අතන මෙතන

ලාල්කාන්තටයි විජිතටයි දෙයාකාරයක සැලකිල්ලක් ලැබුණෙ ඇයි – විමල්

පසුගිය සතිය ආරම්භ වුණේ, ජනතා විමුක්ති පෙරමුණේ ‘ලාල්කාන්ත රිමාන්ඩ් භාරයට පත්වීම’ පිළිබඳ කතාන්දරයෙනි. අනතුර සිදුවී තිබුණේ පසුගිය සිකුරාදා අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී ය. ‘‘ලාල්කාන්ත හොඳටම බීලා හිටියේ. කැබ් එක වෙනත් වාහනයකට ඉස්සර කරන්න යනකොට තමයි මෝටර් සයිකලේ හැප්පිලා තියෙන්නෙ’’ පොලිසිය පැවසුවේ එසේ ය. අනතුරට ලක්වී තිබුණේ එප්පාවල සහ අමුණුකොලේ පදිංචි 45 කාන්තාවක් සහ 14 හැවිරිදි දියණියකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ලාල්කාන්ත රිමාන්ඩ් භාරයට ගැනුණි. බිමල්, හඳුන්නෙත්ති, මෙන්ම ජ.වි.පෙ. නායක අනුර ද රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ලාල්කාන්ත බැහැ දැකීමට අනුරාධපුරේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය අතර, අනුරාධපුර ජ.වි.පෙ. නියෝජිතයින් තුවාල ලැබූ කාන්තාවන්ගේ සුවදුක් සොයා බැලීමට රෝහලට ද, ඉන් අනතුරුව ඔවුන්ගේ නිවෙස්වලට ද ගොස් තිබුණි.

‘‘නිර්ධන පංතියේ පක්ෂයක් වන ජ.වි.පෙ. අපි බොන්න පුරුදු වෙන්න නරකයි. මෙතෙක් කාලයක් බොන්න වියදම් කළ සල්ලි මින් පස්සෙ පක්ෂය ගොඩනගන්න වියදම් කරන්න. අනික් එක අපි හැම වෙලාවෙම හොඳ සිහි කල්පනාවෙන් ඉන්න ඕන. බිව්වොත් හොඳ සිහිය නැති වෙනවා….’’ ජ.වි.පෙ. ගොඩනැගූ නායක රෝහණ විජේවීර සිය පක්ෂය සමඟ එකතු වන අයට කීවේ එසේ ය. ඒ අනුව ඓතිහාසිකව ජ.වි.පෙ. තුළ තිබුණේ ‘මතට තිත’ සංස්කෘතියකි. කෙසේවෙතත් ලාල්කාන්තගේ බීමත්කම නිසා සිදු වූයේ යැයි කියන මෙකී ‘හදිසි අනතුර’ එක් අතකින්, වත්මන් ජ.වි.පෙ. තුළ ‘මතට තිත සංස්කෘතිය නැති බව’ ඔප්පු කරන සාධකයක් විය.

කෙසේවෙතත් දින හයකින් පසුව, ඉකුත් බ්‍රහස්පතින්දා ලාල්කාන්තට ඇප ලැබුණු අතර, ඇප ලබා එළියට ආ ලාල්කාන්ත ‘කැමරා – මයික්’ ඉදිරිපිට ‘වෙනම කතාවක්’ කිව්වේ ය. ‘‘අධිකරණය ඉදිරිපිට සත්‍ය ජයගනීවි. පොලීසිය කළේ ගොරකා දඩමස් කරන එක…’’

ලාල්කාන්ත දවස් ගණනාවකට රිමාන්ඩ් බන්ධනාගාරගත වීම ගැන ‘විමල් වීරවංශ මන්ත්‍රීවරයාට’ නම් තිබුණේ වෙනස් ම මතයකි. ‘‘මීට කලින් රාජගිරියෙදි විජිත හේරත්ගෙ වාහනෙත් හැප්පුණා. එයාට නං බැලුමක් පුම්බන්නවත් දුන්නෙ නෑ. නිකම්ම ලිස්සලා ඇරියා. හැබැයි ලාල්කාන්ත හැප්පුණු වෙලාවේ, බැලුනුත් පුම්බලා දවස් ගාණකට රිමාඩ් එකෙත් දැම්මා. මේ වගේ දෙයාකාරයක සැලකිල්ලක් ලැබුණෙ ඇයි කියලා හොයල බලන්න වටිනවා….’’ විමල් කීවේ එසේ ය.

මේ අතර පක්ෂයේ පහළම ස්ථරයේ ‘සහෝදරවරුන්’ අතර තිබුණේ තවත් අමුතු කතාවකි. ‘‘පක්ෂෙ වැඩකට නං ලාල් සහෝදරයා තනියම යන්න විදියක් නෑ. අනිවාර්යයෙන් ම අපේ සහෝදරයෙක් යනවනෙ. ඒ මදිවට මේ අනතුර වෙලා තියෙන්නෙත් මහ දවල්. ලාල් සහෝදරයා බොන බව ප්‍රසිද්ධ රහසක් වුණත් මහදවල් බීල හිටියෙ ඇයි කියන එක නං ප්‍රශ්නයක්…’’