කතුවැකි

ලාංකිකයා මොට්ටකම් මට්ටු කරලාද?

​කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට දිවා කාලයේ බල පැවැත් වූ ඇඳිරි නීතිය ඊයේ සිට ඉවත් කොට තිබේ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට තවදුරටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන නමුදු ඒ නාමිකවය. ඊයේ දිවයිනේ සෙසු ප්‍රදේශ හා මෙම දිස්ත්‍රික්ක අතර වෙනසක් තිබුණේ නැත. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද කාර්යාල යම් යම් සීමාවන්ට යටත්ව ඊයේ සිය සුපුරුදු රාජකාරි ආරම්භ කොට තිබූ අතර කඩ සාප්පුද විවෘතව තිබෙනු දැකගත හැකි විය.

මෙම තත්ත්වය අප කව්රුත් අපේක්ෂා කරන තත්ත්වය නොවුණද ඊයේ දිනය කාහටත් සතුටු විය හැකි තත්ත්වයකි. රටම අපේක්ෂා කරන්නේ මාර්තු 18 දාට පෙර තිබූ රට දකින්නටය. ඒ තත්ත්වය උදාවන්නට තවත් කලක් ගත වන නමුත් ඒ දිනය වැඩි ඈතක නොවන බවට විශ්වාසයක් ඇති කරන්නට ඊයේ දිනය සමත් වූ බව කිව යුතුය.

මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කරන මොහොතකදී කඩ සාප්පු ඉදිරිපිට දැකගත හැකි වූයේ එකම ගාලගෝට්ටියකි. පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුත්තේ කෙසේ දැයි කොතරම් දැනුවත් කිරීම් කර තිබුණත් ඒවා නොතකා තෙරපී, සිරවී ගමන් ගන්නා අවස්ථා බහුල විය. කෙසේ වෙතත් ඊයේ දිනයේ බැංකු වැනි මූල්‍ය ආයතන ඉදිරිපිටත්, වෙළෙඳසල් ඉදිරිපිටත් දැක ගත හැකි වූයේ ඉවසිල්ලෙන් සංයමයෙන් යුත් දුරස්ථ බව සහිත පෝළිම්ය. දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල අවශ්‍ය තරමට හෝ මගීන් දැකගත හැකි වූයේ නැත. ඇඳිරි නීතිය පැවති දිනවලට සාපේක්ෂව මහ මාර්ගයන්හි රථ වාහන ධාවනය වූ නමුත් මහා මාර්ගවල එතරම් ජනතාවක් දකින්නට සිටියේද නැත.

මේ තත්ත්වය පෙන්නුම් කරන්නේ ජනතාව ඔවුන්ගේ වගකීම මැනවින් තේරුම්ගෙන ඇති බවය. පෙරදා තිබූ මොට්ටකම් මට්ටු කළා වගේය. ඇත්තෙන්ම එය ඉතාමත් සතුටුදායක තත්ත්වයකි. ආණ්ඩුව කොරෝනා පාලනයට කුමක් කළත්, ඒවා ඵලදායී වන්නේ ජනතාව ඊට දක්වන අවබෝධාත්මක සහාය මත බැවිනි.

කවුරුන් කෙසේ කීවත් රටක් ලෙස අපගේ කොරෝනා පාලනය පැසසුම් කටයුතුය. මේ වන විට දිනකට වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් තිබේ. පොදු සමාජයෙන් රෝගී වාර්තා නොවන තරම්ය. රෝගීන් සුව වීමේ ප්‍රතිශතය සියයට 30 කටද අධිකය. මරණ වාර්තා වී ඇත්තේ නවයක් පමණකි. මේ සාර්ථකත්වය ඉබේ ලැබුණු දෙයක් නොව රටක් ලෙස ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් ලබා ගත්තකි.

කොරෝනා ව්‍යසනය පාලනයේදී රාජ්‍ය අංශයේ දායකත්වය ඉතා ඉහළ වන අතර ජනතාව ඒ වෙනුවෙන් දැක්වූ කැපවීමද සුළුපටු නැත. මාස දෙකකට ආසන්න කාලයක් කොරෝනා පාලනය වෙනුවෙන් ජනතාව විඳි පීඩාව තවමත් මුළුමනින්ම අවසන්ව නැත. කොරෝනා වසංගතය තවමත් මුළුමනින්ම පහව ගොස් නැතත් රට විවෘත කරන්නට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේද ජනතාවට විඳින්නට සිදුව ඇති මේ පීඩනයේ බර තේරුම්ගෙන ඇති බැවිනි.

එසේ වුවත් රට විවෘත කිරීමේ මේ තීරණය එක්තරා අන්දමකට ජනතාව හමුවේ ඇති පරීක්ෂණයක් බඳුය. ඊයේ රට තැබූ පියවර ඉදිරියට ගෙන යන්නේද, පසුපසට ගෙන යන්නේද තීරණය වනු ඇත්තේ ජනතාවගේ ක්‍රියාකාරිත්වය මතය. අප කොරෝනා වසංගතය යම්තාක් දුරකට පාලනය කර ඇතත් එය මුළුමනින්ම තුරන් කර නැත. මෙය ලෝකයේම තත්ත්වයයි. මේ නිසා අපගේ සුළු අතපසු වීමකින් යළිත් රට තුළ කොරෝනා හිස එසවීමට ඉඩ තිබේ. කොරෝනා සටන තුළ සිදු වූ එවැනි අතපසුවීම් නොවන්නට මීට පෙර රට විවෘත කිරීමේ අවස්ථාව උදාකර ගන්නට අපට අවස්ථාව තිබිණි.

අප කවුරුත් මේ අවස්ථාවේ ඉවසීමෙන් හා පරීක්ෂාකාරීව කටයුතු කළ යුත්තේ කොරෝනා ආසාදනය වීමෙන් වැළකීමට පමණක් නොවන බවද අවධාරණය කළ යුතු කාරණයකි. කොරෝනා වසංගතය විසින් මේ වන විට රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කර තිබේ. තවදුරටත් රෝගය පැතිර ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වුවහොත් ආර්ථිකය තව තවත් කඩා වැටීම වළක්වන්නේ කෙසේද? එසේ වුවහොත් කොරෝනා වසංගතය තුරන් වුවත් රටේ ආර්ථිකය ගොඩ ගැනීම පහසු නැත. රටේ ආර්ථිකය කඩා වැටීම යනු අප සියලු දෙනාට තවත් බොහෝ කලක් දුක් විඳින්නට සිදුවීමය.

කෙසේ වුවද, ඊයේ රටේ හැසිරීම දුටු විට අපට ඇතිවන්නේ සුබදායක හැඟීමකි. ආරම්භය සතුටුදායක වුවත් අසීරුම කාරණය වන්නේ එම තත්ත්වය පවත්වා ගැනීමය. රටේ සියලු දෙනා එය තේරුම්ගෙන කටයුතු කළහොත් රටක් ලෙස සතුටු වීමට අපට හැකිවනු ඇත.