ලොව පැරණිම බයිබලය අලුතින් කියවයි!
30 June 2020
ලොව පැරණිම බයිබලය අලුතින් කියවයි!
30 June 2020
විසිවැනි සියවසේ සිදුකළ සුවිශේෂීතම සොයාගැනීමක් වූ 'මළමහුදේ අත්පිටපත්' හෙවත් 'dead sea scrolls' පිළිබඳ නවතම සොයාගැනීමක් මීට සති දෙකකට පමණ ඉහතදී සිදුකෙරිණි. එහෙයින් එම 'ඓතිහාසික අත්පිටපත්' වල වටිනාකම දෙගුණ තෙගුණ වූයේ යැයි කිව හැකි අතර මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.
'මළමහුදේ අත්පිටපත්' හෙවත් 'dead sea scrolls' යනුවෙන් හැඳින්වෙන්නේ මළමුහුද අසල ඇති කුම්රාන් ගුහා සංකීර්ණයකින් සොයාගත්, 'සම් සහ ලිනන් රෙදි' මත තැබුණු 'ඓතිහාසික අත්පිටපත්' ගොන්නකි. මෙකී අත්පිටපත් අතර ආගමික කටයුතු පිළිබඳ ලියවිලි, ජෙරුසලමේ ජන ජීවිතයට අදාළ ලියකියවිලි, ක්‍රිස්තියානි ධර්මයේ උපත ගැන මෙන්ම ඉපැරණි හීබෲ බයිබල් කොටස් ද විය. මෙකී 'බයිබල පිටපත්' හීබෲ බයිබලයෙහි පැරණිතම පිටපත් වශයෙන් සැලකෙන අතර එම අත්පිටපත් ප්‍රමාණය සංඛ්‍යාත්මකව 900 ක් පමණ විය. මේ අතර ක්‍රි.පූ. පළමුවැනි ශතවර්ෂයත් තෙවන ශතවර්ෂයත් අතර කාලයකට දින නීර්ණය කර තිබෙන එකී 'බයිබල පිටපත්' පුරාණ යුදෙව් නිකායකට අයත් වූ එසන්ස්වරුන් ( Essenes) විසින් රචනා කරන්නට ඇති බව විශ්වාස කෙරේ.
එසෙන්ස්වරුන් යනුවෙන් හැඳින්වෙන්නේ, ක්‍රි.පූ 2 වන ශතවර්ෂයත් පළමු ශතවර්ෂයත් අතර කාලයේ රෝමානු ජුදීයා හෙවත් රෝමන්වරුන් විසින් පාලනය කළ හීබෘෘ ජනාවාස ප්‍රදේශයේ ජීවත් වූ යුදෙව් ආගමික නිකායකට අයත් වූවන්ය. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව 'මළමුහුදේ අත්පත්‍රිකා' යනු එසෙන්ස්වරුන්ගේ 'ඉපැරණි පුස්තකාලයේ' තැන්පත් කර තිබුණු ලියවිලිය. කෙසේ වෙතත්, මෙම ලේඛන 'ගුහාවක්' තුළ සඟවන්නට ඇත්තේ කිනම් කාරණයක් නිසාද යන්න පිළිබඳව තවදුරටත් 'විසංවාද' පවතින අතර ඇතැම් පර්‌යේෂකයන් පවසන්නේ, ආක්‍රමණකාරී රෝමන් හමුදාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා මළමුහුදු වෙරළබඩ ගුහා 11 කින් සමන්විත 'කුම්රාන් ගුහා සංකීර්ණය' තුළ සඟවා තබන්නට ඇති බවය. මෙම පර්‌යේෂකයන්ට අනුව ක්‍රි.පූ. 68 වර්ෂයේදී පමණ සඟවා තබන්නට ඇති එම ලේඛන 1947 වර්ෂයේදී පළමුවරට ගොඩගන්නා තුරුම නිරුපද්‍රිතව තිබිණි.
මේ අතර මෙම ලේඛනවල සඳහන් ප්‍රධානතම භාෂාව හීබෲ භාෂාව වන අතර ඇතැම් ලියවිලි ඇරමයික් ( පුරාණ සිරියානු කලාපයේ විසූ පුද්ගලයන් විසින් භාවිත කළ භාෂාව ) භාෂාවෙන් හෝ ග්‍රීක භාෂාවෙන් ලියා ඇත. එමෙන්ම එම ලේඛන තබා ඇත්තේ, එක් පත්‍රිකාවක් තුළ 'කොලම් තුනක් හෝ හතරක්' වන ලෙසය. ඒ අතර තිබෙන දිගින් වැඩිම ලේඛනය අඩි 26.74 (මීටර් 8.15) ක් තරම් 'දිගු' වන අතර එය කුම්රාන් ගුහා සංකීර්ණයෙන් සොයා ගත් විශාලතම ලේඛනය වශයෙන් ද සැලකේ.
මේ අතර පර්‌යේෂකයන් විසින් එතෙක් නොඅසා තිබූ 'ඇප්‍රකිපොන් උප්පත්ති කතාව' (Genesis Apocryphon ) එසේත් නැතිනම් 'දේවස්ථාන ලේඛනය' (The Temple Scroll ) යන ලේඛන ද එම අත්පිටපත් අතර තිබිණි. කිසිදා ඉදිනොකළ යුදෙව් දේවස්ථානයක් ගැන විස්තර කරන 'එම පත්‍රිකා' වල 'එම දේවස්ථානයෙහි' පැවැත්විය යුතු පූජා සහ චාරිත්‍ර වාරිත්‍ර ද දක්වා තිබේ. එමෙන්ම එම ලේඛනය ලියා ඇත්තේ 'දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පවසන දේව වාක්‍යයක්' පරිද්දෙනි.
කෙසේ වෙතත් ජෙරුසෙලමේ දී පළමු දේවස්ථානය සොලමන් රජු විසින් ඉදි කිරීමෙන් පැහැදිලි වන්නේ, දෙවියන් වහන්සේ විසින් දුන් උපදෙස් අනුව මෝසෙස් විසින් 'එම දේවස්ථානය' ඉදි කර නොමැති බවය. නොඑසේනම් ඔහුට එය ඉදිකරන්නට නොහැකි වන්නට හෝ ඉදිකරන්නට අමතක වූවා විය හැකිය.
මේ අකාරයට මෝනාලිසා චිත්‍රය නූතන කලාව සඳහා පදනම දමමින් එහි අග්‍රඵලයක් බවට පත්වූයේ යම් සේ ද, ජුදියෝ- ක්‍රිස්තියානි ලෝකය තුළ වර්ධනය වූ නූතන බටහිර චින්තනය සඳහා පදනම දැමූ අදහස්වල මූලයන් ඇත්තේ 'මළමුහුදේ අත්පිටපත්'වලය. උදාහරණයක් වශයෙන් බටහිර ව්‍යවහාරය තුළ එන 'තවදුරටත් යුධ නොවැදිය යුතුය' ( turning swords to plowshares ) යන යෙසායාගේ පොතේ (Book of Isaiah ) තිබෙන වාක්‍ය ඛණ්ඩය මුලින්ම හමුවන්නේ මෙම ලේඛන තුළදීය.
''උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරන සේක... ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළා ගන්නෝය... ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙන ගන්නේවත් නැත...'' (යෙසාය 2:4) යනුවෙන් එම අදහස පරණ තෙස්තමේන්තුවට ද ඇතුළත්ව ඇත.
මේ ආකාරයට මේ සා විශාල වැදගත්කමකින් යුක්ත වන 'මළමුහුදේ අත්පිටපත්' පිළිබඳ මීට සති දෙකකට ඉහතදී සිදු කළ 'නවතම සොයාගැනීම් දෙක' ද සුවිශේෂීය.
ඉන් පළමුවැනි සොයාගැනීම, කැබලි වී තිබෙන සටහන් එකිනෙකට පුරුද්දා ගැනීමට උදව් විය. මේ ආකාරයට නවතම සොයාගැනීමක් හරහා කොටස් 25,000 කට පමණ කැඩී බිඳී තිබෙන සටහන් එකිනෙකට සම්බන්ධ කිරීමට හැකි වූයේ, ඒ ඒ පත්‍රිකා කොටස්වල තිබෙන 'සම් කොටස්' ඒවායෙහි 'DNA සාධක' අනුව ගැළපීමෙනි. ඒ අනුව මෙම පත්‍රිකා මුලින්ම සොයාගත් පර්‌යේෂණ කණ්ඩායමට 'අහස පොළව ගැටගැසීම තරමටම සංකීර්ණව' තිබුණු ප්‍රශ්නයකට උත්තර ලැබිණි. මේ අතර එම ලේඛන එකම ප්‍රදේශයකට අයත් ඒවාද නැතිනම් ඈත පෙදෙස් වලින් රැගෙන ආවාද? , ඒවා කුමන ප්‍රදේශවල ව්‍යාප්තව තිබුණේ ද? යන්න පිළිබඳව ද ඉතා වැදගත් තොරතුරු ඉදිරියේදී සොයාගත හැකිවනු ඇත.
දෙවැනි සොයාගැනීම වූයේ, එහි එන වචන නිවැරැදිව කියවා ගැනීමකි. මෙම සොයා ගැනීම කරන ලද්දේ, ලන්ඩනයේ කින්ග්ස් කොලීජියේ කිතු දහමේ සම්භවය පිළිබඳ පර්‌යේෂණ කරන 'ජොආන් ටයිලර්' නමැති මහාචාර්යවරිය විසිනි.
මුලින් 'අක්ෂර නොමැති' ලේඛනයට අයත් කුඩා පත්‍රිකා කොටසක් ලෙස සැලකූ කොටසක තිබී අක්ෂර සහ වචනද සොයා ගැනීමට ඇය සමත් වූවාය. මේ සියල්ලක්ම පියවි ඇසින් දැකගත නොහැකි වූ අතර ඒවා සියල්ල 'අන්වීක්ෂය' නිරීක්ෂණ විය. මෙම මහාචාර්යවරියට මුලින්ම දැකගත හැකි වූයේ පත්‍රකාවේ වම් පසට වන්නට තිබුණු 'හීබෲ L අක්ෂරය' යි. එහි ' lamed ' යන වචනය ලියා තිබෙන්නට ඇති බවට ඇය මුලින්ම අනුමාන කළාය.
මහාචාර්යවරිය මුලින්ම සිතුවේ එය ඇයගේ 'සිතලුවක්' වියහැකි බවය. එහෙත් ඇය තවත් එවැනි කැබලි කිහිපයක් පරීක්ෂාවට ලක්කිරීමෙන් ඒවා තුළ ද අක්ෂර තිබෙනු නිරීක්ෂණය කළාය. එහිදී වඩා නිරුපද්‍රතිව තිබූ අක්ෂර 16 ක් පමණ සොයා ගැනීමට ඇයට හැකිවූ අතර ඉන් එක් පත්‍රිකා කොටසක් මත 'සබත්' යන වචනය සඳහා වහරන 'හීබෲ වචනය' ඉතා පැහැදිලිවම ලියා තිබෙන බව තහවුරු කරගත්තාය.
මේ අනුව එම පත්‍රිකාවේ 'එසකියෙල් කෘතියේ' 46 වන පරිච්ජේදයේ එන, පළමු වාක්‍යය වූ ''ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක... නැඟෙනහිර දෙස තිබෙන ඇතුල් මලුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තැබිය යුතුය... නුමුත් සබත් දවසේද අමාවක දවසේ ද හැර තිබෙන්නේය...'' (එසකියෙල් 46 1-3) යන වැකියේ සිට තෙවන වාක්‍ය දක්වා වූ කොටස රචනා කර තිබෙන්ට ඇති බව තහවුරු කරගත්තාය .
මේ ආකාරයට 1947 සිට මේ දක්වාමත්, තවත් ඉදිරියටත්, 'නැවත නැවතත් අලුත් විය හැකි' ඓතිහාසික අනාවරණයන් රැසකට මූලික වන 'මළමුහුදේ අත්පිටපත්' සොයාගැනුණු 'කුම්රාන් ගුහා සංකීර්ණය' සොයාගැනීම පිළිබඳ 'කතාන්දරය' ද විශේෂය.
1947 දී එය සිදුවූයේ මෙසේය.
1947 වර්ෂයේ එක්තරා දිනයකදී තම බැටලු රංචුව දක්කාගෙන ගිය මොහොමඩ් එද්-දිබ් සහ ජුමා මොහොමඩ් කාහිල් යන කාන්තාරවාසී එඬේර ඥාති සොහොයුරන් දෙදෙනා ගමන් මඟ අතරමග පිහිටි 'ගුහා සංකීර්ණයක්' අසල සෙවණක නැවතී විඩා හරින්නට විය. ඔවුහු තම බැටළු රැලට සාත්තු කරන අතරතුර 'නිකමට මෙන්' කාහිල් අසල ඇති ගුහාවක් වෙත ගලකින් දමා ගැසූහ. ඒත් සමගම ඒ තුළ තිබූ යමක් 'බිඳී' යන හඬ නැඟිනි. ඉන්පසුව එද්-දිබ් මේ හඬ කුමකින් පැමිණියේ ද යන්න සොයා බැලීම සඳහා ගුහාව වෙත ගිය අතර ඔහුට දැකගත හැකි වූයේ, එම ගුහාව තුළ 'මැටියෙන් කළ බඳුන් අටක්' තිබෙන බවය. මින් එක් බඳුනක මැනවින් සුරක්ෂිතව තිබුණු අත්පිටපත් තුනක් සොයා ගැනුණු අතර පසුව කළ විමර්ශනවලින් එම අත්පිටපත් තුන 'ශ්‍රේෂ්ඨ යෙසායාගේ අත්පිටපත', 'හබාකුක් ( habakkuk) අටුවාව' සහ ප්‍රජාපාලනය පිළිබඳ අත්පිටපත යන පරණ තෙස්තමේන්තුවට අයත් බයිබල් ග්‍රන්ථ තුනක් බව තහවුරු කර ගැනුණි.
ගුහාව වෙත නැවත පැමිණ කළ පරීක්ෂාවකින් එම තිබී තවත් අත් පිටපත් හතරක් සොයා ගැනීමට ඔවුනට හැකිවූ අතර ඔවුන් දෙදෙනා එවකට බෙහෙවින් ප්‍රසිද්ධ වී සිටි පුරාවස්තු වෙළෙන්දෙක් වූ කිහාලි ඉස්කන්දර් නම් පුද්ගලයා මාර්ගයෙන් මෙම ලේඛන විකිණීමට උත්සහ කළ බව කියැවේ. පසුව ජෙරුසලමේ ශාන්ත මාර්ක් සෙනසුනේ සිටි ප්‍රධාන පූජක තැන විසින් මින් ඉහතින් සඳහන් කළ අත්පිටපත් තුන ඇතුළු ඇපක්‍රිපොන්ගේ උප්පත්ති කතාව යන අත්පිටපත් හතරක් පවුම් විසිහතරකට මිලදී ගත්තේය.
කෙසේ වෙතත්, බැටළුවන් බලන ගමන් තමන් විසින් සොයාගත් 'පත්‍රිකා' ලොව ඉපැරණිම බයිබල් පත්‍රිකා වන බව නම් කාන්තාරවාසී එඬේරුන් දෙදෙනා සිහිනයකින්වත් සිතන්නට නැත.