brand logo
logo

ලොව වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩකයා රොජර් ෆෙඩරර්

04 June 2020

ගෙවී ගිය වසර තුළ ලොව වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩකයා ලෙස සුප්‍රකට ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් තේරී සිටියි. ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට පසුගිය මාස 12 ක කාලය තුළ ඔහු උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 106 කි. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 20 කට ආසන්න ය. තරගවලින් ලැබෙන මුදල් මෙන්ම වෙළෙඳ දැන්වීම් ආදියෙන් ලැබෙන ආදායම්ද මෙයට අයත් වේ. මේ ආකාරයෙන් වසරක් තුළ වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩකයා ලෙස ටෙනිස් ක්‍රීඩකයෙකු තේරුණු පළමු අවස්ථාව මෙය බවද පැවසේ. පසුගිය වසරවල මේ ආකාරයෙන් අංක 1 ස්ථානයට වැඩි වශයෙන් පත් වූයේ පාපන්දු ක්‍රීඩකයන් ය. පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ඒ අතරින් වඩාත් කැපී පෙනිණි. කොරෝනා වසංගතය නිසා පාපන්දු ක්‍රීඩකයන්ට කරන ගෙවීම් විශාල වශයෙන් අඩු වීම මෙවර ඔවුන් ගේ ආදායම් මේ ආකාරයෙන් පහළ වැටීමට හේතු වී ඇත. රොනාල්ඩෝගේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 105 ක් ලෙස ද, මෙසීගේ ආදායම ඩොලර් මිලියන 104 ක් ලෙසද සටහන් වේ. මේ අතර ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ආදායම් ඉපැයූ ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නේ ජපාන ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක වන නයෝමි ඔසාකා යි. 22 හැවිරිදි ඔසාකාගේ ආදායම සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 37.4 ක් ලෙසිනි. ඔසාකා මෙම තත්ත්වයට ළඟා වී ඇත්තේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් අබිබවා යමින් වී‍ෙද විශේෂත්වයකි. සහන් වික්‍රමගේ
 

More News..