විශේෂාංග

වඳ වූ වැව් මාළු විකුණන හැටි යාළු

බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරියක නම් දරා තිබුණේ ‘යකඩ ගැහැනිය’ ලෙසය. ඇය මාග්‍රට් තැචර් නම් වූවාය. වික්ටෝරියා වේල්ල විවෘත කරන්නට ලංකාවට ආවේ ඇයයි. අද රුපියල් 30,000 තෙක් මිල නියම වන ‘එනසාල්’ වගාව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තහනම් කරන ලද්දේ මේ වික්ටෝරියා වේල්ල විවෘත කරන විටදීය. ඊට හේතු වුණේ එනසාල් වගාවේදී පාංශු ඛාදනය හේතුවෙන් එම රොන්මඩ ගලාවිත් වික්ටෝරියා ජලාශයට කාන්දු වීමය.

මාග්‍රට් තැචර්ට සැකසූ දිවා ආහාරයට මෙරට රාජ්‍ය නායකයන් මෙන්ම බ්‍රිතාන්‍යයෙන් ආ රාජකීයයන්ද එක්විය. එහි විශේෂයෙන් සෑදූ මිරිදිය මාළු ආහාරයට ගත් මාග්‍රට් තැචර්, ජේ.ආර්.ගෙන් විමසුවේ මෙම මාළු වර්ගය කුමක්ද යන වගය. මහවැලියේ ආහාර භාර නිලධාරියා සිටියේ ෆුල් කිට් ගසා දුම්කොළයක් වැනි ටයිපටියක්ද බෙල්ලේ එල්ලාගෙනය. මහවැලියේ නිලධාරියා මාග්‍රට් තැචර් දෙස බලාගෙන සිටිත්දී ජේ.ආර්. එම නිලධාරියා කැඳවා මාළු වර්ගය කුමක්දැයි විමසා සිටියේය. අදාළ නිලධාරියා පිළිතුර දුන්නේ යටහත් පහත් ලෙසය.

‘‘ඒ මාළු වැවසියර් සර්…’’ (wawasiar fish sir!)

ජේ.ආර්. වහාම පන්වලින් වියන ලද වට්ටියට උඩින් කෙසෙල් කොළයේ බෙදාගෙන තිබුණ ඇඹුල ​වේලට ඔය කියන වැවසියර් කෑල්ලක් දාන්නට අණ කළේය. මාළු කෑල්ල කෑ ගමන් ජේ.ආර්. කට කොණින් හිනාවුණේ උපහාසාත්මකවය.

‘‘තමුන්නාන්සේ මේවාට වැවසියර් කිව්වට අපි කියන්නේ තිප්පිලි කියලා’’යි ජේ.ආර්. මහ හයියෙන් කියා මාග්‍රට් තැචර්ට තමන් කියූ දේ ඉංග්‍රීසියෙන් පැවසූ විට මාග්‍රට් තැචර්ටද හිනාව නවතාගත නොහැකි විය.

වැව් මාළු, වෙල් මාළු, ගඟේ මාළු සමග අපේ ගැමියන් මෙන්ම එදා නාගරිකයාද පැවතියේ දැඩි සම්බන්ධයකි. ගඟට ගොස් ඉලක්කය බලා හෙල්ලෙන් මාළුවකුට ​ඇන ගසක කොළයක ඔතාගෙන ඒමේ සිරිතක්ද එදා විය. එහි විශේෂත්වය නම් මාළුවා එතූ ගසේ කොළය කොතරම් ඖෂධීය ගුණයක් තිබුණේදැයි කිවහොත් ගෙදර ගෙන ගොස් මාළුවා උයන්නට තම ඇඹේනියට දෙන විටත් හෙලි පහරින් මාළුවාට වූ කැපුම් තුවාලය යාවී තිබීමය. ප්‍රේමදාස යුගයේ මෙරට මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය සංවිධාන්තමකව වර්ධනය වී ආවත් එය සංඝරත්නයේ විරෝධය හමුවේ යටපත් විය. ඉන්පසු කෙමෙන් කෙමෙන් අපේ ජනතාවගේ මිරිදිය මසුන් අනුභවය කෙමෙන් ඈත් වී යන්නට විය. මිරිදිය මසුන් අල්ලන්නන් ​වෙහෙසක් නැති ත්‍රිරෝද එළවීම වැනි කම්මැලි රස්සා තෝරා ගැනීම, පිටරටින් ගෙනා ආක්‍රමණශීලී මත්ස්‍යයන් අපේ දේශීය මත්ස්‍යයන්ගේ පැටවුන් හා බීජ ආහාරයට ගැනීම නිසා පරපුර වඳවීම හා මිරිදිය මත්ස්‍ය කඩ මුහුදු මාළු කඩ මෙන් ටයිල් අල්ලා ඒසී කොට කෑෂ් රෙජිස්ටරයකින් බිලක් මිලක් දෙන තත්ත්වයට අප්ඩේට් නොවීමද මීට හේතුපාදක විය. වර්තමානයේ අපේ රටට ආවේණික බොහෝ මිරිදිය මසුන් දැකිය හැක්කේ පාසල් ළමුන්ට මුද්‍රණය කරන පින්තූර කොළවලින් පමණි.

දැනුත් ඉඳහිට හන්දිවල තබාගෙන මිරිදිය මසුන් අලෙවි කරන තැන් ඇතත් ඒවායේ බොහෝවිට ඇත්තේ බට්ටන් හෝ ලූලා මාළු වැනි මාළු ජාති දෙතුන් දෙනෙකි. ඇතැම් තැන්වල ඉඳහිට ‘ආඳා’ මාළුද දැකගත හැකිය. පොල්ගස්ඕවිට හන්දියේ ඇති මෙවැනි මිරිදිය මසුන් අලෙවි ලෑල්ලේ හවස 2.00 පමණ වනවිටත් ඇහිපිය ගහන ‘බට්ටා’ මාළු දැකගත හැකිය.

මේ මිරිදිය මාළු විකුණන අමුතුම තාලේ මාළු ලෑල්ලක් අපට දැකගත හැකි වූයේ හෝමාගම හන්දියත් පනාගොඩ යුද හමුදාවේ ‘පඩිකපනාරාමය’ පන්සලත් අතරමැදය. මේ හරියට කියන්නේ ‘පනාගොඩ’ කියාය. අප වඳවී ගියා යැයි කියා පශ්චාත්තාප වූ අපේ බොහෝ මිරිදිය මසුන් වර්ග දුසිමකටත් වඩා එහි අලෙවියට ඇත.

මේ මාළු ලෑල්ල වසර දහයක් පුරා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රභාත් මොනරවිල නම් තරුණයා විසිනි. ඒත් ඔහුගේ ගම නම් මාළුවාට, මාළුවා හමු නොවුණත් ගහට ගහක් හමුවන මොරටුවයි. මොරටුව ප්‍රසිද්ධ මුහුදු මාළුවලට වුවත් බොල්ගොඩ ගඟ ආශ්‍රිතව අල්ලා ගන්නා මිරිදිය මසුන් මුහුදු මසුන්ට වඩා මොරටුවේ ජනප්‍රිය බව ප්‍රභාත් පවසයි. ප්‍රභාත්ගේ ලෑල්ලේ මීට කලින් දින අප ගිය විට අලෙවියට තිබුණ මෙරට මිරිදිය මාළු වර්ග ගණන පහළොවකට අධිකය. කොවිඩ් උවදුර හේතුවෙන් මාර්තු 19 වැනිදා ඇඳිරි නීතිය පැනවීමත් සමග අපේ ලිපිය මාස ගණනාවක් පසුපසට ගමන් කළේ ​නොසිතූ පරිදිය. එදා අලෙවියට තිබූ මාළු අතරින් හුංගා, මගුරා, ආඳා, තෙලියා, කාවයියා, සිදයා, පිරිනිලයා, කොරලියා, ලූලා, අංගට්ටා, ඉලයා, කටුපෙතියා, කටිල්ලා, අයිරාජා සහ මිරිදිය ඉස්සා හා කළුම කළු පාට කකුළුවාද ඒ අතර විය. එමෙන්ම බට්ටා මාළු එහි සිටි බවට අමුතුවෙන් කිව යුතු නැත. එහි සිටි එක් මාළු වර්ගයක නම ඇසූ විට අපේ හිරිමල් යොවුන් වියේ සිටින ප්‍රධාන කර්තෘතුමා සිහි විය. ඒ මිරිදිය මත්ස්‍යයාගේ නම ‘ඉලයා’ ය. මේ මාළු අතර මිලෙන් වැඩිම මාළුවා ‘ලූලා’ ය. හොඳට වැඩුණ ලූලකු අලෙවි වන්නේ කිලෝවක් රුපියල් අටසීයෙන් ඉහළටය.

‘‘දැන් නයිට් ෆිෂ් කියලා ඩොට් ඩොට් තියෙන පිටරට ආක්‍රමණශීලී මාළුවෙක් බෝවෙලා. අපේ මිරිදිය මාළු ඕකකොම විනාශ වේගෙන යන්නේ. අපේ මාළු පැටව්, බිත්තර ඔක්කොම ඌ කාලා මහා විනාශයක් කරන්නේ’’ යි ප්‍රභාත් මුලින්ම අප සමග කතාවට එක්විය. මේ මාළු ලෑල්ලේ ප්‍රභාත්ගේ සහායට දිනේෂ් සහ නාලක නමින් මිතුරන් දෙදෙනකුද සිටී.

‘‘මේ මාළු එක තැනකින් නෙවෙයි, තැන් කීපයකින් අපි ​ගේනවා. බොල්ගොඩ ගඟ, වෑවල ගඟබඩ පාර, කහපොළ, පොල්ගස්ඕවිට වගේ පැතිවලින් ​ගේනවා. ඇඳිරි නීතිය දාන්න ඉස්සර ඇඹිලිපිටිය, අනුරාධපුරය, උඩවල, පදවිය, මහකනදරාව වැව, උලුක්කුලුම වැවෙන් අල්ලපු මාළුත් වික්කා. නමුත් තාම එහෙන් මාළු එන්න පටන් ගත්තේ නෑ. ඔය උලුක්කුලම වැව වැව් දෙකක් එකතුවෙලා තමයි හැදිලා තියෙන්නේ.’’ එහි සිටි කුඩා තිත් ඇති මාළුවාගේ නම ‘අබ කොරලි’ ය. එම මාළුවා ඉවීමට අබ අඹරා කබලේ බැඳ එක්කළ යුතුය. එම කොරලියා නියම සිංහල කොරලියා බව ප්‍රභාත් කියන අතර එම කොරලියා බෝකළ යුතු බවද ප්‍රභාත් කියන කතාවකි.

අප මේ මාළු ලෑල්ල අසලට වී කතා කරන විට විශාල බැරලයක කාවයියන් වැනි මාළුන් හත් අටදෙනකු පිහිනමින් සිටිනු දැකගත හැකි විය. අප ප්‍රභාත්ගෙන් ප්‍රශ්න කළේ කස්ටමර් ඕඩර් කළ විට පණපිටින් සිටින මාළුවා එවෙලේම මරා කපා දෙන සර්විස් එක්කද පවත්වාගෙන යනවාද කියාය.

‘‘අපෝ නෑ, නෑ. අපි කීයටවත් පණපිටින් ඉන්න මාළු මරන්නෑ. අපි කිරල මෙතැනට මාළු ගෙනාවාම සමහර මාළු කපන්න යනකොට ඇස් ගහලා පණ ගිය නැති මාළු ඉන්නවා. දඟලනවා. අපි කීයටවත් ඒ මාළු මරන්නේ නෑ, ඔය වතුර තියෙන බැරල් එකට දානවා.’’

ප්‍රභාත් ඇතුළු තිදෙනා ඊට පසු මෙම බැරලයේ එකතු වන මාළු හවසට මාළු ලෑල්ල අසලම බෑවුමක පිහිටි ළිඳකට දැමීම සිරිතය.

‘‘අපි අඩි හතර සිලින්ඩර් බස්සලා මේ ළිඳ හැදුවේ. අන්තිම සිලින්ඩරෙන් පස්සේ යට පස් කණ්ඩිය දැන් මාළු වටේට ගුහාවක් වගේ හාරගෙන ඒ හෙවණේ ඉන්නවා. ළිඳේ මාළු වැඩිවුණාම ඔක්කොම අල්ලලා එහා පැත්තේ තියෙන ඇළට දානවා.’’

ප්‍රභාත් ඇතුළු මෙම මාළු ලෑල්ලේ සිටින තිදෙනාටම මිරිදිය මසුන් ගැන ඇත්තේ හොඳ දැනුමකි. ඔවුන් පවසන්නේ මේ මිරිදිය මසුන් තරම් මුහුදු මාළුන් ගුණ නැති බවය.

‘‘ඔය තෝර, තලපත් කියලා කන්නේ මාස ගාණකට කලින් ටෝලර්වල අල්ලපු අයිස් මාළු. අයිස්වලට ලේවල ගුණ නැතිවෙලා. අපි විකුණන්නේ දවසේ මාළු විතරයි. හැබැයි ඉතින් හොඳට අබ, තුනපහේ කබලේ බැදලා උයන්න දැනගන්න ඕන. අපි උයන හැටිත් උගන්වනවා.’’

​මොවුන් කියන්නේ පිළිකා රෝගයෙන් ශරීරයේ ලේ අඩුවීමට ‘ලේ හුංගා’ ආහාරයට එක්කර ගත යුතු බවය. බබාලා හම්බවුණ අම්මලාට කිරි එරෙන්නට දෙන්නේ ලූලාය. වාතය නසන්නටත්, ධාතු ශක්තිය වඩන්නටත් එය උපකාරී වේ. එමෙන්ම ආඳා මාළු ධාතු ශක්තිය වඩවයි, ඇස් පෙනීම, කන් ඇසීම වඩාත් දියුණු කරයි. මන්දපෝෂණය, මාන්දම නැති කරයි. මිරිදිය ඉස්සන්ගේ ඇති ගුණය ආහාර දිරවීම ඉක්මන් කරයි, අග්නිය වඩවයි, සෙම මර්දනය කරයි. එමෙන්ම කොරලි ආහාරයට ගැනීමෙන් රුධිරයේ දෝෂ නසයි, රුධිරය තර කරයි, වාත ආබාධ නැති කරයි, ධාතු වඩවයි. පිත නැති කරන්න පංකාදු පෙතියා මාළු, ධාතු ශක්තියද වඩවයි. දැනට කලාතුරකින් හමුවන හුංගා මාළු ශරීරයේ ලේ වඩවයි, සිසිල් ගුණය ඇති කරයි, ධාතු ශක්තිය වඩවයි, වාතය නසන්නටද උපකාරී වේ.

මේ කොයිකටත් වඩා කොවිඩ් උණෙන් බේරීමට, ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇතිවීමට මිරිදිය මසුන් ආහාරයට ගැනීමට බොහෝ දෙනා වෛද්‍ය උපදෙස් මත පෙලඹී ඇති බව ප්‍රභාත් අපට කීවේ සුපිරි රථ කිහිපයකින් පැමිණි කීප දෙනකුට මාළු කපා දෙමිනි.

දැන් අපේ ලොකුම මිරිදිය මත්ස්‍යා වන ‘තඹලයා’ වඳවෙමින් සිටී. මහ බැංකු වාර්තාවේ මිරිදිය මසුන් ගැන දත්ත තිබුණාට තමන් කිසිදින මහ බැංකුව දකිනවා තියා කිසිදු බැංකු නිලධාරියෙක් පැමිණ නැති බව ප්‍රභාත් කියයි. මොවුන් කියන්නේ වස විස නැති මේ මිරිදිය මසුන් ආහාරයට ගැනීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය. ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ ඇති චක්‍රීය අරමුදලේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරන්නට රුපියල් මිලියන 184ක අරමුදලක් ඇති බව මේ පිරිස් දන්නේවත් නැත.

එම අරමුදලේ 2025 වනවිට වටිනාකම රුපියල් මිලියන 1000ක් වන බව ඇස්තමේන්තු කොට ඇත. ඒත් ඔය කියන ආණ්ඩුවේ ටයිපටි දමාගත් අධිකාරිවල ලොක්කන් මෙවැනි ව්‍යාපාර නගාසිටුවන්නට කරපු හත්ඉලව්වක් නැත. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතිව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනයට කැපවූ මෙවැනි පිරිස් දිරිගැන්වීමට අප කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

වජිර ලියනගේ