විශේෂාංග

වධකයාගේ සහෝදරත්වය

දැන් අපේ විශ්ව විද්‍යාල නවයේම නව අධ්‍යයන වාරය ආරම්භ වී ඇත. පළමු වසරේ මානවිකාවෝ දැන් එහි යන්නේ සුදු නූලක් කොණ්ඩෙට දාගෙන, පටි සෙරෙප්පු දෙකක් දමා ලාභ දිග ගවුමක් ඇඳගෙන මහා ශිෂ්‍ය සංගමය බෙදූ ගොං කතා සහ බොරු බේගල් පිරුණු පොතේ කවරය පෙනෙන පරිදි අල්ලාගෙනය. ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දිනයක් නියම කරන තෙක් මේ මානව මානවිකාවෝ එසේම යා යුතුය. එසේ යා යුත්තේ මේ නවකවද කාලය නිසාය. විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් මෙයට නවකවදය කියා කියන්නේ නැත. එය දැන් හඳුන්වන්නේ නවක නම්නීකරණ වැඩසටහන කියාය.

ත්‍රස්තවාදී මිනීමැරීම්, විමුක්ති සටන් ලෙස හැඳින් වූවා සේම දැන් නවකවදය නවක නම්නීකරණය ලෙස හඳුන්වා ගනිති. වැඩේ කැත වෙන්නට කැත වෙන්නට වචන හොඳ වෙන බව තේරුම්ගත හැකි අවස්ථාවකි මේ.

නවකවදය නිසා මේ රටේ 1900 කට අධික පිරිසක් විශ්ව විද්‍යාලය හැරගොස් ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අයවැය විවාදයේදී පැවසුවේය. එහෙත් මේ නවකවදය දරාගෙන රැකෙම්වා, මියෙම්වා කියා සිතාගෙන විශ්ව විද්‍යාලයට වාර්ෂිකව 23,000 ක් පමණ ඇතුළත් වෙති. උන්ගෙන් අති බහුතරය මහපොළ ශිෂ්‍යාධාරය පිහිට පතා එන යහපත් අනාගතයක් උදාකර ගැනීමට උසස් අධ්‍යාපනයම හැර වෙනත් පිළිසරණක් නැති දරුවෝය. ඒ උන් අතරින් තවත් එකෙකි. නවකවදය නිසා ජීවිතය හැර ගිය කුරුණෑගල වඩුවාගල තමිල්ක දිල්ශාන් විජේසිංහ ශිෂ්‍යයා.

සමාජය පිළිකුල් කරද්දීත් නව සිසුන්ගේ විහිළුවට, අපහාසයකට ලක්ව තිබියදීත් විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් මේ නවකවදය පවත්වාගෙන යන්නේ ඇයි? මහා ශිෂ්‍ය සංගම් තොරණ ගසා කැවුම් කිරිබත් කන්න දී නවකයන්ගේ අතට පත් කළ ග්‍රන්ථ රත්නයේ සඳහන් වන්නේ එය සහෝදරත්වය ඇති කිරීමට කරන දෙයක් බවය. එකිනෙකා හඳුනා ගැනීමෙන් සහෝදරත්වය, සාමූහිකත්වය, බෙදා හදාගෙන ජීවත්වෙන පරිසරයක් ඇති කිරීම එහි අරමුණය. ඒ පොතේ සඳහන් කරන ආකාරයට අලුතින් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට එන මානව මානවිකාවන්ට දත්බේත් ටිකක් ඉල්ලා ගන්නට හදිසියකට යට ඇඳුමක් වුවත් ඉල්ලාගෙන අඳින්නට පුළුවන් සමානාත්මතාවක් නවකවදයෙන් පසු ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇති කෙරේ.
එමතු නොව පාරේ කැට හෙල්ලීමට ගෙන යන්නේ පළමු වසරේ සිසුන්වය. ඇතැම් විශ්ව විද්‍යාල කැට හෙල්ලීම්වලින් රුපියල් මිලියන දෙකද ඉක්මවා ආදායම් ලබා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් ඒවායින් නවක ශිෂ්‍ය ජීවිතයට දෙන සුබ සාධනයක් සොයාගත නොහැක.

මෙබඳු උවමනාවක් ඔවුන් තුළ ඇති වී තිබෙන්නේ ඇයිදැයි නවකවදය දෙන ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ ගති සොබා විමසීමෙන් තේරුම්ගත හැකිය.

නවකවදය දෙන ජ්‍යෙෂ්ඨ උත්තමයෝ වධකයන් වීමට වුවමනා හේතු කාරණා උන්ගේ ගෙවලින්ම ගෙනා ඒවාය. ළමා වියේ හිංසා පීඩාවලට යොමු වූ, කොන් කිරීමට ලක් වූ ඇත්තෝ පසුකාලීනව මේ වධක හැසිරීමට යොමුවන බව මනෝ විද්‍යාත්මක සත්‍යය ය. එබඳු අයගේ ඇති සහෝදරත්ව හැඟීමක් නැත. පීඩකයාගේ ඇති සහෝදරත්වය කුමක්ද? ඔවුන් අවිඥානිකව පතන්නේ විශ්ව විද්‍යාලය තුළදීද තමන්ව නොතකා ඉන්නේ නැති තමන්ව පිළිගන්න සමාජයක් ඇති කර ගැනීමය. තමන් නොතකා හරින සමාජයක් ඇතිවීම බලෙන් වළක්වා ගැනීමය. තමන්ට සමාන සමාජයක් ඇතිකර ගැනීමය.

ළමා වියේ නොතකා හැරීම්, කොන් කිරීම්වලට ලක් වූවන්, සුළු දෙනකු නිසා දහස් සංඛ්‍යාත පිරිසක් වදයට ලක් වන්නේ ඇයිද යන්න ශිෂ්‍ට සම්පන්න සමාජය අසන ප්‍රශ්නයයි.

නවකවදයෙන් විශ්ව විද්‍යාල සංහතිය දිනූ දෙයක් වේද? ඒ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලවල නායකයින්ව සිටි හෝ මහා ශිෂ්‍ය සංගම් නායකයන්ව සිට විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුගත් උන්ගේ වත්මන් හැසිරීම ගැන විමසිලිමත් වීමෙන් තේරුම් ගත හැකිය. දූෂණය කර මරා දැමූ සේයා දැරියගේ මිනීමරුවා වෙනුවෙන් පෙනී සිටියේ අන්තරයේ නායකයාව සිට පසුව නීතිඥයකු වූ ශිෂ්‍ය උත්තමයෙකි. එසේම ඩුබායි හිදී අත්අඩංගුවට පත් මධුෂ් සහ අමල් නම් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වෙනුවෙන් පෙනී සිටින්නට ඩුබායි ගියේ ඔහුය.

ඔහු දෙසද විශ්ව විද්‍යාල දොරටුවෙන් පිට වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස දෙස බැලූ විට ඔවුන් නවක වදයෙන් දිනාගෙන තිබෙන සිත් තුළ රෝපණය කර තිබෙන මනුෂ්‍යත්වය, සහෝදරත්වය තේරුම් ගත හැක.

මේ සහෝදරත්වයෙන් පෙළපාළි යන ශිෂ්‍ය සංගම් ඇත්තෝ නිතර කියන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගනිව් කියාය. මේ ශිෂ්‍යන් දක්කාගෙන යන ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට ද කිව යුත්තේ අහිංසක දුප්පත් දරුවන්ට නිදහසේ ඉගෙන ගන්නට ඉඩ දියව් කියාය. එසේම නවක මානව මානවිකාවන්ගේ දෙමාපියන් බයේ සිටියා ඇති බවය. කුරුණෑගල තමිල්කගේ අම්මා වැනි මව්වරු විශ්වවිද්‍යාල ක්‍රියා කලාපය නිසා බිහිවීම නතරවිය යුතු බවය.