විශේෂාංග

ලොග් පොත වසා දමා ඇප් එකෙන් මාළු ගොඩදාන හැටි

මුහුදේ ඉන්න මාළුන්ට ගොඩබිම ඉඳන් මිලක් නියම කළ හැකි ක්‍රමවේදයක් ඇතැයි කිවහොත් එය මුහුද හත්ගව්වක් තිබියදී අමුඩය ගහනවාටත් එහා වැඩක් යැයි ඔබට හැඟීයන්නට පුළුවන්. එහෙත් හත් ගව්වක් ඈත මුහුදේදී අල්ලන මාළුන්ගේ ඡායාරූප එවලේම ගොඩබිම මාළු වෙන්දේසි භූමියට එවිය හැකි තාක්ෂණය දැන් ශ්‍රී ලාංකික ධීවරයාට හඳුන්වා දෙමින් තිබේ.

ඒ කියන්නේ අපේ ධීවරයා දැන් ඩිජිටල් වෙමින් සිටියි. මාළු ඇල්ලීමද ඩිජිටල් ක්‍රමයටය. කොපමණ මාළු ප්‍රමාණයක් ඇල්ලුවාද ඇල්ලුවේ මොන වර්ගයේ මාළුද දින කීයකින් ගොඩබිමට එනවාද වැනි තොරතුරු රැසක් ඡායාරූප දර්ශනද සහිතව ගොඩබිම සමග හුවමාරු කරගැනීමට මෙමගින් ධීවරයාට හැකිවෙයි. එහෙයින් ඈත දියඹේ සිටම මාළු මිල ගණන්ද නියම කර ගැනීම අපහසු කටයුත්තක් නොවේ.

මේ සඳහා ධිවරයාට පාර කියන්නේ තොරතුරු තාක්ෂණයයි. තොරතුරු තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් ඊට ඉවහල් කර ගනියි. ධීවර දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් නිර්මාණය කෙරෙන මෙම මෘදුකාංගය හෙවත් ‘‘ඇප් – APP’’ එකෙහි නිර්මාණ කටයුතු සියයට අනූනවයක්ම දැන් අවසන්ව ඇත.

එම ඇප් එක සමග ගනුදෙනු කිරීම සඳහා ‘ටැබ්’ එකක්ද මේ වන විට බෙදාහැර තිබේ. එලෙස ටැබ් යන්ත්‍ර බෙදා හැරිය ද ඒවා ලැබෙන්නේ ධීවරයන්ට නොව ධීවර පරීක්ෂණ නිලධාරීන්ටය. ශ්‍රී ලංකාවේ පන්සියයක් පමණ වන ධීවර පරීක්ෂකවරුන්ට මෙලෙස ටැබ් යන්ත්‍ර බෙදාදුන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක්ද ඔවුන්ට ලබාදීමෙන් අනතුරුවය.

මෙම ධීවර පරීක්ෂක නිලධාරීන් ගමේ ග්‍රාමසේවක නිලධාරීන් මෙන් රාජකාරි කරන පිරිසකි. විද්‍යා උපාධිධාරීන් වන ඔවුන් තම බල ප්‍රදේශයේ ධීවරයින් සම්බන්ධ සියලු තොරතුරු දන්න අයයි. නම, ගම, වයස, ආදී තොරතුරු ඇතුළත්ව ධීවරයින් වෙනුවෙන් නිකුත් කෙරෙන ලියාපදිංචි සහතිකය සකස්වන්නේ ධීවර පරීක්ෂකවරයා අතින්ය.

ධීවර රැකියාවට යන්නන්ට මෙම ලියාපදිංචිය අනිවාර්ය වෙයි. සක්‍රිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ලෙස සැලකෙන්නේ ඔවුන්ය. එවැනි ධීවරයෝ එක්ලක්ෂ අසූදහසක් පමණ ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව සිටිති.

මෙලෙස සක්‍රියව ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් මෙතෙක් කලක් ලියාපදිංචිය කෙරුණේ පොත්පත්වල නම්, ගම්, ලියා සටහන් කර තබා ගැනීමෙන්ය. එහෙත් දැන් ධීවරයන්ට තමන්ගේ සියලු තොරතුරු ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැන්වීම පමණක් ප්‍රමාණවත් වෙයි. ධීවර නිලධාරීන් මගින් එම තොරතුරු කොළඹ ධීවර දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වා ලියාපදිංචි කිරීමේ කටයුතු කෙටි කාලයක් ඇතුළත සිදු කරයි. නව මෘදුකාංගය හඳුන්වා දීමත් සමග මෙසේ කෙටි කාලයකින් සිදු වන්නේ මෙතෙක් කලක් වාර්ෂිකව මාස දෙක තුනක් තිස්සේ පමාවෙමින් සිදුවූ ධීවර ලියාපදිංචියයි.

ධීවරයින් පමණක් නොව මුහුදු යන ධීවර යාත්‍රාද ධීවර දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබාගත යුතු වෙයි. වෙළෙඳාම සඳහා මසුන් ඇල්ලීමට යන කිසිදු යාත්‍රාවකට ලියාපදිංචි බලපත්‍රයකින් තොරව දියඹට යාමට නම් ඉඩක් නැත. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ධීවර පරීක්ෂක නිලධාරීනුත් ඉන්නේ නිතර මේ පිළිබඳ ඇස ගසාගෙනය. ගොඩබිම දී රථවාහන පොලිසිය ක්‍රියාකරන්නේ යම්සේද ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ධීවර පරීක්ෂකවරුන් ක්‍රියා කරන්නේද ඊට සමාන ලෙසය.

යාත්‍රාවක් දියත් කිරීමට පෙර එය ධීවර පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් වෙයි. ශ්‍රී ලංකාවේ තිබෙන ධීවර වරායයන් 21 ආශ්‍රිතව මෙම ධීවර පරීක්ෂකවරු දිවා රෑ රාජකාරියෙහි යෙදී සිටිති. ඔවුන්ගේ පරීක්ෂාවකින් තොරව යාත්‍රාවක් දියත් වීමට ඉඩක් නැත.

ධීවර පරීක්ෂක නිලධාරියා යාත්‍රාවක් පරීක්ෂා කරද්දී එහි භාවිත දැල් වර්ගය, යාත්‍රවේ ලියාපදිංචි අංකය, යාත්‍රාවේ යන ධීවරයින් ලියාපදිංචි අයද යන කාරණා ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරයි. එවැනි කාරණා සපුරා නැතිනම් ධීවර යාත්‍රා හිමිකරුට එරෙහිව නඩු පවරන ලද අවස්ථාද වෙයි.

මීට අමතරව දියඹට ගිය ධීවර යාත්‍රාවකින් ඇල්ලූ මාළු වර්ගය සහ එම මාළු ප්‍රමාණය ලොග් පොතෙහි සටහන් කොට ගොඩ බිමට පැමිණි පසු එම කොළය ධීවර නිලධාරියාට ලබාදිය යුතුය. නව මෘදුකාංගය හඳුන්වා දීමෙන් පසු අතින් තබන එවැනි කිසිදු සටහනක් අවශ්‍ය වන්නේ නැත. එම සියලු විස්තර ටැබ් යන්ත්‍රය වෙත ලබාදිය හැකි වෙයි.

දියඹේදී අල්ලන මාළු පිළිබඳ විස්තරද මුහුදේ සිටම මෙම ටැබ් යන්ත්‍රයට එවීමේ පහසුකම ධීවරයාට ඇත. අල්ලන ලද මාළුන්ගේ ඡායාරූප සහිත විස්තර එවිය හැක්කේ ද ඒ අයුරින්මය. එලෙස ලැබෙන වාර්තාවක් මාළු වෙන්දේසියට ඉදිරිපත් කිරීමටද ධීවර පරීක්ෂකවරයාට බැරිකමක් නැත.

නමුත් මුහුදේදී අල්ලා ගන්නා මාළු පිළිබඳ විස්තර ගොඩබිමට දැන්වීම සඳහා මුහුදු ගෙන යා හැකි තාක්ෂණික උපකරණයක් ධීවර දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ධීවරයන්ට හඳුන්වා දී නැත. එහෙත් ධීවරයින් සතු නවීන ජංගම දුරකථන භාවිතයෙන් එය පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිය.

මුහුදු යන සෑම ධීවර යාත්‍රාවකම සිටින නියමුවන් අතර නවීන දුරකථන භාවිතය සාමාන්‍ය තත්ත්වයකි. ධීවර දෙපාර්තමේන්තුව තාක්ෂණික උපකරණයක් හඳුන්වා දෙන තුරු එම නවීන ජංගම දුරකථන ප්‍රයෝජනයට ගැනීමට බාධාවක් නැත. එම ජංගම දුරකථනයෙන් ධීවර නිලධාරීන් සතු ටැබ් යන්ත්‍රයට තොරතුරු ලබාදීම පහසු කාරණයකි.

මෙවැනි ධීවර යාත්‍රාවල නියමුවා විශේෂ පුහුණුවක් සහිත විශේෂ හැඳුනුම්පතක් දරන්නෙකි. ධීවර නීතිය, මුහුදේ ගමන් කිරීම, දැල් භාවිතය, බෝට්ටු පැදවීම පිළිබඳ දැනුම ආදියෙන් ඔහු පොහොසත්ය. වි‍‍ශේෂ හැඳුනුම්පතක් ඔවුන් වෙනුවෙන් නිකුත් කෙරෙන්නේද එම නිසාමය. එම හැඳුනුම්පත ද ධීවරයින් උදෙසා මෙතෙක් නිකුත් කරමින් තිබෙන හැඳුනුම්පතද ඩිජිටල්කරණයට ලක් කරන බව ධීවර දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නුවන් ගුණවර්ධන පවසයි. මෙලෙස ලබාදෙන ඩිජිටල් හැඳුනුම්පත ධීවරයාගේ රුධිර වර්ගය ඇතුළු විශේෂ කාරණා ගණනාවක් ඇතුළත් බැංකු කාඩ්පතකට සමාන වූවකි.

2020 වර්ෂය සඳහා එම නව හැඳුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
ධීවර දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රවණතාව ධීවර සමිති ඇතුළු ධීවර ප්‍රජාවගේද පැසසුමට ලක් වෙන්නේ ධීවරයින් තුළ යම් කුකුසක් පවතින්නේ ධීවර යාත්‍රා නිරීක්ෂණ උපකරණයට VMS සිදුවූ නස්පැත්තිය නිසාය. ගන්දර දකුණු ධීවර සංවිධානයේ සභාපති ජී.එම්.පී. ආනන්ද පවසන පරිදි රජය මගින් ලබාදුන් යාත්‍රා නිරීක්ෂණ උපකරණ හෙවත් රේඩාර් උපකරණ VMS 1500කින් දැනට ක්‍රියාත්මකව පවතින්නේ 600ක් පමණි.

රජයෙන් ලබාදුන් මෙම සැටලයිට් උපකරණය සඳහා වාර්ෂිකව රුපියල් තිස්හය දහසක පමණ වාරිකයක් ගෙවීමට ධීවරයාට සිදුව තිබේ. එම උපකරණ අක්‍රිය මට්ටමේ තිබියදීත් මෙම මුදල් ගෙවීමට සිදුවීම තමන්ට දැරිය නොහැකි බව ධීවර යාත්‍රා හිමියෝ පවසති.

ඇති වූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ධීවරයාගේ චෝදනාව එල්ල වන්නේ රජයටය. රජය සැටලයිට් තාක්ෂණයට අවශ්‍ය මුදල් නොගෙවීම නිසා රේඩාර් යන්ත්‍ර සඳහා සංඥා ලැබීම් නතර වී ඇත. සංඥා නොලැබීමෙන් භාවිතයෙන් ඈත් වූ රේඩාර් යන්ත්‍ර මේ වනවිට අක්‍රිය මට්ටමට පත්ව තිබේ. එහෙයින් රේඩාර් යන්ත්‍ර අක්‍රියවීමේ වගකීම රජය බාරගත යුතුය යන්න ධීවරයන්ගේ අදහසයි. එවැනි වටපිටාවකදී නව මෘදුකාංග හඳුන්වාදීම මගින් ධීවරයන්ට නැති බරක් පැටවෙනු ඇතැයි යන අවිශ්වාසය ධීවරයින් තුළ පවතී.
එම අවිශ්වාසය විශ්වාසයට හරවා ගැනීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව සතු වෙයි.

තුෂාර උඩවත්ත