විශේෂාංග

ලිංගික අල්ලස් ඉල්ලන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් යනුවෙන් හැඳින්වෙන ආයතන නැති ගමක් නගරයක් දැන් නැති තරම්ය. පිළිගත් බැංකු හා මූල්‍ය අංශය වෙත ළඟාවිය නොහැකි ජන කොටස් වෙත ගොස් උපකාර කිරීම එහි පිළිවෙතය. උසස් පරමාර්ථයෙකින් ඇරඹුණ සේවාව අද වන විට මෙරට දුප්පත් ජනතාවට කොඩිවිනයක් වී ඇත. අසරණ ජනී ජනයා දුකට පත් කරන මෙම සමාගම්වල ක්‍රමවේද බලවත් විවේචනයට ලක් වූ කාරණයකි. ණය ගෙවාගත නොහැකි වූ ඇතැමුන් දිවි නසාගන්නා තැනට පත් කර ඇත. ණය එකතු කරන්නන්ගේ තර්ජන හා ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධ කනගාටුදායක සිද්ධි වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව මැදි ආදායම් රටකි. සාක්ෂරතාව ඉහළය. තොරතුරු තාක්ෂණ අවබෝධය වේගයෙන් දියුණු වෙමින් පවතී. බැංකු කටයුතු ගැන සමාජයට ප්‍රමාණාත්මක අවබෝධයක් ඇත. එය මූල්‍ය සාක්ෂරතාව වශයෙන් සැලකේ. අනවබෝධයක සිටින සහ පිළිගත් බැංකු ක්‍රමය වෙත යොමු විය නොහැකි මූල්‍ය සාක්ෂරතාව අඩු ජන කොටසක් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල ගොදුරු බවට පත්ව ඇත. ගනුදෙනුකරුවන් බිලි ගන්නා එවැනි දුර්දාන්ත ව්‍යුහ තහවුරු කරන වැඩපිළිවෙළක් මහ බැංකුව අරඹා තිබේ. එය ප්‍රතික්ෂේප කළ යුතුය. ඇති තරම් බැංකු හා මූල්‍ය ආයතන ඇති රටකට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කුමකටද? විධිමත් මූල්‍ය අංශ වෙත ගනුදෙනුකරුවන් යොමුකරන වැඩපිළිවෙළක් වහා ඇරඹිය යුතුය.

ආර්ථික පෙරළියකට හේතු වූ ව්‍යුහයක් ඇරඹුණ හැටි

ලෝකයේ පළමුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය වැඩපිළිවෙළක් ගැන දර්ශනයක් සාකච්ඡා කරන්නේ 1800 ගණන්වල දී ය. ඇමරිකාවේ විසූ දේශපාලනඥයකු හා චින්තකයකු වූ ලැසෙන්ඩ්‍රා ස්පූන්හර් තමන් ජීවත් වූ ප්‍රදේශයේ ගොවියන්ට අත දෙන සහන වැඩපිළිවෙළක් සේ අරඹා ඇත. අත්‍යවශ්‍ය අවස්ථාවක සුළු අතමාරුවක් ගත හැකි සහ එය පහසු වෙලාවක සුළු පොලියක් සමග ගෙවන රාමුවක් එහි පැවැති බව වාර්තා පෙන්වයි. නමුත් දෙවන ලෝක යුද්ධය වකවානුවේ පැවැති මිලිටරි නීති රීති මෙම කුඩා, ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනට බාධා කළේය. ජනතාව එය අත්හැර දැමීය. නමුත් එම සංකල්පය සහමුලින්ම යටපත් වූ බවක් නොකියැවේ.

1983 දී බංගලාදේශයේ සමාජශීලී චරිතයක් වූ මොහමඩ් යූසුෆ් එරට දුප්පත් ජනතාව වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය අදහසක් ඉදිරිපත් කළේය. කුඩා කණ්ඩායම් ගොනුකර ජනතාවට ඉතිරිකිරීම හා ණය ගැන අවබෝධයක් ඇති කළේය. එකිනෙකා ඇප වී එකිනෙකාගේ ඉතිරුම් හදිසියකට ගන්නා ක්‍රමයක් සංවිධානය කරන ලද බව සඳහන්ය. එය ග්‍රාමීන් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සංකල්පයේ ආරම්භය විය. ලෝකයේ නොයෙක් රටවල්වලට එය පැතිරිණ. 2009 වසර වන විට බංගලාදේශයේ ග්‍රාමීන් බැංකුවේ ණය නිකුත් කිරීම් එරට මිලියන 74 ක ජනගහනයක් කරා යොමු වී තිබුණි. සම්ප්‍රදායික බැංකු අංශය පවා තිගැස්මකට ලක් කරන ලද කාරණයකි. අඩු පොලිය, දුගී ජනතාවට දක්වන මග පෙන්වීම ඉතා ආකර්ෂණීය වූ බව වාර්තා දක්වයි. එය ආදර්ශයට ගත් ඉන්දුනීසියාව දේශා නමින් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් ඇරඹීය. එහි වාර්ෂික පොලිය සියයට අටකට සීමා වූ බව සඳහන්ය.

අන්තර් ජාතික වාර්තා අනුව ලෝකය පුරා මෙවැනි ජන මූල මූල්‍ය සංවිධාන හත් දහසක් ඇති බව ලෝක බැංකුව අනාවරණය කර තිබේ. 2005 වසර ක්ෂුද්‍ර මූල්‍ය වසර යනුවෙන් නම් කර ලොව පුරා පිළිගැනීමක් ඇති කළේය. ජනතාව සංවිධානය කළ මූල්‍ය ආයතනවලින් ණය ගෙන සුළු ව්‍යවසාය ආරම්භ කර සාර්ථකත්වයට පත් මිලියන ගණනකගේ ජීවිත ගැන අද වන විට අනාවරණය වී තිබේ.

එදිනෙදා හදිසි ණය ලංකාවේ වැඩපිළිවෙළක් බවට

ශ්‍රී ලංකාවේ ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක වන විට ග්‍රාමීන් ව්‍යාපාරය අනුව යමින් දීප ව්‍යාප්තව ණය ක්‍රමයක් සකස් කරන ලද අතර හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල එය වඩාත් පැතිරිණ. එය ජනශක්ති බැංකු වශයෙන් නම් කෙරිණි. 2012 වසර වන විට ජනශක්ති බැංකු ශාඛා 158 ක් සහ රු. මිලියන 517 ක වත්කම් තිබුණ බව එම බැංකු සංගමයේ වාර්තා පෙන්වයි. දුප්පත් පිරිස එකතු වී අනිවාර්ය ඉතිරි කිරීමකට යොමු කරන ලද අතර එය අතමාරුවකට ඉඩ සැලසීය. අඩු පොලියට සාමාජිකයන්ගේ ඇපවීම මත කරගෙන ගිය ණය වැඩසටහනක් විය.

ජනසවිය වැඩසටහනට ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ පහක සහන ණය මුදලක් සපයන ලද අතර එයින් කොටසක් චක්‍රීය ණය අරමුදලක් වශයෙන් පවත්වාගෙන යා යුතු බවට කොන්දේසියක් පනවා තිබුණි. ඒවා සම්බන්ධීකරණයට හවුල්කාර සංගම් පිහිටුවා තිබුණ අතර ජනසවිය ලාභීහු කණ්ඩායම් වශයෙන් එකතු වී කුඩා කණ්ඩායම් ඉතුරුම් පවත්වාගෙන ගියේය. එය විශ්වාසය මත ගොඩනැගුන ව්‍යුහයකි. ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු කරගෙන යෑමට එය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැරණි වාර්තා දක්වයි.

ජාතික තරුණ සේවා සභාව පවත්වාගෙන ගිය නිස්කෝ ශ්‍රමෝපකාරය ද එයට සමානය. එවකට සභාපතිව සිටි චරිත රත්වත්තේ තරුණන් සංවිධානය කර ඔවුන් කොටස්කරුවන් කරගෙන ව්‍යවසායකත්වය ඇති කරන ක්‍රමයකි. වාණිජ බැංකුවල පිළිගැනීම නැති, ණයක් වෙනුවෙන් ඇපවෙන්නට නොහැකි දිළිඳු ජන කොටස්වලට මෙම ව්‍යුහයෙන් ප්‍රයෝජනයක් ලැබුණි. එයින් සාර්ථකත්වය ලැබූ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවියට ද තරුණ සේවා සභාවට වැඩපිළිවෙළක් තිබුණි.

අවස්ථාව ලැබුණ කල වළ ඉහගත් සමාගම්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය පිබිදෙන විට එය හා සමාන ව්‍යාපාර ඇතිකරන්නට සටකපට ව්‍යාපාර පෙලඹී තිබේ. දුෂ්කර ගම්වලට එන සමාගම් ඒවායේ අටවාගත් ආයතන පිහිටුවන අතර සාමාජිකයන් ඇපයට ගෙන ණය දෙන වැඩපිළිවෙළ අරඹයි. දවසට, මාසයට පොලිය අය කරන අතර එය වටිනා අවස්ථාවක් සේ දුප්පත් ජනතාව කල්පනා කළේය. අතට දෙන මුදලට සමාගම් අය කරන පොලිය ගැන ජනතාවට වැටහීමක් තිබුණේ නැත. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වසරකට සියයට 220 දක්වා ඉහළ පොලියක් අය කර තිබුණ බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. එවකට මුදල් ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මෙම අධික පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ගැන සඳහන් කර ජනතාව උගුලක හිර කළ සමාගම් අධ්‍යක්ෂකවරු 155 දෙනෙකු ගැන පරීක්ෂණ පවත්වන බව දක්වා තිබුණි.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් පවතින අතර එය මතු පිටට පෙනෙන්නේ නැත. ණය ලබාගෙන ඒවායේ පොලිය හා වාරික ගෙවා ගත නොහැකිව අසරණ වූ ජනතාවගේ වේදනාජනක කතාන්දර සෑහෙන ප්‍රමාණයක් තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගත් ණය ගෙවාගත නොහැකිව පුද්ගලයන් 195 ක් 2017 වසරේ දී දිවි හානි කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී දක්වා ඇත. එයට එකතු වූ මංගල සමරවීර අමාත්‍යවරයා ණය කපා හැරීම සඳහා ඒවායේ නිලධාරීහු ලිංගික අල්ලස් ඉල්ලන බව වාර්තා වී ඇතැයි පළ කළේය. මෙම තොරතුරු හැන්සාඩ් වාර්තා ගත වී ඇත. 2018 අවුරුද්දේ දී රජය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අධික පොලිය ගැන විමර්ශනය කර ඒවාට අය කළ හැකි පොලිය ගැන අලුත් නීති ප්‍රකාශයට පත් කළේය. එයට අනුව වාර්ෂික පොලිය සියයට තිහ ඉක්මවිය යුතු නැත. ඉතා අඩු පොලියට සහන ණය දෙන ග්‍රාමීන්, දේශා වැනි අන්තර් ජාතික වැඩසටහන් සමග සසඳන විට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජනතාවගේ ගෙල සිර කරන අතර නීති මගින් ද වක්‍රව අනුබල දී තිබේ. බැංකු හා මූල්‍ය ආයතනවලට වඩා පහළින් තිබිය යුතු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල පොලී අනුපාත එයට වඩා ඉහළ තැනකට නියම කිරීම වරදකි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට මහ බැංකුවෙන් සුදු හුනු

පාර්ලිමේන්තුව 2016 වසරේ ජුලි මාසයේ දී ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් වෙනුවෙන් පනතක් සම්මත කළ අතර එය අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා තිබේ. මෙරට බැංකු පාලනය කරගත නොහැකිව සිටින මහ බැංකුවට රට පුරා ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කළමනාකරණය කළ හැකි දෙයක් නොවේ. පැමිණිල්ලක් ලැබුණ විට එය වටලා පරීක්ෂා කර තහනම් කිරීම හැර අන්දෙයක් සිදු නොවේ. තැන්පත්කරුවන් ද ණයකරුවන් ද එයින් පත්වන අසීරුතාවය අවධානයට ගැනෙන්නේ නැත. ශ්‍රී ලංකා මහ බැංකුව ක්ෂුද්‍ර මූල්‍ය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමෙන් වාණිජ බැංකුවල සහාය ලබා ගත නොහැකි ජන කොටසට මෙය පිටිවහලක් වනු ඇතැයි ඉලක්ක කරන බව පෙනේ. ඇත්ත වශයෙන් එය මිථ්‍යාවකි. මහ බැංකුව ජනතාව පිළිගත් බැංකුවලට නැඹුරු කිරීමට පියවර යුතුය. එයට එපිටින් ඇති ව්‍යුහ හදන්නට උත්සාහ කළ යුතු නැත. වාර්තා අනුව මෙරට ජනගහනයෙන් ලක්ෂයකට බැංකු 20 ක් තිබේ. වයස අවුරුදු පහළොවට වැඩි ජනගහනයෙන් සියයට 83 කට බැංකු ගිණුම් තිබේ. එය දකුණු ආසියාවේ සාමාන්‍ය සේ සැලකෙන සියයට 46 ක ප්‍රතිශතය අනුව සලකන විට ඉතාම දියුණු තත්ත්වයකි. බැංකුවල ගිණුම් ඇති ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත තල්ලු කරන්නේ ඇයි? බලධාරීහු මෙම ශෝචනීය පැති ගැන වඩා පුළුල් අවධානයක් යොමු කළ යුතුව තිබේ.

මෑත කාලය තුළ මෙරට වාණිජ බැංකු පද්ධතියේ හැසිරීම ක්ෂුද්‍ර මූල්‍ය වෙත ජනතාව තල්ලු කර ඇත. එය අවධානයට ගත යුතු පැත්තකි. වාණිජ බැංකු ගනුදෙනුකරුවන්ගේ අවම ශේෂය මත ගාස්තු අය කරයි. කාඩ්පත්වලින් හැර කවුන්ටරයට පැමිණ මුදල් ගැනීමේ දී අතිරේක මුදලක් පනවයි. ගිණුම් ඇරඹීම හෝ පවත්වාගෙන යාම අපහසු කර තිබේ. සාමාන්‍ය ජනතාවගේ ණය අවශ්‍යතාවක දී විශාල ලේඛන ගණනක් ඉල්ලන අතර ඒවා සම්පූර්ණ කරගැනීමට නොහැකි හෙයින් ණය ප්‍රතික්ෂේප කෙරේ. ගනුදෙනුකරුවන්ට ණය නිකුත් කිරීමට වඩා භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කරවල ආයෝජනය සුරක්ෂිත බව බැංකු කල්පනා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවසායකත්වය දියුණු නොවන අතර සාමාන්‍ය ජනතාව සක්විති ක්‍රමයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට යොමු වී ඇති බව නොරහසකි.

සුපිරි බැංකු ප්‍රතිපත්ති දියුණුවන රටකට නොගැළපේ

පොදු ජනතාවට ළං වීමට බැරි සුපිරි බැංකු ප්‍රතිපත්ති, මෙරට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණයකරුවන් වී දුප්පත් ජනයා දිවිනසා ගන්නා තැනට පත් කිරීම ගැන වගකිව යුතුය. සිය ගණන් ණයකරුවන් සිය ගෙවල් පවා විකුණා ණය ගෙවන තැනට පත් කිරීම ගැන උත්තර දිය යුතුව තිබේ. පාර්ලිමේන්තුවේ ද අනාවරණය වූ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය එකතු කරන්නන් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම ගැන සොය බැලිය යුතුය. මෙම ණය එකතු කරන නිලධාරීන් වශයෙන් පොලිසිය හා ආරක්ෂක හමුදා හැරගිය හෝ විශ්‍රාමික පිරිස් බඳවා ගැනීමට පුවත්පත්වල දැන්වීම් පළ කෙරේ. ඒවා පෙන්වන්නේ දාමරික ක්‍රමයකට තල්ලුවෙමින් පවතින බවය. ඇමරිකාවේ ක්‍රමය හැදූ ලැසෙන්ඩ්‍රා ස්පූන්හර් හෝ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය හැදූ යූසුෆ් මෙවැනි තත්ත්වයක් කල්පනා නොකරන්නට ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අදහස නරක නැත. ලෝකයේ ආදර්ශ එමටය. නමුත් මෙරට ව්‍යුහය ඉතා අසාධාරණ බව පෙනේ. අධික පොලියක් අය කෙරේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් සුළු ණය ගෙන ඇති අයවලුන්ගෙන් සියයට අනූවක් ඒවා නිසි පරිදි ගෙවා නැත. මේ බව මෙරට පිහිටි එම ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවා සංගමයේ වාර්තා දක්වයි. එයට බලපා ඇති හේතුව කුමක්ද? ණය නොගෙවන විට බලහත්කාරය හෝ දිවි නසාගන්නා තැනට යොමු කිරීම යුක්තිසහගතද? ප්‍රතිපත්ති සම්පාදකයෝ මේවා නොදන්නවා නොවේ. අර්බුදය තමන්ගේ එකක් වන තුරු විසඳුමක් ගැන හිතන්නේ නැත. දිළින්දෝ නොදන්නාකම නිසා අනවශ්‍ය සේ සුළු අතමාරු අරගෙන විපතට පත්ව ඇති බව නිලධාරීන් ගේ තක්සේරුවයි. දුප්පත් ජනතාව ණයකරුවන් නොවේ. ඇත්තටම විපතට පත්ව ඇති බහුතරයක් ණයකාරියන්ය. ගෙදර දොර දෛනික පාරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් ණය ගෙන තිබේ. ඒවා ගෙවා ගත නොහැකිව පොලිය ගෙවමින් සිටී. පවුලක ඉපැයීම්, පොලියට සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමවලින් ලැබෙන ප්‍රයෝජනයක් නැත. රට තුළ සිදුවන ආර්ථික ව්‍යාකූලතා හා ස්වාභාවික විපත් නිසා ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ගොදුරු බවට පත්ව ඇති බව තේරුම් ගැනීම වැදගත්ය. අණ පනත් හදා ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙත ගෙනයෑම වෙනුවට ක්‍රමය ගැන අලුතින් හිතන වැඩ පිළිවෙළක් අවශ්‍යය.

ජී. කේ. ජී. සරත්