

වයස දාසයේ චන්දිමගෙන් අඩි 12000ක පිම්මක්

මේ පුතා හරිම පුතෙකි. තාත්තා හරි පුතයෙකි. අම්මාත් ඒ ජාතියේමය. අද කාලයේ බොහෝ පුතාලා උඩ නගින්නට බයය. පුතාලා උඩ නගිනවාට අම්මලා, තාත්තලා බයය. හදිස්සියකටවත් අඹගහකට, පේරගහකට, වහලයකට නැගගන්නට අද කාලේ බොහෝ පිරිමින්ට නොහැකිය. උස ගහක්, තට්ටු නිවාස වහලක් වැනි අඩි සීයක් හමාරක් වැනි තැනකට නගින එක ගැන නම් බොහෝ දෙනකුට හිතන්නටවත් බැරිය. ඇතැම් පුතුන් නොබියව එවැනි වැඩකට ඉදිරිපත් වුවත් ඔවුන්ගේ අම්මලා, තාත්තලා එයට ඉඩ දෙන්නේ නැත.

මේ අම්මාත් තාත්තාත් පුතාව උඩ යැව්වේය. පොඩි උඩකට නොවේ. අඩි 12000ක් උඩටය. ඒ නිකම්ම උඩ ගොස් බිමට එන්නටද නොවේ. ඒ තරම් උඩක සිට බිමට පිම්මක් පනින්නටය. නොවැම්බර 23 වැනිදාට යෙදී තිබුණු පුතාගේ 16 වැනි උපන් දිනයට තාත්තාගෙන් ලැබුණු තෑග්ග එයයි.

කොග්ගල පදිංචි නිශාන්ත විජේතුංග හා නිලන්ති විජේතුංග දෙපළගේ දරුවකු වූ මේ පිමිකාර පුතා චන්දිම පරසතු විජේතුංගයි. ඔහු ගාල්ලේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ සිසුවෙකි.

චන්දිම මේ පිම්ම පැන්නේ පසුගිය නොවැම්බර 20 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා කොග්ගල ගුවන් හමුදා භුමියේ පැවැත් වූ ‘අහස් උණ‘ (SkyFever) ක්‍රීඩා සැණකෙළියේදීය. ස්කයි ටැන්ඩම් (Sky Tandem) නමින් හැඳින්වෙන මෙය ලෝකයේ රටවල් ගණනාවක ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි. දැනට අග්නිදිග ආසියාවේ ‘අහස් උණ‘ වැලඳුණු එකම රට ශ්‍රී ලංකාවයි. එය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතරත් මේ වනවිට ඉතා ජනප්‍රියය.

ගෙවී ගිය දිනෙක මේ විරු පුතුනුවන් හමු වීමට ‘අරුණ’ අපි එහි ගියෙමු. මේ සුවිශේෂි ක්‍රීඩාව අප රටට හඳුන්වා දුන් ගුවන් හමුදාවේ විශ්‍රාමික වින්ග් කොමාන්ඩර් අසංක විතාරණ මහතාද එහිදී අපට හමු විය.

‘‘මේ ක්‍රීඩාව කරන අංකල්ලා නැවතිලා සිටියේ අපේ ගෙස්ට් හවුස් එකේ. ඒ නිසා මම ඒ අය සමග කුළුපග වුණා. එයාලා උඩ ඉඳලා පනින හැටි මම ගෙදර ඉඳලා බලාගෙන හිටියා. උපන්දිනයට කලින් දවසේ තාත්තා මගෙන් ඇහුවා පැරෂුට් එකෙන් පනින්න කැමැතිද කියලා. මේ අන්කල්ලා පනිනවා දැකලා තිබුණු නිසා මටත් ආසාවක් ඇතිවුණා. ඉතිං මාත් එකපයින් කැමැති වුණා.’’ චන්දිම තම අත්දැකීම විස්තර කළේ සිනාවෙන් පිරි මුහුණිනි.

උපන්දිනය දවසේ චන්දිම අසංකගේ සගයන්ද සමග කුඩා ගුවන් යානයකින් ගුවනට නැග්ගේය. ඊට පෙර පනින්නට යන පිම්ම ගැන පැහැදිලි කිරීමක් සිදු විය. ගුවනට ගිය පසු කටයුතු කෙරෙන පිළිවෙළ චන්දිමගේ උපදේශකයා හොඳින් පැහැදිලි කළේය. පිම්ම පනින්නේ තනිවම නොව උපදේශකයාගේ ආධාරයෙනි. යකඩ කොකු සහිත සවිමත් පටි කිහිපයක් පිමිකාරයාගේ සිරුරට සම්බන්ධ කෙරෙයි. උපදේශකයාගේ සිරුරට සම්බන්ධ පටිවල ඇති යකඩ කොකු සහ පිමිකාරයාගේ කොකු එකිනෙක සම්බන්ධ කෙරෙයි. ඒ පිමිකාරයා ඉදිරියෙනුත් උපදේශකයා පිටුපසිනුත් සිටින පරිදිය. පිමිකාරයාගේ පිටට උපදේශකයාගේ බඩ හා පපුව කිටි කිටියේ හේත්තු වෙයි. පිම්ම පැන්න විට දෙදෙනාම එක පොදියට බිමට වැටෙයි.

‘‘ප්ලේන් එකට නැගලා මම බිම වාඩි වුණා. ඒක මේ වෙනුවෙන්ම නිපදවපු පුංචි ප්ලේන් එකක්. ඊට පස්සේ මගේ උපදේශකයා හැටියට කටයුතු කළ අන්කල් මගේ පිටිපස්සෙන් ඇවිත් කොකු ගහලා මාව ඇඟට හිරකරගත්තා. දැන් මම ඉස්සරහ වාඩි වෙලා ඉන්නව. අන්කල් පිටිපස්සෙන් වාඩිවෙලා ඉන්නව. අපි ගුවනට නැග්ගේ කොග්ගලින්. ඊළඟට වැලිගම, අක්මීමන, ගාල්ල නගර වටේ යමින් අඩි 12000 ක් උසට නැග්ගා. ඊට පස්සේ අන්කල් මට කිව්වා ප්ලේන් එකේ දොර අයිනටම රූටලා යන්න කියල. අපි දොරට කිට්ටුවෙන්ම තමයි වාඩිවෙලා හිටියෙත්. දොරෙන් එළියට කකුල් දෙක දැම්මාම අන්කල් මට කිව්වා මගේ ඔළුව පස්සට කරලා එයාගේ කරට හේත්තු කරන්න කියලා. ඒ එක්කම මාව පහළට වැටෙනවා මට දැනුණා.’’

චන්දිමට එකවරම මහා බයක් දැනුණි. අඩි 12000ක් උඩ අහසේ සිට පොළොවට වැටීම සුළුපටු ත්‍රාසජනක අත්දැකීමක් නොවේ. ඒ බය නිසා චන්දිමට ඉබේටම කෑගැසුණි. එහෙත්, තමා සිටින්නේ පළපුරුදු පැරෂුට්කරුවකුගේ ආරක්ෂාව යටතේ බව සැණින් වැටහුණි. ඒ සමගම මෙවන් ත්‍රාසජනක කාර්යයකට සහභාගිවීමේ සතුටින් සිත පිරිණි. ඒ නිසා බිය පළ කරමින් කෙරුණු මුරගෑම සතුට උද්දාමය පළ කෙරෙන කෑගෑමක් බවට පෙරළිණි.

‘‘පහළට වැටුණු ගමන් අර අන්කල් පොඩි පැරෂුට් එකක් දිගඇරියා. ඒත් වේගය බාල වුණේ නැහැ. මං හිතන්නේ අපි පැයට කිලෝමීටර් 100ක වගේ වේගයකින් පහළට වැටුණා.’’

‘‘ඇස් අරින්න බැරිකමක්, හුස්මගන්න අමාරුවක් වගේ දැනුනෙ නැද්ද?’’

‘‘නැහැ නැහැ. ඇස් දෙකට නම් ගොගල්ස් දෙකක් දාලයි තිබුණෙ. හුස්ම ගන්න කිසිම අමාරුවක් දැනුණෙ නැහැ.‘‘

‘‘උඩ ඉඳලා බලද්දි මොනවද පෙනුනෙ?‘‘

‘‘පහළ හරිම ලස්සනට පෙනුණා. ගාල්ල ටවුම, මුහුද වටාපිටාව සෑහෙන දුරකට හරිම ලස්සනට පෙනුණා. ඒක නම් මාරයි!‘‘

අඩි 5000ක පමණ උසක් දක්වා නිදැල්ලේ පාවෙමින් පැමිණි පසු උපදේශකවරයා පැරෂුටය දිගහැරියේය. පසුව එහි පාලනය යටතේ නිරුපද්‍රිතව පොළොවට ගොඩබසින්නට දෙදෙනාට හැකි විණි.

‘‘මෙතනදි වැදගත්ම දේ වුණේ මේ තරම් උඩක ඉඳලා බිමට පනින්න අවශ්‍ය ආත්මශක්තිය ඇති කරගැනීමයි. අසේල අන්කල් මට ඒ ගැන කලින්ම උපදෙස් දීලා තිබුණා.

‘‘හොඳයි පුතාගේ පාසල් ජීවිතය අවසානයේ මොකද කරන්න බලාපොරොත්තු වන්නේ?‘‘

‘‘මම අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩාව පුහුණු වෙන්න බලාපොරොත්තු වෙනවා. මෙය පුහුණුකරන ආයතනයක් තවම ලංකාවේ නෑ. ඒත් අසේල අන්කල් මාව පිටරට එක්ක ගිහින් හරි පුහුණු කරන්න පොරොන්දු වුණා.’’

චන්දිම, ‘ස්කයි ටැන්ඩම්’ ක්‍රීඩාවේ යෙදෙන දිවයිනේ ළාබාලම පුද්ගලයා යැයි පැවසේ. පුතා කළ හපන්කම ගැන දෙමාපියන්ට ඇත්තේ විශාල සතුටකි. තාත්තා නිශාන්ත පුතාගේ හපන්කම ගැන කතාකළේ උද්දාමයෙනි.

‘‘කෙනකුගේ ජීවිතයේ කිසියම් ජයග්‍රහණයක් ලබලා තියෙනවා නම් ඒ පිටුපස තියෙන දැවැන්තම සෙවණැල්ල ඒ පුද්ගලයාගේ අාත්ම විශ්වාශය හා ආත්ම ශක්තියයි. ඒ ආත්ම ශක්තිය මගේ පුතාට මේ ඉසව්වෙන් ලබා දීමට හැකිවීම මම ලබපු ජයග්‍රණයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා පුතාට ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදී ගැටලුවකදී ඊට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් ආත්මශක්තියක් ගොඩනැගිලා ඇති කියලා.’’

මේ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන් ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික සිවිල් ඉංජිනේරු වින්ග් කමාන්ඩර් අසේල විතාරණ මහතා සමගද අපි කතා කළෙමු.

‘‘මේක ලෝකෙ බොහෝම ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් අපේ කලාපයේ මේ ක්‍රීඩාව තියෙන්නෙ තායිලන්තයේ හා ඩුබායිවල පමණයි. ඉන්දියාව, මැලේසියාව වගේ රටවලවත් නැහැ. සංචාරකයන් අතර මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. නියාමක ව්‍යාපෘතියක් හැටියට අපි මේක 2016 අවුරුද්දේ නොවැම්බර් මාසෙ පටන්ගත්තෙ. ඒ පාර අපි දවස් 4ක් මේක කළා. අනූදෙන්නෙක් සහභාගි වුණා. හයසීයක් දෙනාට ‘ඩයිව්‘ කරන්න ඕන වුණත් අවස්ථාව ලැබුණෙ නැහැ. ඒකෙන්ම පේනවා මේකට තියෙන ඉල්ලුම.

2017 අවුරුද්දේ අපි හබරණ අක්කර විස්සක් අරගෙන මේ ක්‍රීඩාව සඳහාම වෙන්වුණු ස්ථානයක් ආරම්භ කළා. අපේ එක් ඉලක්කයක් තමයි අහසින් ගිහින් මේ පිම්ම පනින අතරේ සීගිරිය දැකගන්න සලස්වන එක. ඒක විශේෂයෙන්ම සංචාරකයන් ඉලක්ක කරගෙන කරන ව්‍යාපෘතියක්.

මේ අවුරුද්දේ 160 දෙනෙක් ඩයිව් කළා. ඒ අතරේ උමාරියා සිංහවංශත්, භාතිය සන්තුස් දෙදෙනාගේ භාර්යාවනුත් හිටියා. සිය ගණනක් අඬ අඬ ආපහු ගියා ‘ඩයිව්‘ කරන්න අවස්ථාව නොලැබුණු නිසා. අපි අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් දැකලා ඇමරිකාවේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුත් ආවා ‘ඩයිව්’ කරන්න. ඔහුට හමුවෙලා තියෙනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වර්තමාන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා. ‘ස්කයි ඩයිවින්’වලට ආවා කිව්වාම එයාලා පුදුමවෙලා ඇහුවාලු ලංකාවේ ‘ස්කයි ඩයිවින්’ තියෙනවාද කියල.

අපි ඇමරිකානු පැරෂුට් සංගමයත් එක්ක සම්බන්ධවෙලයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නෙ. ඒ නිසා අපිට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපාරය තවත් පුළුල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක සංචාරක කර්මාන්තයේ දියුණුවට හොඳ අත්වැලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙත් අපි කොග්ගලදි මේ ක්‍රීඩාව කරන්න අපේ රටවැසියන්ටත් සංචාරකයන්ටත් අවස්ථාව ලබාදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අසංක විතාරණ මහතා පෙන්වාදෙන පරිදි මේ ක්‍රීඩාව ලංකාව තුළ දියුණු කිරීමට යම් යම් බාධා තිබේ. රාජ්‍ය අංශ මැදිහත් වී ඒ බාධා ඉවත් කිරීමට සහාය දක්වන්නේ නම් එය සංචාරක කර්මාන්තයේ දියුණුවට මහත් රුකුලක් වනු ඇතැයි ඔහු පවසයි. මේ සංචාරය අතරතුර පතිරණ මහතා පැවසූ අදහසකින් මේ සටහන සමාප්ත කරමු.

‘‘අව්ව, වෙරළ. නිරුවත යන යල්පැන ගිය අදහස දැන්වත් විසි කොට නූතන ලෝකයේ ජනප්‍රිය මෙවැනි අංග අපේ සංචාරක ව්‍යාපාරයට එක්කර ගත යුතුයි.‘‘

මේක ලෝකෙ බොහෝම ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් අපේ කලාපයේ මේ ක්‍රීඩාව තියෙන්නෙ තායිලන්තයේ හා ඩුබායිවල පමණයි. ඉන්දියාව, මැලේසියාව වගේ රටවලවත් නැහැ. සංචාරකයන් අතර මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක 2016 අවුරුද්දේ නොවැම්බර් මාසෙ පටන්ගත්තෙ.