ලෝකෙම ඉල්ලන - කංසා ඉල්ලම
08 December 2021
ලෝකෙම ඉල්ලන - කංසා ඉල්ලම
08 December 2021
කංසා වගා කිරීම සහ කංසා ශාකයෙන් වැඩ ගැනීම පිළිබඳව ඉතා සාර්ථක කතිකාවක් මේ වනවිට සමාජය පුරා පැතිරෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ කිහිප වතාවක්ම කංසා නීතිගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අපනයනය සඳහා පමණක් කංසා නීති සංශෝධනය කරන බව පැවසීය. අන්තර්ජාතික කංසා පුනර්ජීවනය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු පැතිකඩ කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
වර්තමානයේදී කංසා බහුකාර්ය කෘෂිකාර්මික බෝගයක් ලෙස හඳුන්වයි. ලොව පුරා දියුණු රටවල කංසා වගා කර එයින් ලබාගන්නා ඇට, මැලියම, පොතු, කඳ සහ මුල් භාවිත කර ආහාර, ආහාරමය තෙල්, ඖෂධ, රෙදිපිළි, ලණු, කඹ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සත්ත්ව ආහාර, කඩදාසි, ප්ලාස්ටික්, ආස්වාදය සපයන දුම්වැටි, බියර්, වයින් ආදිය මෙන්ම ඉන්ධන ද නිෂ්පාදනය කරයි.
චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව, ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, ප්‍රංශය, එංගලන්තය, උරුගුවේ, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නෙදර්ලන්තය වැනි රටවල් රැසක් කංසා ශාකයෙන් දැවැන්ත වාසි ලබා ගනියි. දියුණුම රටවලට භූමි සහ පාරිසරික තත්ත්ව අවශ්‍ය තරම් නැති නිසා සමකය අසල ඇති අප්‍රිකානු සහ ආසියානු රටවල් සමග සමබන්ධ වී අවශ්‍ය කංසා වගා කර ගනියි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ රාජ්‍ය කංසා නිෂ්පාදන ආයතනය කටයුතු කරන්නේ ජර්මනිය සමගය. මේ වනවිට ඊශ්‍රායලය, කැනඩාව, ඇමරිකාව, ජපානය වැනි රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග කංසා වගා කිරීමේ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටී.
කංසා භාවිත කළ හැකි දේශීය කර්මාන්ත
ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන කර්මාන්ත එනම් නිමි ආහාර, ආහාරමය තෙල්, ඖෂධ, ලණු, කඹ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සත්ත්ව ආහාර, කඩදාසි, ආස්වාදය සපයන දුම්වැටි, බියර්, වයින් ආදිය නිෂ්පාදනය කරන ආයතනවලට කංසා ශාකයේ අමුද්‍රව්‍ය ඉතාම පහසුවෙන් භාවිත කළ හැකිය. එහෙත් නූල් විවීම, CBD තෙල් නිස්සාරණය, ප්ලාස්ටික් සහ ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය කර්මාන්ත ශාලා සහ තාක්ෂණය තවම අප සතුව නැත. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන සියලු නිමි ආහාර නිෂ්පාදකයන්ට කංසා ඇටවලින් ලබා ගන්නා පිටි සහ තෙල් භාවිත කළ හැකිය. තවද කංසා ශාකයෙන් ලබා ගන්නා CBD නමැති ඖෂධීය රසායනය අතිරේක පෝෂක පදාර්ථයක් ලෙස එකතු කළ හැකිය. කඩදාසි නිෂ්පාදනය කරන ආයතනවලට අවශ්‍ය වන සෙලියුලෝස් සහිත තලපය කංසා ශාකයේ තන්තුවලින් සාදා ගත හැකිය. පිළිකාකාරක දුම්කොළවලින් දුම්වැටි සාදන ආයතනවලට කංසා මල් සහ පත්‍ර ආධාරයෙන් සෞඛ්‍යට හානි නොකරන, ඖෂධීය ගුණ ඇති, ආනන්දය සහ ආස්වාදය ලබාදෙන දුම්වැටි නිෂ්පාදනය කළ හැකිය. මේ සඳහා දුම්කොළ වගා කිරීම ක්‍රමයෙන් අඩුකර ඒ වෙනුවට ඖෂධීය කංසා දුම්වැටි සෑදීම සඳහා සුදුසු කංසා ප්‍රබේද වගා කළ යුතුය. මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතනවලට අවශ්‍ය ආනයනික එතනෝල් වෙනුවට කංසා ඇට පැසවීමට ලක් කර ලබා ගන්නා එතනෝල් භාවිත කළ හැකිය. එමගින් අපට අවශ්‍ය එතනෝල්වලින් කොටසක් හෝ නිපදවා ගත හැකි වනු ඇත. මේ වන විට ලොව පුරා පැතිර යන නවතම තේ පානය බවට පත් වී ඇත්තේ කංසා තේ ය. එබැවින් තේ සඳහා සුදුසු කංසා ප්‍රභේද වගා කිරීම ආරම්භ කළ යුතුය. ප්ලාස්ටික් නිසා සිදු වී ඇති පාරිසරික ගැටලු නවතා දැමීමට ලෝකයේ දියුණුම රටවල් මේ වනවිට භාවිත කරන විකල්පය වන්නේ කංසා තන්තුවලින් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතනවලට කංසා ඇට සහ ඇටවලින් තෙල් හිඳගත් පසු ඉතිරි පුන්නක්කු භාවිත කළ හැකිය. කංසා ශාකයේ ශක්තිමත් අරටුව කුඩා කොටස්වලට කඩා හුනු සමග මිශ්‍රකර බ්ලොක්ගල් නිෂ්පාදනය කළ හැකිය. මේ සඳහා සිමෙන්ති හෝ වැලි අවශ්‍ය නොවන බැවින් පරිසර හිතකාමි ඉතා ලාබදායි ක්‍රමයකි. තවද කංසා අරටු කැබැලිවලින් තුනී ලෑලි සහ ප්ලයිවුඩ් වැනි දැව තහඩු නිර්මාණය කළ හැකිය. තුනී ලෑලි සංස්ථාවේ මේ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ඇත. දේශීය සහ බටහිර ඖෂධ නිෂ්පාදනය කරන ආයතනවලට කංසා මල් කිනිති, මුල් සහ කොළ භාවිත කර ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ තිබෙන කර්මාන්ත රැසකට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා දීමට කංසා ශාකයට හැකි බව ඉහත කරුණුවලින් පෙනී යයි. කංසා වගා කර එයින් ලබා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතය ආරම්භ කිරීම තුළින් පිටරටට ඇදී යන දැවන්ත මුදල් සම්භාරයක් ඉතිරි කර ගත හැකිය. ලෝකයේ දියුණුම රටවලත් මේ වනවිට නීති සකස් කරගෙන විපුල ප්‍රයෝජන ගන්නේ සියලුම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දීමට කංසා ශාකයට හැකි බැවිණි.