brand logo

ලෝක කුසලාන පිටියේ ෆිෆා - යුරෝපා ඇවිලෙයි

22 November 2022

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිහඬ ප්‍රතිපත්තියක

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මධ්‍යයේ යුරෝපා පාපන්දු සම්මේලනය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අතර සමලිංගිකත්ව ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින මත ගැටුම් උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කටාරය විසින් මුස්ලිම් ආගමික පසුබිම මත පිහිටා සමලිංගිකත්වය ආදිය ප්‍රතික්ෂේප කරද්දී, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් එය පිළිගෙන කටයුතු කරන තත්ත්වයක් උදාවී ඇති අතර, යුරෝපා පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් මෙය දෝෂ දර්ශනයට ලක්කර ඇත. ගෙවුණු දින කිහිපයේදී එංගලන්තය ප්‍රමුඛ යුරෝපා පාපන්දු සම්මේලනයට අයත් රටවල් සමලිංගිකත්වයද සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු ආදරයක් ලෙසින් හඳුන්වමින් එකම ආදරයක් හෙවත් 'වන් ලව්' යන සංකල්පය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවස්ථාවන් කිහිපයකදීම කොන්දේසි විරහිතව පෙනී සිටියේය. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ලෝක කුසලානයේදී තමා ඇතුළු ක්‍රීඩකයන් අත් පළඳනාවක් පළඳිමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහය දක්වන බව එංගලන්ත නායක හැරී කේන් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙම සංකල්පය ලෝක කුසලාන සත්කාරකත්වය දරන කටාරය විසින් සහමුළින්ම ප්‍රතික්ෂේප කරන අතර කටාරයේ මෙම හැසිරීම හමුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිහඬ ප්‍රතිපත්තියක පසුවේ. මේ හේතුවෙන් යුරෝපා පාපන්දු සම්මේලනය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන අතර ඇති මතභේදාත්මක තත්ත්වය උඩු දුවන බව වාර්තා වේ.
 

More News..