brand logo

ලෝක ආදිවාසී දිනය අදයි - මේ වැදි කෞතුකාගාරයයි

09 August 2018

අද ලෝක ආදිවාසී දිනය. ගොඩාක් අය ඒ වග දන්නෙත් නැතිව ඇති. කොහොම වුනත් අපි හිතුවා අද ඒ දිනය සිහිවෙන්නත් එක්ක පොඩි ගමනක් යන්න ඔබ එක්ක. බොහෝමයක් අය ගිහින් ඇවිත් ඇති.ඒත් නොගියපු අය වෙනුවෙන් අපි අද යනවා දඹානේ.පොඩි දරුවොත් කියවන නිසා, ඔවුන්ටත් දවසක රටතොට ඇවිදීමේ ආශාව ඕනෑකම හදන්නට නිතරම යන තැනක්නේ කියලා මඟ අරින්නේ නැතිව යමු එහෙනම් දඹානේ.

 
දඹාන කිව්ව ගමන් ඉතින් මතක් වෙන්නේ වැදි ජනතාව.මහියංගනයට ගිහින් එතැන ඉඳලා මහියංගනය - මහනුවර මාර්ගයේ කිලෝමීටර් 17ක් පමණ ගියාම තමයි දඹාන වැදි ගම්මානයට යන මාර්ගය මුණ ගැහෙන්නේ. දැන් වෙද්දි නම් වැදි ජනතාව විශාල වශයෙන් නවීකරණය වෙලා.ඔවුන්ගේ ජීවන ක්‍රමයේ ඉඳලා කෑමබීම දක්වා බොහෝ දේවල් වෙනස් වෙලා.ඒ වගේම මහියංගනය රජමහා විහාරයේ ඉඳලාම වැදි ජනතාවගේ ව්‍යාපාර දකින්නත් පුලුවන්.
වැදිරැහේ ඇත්තන්ම කියන විදියට නම්, "අද දවස් පොජ්ජ මන්දො වෙනකොට ලෝක පොජ්ජ වෙනස් තැන මන්දො වෙනවා. ගම් පොජ්ජවල් වෙනස් තැන මන්දො වෙනවා. මිනිස් ගජ්ජු වෙනස් තැන මන්දො වෙනවා..."
හැබැයි මේ ඇත්තන්ට ඇය රුකලට මන්දො වෙන එකක් තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ ඇහි රුකලට මන්දොකෙරුවත් වෙලා පොජ්ජකට මේ ඇත්තන්ගේ කැකුළොත් ඉදිනිවා තැරිකෝමන්තැලක් වටාගෙන හොදා වාගේ. කෝමන්තැලක් වටාගෙන හිදින කැකුලො හිදිනවා කරු කුරුගච්චන රුකුල් පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කරන කැකුලොත් හිදිනවා.කෝමන් තැනින් වෙනස් තැන මන්දො උනත් ඒ ඇත්තන්ගේ සිරිත් පොජ්ජෙන් වෙනකට මනදො වෙලා කොදොයි, කරු කරුගච්චන රුකුල් පොජ්ජෙ මන්දොවන කැකුලො ඒ වැඩ පොජ්ජේ හමාර තැන මන්දොවෙලා පැල පොජ්ජවල් වලට මන්ගච්චපුවම මංගච්චන්නේ පෙතලි පොජ්ජකුත් කැලැ පොජ්ජෙ. කැලැ පොජ්ජට මංගච්චල පැණි පොජ්ජ හෙවම් පොජ්ජ මන්දොකරනවා ගෙඩි පොජ්ජවල් තිබෙන කාල මැච්චෙදි නිවාඩු පොජ්ජ තිබෙන දින පොජ්ජවල් වලදි ගෙඩි පොජ්ජවල් එකතු තැන මන්දොකරනවා. ඒ වගේ අල පොජ්ජ හෑරුම් පොජ්ජ මන්දො කරනවා, ඉතින් මේ ඇත්තො හිත්ලාන්නේ රුකල් පොජ්ජක රදන පොල්ලච්චල ඇත්තො ඒ ඇත්තො හැදච් පොජ්ජ මන්දො කරන්නේ රුකුල් පොජ්ජක ඒ ඇත්තන්ගෙ සිරිත් පොජ්ජ තමයි. දඩයම් පොජ්ජ මන්දො කරගෙන කැලෑ පොජ්ජ මංගච්චල මොනා එකෙක් හරි ඇල්ලම් පොජ්ජ මන්දො කරගෙන කැවිල්ලාන එක, ඒවාගේ තමයි මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ කැකුලො ආණ්ඩු පොජ්ජෙ වැඩ පොජ්ජ මන්දො කෙරුවත් රුකුල් පොජ්ජට මංගච්චු ගමන් මංගච්චනේකැලැ පොජ්ජට.... ඉස්සර වගේ දැන් කැලේ රිංගලා සත්තු මරාන කන්න අවසරයක් මොවුන්ට නෑ.ඉස්සර ඔවුන්ගේ බඩ පුරවපු කැලේට දැන් කියන්නේ මාදුරු ඔය රක්ෂිතය කියලා.ඒ නිසා දැන් වැදි ජනතාව සාමාන්‍ය ගම් වැසියන් වගේ ගොවිතැන් බත් කරගෙන, රැකියාවක් කරගෙන ජීවත් වෙනවා.සැලකිය යුතු පිරිසක් කොළඹට ඇවිල්ලා රැකියා කරන බවයි අපිට නම් කිව්වේ. වැදි ගම්මානයේ අතීත සිරිය දක්ක පුලුවන් වෙන්න අපූරු කෞතුකාගාරයක් හදලා තියෙනවා.ඒ කෞතුකාගාරයට ගියාම නම් අතීතයේ ජීවත් වූ නියම වැද්දන්ගේ කලඑළිය දකින්න පුලුවන්. "“දඹානේ කන්දෙගම්වල කැකුළො කැකුළියෝ නුගේට ගිහින් කිරි කොටාගෙන එනවා. ඊට පස්සේ කෝඩුවේ කිරි පස්සලා කුරුල්ලෝ වදේ බොන තැන්වල තියලා. උන් කෝඩුවේ බැඳුණාම අල්ලා ගන්නවා. පදියතලාවට අරන් ගිහින් පැණි ටික විකුණනවා. පැගිරි කොළ,  ගයි ගර්ජන, සීනි, තේ කොළ, ලුණු, කැකුළියන්ට රෙදි හැට්ට සල්ලිවලට ගන්න... කුරක්කන්, ඉරිඟු, අල වර්ග, මස්, මීපැණි ඇතිවෙන්න තිබුණා. ඒ කාලේ හුරන්ට සල්ලි දීලා ගන්න. නුගේදි බොටකඳා (අලියා) මුලිච්චි උණොත් අපි උන්ට මතුරනවා. තුඃ ඉච්චට වල්ලයි පච්චට වල්ලයි. හරි මැද වල්ලයි. බොට කඳා නම් බොටකඳ කැලෑ පොජ්ජ පටෑරගෙන හනිකට මං ගච්චන්නයි” " මේ කෞතුකාගාරයේ රැකියාව කරන්නෙත් වැදි කැකුලියෝ දෙන්නෙක්. සුලු මුදලක් ගෙවලා ටිකට්පතක් අරගෙන ඊට ඇතුලු වෙන්න පුලුවන්. වැදි ජනතාව සතු සෑම සිරිත් විරිත්ම පාහේ ඡායාරූපද සමඟ එහි දකින්නට තියෙනවා.   ඒ වගේම නැලවිලි කවි, බඹර කවි විතරක් නෙවෙයි විවාහයට කියැවෙන කවි ගාථා වැනි දෑ පවා එහි දකින්න පුලුවන්. දැන් තහනම් වුනාට අතීතයේ සතුම් දඩයම් කරන්නට භාවිතා කල උඟුල්, වැදි භාෂාවෙන් කිව්වොත් හබක එහෙමත් එහි තියෙනවා.
     
උයා පිහාගෙන කෑ හැටි, දරුවන් රැකගත් හැටි දැන් සැබැවින්ම වැදි ගම්මානයේ දකින්න ලැබෙනවාට වඩා අතීත වැදි ජනතාව ඒ දෑ කල කී ආකාරය ඔබට එහිදී දකින්න පුලුවන්.
 
  ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නේ නැති වුනාට වැදි ජනතාව අතරත් විශේෂ වෙනස්කම් තිබෙනවා. විවිධ වැද්දන් සිටිනවා. උදාහරණයක් කිව්වොත්, වරිග පොජ්ජ (වරුග බෙදීම) අනුව, ගල් වැද්දන්, ගම් වැද්දන්, වෙරළබඩ වැද්දන් නමින් වැදි වර්ග කීපයක් ඇති අතර, මොරාන වරිගේ, ඌරු වරිගේ, කුරුවතී වරිගේ, බණ්ඩාර රැහැන් වරිගේ, ඇඹලෝ වරිගේ, කිරිදැක්වූ වරිගේ, උනාපාත වරිගේ, නාමදේව වරිගෙ, කබල්ලෑ වරිගේ, නංඹුවන වරිගේ, නිරෝ වරිගේ, කෝවිල්වන්නම් වරිගේ, තලා වරිගේ, නම්මුර වරිගේ ලෙස උප කුලක රාශියකට බෙදිලා තියෙනවා. මේ සියල්ලම පාහේ කියවන්න දකින්න නම් දවසක් දඹානේ ගත කරන්නට ඕනෑ.
   
වැදි ජනතාව තමන්ගේ බඩවියත රැකගන්න විවිධ දෑ අලෙවි කරනවා. තවමත් ඔවුන් අලෙවි කරන මී පැණි ඉතාම පිරිසිදු සීනි කවලම් නොකල ඒවා බවටයි පිළිගැන්නේ. ඒ විතරක් නෙවෙයි, වලස් තෙල්, තෙල් බෙහෙත් ආදිය පවා ඔවුන් ලඟ තියෙනවා.   ඇත්දල මුදු, අලි දත් මුදු, කළුවර මුදු පවා දකින්නට තියෙනවා. කොහොම වෙතත්, මේ වැදි ජනතාව කියන්නේ මිනිසා හා මහා සොබාදහම අතර අතීතයේ තිබුන සමීපතම පුරුකක්. අද වෙද්දි අපි හැමෝම වගේ ඔවුනුත් සොබාදහමෙන් ඈත් වෙමින් ඉන්නවා. දඹානට යන හරිත රසකාමීන්ට දැනෙන දේ තමයි ඒක. වැදි ජනතාවත් ජංගම දුරකථන පරම්පරාවේ කොටස් කාරයෝ වෙලා. කමක් නෑ. මේ තරමින් හරි ඉතිරි වෙලා තියෙන පුරාණ සිංහලය බලන්න හැකි ඉක්මනින් දඹානේ ගිහින් එන්න.
 
 

More News..