විශේෂාංග

ලංකා භූමියෙන් සියයට හැටක අලි ඇතුන් ඉන්නවා

ආසියානු අලි ජීවත්වන රටවල් දහතුනක් ලෝකයේ ඇත. ඒ අතරින් අපේ රටට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ ජීවත්වන අලි Elephant Maximus Maximus නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වීමයි. එමෙන්ම මේ රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුත් අලි ඇතුන් ජීවත්වන රටද ලංකාවය.

එවැනි පසුබිමක් අප රටට අලි ඇතුන් ගැන තිබියදී උන් පිළිබඳ ඇතැම් මති මතාන්තර බිඳ දමන හා අලි ඇතුන් පිළිබඳ දූරදර්ශීව අප්‍රමාදීව කටයුතු කිරීමේ අවශ්‍යතාව විද්‍යාත්මකව තහවුරු කරන පර් යේෂණ පත්‍රිකාවක් පසුගියදා ඉදිරිපත් විය. ලංකාවේ පමණක් නොව ආසියානු අලි ජීවත්වන රටවල පිළියෙල වූ ප්‍රථම වන අලි සිතියම පිළිබඳව වූ එම පත්‍රිකාව පළව ඇත්තේ ලෝ ප්‍රකට Oryx ජර්නලයේ අලුත්ම කලාපයේ ලංකාවේ සිටින අලි ඇතුන් පිළිබඳ ආන්දෝලනයට තුඩුදිය හැකි විද්‍යාත්මක හෙළිදරව් කිරීම් මතුකරන එම පර් යේෂණය දියත් වූයේ මෙරට සිටින මුල් පෙළේ වනජීවී විද්‍යාඥයකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් පර් යේෂණයේ කණ්ඩායමකිනි. ඒ පර් යේෂණයේ සිදු කළ ආචාර්ය පෘතිවිරාජ් කියන්නේ මෙතෙක් කලක් අලි ඇතුන්ගේ පැතිරීම ගැන දැක්වෙන සිතියමක් ආසියාවේ කිසිදු රටක නොවූ බවයි. අලි සිතියම නිමැවූ පර් යේෂණය ගැන මේ ලිපිය සැකසෙන්නේ ආචාර්ය පෘතිවිරාජ් සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.

විසිපස් වසරකට වඩා අලි ඇතුන් ගැන පර් යේෂණ කරමින් සිටින අතර මෙවැනි සිතියමක් පිළියෙල කිරීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන තිබුණි. ඒ ඔස්සේ එය ලංකාවෙන්ම ඇරඹීමද සිදු විය. මීට පෙර අලි සීමිත ප්‍රදේශවල සිදු කළ අධ්‍යයනවලදී පෙනී ගියේ සිතුවාට වඩා සැබෑ චිත්‍රය බොහෝ වෙනස් අයුරිනි.
ඒ කෙසේ වුවද වසර 2011 සිට 2015 දක්වා සිව් වසරක් තිස්සේ දත්ත රැස් කරමින් මේ පර් යේෂණ දියත් වුණේය. පර් යේෂණය සිදු වූයේ ශ්‍රී ලංකාවේ සමස්ත භූමිය වර්ග කි. මී. 25 බැගින් කොටු 2750 කට පමණ බෙදා ගනිමිනි. (කොටුවක විශාලත්වය වන අලි භාවිත කරන කුඩාම වපසරිය අනුවය)
මෙහිදී සිදු කළ ප්‍රධානම සොයා ගැනීම වන්නේ අදවන විට ලංකාවේ භූමියෙන් 60% ක අලි ඇතුන් ව්‍යාප්ත වී සිටින බවයි.

පර් යේෂණය සිදු වූයේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයකටය. එහිදී වර්ග කි. මී. 25 සෑම කොටුවකින්ම තිදෙනකුට බැගින්, එම ප්‍රශ්න මාලාව ඉදිරිපත් කෙරිණි. ඔවුන් ඉදිරිපත් කළ මූලික ප්‍රශ්නය, අදාළ ප්‍රදේශයේ අලිඇතුන් පැතිර සිටින්නේද? යන්නය. ප්‍රශ්න යොමු කළේ ප්‍රදේශයේම පදිංචිකරුවන්ටය. තමන් අවට කි. මී. 2-3 ක් ප්‍රදේශයේ අලි ඇතුන් සිටීද යන්න ගැන ඔවුන්ට පැහැදිලිව පිළිතුරු ලබාදිය හැකිය. මෙවැනි සතකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක මෙන්ම පහසු බවක් පෙන්වයි. පර් යේෂණය මගින් දිවයිනම ආවරණය විය. භූමියෙන් 18% ක මිනිස් වාසයක් නොමැත. එම ප්‍රදේශවල අලි ඇතුන් සිටීදැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට නොහැකි නිසා එම භූමියේ මේ සතුන් සිටීදැයි ගණනය කළේ ඒ අවට නියැදිවලින් ලබාගත් දත්ත අනුවයි. එම ක්‍රමවේදය විද්‍යාත්මකව යොදාගත්තකි. එම ප්‍රදේශ සියල්ල වනජීවී හා වනරක්ෂිත පෙදෙස්ය. එවැනි බිම් 18% ට වඩා වැඩි බව පිළිගැනීමය. නමුත්, අභයභූමි ආශ්‍රිතව මිනිසුන් ජීවත් වීම වැනි කාරණා මෙහිදී අදාළ කර ගැනීමට සිදුවේ. 18% සැදෙන්නේ එම බිම්ද අත්හැරි පසුවය.

මේ දත්තවලින් පිළිබිඹු වන පරිදි ලංකාවේ භූමියෙන් 82% ක මිනිසුන් පදිංචිව සිටින බවත්, මිනිසුන්ගෙන් තොර 18% මෙන්ම ඉතිරි කොටසට අයත් 44% ක අලි ඇතුන් ජීවත්වන බවත් තහවුරු විය. ලංකාවේ භූමියෙන් ආසන්න වශයෙන් 60% ක අලි ඇතුන් පැතිර සිටින අතර ඉන් 44% ක මිනිසුන් හා අලි යන දෙපිරිසම ජීවත් වේ. මෙපමණ විශාල අලි මිනිස් ගැටුමක් තැබීමට හේතුවද මෙයය.

අලි – මිනිස් ගැටුමට පිළියමක් ලෙස අපට ඇති විසඳුම මිනිසුන් සිටින ප්‍රදේශයෙන් අලි සහමුලින් ඉවත් කිරීම නම් අපට සිදුවන්නේ මේ කියන 18% ක භූමියට එම සතුන් යොමු කිරීමටය. අලින් සිටින සමස්ත ප්‍රදේශයෙන් 70% ක් පමණ උන් සිටින්නේ මිනිසුන් සමගය. මේ සතුන් 18% ක රක්ෂිත බිම්වලට කොටුකිරීම කිසිසේත් ප්‍රායෝගික නැත. එම බිම්වල දැනටත් සිටින ගහනයට ප්‍රමාණවත් ආහාර එහි ඇති අතර අමතර සංඛ්‍යාවක් ගෙනැවිත් දැමීමෙන් ආහාර අහේනියක්ද ඇතිවේ. කවුරුන් හෝ එය කළ හැක්කක් යැයි කල්පනා කරන්නේ නම් එය පිරුණු වතුර වීදුරුවකට තවත් වතුර බෝතලයක් වක් කිරීමට වෑයම් කිරීම බඳු ක්‍රියාවකි.

එමෙන්ම, 44% ක සිටින අලි පැන්නීම යනු අලි සමග විශාල ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු සිදුකරන දෙයකි. එහි ප්‍රතිඵලය අලි මිනිස් ගැටලුව තවත් උග්‍ර වීමය. එය අලි සංරක්ෂණයටද විශාල ලෙස හානිදායකය. මේ බව මෙම අලි සිතියම පිළියෙල කිරීමෙන්ද මනාව පැහැදිලි වේ. එසේ නම් ඇති එකම විකල්පය අලි සහ මිනිසුන් යන දෙපිරිසම සංහිඳියාවෙන් විසීමය. ඉන් අදහස් කෙරෙන්නේ එකම පරිසරයක මේ දෙපිරිසම ජීවත් වීමය. දරුවන්ටත් මේ පරිසරයේ ජීවත්වන අලින්ගෙන් අප ආරක්ෂා වීම මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයයි. අලි ගම් වදින්නේ නම් ගම්මුන් එකතු වී විදුලි වැටක් තනා ගැනීම කළ හැකිය. කුඹුරු කරන කාලයේදී කුඹුරු මත විදුලි වැටක් යෙදීමටද, ගොවි සමිතිවලට පුළුවන්කම තිබේ. මෙවැනි ක්‍රම දැනටමත් ඉතා සාර්ථකව අත්හදා බලා ඇත.

අලින්ගේ පැතිරීම පිළිබඳ සිතියම්ගත කිරීම දිවයිනම ආවරණය වන පරිදි සිදු කිරීමට පෙර නොයෙක් ප්‍රදේශවල එවැනි පර් යේෂණ සිදුකෙරිණි. එහිදී පෙනී ගියේ දැනට වසර 15 කටත් පෙර මේ භූමි ප්‍රදේශවල අලි සෑහෙන සංඛ්‍යාවක් වාසය කරන බවයි. එහිදී සිදු වූයේ ප්‍රජා මූලික විදුලි වැටවල් මගින් එම ගම්බිම් හා වගාබිම් ආරක්ෂා කිරීමය. මෙය සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වූ වැඩපිළිවෙළකි, දැන් සිදුවිය යුත්තේ. එම ක්‍රියා පිළිවෙත මුළු රටටම බලපාන පරිදි හඳුන්වාදීමය. එසේ කළ හැකි නම් අලි – මිනිස් ගැටුම පිළිබඳ ප්‍රශ්නයට සෑහෙන සහනදායී විසඳුමක් කඩිනමින්ම ලබා ගැනීමට හැකියාව තිබේ.
වර්ග කි. මී. 25 බැගින් රට ආවරණය කළ නියැදිවල තොරතුරු ලබා ගැනීමේදී එම ප්‍රදේශවල අලින් සිටීද, සිටී නම් වසර පුරාම සිටීද, නැතිනම් වසරේ යම් කාල සීමාවකද සිටින්නේ තනි අලිද, පැටවුන්ද, ඇතුළුව රංචු වශයෙන් සිටීද වැනි ප්‍රශ්න 20 ක් පමණ ඇසීම සිදු විය. මෙහිදී කොළඹ පවා ආවරණය කෙරිණි.

කොළඹ අලි නොසිටියද පර් යේෂණය සම්පූර්ණ වීම සඳහා කොළඹ ප්‍රදේශයෙන්ද දත්ත රැස් කළේ ය. කලකට පෙර හෝ අලි සිටියේ දැයි විමසා බැලුණේ වයෝවෘද්ධ පුද්ගලයන්ගෙනි. මෙහිදී පැහැදිලි වූයේ පසුගිය වසර 55 ක පමණ කාල සීමාව තුළ ලංකාවේ අලි සිටි ප්‍රදේශ 16% කින් පමණ අඩු වී ඇති බවය. හම්බන්තොට, උඩවලව හා සෙසු මහවැලි කලාප ආශ්‍රිතව අලි සිටියද, ඒ සමහර ප්‍රදේශවල මේ වන විට අලි දක්නට නොමැත.​ හේතුව සංවර්ධන වැඩපිළිවෙළය. එබැවින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, පසුගිය දශක 5-6 ක කාල සීමාව තුළ ලංකාවේ අලි සිටි ප්‍රදේශ 15% කින් පමණ අඩු වී ඇති බවය. එසේ නොවිණි නම් අද වන විට මෙරට භූමියෙන් 75% කට අලි ඇතුන් පැතිරී සිටිනු ඇත. ඇත්තටම සිදුව ඇත්තේ අලින් විසූ ප්‍රදේශ ක්‍රමයෙන් අඩු වී යාමකි. එය තවදුරටත් අඩුවෙමින් පවතී. සංවර්ධනයට භූමිය යට කෙරෙන විට අලින්ට ජීවත්වීමට ඇති බිම් අහිමි වීමද දැකිය හැකිය. සැබෑ තත්ත්වය එසේ නම්, ලංකාවේ සිටින අලි ගණන වැඩිවීමට පුළුවන්කමක් නැත. එබැවින් අලි වැඩිවෙමින් ඇතැයි පවතින මතයට පදනමක් නොමැත. ප්‍රදේශය අඩුවන අතර අලි ගණන වැඩිවීම කෙසේවත් සිදුවිය හැක්කක් ​නොවේ.

පර් යේෂණයේදී හෙළිදරව් වූ තවත් කාරණයක් නම් ඉතාමත් සීමිත ප්‍රදේශයක දැනට වසර ගණනාවකට ඉහතදී අලි නොසිටියද දැන් එම ප්‍රදේශවල අලි වාර්තාවන බවය. එබැවින් ප්‍රදේශ සමස්ත භූමියෙන් සියයට එකයි දශම ගණනකි. අලින්ගේ පැතිරීම වැඩිවීමක් පෙන්නුම් කරන්නේ, එම ඉතා සීමිත ප්‍රදේශවල පමණි.

දැනට වසර 50-60 කට පෙර සිංහරාජ වනාන්තරය හා ඒ අවට විශාල ප්‍රදේශයක අලි ජීවත් විය. සිංහරාජයේ අලි වියළි කලාපයේ අලින්ගෙන් වෙන්ව සිටීමත් දැකිය නොහැකි විය. සිංහරාජය අවට පෙදෙස් සංවර්ධනයට ලක් වීම නිසා එසේ සිටි අලි සිංහරාජයට සීමා විය. විවිධ බලපෑම් හේතුවෙන් තුරන් වූ අලි සම්පත අවසානයේ සිංහරාජයේ අලි දෙදෙනකුට පමණක් සීමාවන පරිදි අඩු වී අවසන්ය.

මෙම පර් යේෂණය මගින් ලබාගත් දත්ත හා මෙම සිතියම සංවර්ධන ක්ෂේත්‍රයට ලබාදීමේ හැකියාව තිබේ. රටේ කවර හෝ අලින් සිටින ප්‍රදේශයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමේදී මෙම දත්ත අතිශයින්ම ප්‍රයෝජනවත්ය. ඇතිවිය හැකි ප්‍රශ්න වළක්වා ගැනීමට මෙන්ම එමගින් හැකියාව ලැබේ.
බොහෝ දෙනකු කල්පනා කරන්නේ අලි මිනිස් ගැටුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් බවය. එය විසැඳිය යුත්තේ එම දෙපාර්තමේන්තුව බවද මතයයි. මේ අලි වනජීවී දෙපාර්තමේන්තුව ඇතිකර ගෙනැවිත් දැමූ අලි නොවේ. අලින් සිටින ප්‍රදේශයක වාරිමාර්ග හෝ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම, ගොවිතැන, ගැටුමට හේතු කාරණාය. ඊට වනජීවී නිලධාරින්ට දෝෂාරෝපණය කිරීමෙන් පලක් නැත. ඇත්තටම අලි මිනිස් ගැටුමට හේතුව අලින් සිටින භූමිවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමය. විශේෂයෙන් මේ ප්‍රශ්නය විසඳීමට මූලික විය යුත්තේ එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අයය. එතැනට යාමට මෙම පර් යේෂණයේ දත්ත මගපාදන්නේය.

ධම්මික සෙනෙවිරත්න