brand logo

ලොකු සීන් නැති කට සැර ටික්ටොක් නංගි

11 January 2021

ලෝචිව එක එක අය එක එක විදියට හඳුන්වනවා. කොහොම වුණත් මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල ලෝචිට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඇයගේ වීඩියෝ බොහෝ දෙනෙක් කැමැත්තෙන් නරඹනවා. ටික්ටොක්වලින් ලංකාවේ අංක එකට ඉන්නේ ලෝචි. ඇයව හඳුන්වා දෙන්න සුදුසුම කෙනා ඇය කියලා සිතුණ නිසා කෙළින්ම ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඇත්තටම ඔබ කවුද? නමින් නම් ලෝචනා ජයකොඩි. මම යූ ටියුබර් කෙනෙක්. සාමාන්‍ය ජීවිතේ සරල, සත්තුන්ට ගොඩක් ආදරේ කරන ගැහැනු ළමයෙක්. සමාජ මාධ්‍ය අවකාශයේ සෙල්ලම් දාන කෙල්ලො අඩුයි. යූ ටියුබ් කරන කෙල්ලොත් හරි අඩුයි. ඉස්සර මම බටහිර නර්තන ගුරුවරියක් ලෙස වැඩ කළා. පොඩි කාලේ ඉඳන් රංගනයට හරි ආසයි. ඉතිං ඔහොම ඉන්න අතරේ තමයි මම මගෙ යාළුවා කැලුම් එක්ක එකතු වෙලා ටික් ටොක් වීඩීයෝ කරන්න ගත්තේ. ඒ වීඩියෝ ගොඩක් සාමාජ මාධ්‍යවල පැතිරෙන්න ගත්තා. lele pons කියලා යූ ටියුබර් කෙනෙක් ඉන්නවා. මම එයාගෙ වීඩියෝ බලද්දී මට හිතුණා එයත් කෙල්ලෙක්නේ. ලංකාවේ කෙල්ලෙක්ට ඇයි එහෙම කරන්න බැරි කියලා. එහෙම හිතලා තමයි මම යූ ටියුබ් චැනල් එකකුත් lochi කියලා පටන් ගත්තේ. මම මහ ලොකුවට සැලසුම් කරලා කළ දෙයක් නෙමෙයි. මේක මම ආසාවට පටන්ගත්ත වැඩක්. වැඩේ සාර්ථක වුණා. ටික් ටොක් වීඩියෝ කරද්දී ගෙදර අය ඇහුවේ නැද්ද මොනවද මේ කරන වැඩ කියලා? නැහැ. මම නරක දෙයක් කළේ නෑනේ. පවුලෙ අය මට ගොඩක් උදවු කළා. මගේ අම්මා නම් දැන් ජීවතුන් අතර නෑ. අම්මා නැති වෙලා අවුරුදු හතක් විතර වෙනවා. මට අවුරුදු දහයක් දොළහක් විතර කාලේ මට මතකයි මගෙ අම්මා මාව වේදිකා නාට්‍යයකත් රඟපාන්න එක්ක ගියා. මම ඒ වගෙ දේවල්වලට කැමැතියි කියලා අම්මා දැනගෙන හිටියා. ටික් ටොක් වීඩියෝ කරන කාලෙ අම්මා හිටියෙ නැහැ. හැබැයි තාත්තයි මගෙ නංගිලා දෙන්නයි මං කරන වැඩවලට උදවු කළා. පවුලේ අයගෙන් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ඉතිං ක්ෂේත්‍රයෙ ඉන්න අයගෙන් නම් ප්‍රශ්න ආවා. ගැහැනු ළමයෙක්ට ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට එන්න අමාරුයි. ඒක ඕනම ක්ෂේත්‍රයක තියෙන දෙයක්. කෙල්ලෙක්ට ඉස්සරහට එන්න හරි අමාරුයි. අපි වීඩියෝ එකක් දැම්මම අපෙ ඇඳුමකට හරි කොල්ලෙක් මොනවා හරි දෙයක් කියනවා. ඒවා දැකලා අහලා ඒවට දුක් වෙවී හිටියොත් අපේ ගමන යන්න වෙන්නේ නැහැ. අපිව විවේචනය කරන අය අපේ මූණට ඒ දේවල් කියන්න එන්නේ නෑ. ගොඩක් ඉන්නේ බුකියේ වීරයෝ. ඔය කතාවලට වැටුණොත් අපේ ගමන හරියට යන්න බැහැ. ඔබටත් කතා හැදුණා. ලෝචි ඒවට වැටුණේ නැද්ද? සමහර අය මාව වට්ටන්න ගොඩක් උත්සාහ කළා. මගේ කියලා බොරු දේවල් පැතිරුවා. මට මඩ ගහන්න උත්සාහ කළා. මම ඒ දේවල්වලට පාඩුවේ නිහඬව හිටියා. මොකද මං වටා ඉන්න මිනිස්සු දන්නවා මම කවුද කියලා. මම කෑ ගහලා ඒක කියන්න ගියෙ නැහැ. ගොසිප්වලට දුක් වෙවි ඉන්නෙ නැතුව මම මගේ ගමන හරියට ගියා. ටික් ටොක් කරන අයට සමාජයේ හරි විවේචන. ඔබටත් ඒ විවේචන එල්ල වෙන්න ඇති නේද? අම්මෝ ඔව්. ටික් ටොක් කරන අයට ගොඩක් අය බැන්නා. දැන් ලංකාවට ටික් ටොක් නිල වශයෙන් ලැබිලා තියෙනවා. මගේ ගිණුමත් දැන් සනාථ වෙලා තියෙන්නෙ. ඒ දවස්වල ටික් ටොක්වලට බැණපු අය දැන් ඒවා කරනවා. බණින්නම ඉන්න අය මොකක් කළත් බණිනවා. ටික් ටොක්වල හොඳක් තියෙනවා. ඒ හොඳ තමයි මම පාවිච්චි කළේ. යූ ටියුබ් නාළිකාවකින් වැඩිම මුදලක් හොයන කෙල්ල ඔබ කියලා බොහෝ අය කියනවා. ඇත්තද මේ කතාව? ගොඩක් අය හිතනවා යූ ටියුබ්වලින් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා. යූ ටියුබ් නාළිකා කරන අය දන්නවා ඒකෙ ඇත්ත නැත්ත. කොහොම වුණත් මම යූ ටියුබ් නාළිකාවක් කරන ගැහැනු ළමයෙක් විදියට රුපියල් 500ක් හෙව්වත් ඒක අනෙක් අයට වටිනවා. දැන් දැන් ගැහැනු ළමයි යූ ටියුබ් නාළිකා කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ දෙයක්. සමහරු කියනවා මම තමයි යූ ටියුබ් එකෙන් වැඩිපුර සල්ලි හොයන කෙල්ල කියලා. හැබැයි මම ඒක හරියට දන්නේ නැහැ. ලෝචිගේ ලොකු සීන් කියලා සමහරු කියනවා. ඇත්තටම එහෙමද? අනේ නැහැ. මගෙ කිසිම ලොකු සීන් එකක් නැහැ. මාව දැක්ක ගමන් මිනිස්සු හිතන්නෙ එහෙම. හැබැයි මම එහෙම නැහැ. මාත් එක්ක කතා කළාට පස්සෙ කවුරුවත් කියන්නෙ නැහැ මගෙ ලොකු සීන් කියලා. මට ගොඩක් අය කියලා තියෙනවා කතා කරන්න කලින් නම් අපි හිතාගෙන හිටියෙ ඔයාගෙ ලොකු සීන් කියලා. ඒත් ඔයා එහෙම නෑ කියලා. ටික් ටොක් වීඩියෝ කරපු කිහිප දෙනෙක්ම රංගනයට ආවා. ලෝචි පුංචි තිරයෙ, සිනමාවේ දකින්න ලැබෙයිද? මම දැනට එක ටෙලි නාට්‍යයක් කරලා තියෙනවා. ඒ ක්ෂේත්‍රයෙත් අත්දැකීමක් ගන්න හිතලා තමයි ඒක කළේ. ඒ නාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ඊට පස්සෙ ටෙලි නාට්‍ය දෙක තුනකට ආරාධනා ලැබුණත් මම බාර ගත්තෙ නැහැ. මෙගා නාට්‍යවලට නම් මම යන්නෙ නැහැ. ඒක මගෙ ප්‍රතිපත්තියක්. මම හොඳ වැඩක් නම් තෝරලා බේරලා සම්බන්ධ වෙනවා. සිනමාවේ එකට රඟපාන්න හීන දකින රංගන ශිල්පියෙකුත් ඉන්නවද? එහෙම විශේෂ කෙනෙක් නැහැ. මගෙ යූ ටියුබ් නාළිකාවෙ මාත් එක්ක එකට රඟපාන ජෝන් හොඳයි කියලා හිතෙනවා. ලෝචි දැන් පෙම්වතියක් නේද? ඔව්. මම පෙම්වතියක්. පෙම්වතා කවුද කියලා නම් දැන්ම කියන්නෙ නැහැ. ඒක ඉදිරියෙදි කියන්නම්. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..