විශේෂාංග

වතු පාලක වෙස් ගෙන රංජිත් සොයිසා දිවි බේරා ගත් හැටි

දැන් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු මීට තෙසතියකට පෙර සිටියේ විපක්ෂයේය. එකල විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරේ සිටි චතුර කථිකයකු වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසාය. තම පක්ෂයේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට බොහෝ මහන්සි වුවද එම ආණ්ඩුවේ අසුන් ගැනීමට මත්තෙන් ඔහු ඉකුත් 03 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ කලකට ඉහතදී සිය දිවි ගමනේ හෙළි නොවූ කතා හෙළි කරමින් ලියුම්කරු සමග කළ කතාබහක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

එක්දාස් නමසිය අසූව දශකයේ අග භාගයේ උලපනේ ශාන්ත මේරි වතු යායේ පදිංචියට අයකු ආවේය. ඔහු නමින් හැඳින්වූයේ අත්තනායක යනුවෙනි. ශාන්ත පෙනුමකින් යුතු ඔහු ගැන වත්තේ ප්‍රසිද්ධ වූ කතාව වූයේ හොඳ හැටි බී රෝගී වීම නිසා නිස්කලංකව වතු බංගලාවේ දිවි ගෙවන බවය.

දිනය එක්දාස් නමසිය අසූ නමයේ නොවැම්බර් දහ තුන්වැනිදාය. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ කර්නල් ජානක පෙරේරා ඇතුළු පිරිසක් ශාන්ත මේරි වතු යායට ආවෝය. වතු බංගලාවට ගිය කර්නල්වරයා එහි සිටි අත්තනායකට කතා කර ‘‘ඔබ රෝහණ විජේවීර නේද?’’ යනුවෙන් විමසීය. ‘‘ඔබට වැරදීමක් මම අත්තනායක’’ ඔහු උත්තර දුන්නේය. ‘‘නෑ ඔබ රෝහණ වි​ජේවීර බව මට සහතිකයි’’ යනුවෙන් කී කර්නල් ජානක පෙරේරා ඔහුගේ අත තදින් අල්ලා ගත්තේය.

රෝහණ විජේවීර ‘‘අත්තනායක’’ යනුවෙන් වත්තක සැඟව සිට අල්ලා මරා දැමූබව ආරංචි වූ සැණින් ජනතා විමුක්ති පෙරමුණේ තවත් අයකු එවැනි රඟපෑමක නිරත වෙමින් සිටියේය. ඔහු සිටියේ සිංහරාජ කැලය මැද ‘‘මෝනින් සයිඩ්’’ වත්තේ වතු නිලධාරියකු ලෙසය. එහෙත් සිය නායකයා මුහුණ පෑ අවාසනාවන්ත ඉරණමට ඔහු මුහුණ දුන්නේ නැත. මේ සිද්ධිය වී තිස්වසරකට පසු ගිය සතියේ ඔහු සොයා මාරයා ආවේය. කීප වතාවක් මරුවාගෙන් ගැලවුණද මෙවර ඔහුට බේරීමක් නොවීය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අත්තනායක වූ ඔහු දැන් රටේ ප්‍රසිද්ධියට පත් වූයේ රංජිත් ද සොයිසා යනුවෙනි. දස වසරකට ඉහතදී ඔහු සිය ජීවිත කතාව දිග හරින්න මා ඉදිරියේ හරි බරි ගැසී වාඩි වූයේ මෙසේ කියමිනි.

‘‘මම මැරිල ඉපදුණ මනුස්සයෙක් මල්ලි. මාරයා අනන්තවත් මාව හොයාගෙන ආවා. ඒත් පූරුවෙ වාසනාවකට ඒ හැම පාරම මම බේරුණා. මම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයෙක්.79 ඉස්කෝලේ යන කාලේ ඉඳන් 94 වෙනකන් මම පක්ෂයේ වැඩ කළා. 89 මර්දනය කාලේ මම යටිබිම්ගත වෙලා හිටියේ සිංහරාජ කැලේ තියෙන මෝනින් සයිඩ් වත්තේ. මම ජවිපෙ සාමාජිකයකු බව වත්තේ කවුරුත් දැන ගෙන හිටියේ නැති නිසා ජීවිතේ බේරුණා.’’ රංජිත් ද සොයියා කීවේය.

උප්පැන්න සහතිකයට අනුව වාසගම් සහිත ඔහුගේ සම්පූර්ණ නම තිරුමාදුර රංජිත් සොයිසාය. ඔහු උපන්නේ 1962 මැයි 03 වැනිදාය. ඔහුට 1968දී මිතුරන් රැසක් ලැබුණි. ඒ ඔහු පළමු ශ්‍රේණිය සඳහා අල්පිටිය සිද්ධාර්ථ රජයේ විදුහලට ඇතුළත් වූ නිසාය. ඉක්බිතිව 78දී ගොඩකවෙල රාහුල ජාතික පාසලට ඇතුළු විය. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූ ඔහු උසස්පෙළට තෝරා ගත්තේ කෘෂි විද්‍යා විෂය ධාරාවය.

මේ කාලය වන විට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ලොකු වෙනස්කමක් සිදුවෙමින් තිබුණි. ඒ ජවිපෙ නායක රෝහණ වි​ජේවීර හිරෙන් නිදහස් වී යළිත් වරක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමය. 70 දශකයේදී මෙන් 80දීත් රෝහණ විජේවීරගේ වාග් චාතුර්යය ඇසූ තරුණ තරුණියෝ මෝහනයට පත්ව ඔහු පසු පසුම ගියහ. ඒ තරුණ පරපුරේ උන් රංජිත් ද සොයිසාත් 1979දී විජේවීරගේ ශ්‍රාවකයකු බවට පත් විය. ඒ වන විට ඔහු පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකි. ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳ ගත් රංජිත් ද සොයිසාගේ මුල්ම ශිෂ්‍ය සටන වූයේ එජාප රජය ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පාරට බැසීමය. එතැනින් ඇරඹුණු ඔහුගේ සටන්කාමී ජීවිතය තිරය මත දිග හැරෙන ත්‍රාසජනක චිත්‍රපටයක් බඳුය. ජවිපෙ ශිෂ්‍ය සංවිධානය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ රත්නපුර දිස්ත්‍රික් නායක ලෙසද පත්වූ රංජිත් ද සොයිසා සියලු ලෞකික බලාපොරොත්තු අතහැර පක්ෂයේ පූර්ණ කාලීනයකු බවට පත්විය.

83 කළු ජූලියට සම්බන්ධ යැයි කියමින් එජාප රජය ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්නේ මේ අතරතුරදීය. පක්ෂය තහනම් කිරීමත් සමග ජවිපෙ නායකත්වය සිය සාමාජිකයන්ට නියෝග කළේ යටිබිම්ගතව දේශපාලනය කරන ලෙසය. සිය නායකත්වයේ අණට කීකරු වූ රංජිත් වහාම ගමෙන් අතුරුදන් විය. ඉක්බිතිව ඔහු කොළඹ, මහනුවර හා ගම්පහ යන ප්‍රදේශවල රහසිගතව දේශපාලනය කළේය. දිනක් ඔහු ගමනක් යමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්විය. සිය අවසන් හෝරාව තව මොහොතකින් එළඹෙන බව දත් රංජිත් මරුවා සමග යාමට හිත හදා ගත්තේය. නමුත් සිද්ධ වූයේ වෙනත් දෙයකි.

‘‘මේකා පොඩි කොල්ලෙක්. මූට යන්න දෙමු.’’ යැයි කියූ හමුදාව ඔහු අතහැරියේය. ​වයසින් වැඩිමහලු වුවත් සිරුරෙන් පොඩි වීම හේතුවෙන් ඔහුගේ දිවි ගැලවුණේ එසේය.
මේ අතර ඔහු බහු තාක්ෂණික ආයතනයේ කෘෂිකර්මය හදාරා ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගත්තේය. ඒනයින් ඔහුට වතු සමාගමක රස්සාවක් සොයා ගැනීමට වෘත්තීය සුදුසුකමක් ලැබුණි. ඔහුට මුලින්ම රස්සාව ලැබුණේ ගම් ප්‍රදේශයට අයත් වූ ගොඩකවෙල වත්තකය. දිනය 1989 නොවැම්බර් 13 වැනිදාය. වෙලාව 6.00යි. ඒ වෙලාවේ රංජිත් හුන්නේ ගුවන්විදුලියට සවන්දෙමිනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හමුදා අත්අඩංගුවට පත්වී ඇතැයි රේඩියෝවෙන් කීවේය. එනමුත් සදාදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත් වූ කතාව ඔහු කීයටවත් විශ්වාස නොකළේය.

‘‘රජය බොරුවක් ගොතලා මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා අපිව කලකිරීමට පත් කරවන්න හදනවා කියලා තමයි මම හිතුවේ. නමුත් රේඩියෝවෙන් මේ කතාව දිගින් දිගටම කියන විට මම පක්ෂයේ ඉහළ සහෝදරවරුන්ට කතා කරලා ඇත්ත නැත්ත හොයා බැලුවා. ඒ වෙලාවේදී විජේවීර සහෝදරයා ඝාතනය කර ඇති බව ඔවුන් මට තහවුරු කළා. ඒ සමගම ඔවුන් දැනුම් දුන්නා වහාම පසු බසින්න කියලා. මම රෑම ගමෙන් පිටත් වුණා.’’ රංජිත් සොයිසා කීවේය. ඔහුගේ ගමන ඉක්මන් කිරීමට හේතු වූයේ සුප්‍රකට සෙවණගල කඳවුර ගමට කිට්ටුවෙන් තිබීමය. (ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධ වූයේද මෙම කඳවුරේ හුන් හමුදා සෙබළුය.) විජේවීර සහෝදරයාගේ ඝාතනයත් සමගම ගමෙන් පැනගත් රංජිත් නතර වූ‍යේ සිංහරාජ වනාන්තරය මැද වූ මනස්කාන්ත මෝනිං සයිඩ් වතු යායේය. සහකාර වතු පාලකයකු ලෙස රැකියාව භාර ගත් ඔහු ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයකු බව ඒ වත්තේ කිසිවකු දැන සිටියේ නැත.

‘‘එතකොට ඔබගේ පක්ෂයේ සමකාලීන මිතුරන්ට මොකද වුණේ’’ මම ඔහුගෙන් ඇසුවෙමි.

ඒ සියලු දෙනාම රාජ්‍ය භීෂණයට ගොදුරු වුණා. ගොඩකවෙල රාහුලේ ඉගෙන ගත් යාළුවන් සරසවිවලදී ඝාතනයට ලක් වුණා. පක්ෂයේ මා ඇසුරු කළ බොහෝ සහෝදරවරුන් 89 මැරුණා. ජිනදාස කිතුල්ගොඩ, විජිත රණවීර, ආනන්ද ගමගේ, විජේදාස ලියනාරච්චි, ඩී.එම්. ආනන්ද යන සහෝදරවරු සමග මම ඒ කාලයේ වැඩ කළා. විජිත රණවීරගේ තංගල්ලේ ගෙදර නතර වෙලත් හිටියා.’’ ඔහු කීවේය.

සිංහරාජ කැලයට පැන ගෙන දිවි ගලවාගත් රංජිත් ද සොයිසා ඉඳහිට අල්පිටියේ මහ ගෙදරට ගියේය. ඒ ගමන් යාම සඳහා ඔහු රාත්‍රිය තෝරාගත්තේය. රෑ 9.00ට පමණ ගෙදරට යන ඔහු පසු දින අලුයම 4.00 වන විට නිවෙසින් බැහැර වන්නේ ගම්මුන්ට හොරාය.
‘‘ඒ කාලේ මම ගෙදර නොගියොත් අම්මයි තාත්තයි අඬනවා. ගෙදර ගියත් ඒ අය මාව බදාගෙන අඬනවා. අන්තිමට මම ගැන කල්පනා කරලම අම්මා ලෙඩ ඇඳට වැටුණා.’’
දිනක් ගමට ගිය රංජිත්ට මහා අමුත්තක් දැනුණි. අද රෑ නම් මරුවා තමා සොයා ගේ දොරකඩ ළඟටම එන බව ඔහුට සිතුණි. මෙ නයින් ඔහු රාත්‍රිය ගත කිරීමට තෝරා ගත්තේ නිවසේ සිට මඳක් දුරින් පිහිටි මිතුරකුගේ නිවසකි. හරියටම එදා රෑ හමුදාව ගම වට කර රංජිත්ගේ ගෙදරට ආවේය. ඔහු නිවසේ නැති බව සැක හැර ගත් විට හමුදාව අවට ගෙවල්වලටද ඉව ඇල්ලීය. හමුදාව මරුවා කැටුව රංජිත් නතරව හුන් ගෙදරටද ආවේය.

ඒ ගෙදර වැසියන් රංජිත් බේරා ගත්තේ කිලුටු රෙදිවලින් ඔහුව වසමිනි. ඒ වතාවේදී මරුවාගෙන් බේරුණු රංජිත් සිය ආරක්ෂිත නිවහන වූ මෝනිං සයිඩ් වතුයාය බලා පිටත් විය. කෙසේද වතුදු සිය ආදරණීය නායකයාගේ මරණයත් සමග රංජිත්ට ඇතුළු ජවිපෙ පූර්ණකාලීනයෝ පත් වූයේ නූල කැඩී ගිය සරුංගල් ගාණටය. අරමුණක් නැතිව හිස් අහසේ සිය තරුණ සමය ඔහේ ගසාගෙන යන බව රංජිත්ට දැනුණි. රටේ තරුණයන්ගේ ජීවිත හරියට මෝනිං සයිඩ් වතුයායේ තේ පත් මත හිමිදිරියේ රැඳී ඇති පිනිබිඳු මෙන් බව ඔහුට සිතුණි. හිරුගේ රැස් වළල්ලට මුහුණ දීමට නොහැකිව පරාජය භාරගෙන වියැකී යන පිනි බිඳු මෙන් රාජ්‍ය මර්දනය හමුවේ දස දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ ජීවිතද මෙලොවින් වියැකී යන බව රංජිත් කල්පනා කළේය. දෙලොවක් අතර සැරිසරමින් හුන් රංජිත්ට භීෂණයෙන් පසු ලැබුණු මුල්ම සුබ ආරංචිය වූයේ එජාපය දෙකඩ වී ඇති බවය. ඊළඟට ලැබුණු ආරංචිය වූයේ ආර්. ප්‍රේමදාස ඝාතනයට ලක්වූ පුවතය.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ ඩී.බී. විජේතුංගය. ඒ ජනාධිපතිවරයා යටතේ තරුණයන්ට හුස්ම ගැනීමට ඉඩ ලැබෙන විට රංජිත් ද සොයිසාත් යටිබිම් ජීවිතය නිමා කරමින් එළියට ආවේය. ඊළඟට ඔහු කල්පනා කළේ ජවිපෙට යළි පණ දීමට පැරණි සගයන් සමග සබඳතා ගොඩනගා ගැනීමටය. ජිනදාස කිතුල්ගොඩ සහෝදරයා මර්දනයෙන් පසුව ඔහුට හමුවන්නේ මේ කාලයේය. ඔහු ජිනදාස කිතුල්ගොඩ සමග සබඳතා ගොඩ නගාගත්තේය. මේ අතර විසිරී ගිය ජීවිතයේ සාමාජිකයන්ට එක්වන ලෙස නැවත ආරාධනා කරමින් 93දී පමණ පුවත්පතක පළ කර තිබූ දැන්වීමක් රංජිත් දුටුවේය. විමලසිරි ගම්ලත් (විමල් වීරවංශගේ පෙර නම) නමින් පළ කර තිබූ ඒ දැන්වීමේ තිබුණේ තංගල්ල නගරයේ පැවැත්වෙන රැස්වීමකට එන ලෙසය. රංජිත් ද සොයිසා ඒ රැස්වීමට ගියේය. ඊළඟට කොළඹ සරසවියේ පැවති රැලියකට ද ගියේය.

‘‘මේ රැස්වීම්වලට ගිය විට මට හිතුණා ජවිපෙ දැන් යන්නෙ හදන්නේ විජේවීර සහෝදරයා ගිය ගමන නොවේ කියලා. ඒ නිසා මම පක්ෂයට සමු දුන්නා.’’ ඔහු කීවේය.

ඉක්බිතිව ඔහුගේ සිත ගියේ ශ්‍රීලනිපයටය. 1994දී රංජිත් සිය ගම වූ අල්පිටිය තියඹරාවත්ත ශ්‍රීලනිප ශාඛාවේ ලේකම් ලෙස පත් විය. ඊළඟට ඔහු පත්වූයේ රක්වාන ආසනගේ ගොවීන් එකතු කර හැදූ ගොවි මධ්‍ය සංවිධානයේ මුල්ම ලේකම්වරයා ලෙසය. 1997දී පුංචි ඡන්දයට ඔහු ඉදිරිපත් වූයේ අටකලංපන්න ප්‍රාදේශීය සභාවටය. එම ඡන්දයෙන් පහසුවෙන් ජය ගත් ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත් විය. පොදු පෙරමුණේ දේශපාලනයේ අනවරත ගමනක යෙදී හුන් රංජිත් ද සොයිසා 2004 අවුරුද්දේ සබරගමු පළාත් සභාවට තරග කළේය. ඒ ඡන්දයෙන් ඔහු ජය ගත්තේ පළාත් සභාවට තේරුණු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අත​රේ පළමුවැනියා වෙමිනි. ඒ සැරේ පළාත් සභාවේ කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ධුරයත් හිමි වූයේ ඔහුටය. 2006 වසරේදී ඔහුට ශ්‍රීලනිපයෙන් අලුත් ධුරයක් ලැබුණි. ඒ රක්වාන ආසනයේ ශ්‍රීලනිප සංවිධායක තනතුරයි. රුවන්පුරයේ දේශපාලන භාවිතයේදී රක්වාන හඳුන්වන්නේ මැද කොළඹ ආසනයේ කාබන් කොපිය ලෙසය. ඒ හැමදාම රක්වාන දිනුවේ එජාපය බැවිනි. එනමුත් රංජිත් ද සොයිසා රක්වාන භාරගත් දවසේ පටන් රක්වානේ කොළ පාට, නිල්පාටට හැරුණි. 2010 මෙන්ම 2015 ද ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය.

රංජිත් හපන්කම් දැක්වූයේ දේශපාලනයට පමණක් නොවේ. ඔහු ගොවියෙකි. තමාටම කියා ගමේ ඇති ගොවිපොළේ ඔහුද ගොවිතැන් කළේය. කිරිදෙනුන් දෙව්වේය. එපමණක් නොව ඔහුගේ ගෙදර ඉව්වේද ජීව වායුවෙනි. රංජිත් ද සොයිසා එසේ මෙසේ ගොවියකු නොව ගොවි රජෙකි. 2007 අවුරුද්දේ ලංකාවේ මහජන නියෝජිතයන් අතර හොඳම ගෙවත්තට හිමි සම්මානයේ හිමිකරුවා රංජිත් ද සොයිසාය. මේ වැඩවලට වඩා රංජිත් සොයිසා රටුන් අතරේ ප්‍රසිද්ධියට පත්වූයේ විපක්ෂයේ සිට ඔහු කළ භූමිකාව නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට ඔහු නැතිවම බැරි කථිකයෙක් විය. ගෝඨාභය රාජපක්ෂ ජනපති කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරය දරන ආණ්ඩුවක් බලයට ගෙන ඒමට ඔහු හොඳ හැටි මහන්සිවී කොට ඇද්දේය. එහෙත් පෙරහරේ සධාතුක කරඬුව වඩම්මන්නට අවස්ථාව පෙනි පෙනී තිබියදී ඔහු දිවි ගමනට සමු දුන්නේය.

මිහිරි ෆොන්සේකා