විශේෂාංග

වකුගඩු මාරයා පරාජය කරන්නට මාලිගාවත්තට එන මිනිස්සු

ජීවිතය අත්හැර යන්නට ඔන්න මෙන්න කියා තිබියදී වකුගඩු රෝගීන්ට මරණයෙන් ගොඩ එන්නට පිහිටවන තැන මෙතැනය. එහි තිබුණු තරමක් විශාල නාම පුවරුවක ‘‘ජාතික වෘක්කවේදී කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය’’ යැයි දක්වා තිබිණි. පොදුජන වහරෙන් කියනවා නම් මෙය සුප්‍රකට මාලිගාවත්ත වකුගඩු රෝහල’’ය.

කොළඹ රෝහලක උදේ කාලයේ පවතින මහත් කලබලකාරීත්වය වෙනුවට මෙහි තිබෙන්නේ කිසියම් නිස්කලංක ගතියකි. ‘සති අග අරුණ’ නියෝජිතයන් එහි ගියේ පෙරවරු දහයට පමණය.

රෝහලට ඇතුළුවන විටම, එහි තිබුණු නිහඬ බව හොඳින්ම කැපී පෙනුණි. ප්‍රතිකාර පතා පැමිණ අසුන්ගෙන සිටි රෝගීහු ඔවුන්ගේ ලෝකවල සිතින් සැරිසරමින් උන් බව පෙනී ගියේය. ඇතැමකුගේ මුහුණුවල ඇඳී තිබුුණේ වේදනාකාරී ස්වභාවයකි. තවත් සමහරකුගේ පෙනුම විඩාබරය. කිහිප දෙනෙක් අසරණව බර කල්පනාවකය. එදින බදාදා දිනයක් වූ නිසා එදින රෝහලේ සායනයට පැමිණෙන බොහෝ දෙනකුගෙන් සායන කාමර පිරී ගොස් තිබුණේය.

සායනය ඇරඹිණි, ඒ අතර හෙදියක් පැමිණ රෝගියකුගේ නම කියවා බොහෝම පරිස්සමට ඔහුව වෛද්‍යවරයා වෙත කැඳවාගෙන ගියේය. තමන්ගේ වාරය එනතුරු සෙස්සෝ නොඉවසිලිමත්ව බලා සිටින්නේ ප්‍රතිකාර ද ලබාගෙන ඉක්මනින් ගෙදර යාමේ බලාපොරොත්තුවෙන්ය.

2009 වසරේ නොවැම්බර් මාසයේ 14 වැනිදා ඇරඹුණු මාලිගාවත්ත වකුගඩු රෝහල, බිහි කෙරෙන්නේ කොළඹ ජාතික රෝහලට අනුබද්ධිත ආයතනයක් ලෙසය. වර්තමානයේ මෙම රෝහල ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙයි. 2010 වසරේ ජනවාරි 10 වැනිදා රෝහලේ සායන කටයුතු ඇරඹිණි.

මාලිගාවත්ත වකුගඩු රෝහලේ බාහිර රෝගී අංශයක් නැත. එම නිසා රෝගීන්ට හිතු හිතූ වේලාවන්වලට මේ ස්ථානයට පැමිණෙන්නට නොහැකිය. රෝහලේ දී ප්‍රතිකාර ලබා ගත හැක්කේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ට පමණි. වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේ දිවයිනේ ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමට හැකියාවක් ඇත. නමුත් මෙම රෝගයේ තුන්වන සහ හතරවන අවස්ථාවලදී නිතර නිතර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමට සිදුවෙයි. විශේෂඥ ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කර ගන්නේ ප්‍රත්‍යන්ත රෝහල් මගිනි. ඒවා නම් කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, අනුරාධපුරය මහ රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඒවා අතර වේ.

මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ඒ. සී. ටී. රිෆායි මහතාගෙන් අපි එයින් කෙරෙන මූලික කාර්යයන් ගැන විමසුවෙමු.

‘‘අපි ප්‍රතිකාර කරන්නේ වකුගඩු රෝගයේ උච්චතම අවස්ථාවට පැමිණි අයටයි. එවැනි රෝගීන්ට අවශ්‍ය කරන රුධිර කාන්දුකරණය ලබා දීම, වකුගඩු බද්ධ කිරීම මෙහිදී සිදුවෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෛද්‍යවරුන්ගේ හිඟය. අපිට වෛද්‍යවරු 20 කගේ අඩුවක් තියෙනවා. විශාල අඩුවක් ඒක. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපට මේ වෛද්‍යවරු දෙන්න කියලා ඉල්ලලා තියෙනවා, වෙනත් රෝහල්වලින්. නමුත් ඒ රෝහල්වල අධ්‍යක්ෂවරුන් තවමත් වෛද්‍යවරුන් අපේ රෝහලට එවලා නැහැ.’’ ඔහු කීවේය.

ගෙවී ගිය වසර නමයක පමණ කාලය තුළ මාලිගාවත්ත වකුගඩු රෝහල මගින් කෙරුණු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සංඛ්‍යාව 300 ක් පමණ වේ. ඒ අතරින් ශල්‍යකර්ම 200 ක් පමණ සිදු කෙරුණේ පිරිමින්ට බව වෛද්‍ය රිෆායි පැවසුවේය. ඔහු කියන අන්දමට මෙම රෝහලේ වෛද්‍යවරුන් 39 දෙනකු සේවය කරති.

අප වෛද්‍ය රිෆායි සමග කතාබහ කරමින් සිටින අතරතුර හෙදියක් පැමිණ, ‘‘සර් දැන් කෑම ගේන්න යවන්නද?’’ කියා විමසුවාය. ‘‘හරි… යවන්න,’’ වෛද්‍ය රිෆායි කීවේය.

මාලිගාවත්ත වකුගඩු රෝහල බොහෝම කුඩා ඉඩකඩක් ඇති තැනකි. එහි රෝගීන්ට ආහාර පිසීමට මුළුතැන් ගෙයක් නැත. එබැවින් ඔවුන් ආහාර ප්‍රශ්නය විසඳා ගන්නේ ජාතික රෝහලෙන් ගෙන්වා ගැනීමෙනි. ඒ අනුව මාලිගාවත්ත රෝහලට ලැබෙන්නේද, ජාතික රෝහලේ වකුගඩු රෝගීන්ට දෙන කෑම වේලමය.

‘‘දවසට හතර පස් වතාවක් අපේ වාහන කෑම ගේන්න එහෙට මෙහෙට යනවා’’ වෛද්‍ය රිෆායි කියන්නේය.

ආහාර සකස්කර ගැනීමට පමණක් නොවේ, රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් ආදිය ආරක්ෂාව සහිතව තබා ගන්නටද ඉඩකඩක් මාලිගාවත්ත වකුගඩු රෝහලට නැත. ඒවා තැනින් තැන ලොකු කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා තිබේ. ‘‘මෙතන රෝගීන්ට වාඩි වී සිටින්නටවත් පුළුවන්කමක් නෑ’‘ හෙදියක් පැවසුවාය.

රෝහලේ ඇති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මහල් අටකින් යුත් නව රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද කටයුතු කරමින් තිබේ. එය ඉදිවන්නේ මාලිගාවත්ත රජයේ රෝහල ආසන්නයේ භූමියකය.
කලබලකාරී මාලිගාවත්තේ මෙවන් සේවාවක් කරන රෝහලක් තිබීම ම එක් අතකට පුදුම සහගතය. එහෙත් එහිදී කෙරෙන වෛද්‍ය ප්‍රතිකර්මවලට පින් සිදුවන්නට වකුගඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් දැන් යළිත් ජීවිතය ලබා ගෙන සිටිති.
මේ රෝහලේ සිදුවන ඇතැම් සිදුවීම් බොහෝම පුදුම සහගතය.

එක් වෛද්‍යවරයෙක් තම අත්දැකීමක් පැවසුවේ මෙසේය.

‘‘දවසක් එක රෝගියෙක් අඬාගෙන ආවා. මං කතා කරලා බැලුවා මොකද කියලා. ඒ රෝගියාට වකුගඩුවක් බද්ධ කරන්න වෙලා තියෙනවා. ඉතින් වකුගඩුව දෙන්න පුද්ගලයෙක් කැමැත්තෙන් ඉදිරිපත්වෙලා තියෙනවා. ලක්ෂ 02 කුත් දීලා ඒ මනුස්සයාට. අවසාන මොහොතේ මේ වකුගඩුව දෙනවා කිව්ව මනුස්සයා සල්ලිත් අරන් පැනලා ගිහිල්ලාලු’’

බොහෝ විට කැමැත්තෙන් තවත් පුද්ගලයකුට වකුගඩුවක් ලබා දෙන්නට ඉදිරිපත් වන දිවයින පුරා සිටින මෙවැනි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් මාලිගාවත්ත වකුගඩු රෝහල සතුව ඇත. ඒ ලැයිස්තුවට අනුව එක් එක් රෝගීන්ට මේ පුද්ගලයන්ගේ වකුගඩු ලබාදෙයි. ඒ අතර මෙබඳු සිදුවීම්ද අසන්නට ලැබෙන බව ප්‍රකටය.

සායන අංශයේ දී තම වාරය එනතුරු රැඳී සිටින තැනැත්තෙකු අපට හමුවිය.

‘‘මම දිවුලපිටියේ ඉඳන් එන්නේ. ලේ මාරු කරගන්න ආවේ. උදේ 07 ඉඳන්. මේ ඉස්පිරිතාලෙ ඔක්කෝමලා අපිට කරුණාවයි, ආදරෙයි. ඒ ඇරුණම වෙන ප්‍රශ්නයක් අපට නෑ.’’

ඔහු කීය. ඔහු නවරත්නය. වයස 70 ක් පමණ වූ ඔහුට මෙම රෝහල පිළිබඳව ඇත්තේ ගෞරවය මුසු ආදරයකි.

නවරත්න සීයාට එහා පැත්තේ වාඩි වී සිටියේ මැදිවියේ පසුවුණු කාන්තාවකි. විඩාබර මුහුණින් වෛද්‍යවරයාගේ කාමරය දෙස බලා සිටි ඇයට අප දුටු විට නැගුණේ සුන්දර සිනාවකි. ඒ සිනාවෙන් අප තේරුම් ගත්තේ ඇය කුමක් හෝ නම් කියන්නට සැරසෙන බවය.

‘‘මම පයාගල ඉඳන් උදේ 6 ට ගෙදරින් ආවේ. මට වකුගඩුවක් බද්ධ කරන්න ඕන කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඒත් මං ඒකට බයයි. බෙහෙත්වලින් වත් මේකට විසඳුමක් තියෙනවද කියලා බලන්නයි මං ආවේ. ක්ලිනික් එක කැන්සල් වුණා ගිය සතියේ . දැන් කකුල් හොඳටම ඉදිමිලා. වෙන කිසිම ප්‍රශ්නයක් නෑ අපිට හරියට දිනයක් ලැබෙනවා නම් ඒ ඇති අපට එන්න’’

සායනයේ වාරය එනතුරු වාඩිවී සිටියේ මුස්ලිම් ජාතික තරුණයෙකි. ඔහු පැවසුවේ පෞද්ගලික රෝහලකින් රුපියල් හැත්තෑපන්දහසක් පමණ මිලකට අලෙවිවන බෙහෙත්, මේ රෝහලෙන් නොමිලේ ලබාගන්න ලැබීම විශාල භාග්‍යයක් බවය.

‘‘මගේ අම්මට වකුගඩු බද්ධ කරගත්තා. ඇයට දැන් බෙහෙත් ගන්න ඕන . ඒකට හැම මාසෙම ප්‍රයිවට් ගත්ත නම් හැත්තෑපන්දාහක් වගේ යනවා. මං ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෛද්‍යවරුන්ට. අපේ අම්මා වගේ අසරණ වෙච්ච අයට ප්‍රතිකාර කරලා සුව කරනවට.’’ ඔහු රියාස්ය.

අශිකා ජයවීර