brand logo

වතුරේ ගිය මගුල් මුද්ද

04 January 2019

දේවහුව වැවේ දිය නෑමට ගිය අලුත විවාහ වූ යුවලකගේ මංගල මුදුව දියේ අතුරුදන්ව තිබියදී දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් විසින් සොයා එම යුවළට මුද්ද ලබාදීම දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා දඹුල්ල ජීවිතාරක්ෂක ජල ක්‍රීඩා සංගමයේ සභාපති ඩී .ආර් .ජේ ,බී .දෙහිගම මහතා ඉදිරියේ 03 දින රාත්‍රියේ සිදු කෙරිණි. ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයේ මීට දින දහයකට පෙර විවාහ වූ යුවලක් දේවහුව වැවේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මනාලයාගේ ඇඟිල්ලක පැළඳ සිටි මගුල් මුද්ද දී වැටී තිබෙන බවත් එම මුදුව සොයා ගැනීමට නොහැකි වූ බව ගලේවෙල ප්‍රදේශයේ තරුණයකු විසින් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබිණි. ඒ අනුව මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතාට මේ බව දැනුම් දී තිබේ. පසුව දඹුල්ල පොලිසියේ ජිවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් වන පොලිස් කොස්තාපල් පියල් මාරසිංහ වීශ්‍රාමික පොලිස් සැරයන් චන්ද්‍රසේන සහ ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජික ටියුෂන් රණවීර මහතාට මේ බව දැනුම් දී තිබේ. මෙම පිරිස දේවහුව ජලාශයට ගොස් පැය කිහිපයක් දිය යට කිමිදී නැති වී තිබුණු මුද්ද සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. ඒ අතර ටියුෂන් රණවීර මහතා අඩි 20ක පමණ ගැඹුරු දියේ තිබී මෙම මුදුව හමුවී පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධාන උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා වෙත ලබාදී එම මුදුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා හට ලබාදුන් බව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි. පසුව මුදුවේ අයිතිකරු වන රුවන් තිළිණ මහතාට දුරකථනයෙන් මේ බව දැනුම් දීමෙන් පසු ඇයගේ බිරිඳ වූ සංජුලා ෂෙහානි මහත්මිය සමඟ 03 දින රාත්‍රියේ දඹුල්ල පොලිසියට පැමිණි සිටියහ. ඔවුන් දෙදෙනාගේ මුදුව බවට හඳුනා ගැනීමෙන් පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විසින් මෙම යුවළට ඔවුන්ගේ නැති වූ මංගල මුදුව ලබාදුන්නේය. නව වසරට යුවලට ආසිරි පතන ගමන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ මංගල මුදුව නැතිකර ගත්තා මෙන් පවුල් ජීවිතය අවුල් නොකර සතුටින් ජීවත් වන ලෙසද දැනුම් දීම විශේෂත්වයක් විය. මේ අවස්ථාවේදී මුදුවේ අයිතිකරු රුවන් තිළිණ මහතා කියා සිටියේ තමන්ට මෙම සිදුවීම අදහා ගැනීමටවත් නොහැකි බවය, නැවත ලැබෙයි යැයි තමන් සිහිනෙකින්වත් නොසිතූ බව ද ඔහු කීවේය .කෙසේද දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමා සිදු කළ සේවයත් පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් සිදුකළ සේවය ද ඔහු ඇගයීමට ලක් කළේය. සංජුලා ෂෙහානි මහත්මිය කියා සිටියේ පොලිසිය පිළිබඳව තමා සිතා සිටි විශ්වාසය තව තවත් වැඩි වූ බවය. කෙසේවෙතත් මෙවැනි සත්කාරයන් කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට ශක්තිය දහිරිය ලැබිය යුතු බව ඇය පැවසුවාය. https://www.youtube.com/watch?v=AqaVkDB2D7w දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
 

More News..