News

ලොකුම අවුල දේශපාලනඥයන් දේශපාලනය නොකිරීම

ලොකුම අවුල දේශපාලනඥයන් දේශපාලනය නොකිරීම

ඉස්සර ඡන්ද කාලේ ජනපති, අගමැති, මැති ඇමැතිවරුන්ටත් වඩා රටේ ජනප්‍රියම චරිතය වූයේ මහින්ද දේශප්‍රියය. එහෙත් දැන් ඔහු මැතිවරණ කොමිසමේ සභාපති නොවේ. එම ධුරයෙන් සමු ගත්තද ඔහුට තවමත් මැතිවරණ උණ නම් සුව වී නැත. මෙකල ඔහු මැතිවරණ ක්‍රමවේදය හා මැතිවරණ නීතිවල වෙනස්කම් සලකා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිරීක්ෂකයෙකි. ලංකාවේ මැතිවරණ නීතියේ සංශෝධන හා කල්දමා ඇති පළාත් සභා ඡන්දය ගැන ඔහු ‘‘සති අග අරුණ’’ සමග කළ සාකච්ඡාවකි මේ.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සඳහා වන තේරීම් කාරක සභාවේ ඔබත් නිරීක්ෂකයෙක්?

ඔව්. ලංකාවේ මැතිවරණ ක‍්‍රමවේදය හා මැතිවරණ නීතිවල වෙනස්කම් සලකා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. මේක දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කළ දෙයක්. සමහර මැතිවරණ නීති බලාත්මක ක‍්‍රියාත්මක කිරීමේ ගැටලු නිරාකරණය කිරීමට ස්ථිර තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අපි යෝජනා කළා. ඒකට හේතුව නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින්නේ මැතිවරණ නීති බලාත්මක කළ හැකි විට පමණයි. එහෙම නොවන විට වෙන්නේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවලදී තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමයි.

තේරීම් කාරක සභා පත් කළාට තවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන ක‍්‍රමවේදයක් සකස් කරගැනීමට හැකියාව ලැබී නෑ?

පළාත් සභාවල සීමා නිර්ණය මිශ‍්‍ර සමානුපාතික ක‍්‍රමය යෝජනා කරලා තියෙනවා. එයට අදාළ සීමා නිර්ණය කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමැතිය ලැබිය යුතු බවට නියමවී තිබුණා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙනාත් ඒකට ඡන්දය දුන්නේ නෑ. ඒ නිසා එය සම්මත වුණේ නෑ. ඉන් පසුව අගමැතිවරයා විසින් පත් කරන කමිටුවක් තීරණය කළ යුතු වුණා. දැන් ඒක ලිහන්න බැරි කෝඩියම් ගැටය වගේ වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. මිශ‍්‍ර සමානුපාතික ක‍්‍රමයට තියනවාද, නැතිනම් පරණ මනාප ක‍්‍රමයට මැතිවරණය තියනවාද කියලා පාර්ලිෙම්න්තුව තීරණය කළ යුතුයි.

මේ ගැන තේරීම් කාරක සභාවේ සාකච්ඡා වුණේ නැද්ද?

තේරීම් කාරක සභාවට පුළුවන් නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි. එය පිළිගැනීම හෝ නොගැනීම පාර්ලිමේන්තුව සතු තීරණයක්.

ඒත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන ක‍්‍රමවේදයක් තේරීම් කාරක සභාවට යෝජනා කළ හැකියි. එය නොකරන්නේ ඇයි?

නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරාවි. මේකේ අවසන් වාර්තාව හදන්නේ මන්ත‍්‍රිවරුන්නේ. අපි මෙයට නිරීක්ෂකයන් හා සහාය දෙන්නන් වශයෙන් පමණයි සහභාගිවන්නේ. අපිට නිල වශයෙන් මෙයට කිසිම බලපෑමක් කරන්න බෑ.

ඔබ මෙහිදී ඉදිරිපත් කළ නිරීක්ෂණ මොනවාද?

පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ මිශ‍්‍ර සමානුපාත ක‍්‍රමයට යන්නේ නැතිව, දිස්ත‍්‍රික් සමානුපාත ක‍්‍රමයට යනවා නම්, පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ දිස්ත‍්‍රික් විසි දෙක සහ පළාත් සභාවේදී දිස්ත‍්‍රික්ක විසි පහ අනුව ඡන්ද විමසනවා නම් විශාල දිස්ත‍්‍රික්ක කලාපවලට වෙන් කළ හැකියි. කොළඹ, ගම්පහ සහ කුරුණෑගල වගේ දිස්ත‍්‍රික්ක කලාප තුනකටත්, අනෙක් දිස්ත‍්‍රික්ක කලාප දෙකකටත් වෙන් කළ හැකියි. එවිට මනාප ලැයිස්තු දෙකක් හෝ තුනක් එනවා. දිස්ත‍්‍රික්කයේ බෝනස් ආසනය දිස්ත‍්‍රික්කයේම ඡන්ද ගැනීම මත තීරණය කළ හැකියි.

කොළඹ, ගම්පහ දිස්ත‍්‍රික්කවලදී ඡන්ද දායකයන්ට අපේක්ෂකයන් විසිතුන් දෙනෙක් අතරින් තිදෙනෙක් තෝරා ගැනීමට වෙනවා. තිරිකුණාමලය වගේ දිස්ත‍්‍රික්කවල අපේක්ෂකයන් හත් දෙනෙක් අතරින් තිදෙනෙක් තෝරා ගැනීමට අවස්ථාව තිබෙනවා. මෙතැනදි අසමානතාවය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. ඒ වගේම කොළඹින් තරග කරන අපේක්ෂකයකුට ලක්ෂ පහළොවකට තමන්ගේ මතය අරගෙන යන්න සිදුවෙනවා. ඒවා ලක්ෂ පහේ හයේ ඒවාට කැඩුණොත් ඒක ඔවුන්ට පහසුවක්. ඒ නිසා තමයි කලාප ක‍්‍රමය සහ සමානුපාතික ක‍්‍රමය එකතු කරන්න කියලා අපි යෝජනා කළේ. එහෙම කළොත් ඔවුන්ට වියදම් කිරීමට වන සීමාවත් අඩු වෙනවා. කොළඹ නාගරික සීමාවේ සිටින අපේක්ෂකයකුට තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරන්න අවශ්‍ය වන්නේ සීමිත ප‍්‍රදේශයකට විතරයි.

එතකොට මනාප ක‍්‍රමය අහෝසි කරන්න එපා කියලාද කියන්නේ?

මනාප ක‍්‍රමය ගැන විවේචන දිරිපත් වුණාට ඡන්ද දායකයන්ට අපේක්ෂකයන් කීප දෙනෙක් අතරින් තමන් කැමැති කෙනා තෝරාගැනීමට හැකියි. කොට්ඨාස ක‍්‍රමයට ආවොත් අපේක්ෂකයා හොඳ වුණත්, නරක වුණත්, පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට කැමැති නම් අපේක්ෂකයාට ඡන්දය ලබාදීමට වෙනවා.

ලෝකයේ මීට වඩා හොඳ ක‍්‍රමයක් තියෙනවා. ඒ තමයි ඩුවල් බැලට් සිස්ටම් එක. ඒ කියන්නේ පක්ෂයට ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක ඡන්ද පත‍්‍රිකාවක් දීලා අපේක්ෂකයා තෝරා ගැනීමට තවත් ඡන්ද පත‍්‍රිකාවක් දීම. එවිට එක් පක්ෂයට ඡන්දය දීලා අනෙක් පක්ෂයේ අපේක්ෂකයාට මනාපය ලබාදිය හැකියි.

ඡන්ද ක‍්‍රමයක් සරල විය යුතුයි. ඒත් මේ වගේ සංකීර්ණ ඡන්ද ක‍්‍රමයක් ලංකාවට ගැළපෙනවාද?

ඡන්ද ක‍්‍රමයක් සරල විය යුතු තමයි. සංවිධාන කිහිපයක් තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. සරළම ඡන්ද ක‍්‍රමය වෙන්නේ කලින් පැවති සරල බහුතර ඡන්ද ක‍්‍රමයනේ. මේ ක‍්‍රමය යටතේ එක්කෙනක් කොට්ඨාසයෙන් සියයට 40ක් අරගෙන අනෙක් දෙන්නා සියයට 35 ක් හා 25ක් ගත්තොත් 40 ගත්ත කෙනා යනවා. අනෙක් දෙන්නාගේ ඡන්දවලට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ. සරල බහුතර ක‍්‍රමය තිබුණා නම් දකුණේ විපක්ෂයට කොට්ඨාස හතරයි දිනාගැනීමට ලැබෙන්නේ. ඒත් සමානුපාත ක‍්‍රමය යටතේ හැම ඡන්දයකටම වටිනාකමක් ලැබෙනවා.

ඔබ මැතිවරණ වියදම් පාලනය ගැන පසුගිය කාලයේදී දිගින් දිගටම කතා කළා. මැතිවරණ වියදම් පාලනය කැබිනට් මණ්ඩලය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙනවා. තුනෙන් දෙකක් පවතින මේ ආණ්ඩුව විසින් මැතිවරණ වියදම් පාලනය සඳහා වන නීති සම්ප්‍රදායන් කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?

මැතිවරණ නීති පාලනය අත්‍යවශ්‍ය දෙයක්. මේකේ ඉතිහාසය කිව්වොත් කොට්ඨාස ක‍්‍රමය තිබියදී, ඕනෑම මන්ත‍්‍රිවරයෙක්, අපේක්ෂකයෙක් තමන්ගේ වියදම් වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. පරාජිත අපේක්ෂකයන්, ඉල්ලා අස්වූ අපේක්ෂකයන් පවා වියදම් වාර්තාව දුන්නේ නැතොත්, වැරදි වාර්තාවක් දුන්නොත් ප‍්‍රජා අයිතිය පවා අහෝසිවන තත්ත්වයන් පැවතියා. දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් සමානුපාතික ක‍්‍රමය හඳුන්වා දුන්නම, නගර සභා මැතිවරණයටවත් වියදම් වාර්තා අවශ්‍ය නෑ කියන එක පැමිණියා.

මම දන්නා අපේක්ෂකයෙක් මීට අවුරුදු පහළොවකට විස්සකට කලින් පැවති මහ නගර සභා ඡන්දයකදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කරලා තිබුණා. මේ බොහෝ කාලයකට පෙර. මේ තත්ත්වය තුළ ඡන්ද මිලදී ගැනීම්, ධන බලය ඇති අයට වඩාත් අවස්ථාව ලැබීම දක්නට ලැබුණා. මුදල් මතින් ජනතාවට බලපෑම් කිරීමට ඇති හැකියාව සීමා කිරීමට තමයි මැතිවරණ මූල්‍ය පාලනය අවශ්‍ය වන්නේ. ඒ සඳහා වියදම් සීමාවක් පනවා වාර්තාවක් ලබාගත යුතුයි. එය මන්ත්‍රි ආසනය අහිමි කිරීම දක්වා වන තැනකට පත් කළ හැකියි. මේ සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිසම විදියට කෙටුම්පතක් හැදුවා. 2019 දී ආණ්ඩු පෙරළියත් එක්ක මේක යට ගියා. දැන් ඒක යළිත් කැබිනට් මණ්ඩලය ප‍්‍රතිපත්තියක් විදියට පිළිගෙන තිබෙනවා. ඒක ඉදිරියට ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ ඇතුළු පිරිස මැතිවරණ වියදම් සීමා ගැන කතා කරනවා. පාර්ලිමේන්තු මැතිවරණයකදී කොළඹ ගම්පහ වගේ දිස්ත‍්‍රික්කවල ඡන්දදායකයන් ලක්ෂ පහළොවකට දාහතකට විතර ආමන්ත‍්‍රණය කිරීමට අපේක්ෂකයන්ට සිදු වෙනවා. සමහර දිස්ත‍්‍රික්ක ඊට සාපේක්ෂව පොඩියි. එවැනි තත්වයක් තුළ හැමෝටම එකම වියදම් සීමාවක් පැනවීමෙන් අපේක්ෂකයන්ට අවාසියක් සිදුවෙනවා?

ඒක කරන්න වෙන්නේ භූමියේ විශාලත්වය, ඡන්ද දායකයන් සංඛ්‍යාව ගැන බලලා තීරණ ගන්න වෙනවා. පක්ෂයකට වියදම් කිරීමට හැකි සීමාවක්, අපේක්ෂකයකුට වියදම් කළ හැකි සීමාවන් වෙන වෙනම පැනවිය යුතුයි. වාර්ෂිකව හෝ ඡන්ද විමසීමෙන් විමසීමට මේ වියදම් සීමාව සංශෝධනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.

ඔබ කියන්නේ අපේක්ෂකයා කරන වියදම් ගැන නේ. ඒත් අපේක්ෂකයාගේ හිතවතුන්ට මුදල් වියදම් කළ හැකියි. ඒවාට සීමාවන් පැනවීම ඔය හිතන තරම් පහසු නෑ?

ඒ සඳහාත් සීමාවන් අවශ්‍යයි. ඉන්දියාවේදී මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු සම්බන්ධ වෙනවා. ලංකාවේදී අපිට සුරාබදු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගැනීමට සිදුවෙනවා. එක අවස්ථාවකදී ඡන්ද රැස්වීමක් අවසානයේදී චිට් එකක් බෙදුවා. මේ චිට් එක බාර් එකට ගිහින් දුන්නම බෝතලයක් ගන්න පුළුවන්. බඩු භාණ්ඩ බෙදාදීම් සංග‍්‍රහය වරද යටතේ ගේන්න පුළුවන්. අවුරුදු විස්සකට කලින් ඡන්දපොළවලට බලෙන් පැනලා තුවක්කුව පෙන්නලා බලපෑම් කළා. මේක 88 – 89 දී විතරක් නෙමෙයි ඊට පස්සේ වයඹ ඡන්දයේදීත් වුණා. මේවා නතර කිරීමට අපිට හැකියාව ලැබුණේ දැනුවත් කිරීම තුළින්.

මැතිවරණ වියදම් පාලනයෙන් පමණක් ඔබ ඇතුළු පිරිස බලාපොරොත්තු වන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙනවාද?

බැහැ. ඒ සඳහා අනෙකුත් නීතිත් බලාත්මක කිරීමට සිදුවෙනවා. උදාහරණයක් විදියට මාධ්‍ය උපමාන ක‍්‍රියාත්මක කළ යුතුයි. මාධ්‍ය උපමාන නියාමනය සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයන්, මාධ්‍ය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා ඡන්ද විමසීමෙන් ඡන්ද විමසීමට එය ක‍්‍රියාත්මක කළ යුතුයි. එක ඡන්දයකදී මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු කළ නොහැකි නිහඩ සීමාවේදී ඡන්ද ලකුණක් ප‍්‍රදර්ශනය කරමින් ධර්මදේශනා පැවැත්වූ ආකාරය අපිට මතකයි. දැන්වීම් නොවන ආරංචි, පුවත්පත්වල පළවන මැතිවරණ රැස්වීම් වාර්තා, ව්‍යාජ ප‍්‍රවෘත්ති වැළැක්වීමට කටයුතු කළ හැකියි.

හැබැයි මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වයක් ඇතිවන්නේ මැතිවරණ සඳහා රාජ්‍ය දේපල භාවිත කිරීම සම්බන්ධයෙනුයි. ඒවා තවම පාලනය කිරීමට හැකියාව ලැබී නෑ?

රාජ්‍ය දේපළ අයුතු පරිහරණය වැළැක්වීමත් අත්‍යවශ්‍යයි. මෙහිදී ප‍්‍රාදේශීය සභාවල විතරක් නෙමෙයි සමුපකාරවල දේපළ පවා මැතිවරණ කටයුතුවලට යෙදීම වළක්වන, පළාත් සභාවේ, පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයෙක්ගේ, ඇමැතිවරයෙක්ගේ, ජනාධිපතිවරයාගේ වරප‍්‍රසාද ඡන්ද විමසීම්වලදී භාවිත කළ නොහැකි ලෙස නීති සම්පාදනය විය යුතුයි. කැබිනට් ඇමැතිවරුන්ට, ජනාධිපතිවරයාට පවා තමන්ගේ නිල වාහනය, නිල තත්ත්වය භාවිත කළ හැක්කේ රාජකාරි කටයුතුවලට පමණක්ය යන නීතිය පැනවිය යුතුයි. පක්ෂ නායකයෙක්ට, අගමැතිවරයාට, තමන්ගේ පක්ෂය වෙනුවෙන් අද වව්නියාවේදී කතා කරලා හවස මඩකලපුවේ කතා කරනවා. හෙලිකොප්ටරයක් කුලියට අරගෙන යන්න පුළුවන්.

හැබැයි ඒවා ගෙවිය යුතුයි. ලංගම බස් රථ ගන්නවා නම් ගෙවිය යුතුයි. ගුවන්විදුලිය, රූපවාහිනිය අගමැතිවරයාට, ජනාධිපතිවරයාට යම් කාලයක් දුන්නොත් එය ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් ලබාදුන් කාලයක් සේ සලකා කටයුතු කළ යුතුයි. මේවා අපි කියපු මාධ්‍ය උපමානවල තියෙනවා. නිදහස් හා සාධරණ මැතිවරණයකදී දේශපාලන පක්ෂවල මූල්‍ය පාලනය වගේම රාජ්‍ය දේපළ භාවිතයත් පාලනය විය යුතුයි. මේක එක පක්ෂයක් හෝ එක දේශපාලනඥයෙක් ඉලක්ක කරගෙන කියන දෙයක් නෙමෙයි.

මම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආපු 83 ඉඳලා අවුරුදු 35 -36 ක් ලැබූ අත්දැකීම්වලින් කියන දෙයක්. ඉහළින්ම ඉන්න නිලධාරියාගේ ඉඳලා සමුපකාරවල අධ්‍යක්ෂ මණ්ඩලවල දක්වාම මේ තත්ත්වය පවතිනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන වේදිකාවලට නගිනවා. ඔවුන්ට දඩුවම් කිරීමට කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. මේවා නිවැරදි කරනතුරු නිදහස් හා සාධාරණ මැතිවරණ තියන්න බෑ.

ඡන්ද විමසීම් සියල්ලම එකම දවසේ පැවැත්වීම මගින් මේ තත්වය පාලනය කළ හැකි යැයි සමහරු යෝජනා කරනවා. ඒක ප‍්‍රායෝගික යෝජනාවක්ද?

එහෙම හැම මැතිවරණයක්ම එකම දවසේ තියන්න බෑ. ජනාධිපතිවරණයයි, පාර්ලිමේන්තු මැතිවරණයයි එකම දවසේ තියන්න බෑ. ජනාධිපතිවරණයේදී ප‍්‍රමුඛ අපේක්ෂකයන් දෙන්නෙක් නැතිනම් තුන් දෙනෙක් කැපී පෙනෙනවා. සියයට දහයකට පහළොවකට වඩා ගන්නේ අපේක්ෂකයන් දෙන්නයි. මේ තත්ත්වය මත ප‍්‍රමුඛ අපේක්ෂකයන්ට සහාය දෙන අනෙක් පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්ව තරග කරනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මුල් අපේක්ෂකයන් දෙදෙනාට සහාය දුන් දේශපාලන පක්ෂ හතරක් වෙන් වෙන්ව පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත‍්‍රික්කයට තරග කළා. එහෙම තිබියදී ජනාධිපතිවරණයේදී මේ ලකුණට ඡන්දය දෙන්න, පාර්ලිමේන්තු ඡන්දයට අදාළව මේ ලකුණට ඡන්දය දෙන්න කියලා මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ. ලංකාවේ දැනට එකට තියන්න පුළුවන් දිස්ත‍්‍රික් වශයෙන් මැතිවරණය පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය පමණයි.

මේ ආණ්ඩුවේ සිටින අය විපක්ෂයේ සිටියදී ඡන්ද කල් දැමීමට එරෙහිව සටන් කළා. හොරුන් අරගෙන ගිය පළාත් සභා ඡන්දය තියන්න කියලා ඔබත් ප‍්‍රසිද්ධියේ කිව්වා. මේ ආණ්ඩුවත් දැන් පළාත් පාලන මැතිවරණ අවුරුද්දකින් කල් දැමීමට සූදානම් වෙනවා. මේ ඡන්ද කල් දැමීමට ඔබ එකඟයිද?

ඡන්දයක් කල් දැමීමට වඩා ඉතාම දූෂිත මැතිවරණයක් තියන එක හොඳයි කියලා මම ප‍්‍රසිද්ධියේ කියලා තියෙනවා. මේ රජයේ දේශපාලනඥයන් මගේ කතාව උපුටා දක්වා තිබෙනවා. කිසිම ඡන්ද විමසීමක් කල් දැමිය යුතු නෑ. ඒත් අවාසනාවට වගේ පළාත් පාලන පනත්වල නිල කාලය අවුරුදු හතරක් වුණාට, පළාත් පාලන විෂය භාර ඇමැතිවරයාට අවශ්‍ය නම් ඡන්ද විමසීම කල් දැමිය හැකි බව දක්වා තිබෙනවා. මේ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම වුණේ පෙබරවාරි දහය. නිල කාලය ආරම්භ වුණේ මාර්තු දහය හෝ මාර්තු විස්ස.

මේවායේ නිල කාලය අවසන්වීමට මාස හයකට පෙර මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම කැඳවිය හැකියි. මම දන්නා ආකාරයට මැතිවරණ කොමිසමේ උපදෙස් මත දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාවලින් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම සම්බන්ධයෙන් කටයුතු කරන බව අදාළ බලධාරීන්ට දැනුම්දී ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මොකද මේ ආණ්ඩුව ඡන්ද විමසීම් කල් දමන බවක් කිසිම අවස්ථාවක ප‍්‍රකාශ කර නෑ. මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාදවන විට මේ අය මැතිවරණ කොමිෂන් සාභාව වැටලුවා. මේ අය එකල විපක්ෂයේ හිටියේ. මේ අය පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණයේ නඩු දැම්මා. මැතිවරණ කොමිෂන් සභාවට ලියුම් එව්වා. අනික් පැත්තෙන් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් ප‍්‍රමාදවන විට හිටපු සාපතිවරු නඩු දැම්මා. ඒ වෙලාවේ නිලධාරී පාලනය වැරදියි, ඡන්දය තියන්න කියලා අධිකරණය දැනුම් දුන්නා.

කොහොම නමුත් පළාත් පාලන ආයතන ධුර කාලය දීර්ඝ කිරීමේ බලය පළාත් පාලන ඇමැතිවරයාට දී තිබෙනවා. නමුත් ඒක කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන හානියක්. ඡන්ද කල් දැමීමට විරුද්ධව දිගටම කතා කළ දේශපාලඥයින් බලයේ සිටින නිසා ඔවුන් ඡන්ද කල් දමන්නේ නැතැයි මම අපේක්ෂා කරනවා. මගේ පුද්ගලික මතය මේක.

කොරෝනා නිසා ඡන්දය කල් දැමීමට හැකියි. රටේ සල්ලි නැති නිසා මේක කල් දැමීම වැරදි නැහැ කියලා සමහරුන්ට කියන්න පුළුවන්.

ඒක ඇත්තද?

නිලධාරීන් සීමා කරලා, ඡන්ද විමසීමට වන කාලය ටිකක් දික් කළොත් වියදම් සීමා කිරීමට හැකියි. ඕනෑම කෙනෙක් ගෙයක් හදන්න ගියාම පළමු ගෙදරට විශාල මුදලක් වියදම් කරනවා. දෙවැනි එකේදී එහෙම කරන්නේ නෑ. ඒ නිසා දෙවැනි වරට මේ ක‍්‍රමය අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නිසා වියදම් සීමාකරගෙන එය පැවැත්වීමට හැකියාව ලැබේවි. ඡන්ද වැඩක් නෑ කියලා සමහරු කියනවා. ඒක වැරදියි. අපේ පංතියේ මොනිටර් අපිට කැමැති කෙනෙක් පත් කළ යුතුයි. අපේ ක‍්‍රිකට් ටීම් එකේ කැප්ටන් අපි කතා කරලා තෝරා ගන්නේ. ඒ වගේම තමයි මේකත්.

මේකත් අද ඊයේ පැවති තත්ත්වයක් නෙමෙයි. දීඝ නිකායේත් මේක තියෙනවා. මහා සම්මත රජ්ජුරුවොත් ආවේ ජනතාවගේ සම්මතයෙන්. ඒ නිසා ජනතාවගේ කැමැත්තෙන් පාලකයන් පැමිණිය යුතුයි. දැන් දෙසීය විසිපහම එපා කියලා කියන්නේ ජනතාව දේශපාලනිකව සවිඥානික නොවීම නිසයි.

රටේ තියෙන අනෙක් ලොකුම අවුල තමයි දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් දේශපාලනය නොකිරීමයි. ගමේ ශාඛා සමිති හදාගෙන බිම් මට්ටමේ දේශපාලනය කරන්නේ නැහැ. අපේ රටේ දේශපාලනය හදන්න නම් ඒකට දේශපාලනිකව දැනුවත් ජනතාවක් අවශ්‍යයයි. ඒ අය ඉන්නේ ඉස්කෝල ඇතුළෙ. විශ්ව විද්‍යාල ඇතුළෙ. මේ අය දේශපාලනිකව දැනුවත් කිරීම අවශ්‍යයි.

සංජය නල්ලපෙරුම