කතුවැකි

ලන්සි පැපොල් ගහට පන්සිල් ගන්න පුළුවන් ද?

රනිල් ඇතුළු එකසත් ජාතික පක්ෂය බුද්ධාගම වැලඳ ගැනීමට යයි

මේ ප්‍රකාශය තිබුණේ මුහුණු පොතේය. මුහුණු පොතට මෙබඳු ප්‍රකාශයක් හාස්‍ය දනවන ආකාරයට ලියැවෙන්නට හේතුව මෙවර ජනාධිපතිවරණයේදී ලද පරාජය ගැන රනිල් කළ පාපොච්චාරණයය. බහුතර සිංහල බෞද්ධ ජනයා අමනාප වීම අප පරාජයට හේතුව බැවින් බහුතරය දිනා ගැනීම අපේ ඊළඟ අරමුණ බව ඔහු කියා තිබිණ. ඒ සමගම බොහෝ එජාප පාක්ෂිකයන් කීවේ එජාපයේ එදා තිබුණ සිංහල බෞද්ධකම දැන් විනාශ වී ගොස් ඇති බවකි.
එක්සත් ජාතික පක්ෂ එබඳු සිංහල බෞද්ධ පදනමක් මත ගොඩනැගුණ පක්ෂයක්ද? සිංහල බෞද්ධ පිබිදීම ඇති කළ අනගාරික ධර්මපාලතුමා රට භාර ගැනීමට යන එක්සත් ජාතික පක්ෂ නායකයන් දෙස බැලුවේ සුද්දන් දෙස බලනවාටත් වඩා සැකයෙනි. මහා බෝධිය බේරා ගැනීමට සටන් කළ ධර්මපාලතුමා ඉන්දියාවේ සිර අඩස්සියේ සිටියදී ලංකාවේ කිසිවෙක් තමා බේරා ගැනීමට උනන්දු නොවූ බව මහත් වූ කම්පාවකින් එතුමාගේ මිත්‍ර ලාංකිකයකුට ලියා එව්වේය. එකල සේනානායකලාට සුළු ජාතීන්ගේ ඡන්ද ගැනීමට තිබෙන නිසා සිංහලයා බෞද්ධයා වෙනුවෙන් පෙනී නොසිටී යැයි තමාගේ අනුප්‍රාප්තිකයකුට ලියා එව්වේ 1924 දීය. සිංහලයාට තිබෙන වස්තුව බුද්ධාගමය. එය නැති කරන්නට ජයතිලකලා, සේනානායකලා කරන වීර්යය දුක්ඛදායකබව 1924 සැප්තැම්බර් 27 දා ධර්මපාලතුමා ඉන්දියාවේ මහාබෝධියේ අනුප්‍රාප්තිකයකුට ලියා යැව්වේය.

1947 මහ ඡන්දයට සහයෝගය ගත් ප්‍රකට හිමිනමක් තමාට ආවාසයක් තනා ගැනීමට ඩී. එස්.ගෙන් ආධාර ඉල්ලුවේය.

‘‘එහෙම පන්සල් හදන්න දුන්නොත් හැම ආගමකටම මට උදව් කරන්න වෙනවා. බුද්ධාගමේ බුද්ධං සරණං ගච්ඡාමි මිසක් ආණ්ඩුව සරණං ගච්ඡාමි කියලා නෑනේ’’ යැයි කීවේය.

සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස යන සියල්ලෝ ආණ්ඩු කර ගෙන ගියේ ඒ පදනමෙනි. එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක බුද්ධාගමට විශේෂ ඇල්මක් නොදැක් විය. එහෙත් එම පක්ෂයට තම ආණ්ඩුවක් ලබා ගැනීමට එය බාධාවක් වූයේ නැත. ඒ සිංහල බෞද්ධයා මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා නොවන නිසාය. එහෙත් රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ පෙර සිරිත තව තවත් දැඩි කළේය. සිරිකොතේ රැස්වීම් ආරම්භ කරන විට පන්සිල් ගැනීමේ සිරිත ඔහු නතර කළේය. මෙවර ආණ්ඩුවේ සිටි ඔහුගේ සමීප අනුගාමිකයන් කිසිදු බෞද්ධ ආභාෂයක් නොලද බෞද්ධ සම්ප්‍රදාය පිළිකුල් කරන්නෝ වූහ. රනිල් වටා සිටි පිරිස හැඳින්වුණේ ලන්සි පැපොල් ගහ කියාය. රනිල්ගෙන් පසු පුටුව භාර ගන්න සිටි ඇතැමකුගේ භාර්යාවෝ Born Again නම් කතෝලික අන්තවාදී ආගම හා විවාහ වූවෝ වූහ. ඒ අතරට මංගල සමරවීර, රන්ජන් රාමනායක ඒම කොහොඹ ගහට කරවිල වැල ගියා සේ විය. රාජ්‍ය නොවන විදේශ සංවිධාන ඉතුරු හරිය කළේ ය.

සිංහල බෞද්ධයාගේ විශ්වාසය මංගල හා රංජන් නිසා කඩ වූ බවත්, බහුතරය දිනා ගැනීමට උත්සාහ කළ යුතු බවටත් එජාප මන්ත්‍රීහූ දැන් පාපොච්චාරණය කරති. එයද කරන්නේ සිංහල බොදුනු හදවතට ගැළපෙන ආකාරයට නොවේ. පාපොච්චාරණය කර පව් සීමා කර ගැනීම පල්ලියේ කෙරෙන චාරිත්‍රයකි. සිංහල බෞද්ධයන් අතර එහෙම නැත. සිංහල බෞද්ධයාට අනුව කළ පව් පස්සෙන් එයි.