විශේෂාංග

ලොව ධනවතා වෙන්න ගිය රාජරත්නම් ඇමරිකාව හිර කරයි!

ඇමරිකාවේ හිටියත් රාජ් රාජරත්නම් ශ්‍රී ලාංකිකයෙකි. ඉකුත් කාලයේ ඔහුගේ නම කොළඹ දේශපාලනයේ නිතර කියැවුණේය. ඒ කතා කෙසේ වෙතත් මීට දස වසරකට පමණ ඉහතදී ඔහු ලංකාවට එන්නට සූදානම් වූවේය. ඒ ගමන හරි ගියේ නම් ලොව සිටින ධනවත්ව ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහුය. ඇමරිකාවේ ඔහු සතු මහා ධනස්කන්ධය ලංකාවේ ආයෝජනය කිරීම එම ගමනේ අරමුණ විය. එහෙත් ඊට පෙර ඇමරිකාව ඔහු අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දැම්මේය. තමාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පිළිගෙන අඩු සිරදඬුවමක් විඳීමට ඔහුට ඉඩ තිබුණද ඔහු ඊට ලෑස්ති නොවීය. සම්පූර්ණ සිරදඬුවම දෑ අවුරුද්දකට ඉහතදී නිදහස ලැබූ ඔහු Newsweek සඟරාවට ‘Raj Rajaratnam Teveals why he Didn’t Take a Play’ යනුවෙන් සිය කතාව කීවේය. මේ එම කතාවේ පරිවර්තනයකි.

ඒ 2009 ඔක්තෝබර් 16 වැනිදා ය. වෙලාව හවස 6 ට පමණ වන්නට ඇත Galleon Group හි ප්‍රධාන රාජ් රාජරත්නම් වී තම ව්‍යායාම් බයිසිකලය පදිමින් සිටියේ මැන්හැටන් ටර්ට්ල් බේ ඉහළින් දිවුණු ආකාශය දෙස නෙත් යොමමින්, තම එංගලන්ත සංචාරයට ඇඳුම් කැඩුම් කොපමණක් අසුරා ගත යුතු දැයි කල්පනා කරමිනි. ඔහුගේ මේ සංචාරයේ අරමුණ වූයේ ලංකාවේ කොටස් වෙළඳපොළට ඩොලර් මිලියන 200 ක ප්‍රමාණයක් ආයෝජනය කිරීමයි. ඉන් ඉක්බිති හේ ලොව සිටින ධනවත්ම ශ්‍රී ලාංකිකයා මෙන්ම විශාලතම තනි ආයෝජකයා බවට පත් වන්නට නියමිත විය.

ඔහුගේ නිවසේ දොර සීනුව නාද වන්නට පටන් ගත්තේ තවත් හෝරා අඩකට පමණ පසුව ය. එහි දිව ගිය ඔහුට දකින්නට ලැබුණේ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු නිල ඇඳුමෙන් සැරසී එහි රැඳී සිටින බවයි.

FBI නියෝජිතයකු වූ බී.ජේ. කැංග් ඔහුට පැවසූයේ නීතිවිරෝධී ජාවාරම් කිරීමේ වරදට තමන් ඔහු අත්අඩංගුවට ගන්නට යන බවකි. රාජරත්නම් කැටුව යන්නට එෆ්.බී.අයි. නියෝජිතයින් පස්දෙනෙක් එහි පැමිණ සිටියෝය.

ඔවුන් රාජරත්නම් සිය නිවසෙන් රැගෙන යද්දී, කැංග් ඔහුගේ කනට කෙඳිරී ය. “පුතාගේ මූණ හෙම හොඳට බලා ගන්නවා. මොකද සෑහෙන කාලෙකට ඔහෙට ආපහු එන්න වෙන්නේ නෑ” එතැනින් නොනැවතුණු හේ මෙසේ ද පැවසීය. “ඔහේ ගෙ බිරින්දෑ නං කනගාටු වෙන එකක් නැහැ. මොකද ඔහේ ගිය ගමන් උන්දෑ ඔහේගේ සල්ලි ටික වියදම් කරන්න පටන් ගනී.”

පහළ මෑන්හැටන්හි එෆ්.බී.අයි. කාර්යාලයේ පැවැති ප්‍රශ්න කිරීම පැය අටක් දක්වා දුර දිග ගියේය. ඔහු ඉදිරියේ ලැප්ටොප් පරිගණකයක් තැබූ ඔවුහු ස්විචයක් එබුවෝ ය. ඔහුට ඇසුනේ තම බිරිඳ නිවසේ දුරකථනයෙන් උත්තර දෙන්නට සැරසෙන අයුරු ය. “හෙලෝ?” ඉනික්බිති ඔහු තවත් බොත්තමක් එබුවෝ ය. ඔහුගේ ජංගම දුරකථනයෙන් ඇසුණේ මැක්කින්සි හි රැකියාව කළ සිය පංති සගයකු වූ අනිල් කුමාර් ය. ඒ දවසේ ම තවත් පන්ති සගයෙකු වූ රාජිව් ගෝයල් අත්අඩංගුවට ගත්තේ නීතිවිරෝධී ව්‍යාපාර සම්බන්ධයෙන් චෝදනා නගමිනි.

එෆ්.බී.අයි. නිලධාරීන් දෙදෙන සිය ආයුධද පෙනෙන සේ තබාගෙන හොඳ මුහුණද සැර පරුෂ කම ද එකට කලවම් කරගෙන ප්‍රශ්න කරන්නට පටන් ගත්තෝ ය. “අපට කරදර නොකර ඔහේ එහෙම දෙයක් කළ බව පිළිගන්නවා!” එහෙත් තමා වෙනුවෙන් නීතිඥයකු තෝරා ගන්නට හෝ උත්සාහ නොකළ සැකකරු ඊට සහායක් දැක්වූයේ නැත. “මං කිව්වෙ, මාව ඔය විදිහට බය ගන්නවන්න බැහැ. මම ලංකාවෙන්?” එහේ හිරකාරයො ඊට වඩා දේවල්වලට මුහුණ දෙනවා. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔහු හරහා තවත් කීපදෙනකු කොටු කර ගන්නට ය. විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය වූයේ ඔහු ලවා මැක්කින්සි හිටපු ප්‍රධාන විධායක රජාත් ගුප්තාට දුරකථනය මගින් කතා කරවා ඒවා පටිගත කර ගන්නට ය. ගුප්තා විටෙක රාජරත්නම් හඳුන්වා තිබුණේ පළමු පෙළ හාදයෙකු එසේත් නැත්නම් ඇමරිකාවේ වෙසෙන ඉන්දියානු විධායක නිලධාරියෙකු වශයෙනි.

ප්‍රශ්න කිරීමෙන් පසුව අතට විලංගු ලා ඔහු ගෙන යන ලද්දේ මාධ්‍ය කරුවන් ඉදිරිපිටට ය. ඒ උසාවියට ගෙන යාමට පෙර ඔහු මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කරන්නටය. මෑන්හැටන් හි නීතිපතිවරයා විසින් කරන ලද සිව් අවුරුදු පරීක්ෂණයේ සුවිශේෂීම මොහොතක් වූයේ එයයි.

සමාව අයැදීමක් කර අදාළ පුද්ගලයන් සමග දුරකථන සම්බන්ධතා පවත්වා අදාළ තොරතුරු හෙළිදරව් කර දුන්නේ නම් ඔහුට හිමිවන්නේ අවුරුදු පහක වැනි කෙටි සිරදඬුවමක් පමණක් බව රාජරත්නම් දැන නොසිටියා නොවේ. යහපත් කල් ක්‍රියාවෙන් ගත කළහොත් වැඩිම කාලයක් එහි ගෙවා දමන්නට පෙර ඔහුට හිර ගෙයින් එළියට පැමිණිය හැකි බව ද ඔහු දැන සිටියේය. හොරෙන් සවන් දුන් දුරකථන සංවාද පිටපත් කර ගත නොහැකිව තිබුණි. ඒ සියල්ල සටහන්ව තිබුණේ ඔහු කටයුතු කළ විවිධ සමාගම්වල ණය හා අනෙකුත් මුදල් ප්‍රතිපාදන හුවමාරු පිළිබඳ කළ සාකච්ඡා ය.

මේ නීතිවිරෝධී ව්‍යාපාර කටයුතු පදනම් කරගෙන පනස් දෙනෙකුට වැඩි පිරිසක් කොටු ගන්නට හැකි විය. “ඒ අතරින් බොහෝ දෙනා සමාව ඉල්ලලා තිබුණා “රාජරත්න ම සඳහන් කරයි” කේස් එක පිළිබඳ සටන් කළේ නැහැ. ඔවුන් වැරැද්ද භාර ගෙන සමාව ඉල්ලුවා” එහෙත් ඔහු වැරැද්ද භාරගන්නට හෝ සමාව ඉල්ලන්න ට තීරණය කළේ නැත; අන්තයේදී කාරණා දාහතරක් යටතේ වරදකරු වූ ඔහු එකොළොස් අවුරුදු හිර දඬුවමකට යටත් විය .

ඔහු වැරැද්ද බාරගෙන සමාව නො ඉල්ලුවේ ඇයි?

රාජරත්නම් තොරතුරුවලින් ම ජීවිකාව සකසා ගත් මිනිසෙකි. ඔහුගේ සමස්ත ව්‍යාපාරයම රැඳී තිබුණේ අනෙකාට පෙර තොරතුරු ඩැහැ ගැනීම මතය. එහෙත් අන්තයේ මේ තොරතුරු පිළිබඳ ප්‍රවීණයා – ඔහු ම පවසන අයුරින් – වෙනස් මගකට හරවන ලද්දේ තම ජනතාවගේ දේශපාලන ඉතිහාසය, ධනවත් රටවල් හරහා අඳුරු සමක් ඇති සංක්‍රමණිකයෙකු ලෙස යෙදුනු මේ ගමන, එමෙන්ම වසර තුන්දහසක් ඉක්මවා ගිය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය පිළිබඳ පැරණි සම්ප්‍රදායන් ය.

මේ මුළු කතාවම දකුණු ආසියානු-ඇමරිකානු ප්‍රජාවට අදාළය: එය ඕනෑම කැපකිරීමකින් සාර්ථකත්වය හා මුදල් ලුහුබැඳීම පිළිබඳ කතාන්දරය කි; සංක්‍රමණිකයන් සහ පළමු පරම්පරාව අතර වෙනස්කම්; සහ එක්සත් ජනපදයේ නීතියේ දැඩිභාවය පිළිබඳ අසම්පූර්ණ අවබෝධය.

නීති තියෙනවා ඕන තරම්. ඒවා ඔබ කවුද එහෙමත් නැත්නම් ඔබ සතුව කොපමණ මුදල් තිබෙනවා ද යන කාරණය මත තීරණය වන්නේ නෑ. ඒක සෑම කෙනෙකුටම අදාළයි” යනුවෙන් නීතිපති ප්‍රීත් භාරාරා පවසයි. දකුණු ආසියානුවන්ට පහසුවෙන් තේරුම්ගත නොහැකි කාරණය මෙයයි. ඉන්දියාවේ වගේම ශ්‍රී ලංකාවෙත් නීති රීති තිබේ, නමුත් ඒවා මුදල් හෝ දැන් ඇඳුනුම්කම් හෝ නිසා හරි හැටි ක්‍රියාත්මක නොවන්නට පුළුවන.

රාජරත්නම් යනු සංක්‍රමණිකයෙක් මිස ඇමරිකානු ජාතිකයෙක් නොවේ. ඔහුම කියන පරිදි ඔහු හැදී වැඩී ඇත්තේ බියෙනි: තම මව්බිමේ සිංහල බහුතරය ගැන බියෙනි; ඔහු අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍යයේ සගයන් පිළිබඳ උපන් බියෙනි; මුලින් ඔහු ව්‍යාපාර කළ වෝල් වීදියේ වූ ප්‍රභූන්ට බියෙනි. ඔහුගේ ජීවිතයේ සෑම අදියරකදීම ඔහුව ඉලක්ක කරගැනීමට සූදානම් වූ මිනිස්සු සිටියහ. “මම දුටුවේ මා දුබලයෙකු ලෙසයි.”

රාජරත්නම් අවුරුදු 15 ක් තිස්සේ ඔහුගේ පෙන්ට්හවුස් මහල් නිවාසයේ ජීවත් විය. ඊස්ට් රිවර් දෙපස ම දර්ශනය වන එය මනරම් බිම්කඩකි. “මෑන්හැටන් තදබල භීතිකාව එහි නො දැනීම සතුටක්” ඔහු ඒ දෙසට අත දිගු කරමින් පවසයි. අප වාඩි වී සිටින විසිත්ත කාමරයේ ගනේෂ පිළිමයක් සහ ඔහුගේ බිරිඳගේ සහ දරුවන්ගේ පින්තූර පිළිවෙළකට තැන්පත් කර තිබේ.

රාජරත්නම්ගේ පියා දකුණු ආසියාවේ සිංගර් මැහුම් යන්ත්‍ර සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අවංක විධායකයෙක් විය. 1960 ගණන්වල ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ පදිංචිව සිටි ඔවුන් සැලකුණේ දෙමළ ජාතිකයන් වශයෙනි. යටත්විජිත බ්‍රිතාන්‍යයන් බෙහෙවින් ඇලුම් කළ ජනවාර්ගික සුළුතරයකි. නිදහසින් පසු බහුතර සිංහලයෝ ක්‍රමයෙන් දෙමළ ජනයා වෙනස් කොට සලකන්නට පටන් ගත්හ. තත්ත්වය වඩාත් ප්‍රචණ්ඩකාරී වනු ඇති බව දැනගත් රාජරත්නම්ගේ පවුල 1971 දී සංක්‍රමණය විය. ඔහු ඒ වනවිටත් සිටියේ ලන්ඩනයේ බෝඩින් පාසලේ ය. මීට දෙවසරකට පෙර 11 හැවිරිදි ව සිටියදී ඔහු යැවුණේ ඩල්විච් විද්‍යාලයට ය. “පී. ජී. වොඩ්හවුස් ඉගෙන ගත්තෙත් එහෙනේ” මම ඔහුගෙන් ඇසීමි. වොඩ්හවුස් දකුණු ආසියාව පුරා ආදරණීය චරිතයක් බවට පත් වූයේ ඔහුගේ විකට නවකතා හේතුවෙනි. ඔහුගේ මුහුණට එළියක් වැටෙයි.”මං ඔහුගේ කාමරයේ අවුරුදු තුනක් හිටියා” ඩල්විච් හිටිය කාමරවල නැවතී සිටි අය ඔවුන්ගේ නම් ලියා යන්න ට පුරුදු වී සිටියා. මා එහි පදිංචියට ගිය ගමන් ඔහුගේ නම දැක්කා. මං මගේ නමත් යටින් ලිව්වා.”

පසුව රාජරත්නම් ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා බ්‍රයිටන්හි සසෙක්ස් විශ්ව විද්‍යාලයට ඇතුල් විය. මේ අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ජාතික පෙරමුණ වීදි දිගේ ගමන් කරමින්, පහසු ඉලක්ක වූ “පාකිවරුන්” ට පහර දෙමින් විගඩම් නැටූ දවස් විය. “ඔවුන් පෙරලා පහර දෙන්න ආවෙ නැහැ. ඔවුන්ට හොඳ ඉවසිල්ලක් තිබුණා “රාජරත්නම් වරෙක ලන්ඩනයේ විසූ තම මාමා සමග වීථියේ ඇවිදිමින් සිටියදී සුදු ජාතිකයන් තිදෙනෙක් එහි අරියාදුවට කඩා පැන්නෝ ය. “අපි උන් තල්ලු කරලා දමන්න හැදුවා විතරයි,” නමුත් ඔවුහු පළා නො දිව්වෝ ය. “පලා දිවීම මං කොයි ‌වේලකවත් පුරුදු වෙලා හිටිය දෙයක් නෙවෙයි” එහි ප්‍රතිඵලයක් ලෙස රාජරත්නම් සහ මාමා යන දෙදෙනාම උන්ගේ පහර කෑමට ලක් වූහ. “මම කවදාවත් ඒ තරම් ගුටි කාලා නැහැ.” ඒ සිද්ධියෙන් පසු රාජරත්නම් රාත්‍රියේ පිටතට ගියේ නම් ඒ හැම විටම මිරිස් කුඩු සාක්කුවේ දමාගෙන ගියේය. “මගේ ජනවාර්ගිකත්වය නිසා මට කොයි වෙලේ හරි පහර ලැබෙන්න ඉඩ තියෙන බව මම දැනගෙනයි හිටියෙ.”

සසෙක්ස් වලින් පසු ඔහු වෝර්ටන්හි දී M.B.A. සම්පූර්ණ කර ගන්නට කල්පනා කළේ ය. එහි සිටි සිසුන් 600ක ගෙන් දකුණු ආසියානුවන් සිටියේ විසි දෙනෙකු පමණි. Gallon ජාලය ආරම්භ වූයේ එතැනිනි. ඔහුගේ කාමර සගයා ගැලියන්හි ආයෝජක සබඳතා ප්‍රධානියා ලෙස කටයුතු කළේය. තවත් පංති මිතුරෙක් පසුව Gallon hi ආසියාව පිළිබඳ කටයුතු භාර ගත්තේය. ඔහුගේ පන්තියේ සගයන් හතර දෙනෙක් ඔහු වෙනුවෙන් වැඩ කරන්නට එකතු වූවෝ ය. එකල බොහෝ අභිලාෂකාමී දකුණු ආසියානුවන් ගියේ සිලිකන් නිම්නයට ය. “වෝල් වීදිය අපට තරමක් අමාරු තැනක් වුණා. රළු පරළු නොවෙයි, නමුත් බොස්ටන් යුදෙව් මාෆියාවක්, WASPමාෆියාවක් ඒ වගේ ම අයර්ලන්ත මාෆියාවකුත් තිබුණා.” ඔහු පවසන්නේ ඔවුන් හුදෙක් ඒ ඒ ජන වර්ගයාගේ යහපත වෙනුවෙන්ම කටයුතු කරමින් සිටි බව ය. දකුණු ආසියානුවන් සම්බන්ධයෙන් ගත් කල, ඔහු කනගාටු වන්නේ ‘ කණ්ඩායමක් වශයෙන් අපට එක්සත් කමක් නැතැ’ යි පවසමිනි. ඔහු ඉන්දියානු පුවත්පත්වල පළවෙන ලුහුඬු මංගල දැන්වීමක ස්වභාවය සිහි කරයි.” පන්ජාබි කත්‍රි කෙනෙකුට පන්ජාබි කත්‍රි විවාහ කර ගැනීමට අවශ්‍යයි…”

ඔහු වෝල් වීදියේ දකුණු ආසියානු පුරෝගාමීන් අතරට පත් විය. “අපි වෝල් ස්ට්‍රීට් ජර්නලයෙ වැටෙන තරමට දියුණු වුණේ නැහැ. අපට සම්මුඛ පරීක්ෂණයක් ලබා දෙන්න හැකි කෙනෙකු දන්නා කෙනෙක්වත් අපට හිටියේ නැහැ . අපට ඩොමේන් ගැන දැනුමක් මෙහි නැහැ; එහි හිටිය සියලුම දෙනා විදේශිකයෝ.” සම්බන්ධතා තිබුණේ ඇමරිකානුවන්ටය.

වෝල් වීදිය “ඒ” පෞරුෂයන් (Type A- personalities) ආකර්ෂණය කර ගත්තේ තැනකි, “මට වයස 30 වෙන්න කලින් ඩොලර් මිලියනයක් උපයා ගන්නට ඕනෑ” යනුවෙන් පැවසිය හැකි අය එතැනට ගැළපුණි. රාජරත්නම්ට මෙය අමුතු දෙයක් විය. “අපේ සංස්කෘතියට අනුව අපට එහෙම කියන්න බැහැ. ‘මට විශාල මුදලක් උපයා ගැනීමට අවශ්‍යයි’ යැයි කියන්න පවා අපි ලැජ්ජා වුණා. අපි වඩාත් මිත්‍රශීලී මිනිස්සු.” ඇමරිකානුවන් උපතින්ම විකුණුම්කරුවන් සහ හිලව් කාරයන්” බැව් ඔහු දුටුවේය. ඔහු කුඩා කල, ඔහුට චිත්‍රපටයකට යාමට අවශ්‍ය වී නම් සහ ඔහුගේ පියා එපා යැයි කීවා නම්, ඒ කතාව එතැනින් අවසාන ය. කෙසේ වෙතත්, ඔහුගේ ඇමරිකානු පුතා සමග ඔහු ද එසේ කරන්නට නුපුළුවන. “මම එපා කිව්වොත්, ඔහු සාකච්ඡා ආරම්භ කරයි.”

වෝර්ටන් හැර ගිය රාජරත්නම් පළමු රැකියාව කෙළේ චේස් මෑන්හැටන් හි ය. ඉන්පසු ඔහු 1985 දී නීඩ්හැම් ඇන්ඩ් කම්පැනි හි විශ්ලේෂකයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. රාජරත්නම් එහි 10 වැනි සේවකයා මෙන්ම පළමු දකුණු ආසියානු ජාතිකයා ද විය. ඔහු අර්ධ සන්නායක කර්මාන්තය කෙරේ අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය . පරිගණකය බස් එකට කර දමමින්, උසස් පරිගණක චීප විශාල වශයෙන් නිපදවෙන්නට පටන් ගත්හ. ඔහුගේ ඉංජිනේරු පසුබිම ඔහුට ඒ තාක්ෂණය තේරුම් ගැනීමට උදව් විය. පර්යේෂණ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඔහු වසර කිහිපයකට පසු එහි සභාපති බවට පත් විය. “මම නියම මාර්ගයට වැටුණා” ඉන් ඉක්බිති ඔහු දකුණු ආසියානු විශ්ලේෂකයින් කිහිප දෙනෙකු බඳවා ගත්තේය. එක් අවස්ථාවක සභාපති ජෝර්ජ් නීඩම් ඔහුගෙන් ඇසුවේ ඔහු දකුණු ආසියානුවන් මෙතරම් ප්‍රමාණයක් බඳවා ගන්නේ ඇයි ද යන්නයි. ඊට ප්‍රතිචාර වශයෙන් රාජරත්නම් සමාගමේ වෙළෙඳ මේසයේ ඇති නම් කියවා බැලීය. “ඔවුන් සියල්ලන්ම පාහේ යුදෙව්වන් විය.”

පරිවර්තනය – පසිඳු කරුණාරත්න

තවත් කොටසක් ලබන සතියට…