විශේෂාංග

ලස්සන ළමයින්ට බය වූ දස්සයා බෑ කියයි

එයට රජයේ පාසලක් කියන්නද, දිවා-රාත්‍රි සුරැකුම් මධ්‍යස්ථානයක් කියන්නද, සමාජ ශෝධනාගාරයක් කියන්නද පුනරුත්ථාපන කඳවුරක් කියන්නදැයි මම නොදනිමි. නමුත් ඒ සියල්ල එකට කැටිකර කිව හැකි නමක් වේ නම් ඒ නම ‘කොම්පඤ්ඤවීදීය හෝලි රෝසරි සිංහල විද්‍යාලය’ බව නම් කිව හැකිය. තවත් ලෙසකින් කියන්නේ නම්, පිච්චිය උදෙසා සකලවිධ නූල් සූත්තර යොදන ගෙන්දගම් පොළොවේ, දුරාචාරයේ අග්ගිස්සට ගිය බිමක පිහිටි සදාචාරයේ මුදුන්මල්කඩක් වන් ‘හරි පුදුම ඉස්කෝලයයි’

පාන්දර හයට පමණ ගුරුවරු ඇවිත් දරුවන් වෙනුවෙන් බත්ටික උයාදෙන, රෑ වනතුරුත් දරුවන්ට උගන්වන, ඉස්තිරික්කයක් නොදැක සිටි පාසල් නිල ඇඳුම ඉස්තිරික්ක කරදෙන, හතරවටින් එබී බලන සමාජ ව්‍යසනයන් හමුවේ දරුවන් තුරුලට ගෙන රැකවරණය සපයන ගුරුවරුන් සිටින මේ හරි පුදුම ඉස්කෝලය ගැන ලියන්නට ඇති දෑ පත්තර පිටුවකට නොව පොතකටවත් ලඝු කර නොහැකිය. ජීවිත කාලය පුරා සමනලයකු දැක නැති, පාසලෙන් කිලෝමීටරයකට දෙකකට එපිට පිහිටි මරදානටවත් ගොස් නැති, කැරට් වැවෙන්නේ අහසේදැයි සිතන දරුවන් සිටින මේ පාසලේ යථාර්ථය, විටෙක අතිශයෝක්තියක් යැයි හිතෙන තරමටම සෙසු පොදු සමාජ යථාර්ථයෙන් ඈතය. අපිද මේ ‘හරි පුදුම ඉස්කෝලේ’ කතාව අසාගෙන හිටියේ ඇස් නළල මතට ගෙනය. අපි අපේ ඇස් ඉදිරියේම ඒ ඇත්ත දුටුවෙමු.

මේ හරිම පුදුම ඉස්කෝලේ තවත් හරි පුදුමයක් වනුයේ පාසලේ සිටින සෑම දරුවෙක් ගැනම වෙන් වෙන් වශයෙන් අවබෝධයක් මේ ගුරුමණ්ඩලය සතුවීමය. එම දරුවාගෙ සමාජ තොරතුරුද, ඊයේ වන විට ඉගෙනගෙන ඇති පාඩම කුමක්ද යන්නත් ගුරුවරු දනිති.

‘මට අද එන්න බැරිවුණොත්, මම කෝල් එකක් දුන්නහම මේ අය දන්නවා ඒ ළමයගෙන් ළමයට අද කරන්න ඕනෙ පාඩමේ ඉඳලා අවශ්‍ය දේ මොකක්ද කියලා’

එසේ කියන්නේ කොම්පඤ්ඤවීදිය හෝලි රෝසරියේ විදුහල්පතිනිය සෞම්‍යා ප්‍රතාපගේය.

පාසල කරා මෝටර් රථයෙන් රැගෙන පැමිණ අතින් අල්ලාගෙන පාසල් ගේට්ටුව අසලට ගෙන ගොස් දරුවාගේ හිස සිඹ පාසල තුළට යනතුරු අතවනන, අම්මලා තාත්තලා සිටිනවා යැයි මේ දරුවෝ නොදන්නවා ද විය හැකිය. ඒ තරමටම උන්ගේ ජීවන අත්දැකීම් වෙනස්ය. කුඩු පැකට්ටුවක් නඩු භාණ්ඩය බවට පත්වී ඒ සමග මව් පිය සෙනෙහසද වැලිකඩ උස් තාප්පය ඇතුළේ සිරවද්දී, ඒ සෙනෙහසද රැකවරණයද උන් පතනුයේ, ලබනුයේ මේ පාසලේ තාප්ප ඇතුළෙනි.

අම්මා අප්පා ළඟ නැත්තේ වුවද, ගෙදර හැළියක ඉදෙන බතක් නැත්තේ වුවද ඒ කිසිවකින් නොසැලෙන හිතක් මේ දරුවන්ට ඇති බව හෝලි රෝසරියේ ගුරුමව් පියවරු දනිති.

‘මේක හොඳ පැත්තට යොදාගත්තොත් මොන තරම් ධෛර්යසම්පන්න පුරවැසියන් පිරිසක් අපිට මේ රටට දායද කරන්න පුළුවන්වෙයිද. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් බවට පත්වෙන කෙනෙක් තුළ නැති තරම් ජවයක්, තියුණු බවක් මේ වගේ අභියෝගාත්මක පරිසරයක් ඇතුළෙ හැදෙන දරුවන් ළඟ තියෙන්න පුළුවන්’ යැයි පවසන විදුහල්පතිතුමියගේ පළමු වෑයම මේ දරුවන්ව අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමම නොවේ. මේ පාසලේ තාප්පයට එපිටින් ඇති උපද්‍රවයන්ගෙන් දරුවන් බේරාගැනීම ඇගේ පළමු වෑයමයි. ඇගේ ගුරුමණ්ඩලයද පාසල් සහයකයාද එයට නොමද සහයක් දෙමින් කැපවෙති. අද මේ දරුවෝ ගෙදර සිටිනවාට වඩා පාසලට ඒමට කැමති වෙති. ඒ දැනුම ඉපැයීම පිණිසම නොවේ. ගෙදරවත් නොලැබෙන ආදරයක්, රැකවරණයක් විඳගනු පිණිසය. එයට අවැසි වටපිටාව පාසලේ නිබඳව ගොඩනැගෙයි. වැදූ මෑණියන් උයන බතට වඩා, ගුරු මෑණියන් උයා දෙන බත මේ දරුවන්ට රස වැටී ඇති සෙයකි. ඒ බත රස වූයේ තමන් නොවිඳි සෙනෙහසක් ඒ බත් අහුරක මුසුව ඇති බැවිනි. දරුවන්ගේ හැටි එහෙමය. උන්ව දමනය කරන එකම මන්තරය ආදරයයි. ඉතින් උන් මේ හෝලි රෝසරි මාතාවගේ ආදරයට ගුළි වෙති. ඒ ආදරය පුදමින් මේ ගුරු මාතාවෝ පියවරු හරි පුදුම ඉස්කෝලෙ තවත් හරි හරි වැඩ කරති.

ගමේ දරුවන්ට මෙන් අලුත් හාල් බත් කන්නට මේ දරුවන්ට වරම් නැත. අලුත් හාලේ කිරිබතක් පැසෙන සුවඳ කිසිදා නොවිඳි, ඒ කිරිබත තැබුණු මේසය වටා එක්වී ගෙදර සියල්ලන් සතුටින්ම අහර ගන්නා සංස්කෘතියක් මේ රටේ තිබෙන බව නොදැන සිටි කොම්පඤ්ඤවීදියේ දරුවන් වෙනුවෙන් අද ‘අලුත් සහල් මංගල්‍යයක්’ පැවැත්වේ. ඒ ද මේ හෝලි රෝසරි සිංහල විදුහලේය. පාසලේ සහයක රංජිත් ගේ ගෙවල් ඇත්තේ වේයන්ගොඩ පැත්තේය. ඔහුට කුඹුරු ඇත. ඒ කුඹුරුවල අස්වනු නෙළාගත් පසු හෝලි රොසරියේ ‘අලුත් සහල් මංගල්‍යයට’ හාල් වෙන්වේ. ඒ සහල් පාසලට රැගෙන ගොස් මුළු පාසලේ සියල්ලටම සෑහෙන පරිදි කිරිබතක් පිසියි. ඒ කිරිබත සකස්වනුයේද ගුරුභවතුන්ගේ අතිනි. පාසලේ ඇති වටිනාම භෞතික සම්පත වන අඩි දහයක් පමණ දිග පළල ඇති මැහෝගනී මේසය මත එලෙන ඒ දැවැන්ත කිරිබත දැන් මේ පාසලට අනන්‍ය වූ සංස්කෘතියේ තවත් අංගයකි. එවැනි ‘අලුත් සහල් මංගල්‍යයක්’ පැවැත්වෙන පාසලක් මේ රටේ තවත් තිබේද?

මේ දරුවන් මෙම ආදරණීය සංස්කෘතියට මොනතරම් වශීකෘතව ඇත්ද යත් තමන්ට වඩා උසස් යැයි සම්මත පාසලකට යෑමට අවස්ථාවක් ලැබුණහොත් එය පවා ප්‍රතික්ෂේප කරන තරම්ය.

මේ කරුණු කාරණා අපට කන වැකෙන, ඒවා අප ඇස් ඉදිරිපිට සනාථ වන අතරවාරයේ දැන් පාසල අවසන් වන වේලාව පසුවී පැය ගණනාවක් ගෙවී ගොසිනි. එහෙත් දරුවන් පාසලේය. ආවට ගියාට උන්ව ගෙවල්වලට යවන්නේ නැත. මේ පොඩිඋන්ගේ ගෙවල් සියල්ල ඇත්තේ පෙනෙන මානයේය. පා ගමනින් යන්නේ නම් විනාඩියක දෙකක දුරකි. එහෙත් ඒ දුර හෝ විශ්වාසවන්තයකු නොමැතිව නොයවන්නේය. මන්ද විලිස්සාගත් දත් සහිත රාක්ෂ සමාජයක අනාරක්ෂිත විනාඩියක් යනු දරුවකුගේ මතු ජීවිත කාලයක්ම අනතුරේ හෙලන්නක් විය හැකි බැවිනි.

‘ඔයා…. සඳුනිගෙ මල්ලි නේද? සඳුනී…. දැන් යන්න පුළුවන්’

‘රංජත් සෆීර්ව දැන්ම යවන්න එපා. බලන්න කව්ද ගේට්ටුව ළඟ ඉන්නේ කියලා’

කිසිදු දරුවෙක්ව ආවාට ගියාට මේ බිත්ති හතර අතර මැද ඇති රැකවරණයෙන් මුදා ගෙදරට හෝ භාරදෙන්නේ නැත.

‘රැජන මමයි’ යැයි නොකියන නමුත්, මේ පර්චස් විස්සක පමණ රාජධානියේ ලොකු මිස්ගේ රාජ ආඥාව අකුරටම ක්‍රියාත්මක වෙයි.

පාසලේ සෙස්සන්ගෙන් අපට ඇසුණ හැටියට, ලොකු මිස්ගේ නම ‘සෞම්‍යා’ වුණාට, පාසල් විනය සහ දරුවන් හික්මවීම විෂයේ ඇගේ ක්‍රමවේද හැමවිටම ‘සෞම්‍ය’ නැත.

‘මැඩම් දරුවො වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා වගේම තමයි, හොඳින් කියල අමාරුනම්, ඕ ලෙවල් පන්තියේ කොල්ලෙක්ට වුණත් බිත්තයට හේත්තුකරලයි ගුටි අනින්නේ. මේ දරුවන්ව හදන්න නම් ඒකත් ඕනේ. මැඩම් එන්න ඉස්සර මේ ඉස්කෝලෙ හිටියා කුඩු ගහන ළමයි. එක එක මත්ද්‍රව්‍යවලට හුරු වුණු දරුවෝ. මැඩම් ආපු මුල් කාලෙක ඕ ලෙවල් පන්තියේ එක ළමයෙක් හිටියා ඒ-9 ක් ගන්න පුළුවන් තරම් දක්ෂයි. ඒත් ඒ ළමයා කුඩුවලට අහුවුණා. ඒ කොල්ලගෙ ඉගෙනගැනිල්ල ඉවර වුණා. අද පරඬැලක් වගෙයි හැඩෙත්. මේවා දැක්ක නිසා තමයි හොඳින් හරි නරකින් හරි දරුවන්ට දැනෙන විදිහකට කියාදෙන්න මැඩම් පසුබට වෙන්නෙ නැත්තේ. ඒ නිසා දෙයියනේ කියල අද නම් මේ ඉස්කොලෙ එහෙම ළමයි නැහැ. දරුවො ගුරුවරුන්ට ආදරෙයි. මේ ගුරුවරු දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම ඒ අයට තේරෙනවා’ යැයි අපට පැවසුවේ පාසලේ සියලු සිදුවීම් ඇස් ඉදිරියේ දකින අයෙකි.

විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් විසින් දරුවන්ට ඉගෙන්වීමට පමණක් නොව උන්ව රැකගැනීමටද ගන්නා වෙහෙස මේ පාසල අවට සමාජයේ බොහො දෙනෙක් හඳුනාගෙන සිටිති. එනිසාම නොදන්නා අයෙකු හෝ වැරදි කැරැට්ටුවක් පාසල් ගේට්ටුව අසල ගැවසෙන්නේ නම් ඒ මන්දැයි විමසා උපද්‍රවයන් පන්නා දැමීමට තරම් මේ අවට වෙසෙනා සමහරෙක් ස්වේච්ඡාවෙන්ම ක්‍රියාකරති.

මේ පාසලේ සිටිනුයේ ගෙන්දගම් පොළොවේ ‘ගොබ්බ පැටව්’ නොවේ. සමහරක් විෂයන්ගෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%කි. නැටුම් විෂයේ ප්‍රතිඵලද 100%කි. ළමුන් 100ක් පමණ සිටින බැවින් එක වයස් කාණ්ඩයකට දරුවන් 20ක් හෝ නැත්තේ වුවද රටේ අන් සියලු පාසල් පරාජයට පත්කරමින් ඉකුත් වසර දෙකක සමස්ත ලංකා නැටුම් ශූරියන් බිහිවූයේ මේ හෝලි රෝසරියෙනි. ඒ ස්වර්ණමය මතකය ඉතිරිකර එයට මග පෑදූ අතිදක්ෂ නැටුම් ගුරුවරයා අකාලයේ දිවියෙන් සමුගැනීම මේ අහිංසක දක්ෂයන්ට පිරිමැසිය නොහැකි පාඩුවකි. දැනට පාසලට නැටුම් ගුරුවරයෙක් නැත. නමුත් අසල පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආදී තැනවල කරක් ගසා, විෂයට අදාළ න්‍යායාත්මක කරුණු මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ නැටුම් වීඩියෝ දර්ශන ආදිය රැගෙන පැමිණ රූපවාහිනී තිරයක් ඇසුරින් ඒවා දක්වමින් කෙසේ හෝ ඉකුත් වසරේද 100%ක් සමත්වීමේ නැටුම් වාර්තාව රැකගැනීමට හෝලි රෝසරි සිංහල විදුහල සමත්විය.

ඒ සියල්ල පිටුපස ඇත්තේ මේ ගුරුභවතුන්ගේ අප්‍රතිහත කැපවීමයි. එය සම්මානයට නොව වන්දනාවට පවා සුදුසුය. අඳුරට ශාප කරමින් නොසිට හැකි උපරිමයෙන් පහන් දැල්වීමට ඔවුහු අති සාමාර්ථයෝය.

අප මේ පාසලේ තවත් පන්තියක් වෙත යොමුවෙද්දී එහි සිටියේ පාසලේ විද්‍යා ගුරුතුමියයි. මේ පාසලේ දරුවන්ගේ අවංකභාවය සහ හික්මීමට නිහඬ සාක්ෂියක් වෙමින් කිසිවෙකුත් නොසිටි යාබද පන්තිකාමරයක ගුරුමේසය මත හුදෙකලාව තිබුණු පසුම්බි ඇතුළු බෑගය මැයගේ විය යුතුය. ගයනි අබේරත්න නම් මේ ගුරු මාතාව පාසල අහවරව ඇති හෝරාවක් මේ උගන්වමින් සිටියේ විද්‍යාව නොව ‘චිත්‍ර’ විෂයයි. ඒ මේ පාසලේ හැටිය. ආණ්ඩුවෙන් පැවරෙන රාජකාරිය පමණක් ඉටුකර අතපිහිදාගැනීමේ කලාවක් මේ ගුරුමව්පියෝ නොදනිති. පුළුවන් හැම දෙයක්ම දරුවන් වෙනුවෙන් කරති. ඔවුන් සම්මානයට නොව ඉන් එහා ගොස් වන්දනාවට පාත්‍රවිය යුතු චරිත වන්නේ එබැවිනි.

‘අපි ‘සතිඅග අරුණ’ පත්තරෙන්’

මම ඇයට පැවසුවෙමි.

‘අනේ… මොන තරම් දෙයක්ද ඔයගොල්ලන්ව මුණ ගැහුණු එක. මම ඔයගොල්ලන්ගෙ පත්තරයට ස්තුතියක් කරන්න වෙලාවක් එනකම් බලාගෙන හිටියේ’

ඒ ඇයි දැයි අපි අසන්නටද මත්තෙන් ඇය ලාච්චුවක් හැර අපට පත්තර එකතුවක් ගෙන පෙන්වුවාය.

‘ඔය ගොල්ලො කරන මෙන්න මේ වැඩේට’

ඇය පෙන්වුවේ ‘සි අග අරුණ’ සමගින් පිදෙන ‘කිරණ’ අධ්‍යාපන අතිරේකයයි.

‘මේක නම් හරිම ප්‍රයෝජනයි. මට මේ දරුවන්ට උගන්වන්න ‘කිරණ’ පත්තරෙන් ලැබෙන සහයෝගය කියන්න වචන නෑ. මේ දරුවො ගොඩක් භෞතික දේවල් ඇහින් දැකලා නැහැ. මොකද මේ අය ඉන්නෙ හරිම පටු පරිසරයක. ඒ පරිසරයේ නැති දෙයක් ඒ අයට පෙන්වන්න නම් රූපවලින් විතරයි අවස්ථාව තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ගේ ‘කිරණ’ පත්තරේ රූප සටහන් මට හරිම ප්‍රයෝජනවත්. පත්තරේ පොඩියට තියෙන මේ රූපසටහන් ලොකු පන්තිවල දරුවො මේ විදහට මට ලොකුවට ඇඳලා දෙනවා’ වෘත්තියෙන් විද්‍යා ගුරුවරියක වූද, සිසු සෙනෙහසින් චිත්‍ර ගුරුවරියගේ කාර්යය ඉටුකරන්නාවූද ගයනී ගුරුතුමිය පවසන්නීය.

‘අනේ අපි ස්තුති කළා කියන්න මේ වගේ දෙයක් කරන ඔයාලගෙ පත්තරේ මහත්වරුන්ට’

ඇගේ වචනවල හදවතින්ම කෘතඥපූර්වක වීමේ ස්වරයක් රැඳී තිබුණි.

මේ දරුවන්ට හැකි හැම අයුරින්ම ඉගැන්වීම් කිරීමට මේ ගුරුවරු වෙහෙසෙති. කොම්පඤ්ඤවීදියට යාබද මරදානට ගොස් නැති, පයින් ගියත් වැඩි ඈතක නොවන ග්‍රහලෝකාගාරයට ගොස් නැති, රූපවාහිනී සංස්ථාව දැක නැති දරුවන් සිටින අමුතුම තැනක, ඒ දරුවන් වෙනුවෙන් බොහො දේ පෙන්වන්නට සිදුවන්නේ රූප හෝ වීඩියෝ ඇසුරිනි. විදුහලේ ඇති රූපවාහිනිය එයට බොහෝ සෙයින් උපකාරී වෙයි. අප එහි යන්නට මොහොතකට මත්තෙන් විදුහල්පතිනිය සහ විද්‍යා ගුරුතුමිය කොළඹ කොටුවට ගොස් ඉලෙක්ට්‍රොනික් ගැජෙට්ටුවක් රැගෙන විත් තිබුණේ ඒ වෙනුවෙනි. ඒ ජංගම දුරකථනයේ ඇති දසුන් රූපවාහිනයට සම්ප්‍රේක්ෂණය කරන්නකි. ලෝකය දැක නැති දරුවන්ට යූ-ටියුබ් ආදී වීඩියෝ දර්ශන ඇසුරින් රූපවාහිනී තිරය හරහා ලෝකය පෙන්වීම ඔවුන්ගේ මේ උත්සහයයි.

විෂය දැනුම පමණක් නොවේ. ජීවත් විය යුතු අයුරුද මෙහි කියාදෙයි. ‘මෙය මෙසේ ඉගෙන ගනු’ යැයි වචනයෙන් නොකියා ගේ දොර වැඩපළ පවා කියදෙන අයුරු දැන් අප ඇස් ඉදිරියේ පෙනෙයි. ලොකු මිස්, පොඩි දරුවන් පිරිසක් සමග පහළ ඇති පන්තියක් අතුගායි. ඩෙස් පුටු එහා මෙහා කර, කොස්ස අතින් ගෙන පිළිවෙළට එය අමදින අයුරු දරුවන් හා එකතුව ඔවුනට නොදැනී කියාදෙන්නේ අනෙකකු නොවේ. විදුහල්පතිනියයි. එපමණක් නොවේ ඇය දරුවන් හා එකතුව පාසලේ වැසිකිළි පවා පිරිසුදු කරන බව අපට දැනගන්නට ලැබුණි. ‘මැඩම්’ කෙනෙකු දරුවන් වෙනුවට ‘ගෘහ සේවිකාවක’ බවට පත්වීමේ ඇදහිය නොහැකි ඒ නිහතමානීත්වය අපි ඇස් පනාපිට දුටු බැවින් අදහාගත්තෙමු.

ඈ ඇතුළු පාසලේ පිරිවර මේ දරුදැරියන් වෙනුවෙන් කරනා කැපකිරීම එතකුදු නොවේ. හැකි හැම උපකාරයක්ම ලබාගනිමින් මේ දරුවන්ට මෙවන් සමාජයක උරුම වීමට නියමිත දෛවය වෙනස් කිරීමට ඔවුහු උත්සහ කරති. විදුහල්පතිනිය ඉකුත් වසරක මරදාන ශාන්ත ජෝසෆ් විදුහලට ගියේ ඒ අනුවය.

තම පාසලද කතෝලික පාසලක් නමුත් කතෝලික සභාවෙන් කිසිදු අයුරේ උපකාරයක් නොලැබෙන බැවින් මේ දරුවන් වෙනුවෙන් මරදාන ශාන්ත ජෝසෆ් විදුහලට කළ හැකි යම් උපකාරයක් තිබේ දැයි ඇය විමසා සිටියාය. ‘‘මම බෞද්ධයෙක් මේක කතෝලික පාසලක්. මම මේ ඉස්කෝලේ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒත් මට කතෝලික ප්‍රජාවෙන් කිසිම සහයක් නැහැ. පුළුවන් නම් මේ දරුවො වෙනුවෙන් යමක් කරන්න.’’ යැයි එදා ඇය එම විදුහල් ප්‍රධානියා හමුවේ පවසා සිටියාය.

ඒ අනුව හෝලි රෝසරිය වෙනුවෙන් අඟල් 40 රූපවාහිනියක් මෙන්ම ඡායා පිටපත් යන්ත්‍රයක් ද තෑගි කිරීමට කටයුතු කළ ශාන්ත ජෝසෆ් විදුහල් ප්‍රධානී (සාමාන්‍යාධිකාරී) පියතුමා අවම වශයෙන් ‘ඒ’ සාමාර්ථ තුනක් හෝ සහිතව සාමාන්‍ය පෙළ සමත් වන හෝලි රෝසරි සිසුන් වේ නම් ඒ අයව තම පාසලට ඇතුළත් කරගන්නා බවට ද සපථ විය.

එම පොරොන්දුවෙන් පසුව පැවැති සමාන්‍ය පෙළ විභාගයේදී විදුහලේ එක් ආදර්ශමත් සිසු දරුවෙකු ‘ඒ’ සාමාර්ථ 6ක් සහිතව විශිෂ්ට ලෙස සමත්විය. ඒ ප්‍රතිඵලය දැකීමත් සමගම විදුහල්පතිනියට මතක් වූයේ ඉහළ පාසලේ පොරොන්දුවයි. ඇය මේ දරුවා කැටුව ඒ පාසලට ගියේය. පොරොන්දුප්‍රකාරව සියල්ල සිදුවිය. සිසුවා පාසලට ඇතුළත් කිරීමට දිනයද යෙදුණි.

එහෙත් එයට පෙර දින සිදුවූයේ අනෙකකි. මේ සා කඨෝර පරිසරයක සිට සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වූ ඒ දීප්තිමත් සිසුවා විදුහල්පතිනිය සොයා පැමිණියේය.

‘අනේ මැඩම්. මට ඒ ඉස්කෝලෙට යන්න බෑ මැඩම්’

මේ අනපේක්ෂිත වචන කිහිපයෙන් ඈ අන්දමන්ද වුණි.

‘ඇයි පුතේ ඒ ඉස්කොලේ හරි ෂෝක්නෙ. ඇයි ඒ වගේ ඉස්කෝලෙකට යන්න බැහැ කියන්නේ’

විදුහල්පතිනිය සෞම්‍යා මෙනවිය විමතියෙන් ඇසුවාය.

‘අනේ මිස්. ඒ ඉස්කොලෙ ළමයි ලස්සනයි’

විරූපී පරිසරයක් විසින්, එහි හැදෙන පැටවුන්ට එයින් මිදීමට නොහැකි වන පරිදි මොන සා සවිමත් ‘මනෝවිලංගු’ දා ඇති බවක් ද ඒ දරුවා කියූ ‘ලස්සන ළමයින්’ පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ.

සාමාන්‍ය පෙළින් ඔබ්බට පන්ති නැති මේ පාසල ඉන් එහා ඔහු වෙනුවෙන් කුමක් කරන්නද?

‘අනේ අද ඒ දරුවා සුපර් මාර්කට් චේන් එකක ට්‍රාන්ස්පෝර්ට් අංශයෙ පෙට්ටි කරගහනවා කියලා ආරංචියි’

තමන්ට වෙනස් කළ නොහැකි වූ ඒ දෛවය ගැන හැඟීමෙන් ඇස් අග දිලිසෙද්දී විදුහල්පතිනිය එසේ කීවාය.

ලබන සතියේ

දෙසොහොයුරෝ බත් පත දෙකට බෙදා කන ගමන් මාළුපිනි නොගෑවෙන්නට තවත් කොටසක් වෙන්කළේ ඇයි?

සිසු දරුවන් සමග ලොකු මිස්ගේ සති අන්ත කොළඹ සවාරි

ඉන්ද්‍රජිත් සුබසිංහ

ඡායාරූප – ඒෂාන් දසනායක