ක්‍රීඩා

ලොව විශිෂ්ටතම ‘ලාස්ට් මෑන්’ අපෙන්

වර්ෂ 1877 මාර්තු 15 වැනිදා, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන්නට යෙදුණු ටෙස්ට් ක්‍රිකට් වංශ කථාවට වසර 142ක් සපිරීමට සමීපයේ හෙවත් ඉකුත් 16 වැනිදා, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි කිංගස්මේඞ් ක්‍රීඩාංගණයේදී, මේ ශතවර්ෂාධික ටෙස්ට් ඉතිහාසයේ නොවූ විරූ දස්කමක් කිරීමට කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු සමත් වූහ. ඒ එතෙක් ලොව පැවැති ටෙස්ට් තරග 2347ක් අතරෙහි සිව්වැනි ඉනිමේ අවසන් කඩුල්ලේ විශිෂ්ටම ජයග්‍රාහී සබඳතාව පැවැත්වීමයි. ඒ තබා, අවසන් කඩුල්ල සඳහා කුසල් හා විශ්ව අතරේ ගොඩනැගුණු ලකුණු 78ක සබඳතාව පරයා යන අවසන් කඩුල්ලේ ජයග්‍රාහී සබඳතාවක් ලොව පළමු පෙළ තරගවලදීවත් වාර්තා නොවේ.

මේ දක්වා ලෝක ටෙස්ට් ඉතිහාසයේ අවසන් කඩුලේදී ජය වාර්තා කළ ටෙස්ට් තරග ඇත්තේ 13ක් පමණි. ඒ අවස්ථා 13 අතුරින් අවස්ථා 9ක්ම ඇත්තේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 20ට අඩු සබඳතා පවත්වා තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය තැන්ය. ලකුණු 50 ඉක්මවූ සබඳතාවක් අවසන් කඩුල්ලට පිහිටුවා ටෙස්ට් තරගයක් ජයගත් අවස්ථාවක් වූයේ නම් ඒ එකම අවස්ථාව 1994 දී පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර කරච්චි හි පැවැති තරගයේදීය. එහිදී ඉන්සමාම් උල් හක් සහ මුස්ටාක් අහමඩ් අවසන් කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් තබමින් තරගය ජයගත්තේය. ඒ ඔවුන් සත්කාරක වාසිය සහිතවය. නමුත් මෙදා කුසල් හා විශ්වගේ ඉනිම ක්‍රියාත්මක වන්නේ ආසියානු කලාපයේ පිතිකරුවන්ට ඉතාම අසීරු අභියෝගයක් වන දකුණු අප්‍රිකාවේ වේගවත් තණතිලි මතය.

එවන් තණතිල්ලක් මත සමස්ත ඉලක්කයෙන් භාගයකටත් වඩා තමන්ගේ තනි හරඹයෙන් රැගෙන ගිය කුසල්ගේ නොදැවුණු ලකුණු 153 ක ඉනිම ලෝක ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිහරඹයක් බව අවිවාදිතය. ඒ ගැන බොහෝ දේ කියැවුණි. ඒ ගැන බොහෝ දේ ලියැවුණි. නමුත් කුසල්ගේ ඒ හරඹයට සැබෑම වටිනාකම ලබාදෙන්නේ කව්රුන් විසින්ද? ඒ විශ්ව ප්‍රනාන්දුය. ලාස්ට් මෑන් හෙවත් අවසන් පිතිකරුය.

මේ අවසන් පිතිකරුගේ හරඹය ජයග්‍රහණයට මෙපිටින් අවසන් වූයේ නම් කුසල්ගේ හරඹය ඉදිරියේ ලියැවෙන්නේ ‘සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් දායකත්වයක් නොලැබීම හේතුවෙන් කුසල්ගේ හුදෙකලා සටනට නිසි වටිනාකමක් නොලැබුණි’ යන්න පමණි. විශ්ව, අවසන් පිතිකරුවකුගේ සුපුරුදු සැටියෙන් ආ සැණින් දැවී ගියේ නම්, ජයග්‍රාහී ලකුණු හඹායෑමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රාහී ලකුණු හඹායෑමකදී වෙනත් කුමන හෝ කණ්ඩායම පිතිකරුවකු විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ආදී වාර්තා කුසල්ගේ නම ඉදිරියේ නොලියැවෙන්නේය. ශ්‍රී ලංකාව විසින් විදේශයකදී ලකුණු හඹාගොස් ලැබූ ඉහළම ටෙස්ට් ජය ලෙසින් මෙම තරග ප්‍රතිඵලයට සුවිශේෂී වටිනාකමක් එක් නොවන්ට තිබිණි. එපමණක් නොව පරාජයන් පිට පරාජයන් ලබා ‘සේලයින්’ දීමට ආසන්නයේ තිබූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඔත්පලව එක්තැන් වන්නටද තිබිණි.

ජයග්‍රහණයට ලකුණු 78ක් මෙපිටින් අවසන් පිතිකරු දකිද්දී ජයග්‍රහණය ඇත්තේ නොපෙනෙන ඈතින් බව කුසල්ටද සිතුනේලු. එහෙත් අවසන් පිතිකරු ලෙසින් පිටියට පැමිණි විශ්ව ‘අයියේ මම ඇඟෙන් හරි ගහලා අල්ලගෙන ඉන්නම්. විකට් එක නම් දෙන්නේ නෑ’ යැයි කියූ වචන ටික, තමන්ට ජයග්‍රහණය මවා පෙන්වූ බව තරග ජයෙන් පසු කුසල් කීවේය. නිත්‍ය පිතිකරුවකු නොවූවත් අවසන් පිතිකරුවකුගෙන් කණ්ඩායමක ඉලක්කයට ලැබිය යුතු දායකත්වයට ‘විශ්ව ප්‍රනාන්දු’ යනු අනගි උදාහරණයක් බවට මෙසේ සාක්‍ෂි දෙන්නේ මේ ජයග්‍රහණයේ වීරයා වන කුසල් පෙරේරාය.

විශ්ව ‘ඇඟෙන් හෝ ගසන්නම්’ කීවේ බැලුන් බෝලවලට නම් නොවේ. වේග පන්දු යවන්නන්ට උචිත තණතිල්ලේ පැයට කිලෝමීටර 150ක පමණ වේගයෙන් ඇදී එන මාරක පන්දුවලටය. පන්දුවාර 6ක පරතරයේ ශ්‍රී ලංකාවේ පසුපෙළ පිතිකරුවන් සිව් දෙනෙකු දැවී යද්දී, විශේෂඥ හැකියාවෙන් යුත් පන්දු යවන්නන් පස් දෙනෙකු අතරට ඔවුන් හා සටන ‘බසින’ විශ්ව නම් අවසන් පිතිකරු අවසන් කඩුල්ල රැකගෙන සිටියා නොව, බදා සිටියේය. සිය පළමු ලකුණ ලබා ගැනීමට පන්දු 22ක් ඉවසා සිටි ඒ ඉනිමේ සංයමයත් තවුසකුගේ දැහැනත් අතර ඇත්තේ ඉරියව්වේ වෙනසක් පමණ යැයි සිතේ.

ඒ වන විටත් ටෙස්ට් තරග 4 ක පමණක් අත්දැකීම් තිබූ මේ පිතිකරුවා පස් ආකාරයක පන්දු ඉදිරියේ එක මොහොතකදී හෝ පිතිහරඹයේ ‘දැහැන බිඳගත්තේ නම්’ මේ තැබෙන සටහන පමණක් නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයට අපූරු සටහන් කිහිපයක් අහිමිවන්නට ඉඩ තිබිණි. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන්, මොරටුව ක්‍රීඩා සමාජය හරහා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටත්, සී.සී.සී ක්‍රීඩා සමාජයටත්, ඉන් එපිට සහ ජාතික කණ්ඩායමෙන් මෙපිට ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලු ආකාරයේ කණ්ඩායම් වලටත් සාමාජිකයකු වූ මේ වමත් මද වේග පන්දු යවන්නා, ක්‍රිකට් ඉතිහාසයේ ලෙහෙසියෙන් බිඳිය නොහැකි පිතිකරු වාර්තාවක සම හිමිකරුවා විය.

විශ්ව පාසල් ක්‍රිකට් පිටියට එන්නේ කුඩා කාලයේදීම නම් නොවේ. ඔහු සිය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම හා එක්වෙමිනි. නීල් රාජපක්‍ෂ නම් පුහුණුකරුවාගේ ගුරුහරුකම් යටතේ ශීඝ්‍රයෙන් පෙරට පැමිණි විශ්ව, ක්‍රීඩා සමාජ මට්ටමෙන් දස්කම් දක්වන්නේය. එහිදී සිය පළමු තරගවාරයේදීම කඩුලු 30ක හිමිකරු වෙමින් තම ගමනාන්තය ළඟ පාතක නොවන බව පෙන්වා සිටියේය. චාමර සිල්වාගේ ආරාධනයෙන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එකතුවන මේ ජවාධික පන්දු යවන්නා, ඒ සමගින් තෙදින තරගවලදී කඩුලු 25ක් දවාගනිමින්, වේග පන්දු යවන්නන්ගේ ජාතික සංචිතයට වරම් හිමිකරගනියි. එහිදී පෙන්වූ දස්කම් මතින් 2013 වසරේ ඩුබායි සංචාරයේදී ටෙස්ට් සංචිතයට එක්වන්නේය.

නමුත් සිය මංගල ටෙස්ට් තරගය උදෙසා තවත් වසර 3ක් බලා සිටින විශ්ව 2016 අගෝස්තුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඒ අවස්ථාව උදාකරගනියි. එහිදී පන්දු වාර 2ක් පමණක් යැවීමෙන් අනතුරුව කොන්දේ අබාධයකට ලක්ව තරගයෙන් ඉවත්වීමට ප්‍රථම ඔහු සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් ජෝ බර්න්ස්ව දවාගනියි. විශ්වගේ පළමු එක්දින කඩුල්ල වන්නේ එසේ මෙසේ පිතිකරුවකු නොවේ. ඒ විරාත් කෝලිය. විශ්වගේ ක්‍රිකට් දිවියේ ආදර්ශය පකිස්තානු වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම් වේ. ඔහු කවදා හෝ අක්‍රම්ව හමුවී කතා කිරීමේ නොතිත් ආසාවකින් පෙළෙයි. ඔහුගේ ක්‍රිකට් දිවියේ බලාපොරොත්තුව ටෙස්ට් කඩුලු 200ක් දවාගැනීමයි.

පිතිකරුවෙකු ලෙසින් ඔහු එතෙක් සිය ටෙස්ට් දිවියේ ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එම ජයග්‍රාහී තරගයේදී රැස්කළ ලකුණු 6යි. එහෙත් ඒ ලකුණු හය ශ්‍රී ලංකා පිලට කෝටියක් වටින ජයග්‍රහණයක් රැගෙන ආවේය. අවසන් පිතිකරු විශ්වගේ විශ්වසනීය පිතිහරඹයෙන් ලැබුණු එම ජයග්‍රහණයේ ජවය කණ්ඩායමට කොතෙක් බලපෑවේද යන්න තරගයෙන් පසුව ජනතාව අතරට ‘ලීක් වූ’ එම වීඩියෝවෙන්ම පැවසෙන්නේය. පරාජයන් පිට පරාජයම ලැබූ කණ්ඩායමක් එක් ජයග්‍රහණයකින් පසු මෙවැනි බස් දෙඩීම කොටළුවන් මිදි යුෂ බී නැටූ ‘ජෝගියට’ සමාන යැයි බැලූ බැල්මටම පෙනුණිද, එහිදී සමහරෙක් යෙදූ වචන ග්‍රාම්‍ය යැයි හැඟුණිද, කණ්ඩායමක් ලෙසින් මේ නවකයන් රෑන ජයග්‍රහණයක ආශාවෙන් කෙතරම් තෙරපී සිටියාද යන්න ඒ දර්ශන මාලාවේ සමස්ත කතාවයි. ඒ සෙවූ ජයග්‍රහණයට විශ්වගෙන් ලද දායකත්වය ‘ලාස්ට් මෑන්’ගේ ‘ටොප් ක්ලාස්’ පාඩමකි.