විශේෂාංග

ලංකාවේ මුල්ම ජනපතිවරණයට තරග කළෙමි

එක්දහස් නවසිය අසූදෙකේ පැවැති ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හය දෙනෙක් තරග කළහ. ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, වාසුදේව නානායක්කාර, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා කුමාර් පොන්නම්බලන් එම අපේක්ෂකයන්ය. ඔවුන් අතරින් දැන් ජීවතුන් අතර සිටින්නේ වාසුදේව නානායක්කාර පමණි. මේ තිස්හත් වසරකට ඉහතදී පැවැති ජනපතිවරණයේදී තමා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ ඔහු කියන කතාවය.

ගම ගාල්ලේ වුවත් වාසුදේව නානායක්කාර ලංකා සමසමාජ පක්ෂයේ ආසන සංවිධායකවරයකු ලෙස මුලින්ම පත්වීම් ලබන්නේ අවිස්සාවේල්ලටය. එකල අවිස්සාවේල්ල ආසනයේ දේශපාලන කෙරුම්කාරයා වූයේ ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස හැඳින්වූ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධනය.

ලංකා සම සමාජ පක්ෂය එකදහස් නවසිය හැටඅටේ මාව අවිස්සාවේල්ල ආසන සංවිධායක ලෙස පත් කළා. ඒ අතර දේශපාලන අවශ්‍යතා නිසාම මම අවිස්සාවේල්ල උසාවියට සම්බන්ධ වුණා. ඒ කාලේ ඇහැලියගොඩ පොලිස් වසමේ නඩු ඇහුවෙත් අවිස්සාවේල්ල උසාවියේ. මුලින්ම ඇහැලියගොඩට සම්බන්ධකම් හැදුණේ ඒ හරහා.’ වාසු කතාව ඇරඹුවේ එසේය.

මුල් යුගයේ ඇහැලියගොඩ නමින් මැතිවරණ කොට්ඨාසයක් නොතිබිණි. කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසය ලෙස නම් කර තිබූ එහි සමසමාජ පක්ෂයේ ආසන සංවිධායක වූවේ පී.බී. විජේසුන්දරය.

තුන් කෝරළයේ අධිරාජ්‍ය විරෝධි දේශපාලනය ඇරඹෙන විටත් මේ කලාපය ඒ සඳහා සරු බිමක් විය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සමසමාජ දේශපාලනය නියෝජනය කරමින් රුවන්වැල්ලෙන් මැතිවරණ සටනට ඉදිරිපත් වූ පළමු අවස්ථාවේ ඔහුගේ නාමයෝජනාවට අත්සන් කළේද ඇහැලියගොඩ සමසමාජ කාරයෙකි. ‘සුව්දාසහෝදරයා’ ලෙස ඔහුගේ නම මෙරට වාමාංශික දේශපාලන ඉතිහාසයට එක් වී තිබේ.

දේශපාලන භූමියේ ඕනෑම උසාවියකට සැලකිය යුතු භූමිකාවක් හිමි වේ. එකල වමේ දේශපාලනයේ තෝතැන්නක් වූ තුන්කෝරළය හා කැලණි මිටියාවතේ ජන ජීවිතය තුළ අවිස්සාවේල්ල උසාවි භූමියද එසේම විය. තරුණ නීතිඥයකු ලෙස ගාල්ලෙන් ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වන වාසුදේව නානායක්කාර සමසමාජ පක්ෂය විසින් අවිස්සාවේල්ල ආසනයට යොමුකළ විට උසාවියට සම්බන්ධවන්නේ ඒ පසුබිම තුළය. අධිකරණ කටයුතුවලදී කිරිඇල්ලේ පී.බී. විජේසුන්දර හා වාසුදේව නානායක්කාර අතර ඇති වූ සබඳතාව වාසුගේ ඇහැලියගොඩ ගමනට මුල් විය.

1970 පාර්ලිමේන්තු මැතිවරණය උදාවූවේ ඒ අතරය. අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා සමසමාජ පක්ෂයේ නියෝජිතයන් ලෙස වාසු ඉදිරිපත් කිරීම එම පක්ෂයේ මුල් අරමුණ වී තිබිණි. එහෙත් එම මැතිවරණය සඳහා ගොඩනැගුණු සමගි පෙරමුණෙහි නායිකාවගෙන් ඊට කැමැත්තක් ලැබුණේ නැත. ඇගේ ස්ථාවරය වූයේ එම ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු බවයි.

එසේ නොවුණා නම් 70 මැතිවරණයෙන් මෙරට තවත් වමේ පුරෝගාමී නායකයකු වූ පිලිප් ගුණවර්ධන පරාජය වීමට නියමිතව තිබුණේ වාසුදේව නානායක්කාර අතිනි. තමා අතින් පිලිප් පරාජය වීමට තිබූ අවස්ථාව තමාට මගහැරීම ගැන වාසුට ඇත්තේ සතුටකි. ඒ පිලිප්ට ඇති ගෞරවය නිසාය. එහෙත් වාසු නොසිටියත් පිලිප් ගුණවර්ධන එදා ශ්‍රීලනිපයේ බොනී ජයසූරියට පැරදුණේය.

ඒ අතර පී.බී. විජේසුන්දර එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ බැවින් කිරිඇල්ලෙහි පුරප්පාඩුවක් ඇතිවිය. වාසු කිරිඇල්ලට යන්නේ ඒ පුරප්පාඩුව පිරවීමටය. මෙසේ ඔහු 1970දී තම පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට පත්වන්නේ කිරිඇල්ල මන්ත්‍රීවරයා ලෙසය. ඔහු කිරිඇල්ල ආසනය දිනන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලෙනාඩ් කිරිඇල්ල පරාජය කරමිනි.

70 මැතිවරණ සටන වාසු අදත් සිහිකරන්නේ මහත් ආස්වාදයකිනි.

‘ඒක මම තනියම කරපු සටනක් නෙවෙයි. මගේ යාබද ආසන දෙක රත්නපුර සහ කලවාන. රත්නපුර නන්ද එල්ලාවල, කලවාන සරත් මුත්තෙට්ටුවෙගම, කිරිඇල්ල වාසුදේව නානායක්කාර මේ තුන්දෙනා එකතු වුණු ත්‍රිමුර්තිය, සරත්, නන්ද, වාසු.

අදත් ඒ ගම්වල මිනිසුන් ඔය පරණ මතකය සිහිපත් කරන්​නේ පුදුම ආස්වාදයකින්. ආසන තුනක් වුණාට අපි සටන ගෙන ගියේ එකට. නන්ද ශ්‍රී ලංකාකාරයා වුණාට එයාට තිබුණෙත් වමේ අපි දැරූ අදහස්මයි. රැස්වීම් පවා අපි සංවිධානය කළේ පොදු රැස්වීම් විදිහට. අපි තුන්දෙනාට තිබුණේ වමේ පොදු අනන්‍යතාවක්. 70 දශකයේ ඔවුන්ගේ මේ පොදු අරගලය තුළ තිබූ සෞන්දර්ය මේ කලාපයෙන් බිහි වූ කිවිවර පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිවලින් පවා එකල වහනය විය. දැන් එය අතීත දේශපාලන සුවඳකි. 77 පෙරළියත් සමග ඒ දේශපාලනය නාය ගිය හැටිද දැන් අතීත මතකයක් පමණි.

එකල බිහි වූ මේ ත්‍රිමූර්තිය තවත් අතකින් සංකේතාත්මකය. සමගි පෙරමුණට තිබුණේ පක්ෂ තුනකි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා​වේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂයයි. නන්ද එල්ලාවල ශ්‍රීලනිපය නියෝජනය කළ අතර සරත් මුත්තෙට්ටුවගම කෙමියුනිස්ට් පක්ෂයද වාසු සමසමාජයද නියෝජනය කළ බැවින් නන්ද, සරත්, වාසු යනු මුළු සමගි පෙරමුණම නියෝජනය කළ සංකේතාත්මක ත්‍රිමූර්තියක් විය. අද ඒ ත්‍රිමූර්තියෙන් ඉතිරිව සිටින එකම මූර්තිය වන්​නේ වාසුදේව නානායක්කාර පමණි.

‘දැන් ඒ සගයන් දෙදෙනාම නැත. ඒ දේශපාලන සංස්කෘතියත් නැත. අලුත් මැතිවරණ ක්‍රමයත් එක්ක වෙනත් පක්ෂ අතර පමණක් නෙවෙයි එකම පක්ෂය තුළත් එකාට එකාට නැතුව මරාගන්න තත්ත්වයක් රටේ ඇති වුණා.’

ඒ වාසුගේ අදහස්ය.

අද දවසට වාසු වැදගත් වන්නේ 70 දශකයේ අර සුප්‍රකට ත්‍රිමූර්තියෙන් අද ඉතිරිව සිටින එකම මූර්තිය ඔහු නිසා පමණක්ම නොවේ.

1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් හය දෙනා අතරින් අද ඉතිරිව සිටින එකම අපේක්ෂකයා වන්නේද වාසුදේව නානායක්කාර පමණක් නිසාය. ජනපතිවරණයට තරග කරන විට වාසු 77 ඡන්දෙන් පරාජය වී ගෙදර ගොස් සිටියේය. 77 දී ඔහු ඇහැලියගොඩට ස්වාධීනව තරග කළද ජයගන්නේ එක්සත් ජාතික පක්ෂයේ මර්වින් කුලරත්නය.

1982 ජනාධිපතිවරණය ලංකාවට වි​ශේෂිත මැතිවරණයකි. ඊට ​​හේතුව ශ්‍රී ලංකාවට මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වූ පළමු මැතිවරණය එය වන නිසාය.

1977 ජේ.ආර්. ජයවර්ධන අගමැතිවරයා ලෙස බලයට පත්වීමෙන් පසු 1978 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ජනාධිපතිවරණයකින් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. ඉන් පසු 1982 ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරණය පවත්වන්නේ එවකට ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමෙන් පසුවය. ඒ හේතුවෙන් එම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුවය. එහෙත් ජනපතිවරණයට, ඔහුට පක්ෂ නායකත්වයෙන් අනුග්‍රහයක් නොලැබුණු බව ප්‍රකට කරුණකි.

වාසුදේව නානායක්කාරද මෙම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ තමන් දේශපාලනය ආරම්භ කළ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් නොවේ. ඒ වන විට ඔහු සමසමාජ පක්ෂයෙන් බිඳී ආරම්භ කළ නව සමසමාජ පක්ෂයේ නායකයෙකි. පක්ෂයේ අනෙක් ප්‍රමුඛ නායකයා වූයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. හැත්තෑව දශකයේ ප්‍රකට වූ නන්ද, සරත්, වාසු ත්‍රිමුර්තිය වෙනුවට අසූව දශකයේ වාසු, බාහු ද්විමූර්තියක් මේ වන විට ප්‍රකටව තිබිණි.

මේ අලුත් ගමන සඳහා සමසමාජ පක්ෂයෙන් බිඳී නව සමසමාජ පක්ෂය ආරම්භ කිරීමේ පියවර දෙස අද ආපසු හැරී බැලුවොත් ඔබට සිතෙන්නේ කුමක්දැයි වාසුගෙන් ඇසීමට මට අවශ්‍ය විය. ප්‍රශ්නය අසා අවසන් වීමටත් පෙර ඔහු පිළිතුරු දීමට පටන්ගත්තේය.

‘දුක්වෙනවා, පසුතැවෙනවා, කරගත්තු අපරාධයක මහත කියා හිතෙනවා.’ ඔහු කියාගෙන ගියේය. ඒ ඇයිදැයි මම ඇසුවෙමි.

‘ඒ නව සමසමාජ පක්ෂය වඳ පීදුණු ගහක් වාගේ. එයින් මම බොහෝ දේ ඉගෙන ගත්ත. නමුත් එයින් කියැවුණු විප්ලවවාදී දර්ශනය මුළුමනින්ම අතාත්වික, නොගැළපෙන, කෘත්‍රිම සංකල්පයක් ලෙස පසුව අන්ත පරාජයකට පත්වී බෙදී කැබලි වී යන අයුරු අපේ ඇස් ඉදිරිපිටම අපි දුටුවා. ඒ බිඳවැටීමේ හොඳම සංකේතය, එදා අපේ ඒ පක්ෂයේ න්‍යායික නායකයා අද එක්සත් ජාතික පක්ෂයේ උපදේශකයකු බවට පත්වී සිටීමයි.

‘එහෙත් ඒ ව්‍යාපාරය දීර්ඝකාලීන සංවාදයක ප්‍රතිඵලයක් නේද? ඔබ කියන්නේ ඒ සංවාදයම අසාර්ථක බවද?’මම ඇසුවෙමි.

‘ඒ සංවාදය තුළ අපේ ප්‍රවාදය වැරදියි. අපි සභාග ආණ්ඩු එපා කීවේ මැතිනියගේ ආණ්ඩුව දක්ෂිණාංශික මුහුණුවරක් ගැනීමට පෙරයි. ෆිලික්ස් පැමිණීමෙන් පසු, ආණ්ඩුව තුළ වම සහ දකුණ අතර ගැටුම ඇරඹීමෙන් පසුව කිව යුතු දෙයක් ඊට පෙර කීම ප්‍රායෝගික නෑ. ඊට පෙර වමේ බලයක්, කම්කරු පන්තිය ප්‍රමුඛ කරගත් ජනතා අරගලයක් ඕනෑ යැයි කීම අභෞතිකයි, න්‍යායිකව වැරදියි.

ඒ තත්ත්වය සමාන කළ හැක්කේ ප්‍රගතිශීලී, මධ්‍ය වාම ආණ්ඩුවක් එපා කියා කැරලි ගැසූ 71 කැරලිකාරී කණ්ඩායමටයි. ඒ කැරැල්ලෙන් විශාල ගණනක් විනාශ වුණා වගේ අපේ ක්‍රියාමාර්ග නිසාත් වමට විශාල හානියක් වුණා. බොහෝ වාමාංශික පිරිස් වාම ක්‍රියාමාර්ගවලින් විසිරී, අ​ධෛර්යමත් වී, කලකිරී නැවතුණා. ඒ හේතුවෙන් සමසමාජ පක්ෂය දරුණු ලෙස දුර්වල වුණා.’

කෙසේ නමුදු අසූතුනේ ඔක්තෝබර් විසි වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන විට වාසුදේව නානායක්කාර සිටියේ ලැයිස්තුවේ හය වැනියාටය. එනම් අන්තිමයාටය. මුළු ලංකාවෙන්ම ඔහුට ලැබුණේ ඡන්ද දාහත්දහස් පහකි. මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙක අතරින් වාසුට වැඩියෙන්ම මනාප ලැබී තිබුණේ රත්නපුරයෙනි. ඒ මනාප තුන්දහස් හාරසිය අනූහතරකි. රත්නපුරෙන් හැරුණු කොට ඔහුට වැඩිම මනාප ලැබී තිබුණේ යාපනයෙනි. ඒ මනාප දෙදහස් එකසිය අනූහයකි. වාසුගේ උපන් ගම වූ ගාල්ලෙන් ඔහුට හිමි වූයේ මනාප අටසිය අනූඑකකි. ඔහුට මනාප දාහත්දහස් පහක් ලැබුණද ඔහුගේ දේශපාලනයේ තිඹිරිගෙය වූ ලංකා සමසමාජ පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මනාප පනස් අටදහස් පන්සිය තිස් එකක් ලංකාවෙන්ම දිනාගත්තේය.

වසර තිස්හතකට පෙර ලංකාවේ මුල්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන වාසුදේව නානායක්කාරට අද ඇත්තේ දැඩි පසුතැවීමකි.

‘82 අපි කළේ අපරාධයක්. එදා අපි කළ යුතුව තිබුණේ සියලු දෙනා එකතු වී ජේ.ආර්. පැරදවීම වුණත් අපිට ලැබුණු ඒ අවස්ථාව අපි විනාශ කර ගත්තා.

එහිදී මගෙන් වරදක් වූවත් ඡන්ද සටන තුළ ඒ වරද හදාගන්න මම උත්සාහ කළා. මට දෙන හැම ඡන්දෙකම දෙවැනි මනාපය කොබ්බෑකඩුවට දෙන්න යැයි මම ඉල්ලා සිටියත්, කොල්වින් හෝ වි​ජේවීර එසේවත් කළේ නැහැ. මැතිනිය සහ අනුර ,කොබ්බෑකඩුවට සත පහකින්වත් උදව් කළේ නැතුව සිටියා පමණක් නොවෙයි. හැකිතරම් බාධාත් කළා. ඔහුට තිබුණේ විජයගේ ශක්තිය පමණක් බව පැහැදිලිව පෙනුණා.’ වාසු කියන්නේය.ජනපතිවරණයේ ඡන්දය සඳහා හැඳුනුම්පතක් අවශ්‍ය නොවීම හේතුවෙන් බොහෝ ඡන්ද පොළවල හොර ඡන්ද දැමීම සරුවටම වූ බව වාසු කියයි. ගම් මට්ටමේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් ලෙස පත් කර සිටි එ.ජා.ප. හිතවතුන්ට ග්‍රාම නිලධාරී තනතුරු දෙමින් ඡන්ද දූෂණ සඳහා ඔවුන් යොදාගත් අයුරු වාසු පැහැදිලි කළේ මෙසේය.

‘ඒ ග්‍රාම නිලධාරීන් හැම වසමකටම ආණ්ඩු විරෝධී ඡන්ද අටක් කපා හැර හොර ඡන්ද අටක් දැමීමට සැලසුම් කළා.

හැඳුනුම්පත පිළිබඳ යෝජනාව ඔවුන් කවදාවත් පිළිනොගත්තේ ඒ සැලසුම නිසයි. එකල පැවැති මැතිවරණ සංස්කෘතියේ ස්වභාවය පැහැදිලි කිරීමට වාසු ඉදිරිපත් කළ ප්‍රකට උදාහරණය වූයේ ජනමත විචාරණ ඡන්දයේදී ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගේ ඡන්දෙ හොරෙන් දමා තිබූ ආකාරයයි. ජනපතිවරණයෙන් පරාජයට පත් වූ වාසුදේව 1989දී යළිදු වරක් රත්නපුරෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් සමාජවාදී පක්ෂයෙනි. 1994 දී ඔහු යළිත් රත්නපුරයේ පාර්ලිමේන්තුවට ආවේ පොදු ජන එක්සත් පෙරමුණ ලැයිස්තුවේ පළමු තැනට පත්වෙමිනි. එහෙත් වැඩි කලක් යන්නට පෙර ඔහු චන්ද්‍රිකාට එරෙහිව කැරලි ගසා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගත්තේය. ඒ අතරේ වාසුදේව නානායක්කාර යළිදු වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඒ එක්දහස් නවසිය අනූනවයේ පැවැති ජනපතිවරණයටය. එම ඡන්දයට ජනපති අපේක්ෂකයන් දොළහක් තරග කළහ. වාසු තරග කළේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානයේ නායකයා ලෙසය. එහිදී ඔහු ඡන්ද විසිතුන් දහස් හයසිය හැටඅටක් ලබමින් මනාප ලැයිස්තුවේ හත්වැනි තැනට පත්විය. අසූදෙකේ ජනපතිවරණයට මෙන් නොව අනූනවයේදී තරග කිරීම ගැන වාසුට පසුතැවීමක් නැත.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණයද ඇතුළුව ජනාධිපති අපේක්ෂකයකු ලෙස දෙවතාවක් තරග වැදුණු වාසු පසුකලක දේශපාලන කරළියට එන්නේ කොළඹ මහනගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට තරග කරමිනි.

ඒ වන විට ඔහු සිය පැරණි මිතුරකු වූ මහින්ද රාජපක්ෂ සමග වැඩකිරීමට පටන්ගෙන තිබිණි. චන්ද්‍රිකා ජනාධිපතිනියට එරෙහි වූ වාසු ,මහින්ද ඉදිරියට ගෙන ඒම සඳහා දිගින් දිගටම වැඩ කළේය. එය ද දීර්ඝ ඉතිහාසයක් ඇති සම්බන්ධතාවකි. 80 දශකයේ භීෂණයට එරෙහිව ජාත්‍යන්තර ජන මතයක් ඇති කිරීම සඳහාද මේ දෙදෙනා එක්ව වැඩ කර තිබිණි.

‘කොළඹ නගර සභා මැතිවරණය ආපු වෙලාවෙ මහින්දගේ ඉල්ලීම අනුව මම කොළඹ නගරාධිපති ධුරයට තරග වැදුණා. කොළඹ මැද පාන්තික කොටස්වල හා සුළුතර ජනවාර්ගික කණ්ඩායම්වල පවා සහයෝගය අපට ලැබෙයි කියා අපි හිතුවත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ.’

ඊට හේතු විමසූ විට වාසු කියන්නේ ශ්‍රීලනිපය ඒ සටන මගහැර ගිය බවයි.

‘පොදු පෙරමුණේ කොළඹ නගර සීමාවේ නායකයා ලෙස වමේ කෙනෙක් මතුවෙනවාට ශ්‍රීලනිපයේ සමහර අය කැමැති වුණේ නෑ.’

වාසු කියයි. එහෙත් ගැටලුව ඊට සීමා කළ හැකිදැයි මම ප්‍රශ්න කළ විට වාසු දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘කොළඹ ඉහළ මැදපන්තික බලය හා ව්‍යාපාරික බලය අපට හිතවත් නෑ. ඔවුන් යටතේ වැඩ කරන අය අවනත කර ගැනීමේ බලයත් වැඩිවෙලා. පහළ මැදපන්තික කොටස්වලට තිබෙන්නේ කෙසේ හෝ ඉහළට නැගීමේ අපේක්ෂාව.’

එහෙත් කලකට පෙර කොළඹ නාගරික කම්කරු පන්තිය අතර වමට විශාල බලයක් තිබූ අයුරුත්, එක් අවස්ථාවක සමසමාජ නායක ඇන්.ඇම්. කොළඹ නගරාධිපති වූ අයුරුත් සිහිපත් කළ විට ඔහු කියන්නේ දැන් ජන සංයුතිය වෙනස් වී ඇති බවකි.

කොළඹ වමට තිබූ බලය දියවීමට හේතු කිහිපයක් බලපෑවා. අපි ශ්‍රීලනිපය සමග එකතු වීම නිසා ජනවාර්ගික හේතු මත අපට තිබූ බලය දුර්වල වුණා. දෙමළ, මුස්ලිම් බහුතරයක් ,ශ්‍රී ලනිපය තමන්ගේ පක්ෂය ලෙස සැලකුවේ නැහැ. පැල්පත්වාසීන් තුළ පවා තමන්ට ජනවාර්ගික ආවරණය තිබෙන්නේ එජාපය තුළ බවට විශ්වාසයක් තිබෙනවා.’

මෙම තත්ත්වය වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මකව ඇති බවද වාසු පවසයි.

‘කොළඹ විතරක් නොවේ. උතුරු නැගෙනහිර පළාත්වල පවා අපි වෙනදා නොලැබුණු ඡන්ද ප්‍රමාණයක් අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි අලුත් අදහස් මාලාවක් දැනටමත් පෙළගස්වා තිබෙනවා. ඒ අනුව අපි කිසිම ජනවර්ගයකට අසමාන ලෙස නොසලකන සියලු ජනවර්ගයන්ගේ ආරක්ෂාව සහතික කරන, සියලු අනන්‍යතාවන් සුරකින දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.’ මෙවර ජනාධිපතිවරණය ගැන වාසුදේව නානායක්කාර අදහස් දක්වන්නේ මෙසේය.

ඔබ සිටින දේශපාලන කඳවුර තුළ ඒ දේශපාලනයට හඬක් තිබේ දැයි ප්‍රශ්න කළ විට ඔහුගේ ප්‍රතිචාරය වූවේ ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර කිසි වෙනසක් නැති බවයි. ‘13 ක්‍රියාත්මක වීම, ඩග්ලස් දේවානන්දගේ ස්ථාවරය සම්බන්ධ‍යෙන් අප අතර කිසි ගැටලුවක් නැහැ.’

අඩසියවසකට වැඩි ඉතිහාසයක් තුළ විවිධ මං සලකුණු ඔස්සේ බොහෝ දුර සැරිසරා ඇති මේ දේශපාලන සංචාරකයා දැන් සිටින්නේ දිවි ගමනේ අසූවැනි සැතපුම් කණුව පසුකරමිනි. මෙතැන් සිට තව බොහෝ දුර සැරිසැරීමට ඔහු සූදානම්ය.

එහෙත් මීට දශක කිහිපයකට පෙර සිටි වාසු අද කොපමණ වෙනස් වෙලාද? මම වාසුගේ වචනවලින්ම දැන ගැනීමට කැමැති වූවෙමි. විශේෂයෙන් ස්වයං නිර්ණ අයිතිය වැනි සංකල්ප ගැන.

‘ඔව්. මම වෙනස් වෙලා’ වාසු කියයි. ඒක ඇත්තක් විතරක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් කවදාවත් මේ රටේ දෙමළ හෝ වෙනත් සුළුතර ජන කණ්​ඩායම්වල අයිතිය රකින්නත් බෑ. සියයට හැත්තෑවක් ඉක්ම වූ සිංහල ජනගහනයක් සිටින රටක ඔවුන්ගේ සහායෙන් තොරව සුළුතර කණ්ඩායම්වල අයිතීන් රකින්නට බැහැ වගේම ඔවුන්ගේ සහාය නැතිව කවදාවත් එක්සත් ලංකාවක් හදන්නත් බෑ. මේ අන්‍යෝන්‍ය අවශ්‍යතාවන් එකිනෙකට මුණගැස්වීමෙන් තොරව අපට ඉදිරියට යා නොහැකියි. අවසාන වශයෙන් මා දැන ගැනීමට කැමැති වූවේ අඩසියවසකට ආසන්න කාලයක් ඔබ සමග සිටි ගමන් සගයන් දැන් සිටින්නේ කොහේද යන්නයි.

‘ඔව්. එකට වැඩ කළ බොහෝ දෙනෙකු දැන් ඉන්නේ එ.ජා.පයේ. ජාතිකවාදී බලවේගවලට වඩා එ.ජා.පය හොඳ බව ඔවුන්ගේ අදහසයි. මෙහි තෝරාගැනීමට තිබෙන්නේ කඳවුරු දෙකයි. එකක් ජාතිකවාදී කඳවුර. අනෙක ජාතිකවාදී නොවූ ප්‍රජාතන්ත්‍රවාදීයැයි කියන කඳවුර, ඔවුන් ජාතිකවාදී, සුළු සහ ධනවාදී කඳවුර හඳුන්වන්නේ ෆැසිස්ට් හෝ ෆැසිස්ට් තාලේ කඳවුරක් ලෙසයි. එසේ සිතන අයට එ.ජා.ප.ය සමග එකතුවීමේ අයිතියක් තිබෙනවා. වාසු හිතන්නේ එහෙමයි.

අපේක්ෂකයන් හයදෙනාගෙන් දැන් ජීවතුන් අතර සිටින්නේ වාසු පමණි.

සී. දොඩාවත්ත