කතුවැකි

ලාංකිකයාට ඉඩම් අයිතිය ලබාදීම

1815 ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යයෝ 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ගෙන එමින් මෙරට ඉඩම් වාණිජ භාණ්ඩයක් නැතිනම් වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කළහ. ඒ අනුව මහ රජුට අයත්ව තිබූ ඉඩම් මිලට ගැනීමට විකිණීමට හැකි විය.

සිංහල රාජ්‍යයේ මහාරා​ජෝත්තමයාණන්ගේ කට වචනයට අනුව ඉරහඳ පවතින තාක්කල් තමන් උපන් ඉඩමේ පදිංචි වී සිටීමට සිතා සිටි සිංහලයාට ආණ්ඩුවට පෙන්වන්නට ඔප්පුවක් හෝ සන්නස් පත්‍රයක් තිබුණේ නැත. විහාරවලට නම් මහ රජුන් අත්සන් කොට ලබාදුන් සන්නස් තිබූ නිසා බෝගහත්, චෛත්‍යයත්, ආවාසයත් ඇතුළත් ඉඩම නීත්‍යනුකූලව පවත්වා ගැනීමට හැකි විය. සෙසු ස්වදේශීය ජනතාවට සිදු වූයේ තම ඉඩම් සුද්දන්ට කෝපි වවන්නට දී පල්ලම් බහින්නටය. උඩරට ගැමියන්ගේ හරක් සුද්දන්ගේ කෝපි වතුවලට පැන්න විට වෙඩිතබා මරා නැසීම ද 1848 පුරන්අප්පුගේ කැරැල්ලට හේතු විය. ගැමියන්ට හරකා කැවීමට තණ බිමත් අහිමි විය. කන්ද උඩරට බණ්ඩාරලා අප්පුහාමිලා පහත රට ගෙවල්වල බණ්ඩලා අප්පුලා ලෙස මෙහෙකාරයන් වී ජීවත්වීමේ ඉරණම අත්වූයේ මේ ඉඩම් අහිමිවීම නිසාය.

මේ නිසාම විසිවෙනි සියවස උදාවෙද්දී වුවමනා සහල් පිටරටින් ගෙන්වන්නට සිදුවන දුක්ඛදායක තත්ත්වයට මෙරට පත්වී තිබිණ. රටින් සහල් ගෙන්වන්නට බැරිවුණ පළමු ලෝක සංග්‍රාමයේදී ලාංකිකයාට කොල්ලු, බජිරි ගිල දමන්නට සිදුවිය.

මේ තත්ත්වය යටතේ නිදහස උදා කරන්නට නම් රට සහලින් ස්වයං පෝෂිත කළ යුතු බව පළමු කෘෂිකර්ම අමාත්‍ය ඩී.එස්. සේනානායකයන් තේරුම් ගත්තේය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් හෙවත් කළු සුද්දන් කෑලෑ ජෝන් ලෙස හැඳින් වූ මේ නායකයා පොළොන්නරුව ගල්ඔය මිටියාවතේ ගොවිජනපද ආරම්භ කළේය. මහ දිසාපතිගේ මෙහෙයවී‍මෙන් ඉඩම් කච්චේරි පවත්වා රට පුරා විසිර සිටි ඉඩම් නැති, ගොවිතැනට රුචි, ජනතාවට ගොඩින් අක්කර පහයි මඩින් අක්කර පහයි වශයෙන් ඉඩම් දී පදිංචි කළහ. ගම්පහ යාගොඩ පදිංචිව සිටි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිගේ තාත්තා පොළොන්නරුවේ හිඟුරක්ගොඩ පදිංචියට ගියේ මේ ඉඩම් බෙදාදුන් ගොවිජනපද ව්‍යාපාරය යටතේය.

ඊළඟට පැමිණි රජයන්ද ඉඩම් නොමැති ජනතාවට රටේ අවශ්‍යතාව සලකා ඉඩම් බෙදා දුන්හ. සර් ජෝන් වනාතවිල්ලුව, පුත්තලම, අනුරාධපුරය, වැලිඔයද ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් බෙදා දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන මහවැලි ව්‍යාපාරය අරඹා ගිරාඳුරුකෝට්ටේ ආදී ප්‍රදේශවල දස දහස් ගණනින් ඉඩම් පවරා දුන්නේය. එදා ගොවි ජනපද ව්‍යාපාරය යටතේ ඉඩම් බෙදා දුන්නේ රටේ ආහාරයෙන් රට නැංවීම බඳු රටේ අවශ්‍යතා සලකාය. ගොවි ජනපද ව්‍යාපාර බඳු සංවර්ධිත අවශ්‍යතා සේම හුදු පදිංචිය සඳහා ඉඩම් ලබාදීම පසුකාලීනව සිදු වූයේ 71 කැරැල්ලටද ඉඩම් අහිමිවීම බලපෑ නිසාය.

දැන් මේ රටේ විවිධ කාලවල විවිධ නාමකරණයන් යටතේ බෙදා දුන් රජයේ ඉඩම් කැබැලි ලක්ෂ ගණනකින් ඇත. ස්වර්ණ භූමි, ජය භූමි, උදාගම් ඔප්පු ආදී වශයෙනි. මෙහි ස්වර්ණ භූමි, ජයභූමි ඔප්පු යටතේ ලබාගත් ඉඩම් ඒ ජනතාවට අයිති නැත. ඒ ඉඩම් කාලත්‍රයාට හෙවත් ඊළඟ පරපුරට පැවරිය නොහැකිය. බොහෝ විට මේ ඔප්පුවලට බලපාන්නේ බ්‍රිතාන්‍ය යුගයේ පැනවූ ඉඩම් සංවර්ධන ආඥා පනතය. රජය ලබාදුන් මේ ඉඩම් විකිණිය නොහැකිය. ඒවායේ කර්මාන්ත පැවැත්විය නොහැකිය. කෑලි කඩා ​උරුමක්කාරයන්ට පැවරිය නොහැකිය. ඉඩමේ හිමිකාරිත්වය හිමිවන්නේ තාත්තා මළ පසු අම්මාටය. අම්මාගෙන් පවුලේ වැඩිමහල් පුතාටය. පවුලේ වැඩිමල් දියණියක් වුවහොත් සිදුවන දේ අවිනිශ්චිතය.

1930 ගණන්වල සිට බෙදාදුන් මේ ඉඩම්වල දැන් ජීවත් වන්නේ තෙවෙනි හෝ සිව්වෙනි පරම්පරාය. තමන්ගේ අභිමතයක් කළ නොහැකි මේ ඉඩම්වල ඒ පරපුර ජීවත් වන්නේ අවිනිශ්චිතවය. විකිණීමට බෙදා දීමට පැවරීමට කර්මාන්තයක් කිරීමට ඉඩක් නැති මේ ඉඩම්වල පදිංචි ලක්ෂ ගණනක ජනතාව ඇතැම් විට රටට බත සැපයීමට ගිය අතීත පරපුරට ශාප කරති. ලක්ෂ ගණන් ජනතා ජීවිත මේ ඉඩම් ප්‍රශ්නය මත යදම් සේ ගැට ගැසී සිටිති. අයිතියක් නැති නිසා ඔවුන්ට ඒවා අභිමත සංවර්ධන කාර්යක යෙදවිය නොහැකිය. මේ තත්ත්වයට විසඳුක් ලෙස වසරක් තුළ පනස්හතර දහසකට නිරවුල් ඉඩම් ඔප්පු දෙන බව පැව​සේ. පනස් හතර දහස පමණක් නොව එදා සිට අද දක්වා බෙදා දුන් මේ ඔප්පුවල නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුව ජාතික ගැටලුවක් සේ ගෙන විසඳාලිය යුතුය. මක් නිසාද යත් ඒ ඉඩම් සංවර්ධිත කාර්යයකට යොදා ගැනීමට, ඒවා නීත්‍යනුකූල ලෙස බැංකුවලට පෙන්වා ණයක් තුරුසක් ගැනීමට මේ පරපුරට නොහැකි නිසාය. එබඳු ඉඩම් ගැටලුවක් විසඳාදීම 1833 සිට ඉඩම් අහිමි වූ ජනතාවටද පොළවේ පය ගැසීම ගැන අවිනිශ්චිතව ඉන්නා අනාගත පරපුරකටද කරන යුක්තියකි.