විශේෂාංග

ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය හොරණ ජගත් කුලසිරි

නවම් පෝ දින හොරණ පූර්වාරාම විහාරස්ථානය පසුකර යන විට කිසිදු විශේෂත්වයක් නැති බැනරයක් දැකගත හැකි විය. එහි සඳහන් වූයේ ජගත් කුලසිරි මහතා වෙනුවෙන් සුමධුර ධර්ම දේශනයක් පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ විසින් සවස 2.30 ට පවත්වන බවය.

ඇත්තටම මේ ජගත් කුලසිරි කව්ද? 1958 පෙබරවාරියේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කියවුවහොත් බණ්ඩාරනායක මහතා පැවැත්වූ කතාවල පවා මේ නම අැත. එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ කිව්වේ කප්පමක් ලබා ගැනීමට පැහැරගෙන ඇති හොරණ ජගත් කුලසිරි දරුවා සොයා ගැනීමට අවශ්‍ය සියලු බලතල තමන් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දුන් බවය.

බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ පළමු ළමා කොල්ලය මතුගම සමන් කුමාර බවය. එය සිදු වූයේ 1983 අපේල් 05 වැනිදාය. එහෙත් ඉතිහාසය දත් අයට එය ලංකාවේ පළමු ළමා කොල්ලය නොවේ. ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය සිදු වූයේ 1958 පෙබරවාරි 11 වැනි අඟහරුවාදා හොරණදීය.

මේ ප්‍රවෘත්තිය මුලින්ම පළවූයේ එදා ටයිම්ස් ලංකාදීපයේය. එවකට විදුහල්පතිවරයකු වූ කුලපාල ගුණතිලක ‘ලංකාදීප’ හොරණ වාර්තාකරු විය. තමන්ට මරණ තර්ජන ඒ යැයි ඇති බිය නිසා ඔහු තම නමින් ප්‍රවෘත්තිය පළ කළේ නැත. දැනට වසරකට පමණ පෙර මිය යාමට පෙර මා කුලපාල මහතාගෙන් මේ ගැන විමසීමි.

‘‘මං හවස කෝල් එකක් බුක් කළා. ටයිම්ස් එකට. ඒ කාලේ මේ වගේ හොරණ ඉඳන් කොළඹට ඩිරෙක්ට් ඩයලින් නෑ. ළමයෙක් කප්පමක් ගන්න පැහැරගෙන ගිහින් කියලා පොඩි ප්‍රවෘත්තියක් අඟල් 2 ක් විතර උස. පළමුවෙනි මුද්‍රණේ හවස මේක ඇතුළු පිටුවක ගියා. ඒවේලේලේ ධනපාල මහත්තයා ඉඳලා නෑ. හවස ධනපාල මහත්තයා මේ ප්‍රවෘත්තිය දැකලා හොඳටම කලබල වෙලා හොරණට මොරිස් වෑන් එකක් එව්වා. එදා රෑ ඉඳන් ගහපු අගනුවර මුද්‍රණයේ ශීර්ෂපාඨය ගියේ ‘/මුදල් හිලව්වකට මවුතුරුලෙන් ළපටියකු පැහැරගෙන යයි’’ කියලා මමයි ලිව්වේ.

ලංකාවේ අපරාධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් රුපියල් දොළොස්දහසක හිලව්වට තුන් හැවිරිදි ළපටියෙක් මවගේ තුරුල්ලෙන් උදුරාගෙන හඬව හඬවා පැහැරගෙන යෑමේ ඛේදවාචකයකින් මුළු හොරණ පළාතම කම්පා වී ගොස් තිබේ.

ඇමෙරිකා මංකොල්ලකාරයන්ගේ උපක්‍රම යොදමින් පැහැරගෙන ගිය හොරණ මූණගම බී. ඩී. සිරිසේන මහතාගේ තුන් හැවිරිදි පුතා වන ජගත් කුමාර කුලසිරි ළපටියා සඟවා සිටින තැන සොයා පොලිස් කණ්ඩායම් දැන් ප්‍රදේශය දෙවනත් කරමින් සංචාරය කරති.

මේ අතර ළමයා පිළිබඳ ගනුදෙනු බේරා ගැනීම සඳහා කොළඹ එක්තරා තැනකට එන ලෙස ළදරුවාගේ පියාට රහස් පණිවුඩයක් මේ හොර කණ්ඩායම විසින් එවා තිබේ.
ගනුදෙනු ගැන

‘‘පොලිසියට කියන්නට එපා, කීවොත් ළමයා ලැබෙන්නේ නෑ’’ යි ගනුදෙනු කතාකර ගැනීමට එන මෙන් දැන්වූ අවස්ථාවේදී මේ පිරිස දන්වා ඇත.

මවගේ තුරුල්ලෙන් පැහැරගත් දරුවා දමාගෙන මඳක් දුර ගියේ යැයි සැක කරන කුලී මෝටර් රථය හා එහි රියැදුරාද හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අැත. මේ හැරුණු විට වෙන කිසියම් ආරංචියක් දැන ගැනීමට පොලිසියට තවමත් නොහැකි වී ඇත. දරුවා පැහැරගෙන ගොස් අැත්තේ පෙරේදා උදේ 9.00 ට පමණය. දරුවාගේ මව වන ගුරුවරියක් වන සෙලෝහාමි අබේසිංහ (35), මෙහෙකාරියක් වන හීන්මැණිකේ යන දෙදෙනා දරුවන් දෙදෙනාත් සමග මේ අවස්ථාවේදී ගෙදර සිටි බව කියති. මෝටර් රථයක් ගෙදර දොරටුව අසල නතර කරන බව දුටු හීන්මැණිකේ පිටිපස දොර වසා ගෙට ගොස් ඇත. මඳ වේලාවකින් පසු අබේසිංහ මහත්මිය සිටි කාමරයේ ජනේලය අසලට පැමිණි දෙදෙනෙක් බී. ඩී. සිරිසේන මහතා ගෙදර සිටින්නේදැයි අසා තිබේ. මේ අතරතුර වැසූ දොරටුව පයින් ගසා හැරගත් තවත් දෙදෙනෙක් මවගේ ඇඟේ එල්ලී සුරතල් බස් දොඩමින් සිටි ජගත් කුමාර කුලසිරි දරුවා හඬද්දී ඔසවාගෙන පැහැරගෙන ගොස් ඇත.

කප්පමක් ගැනීමට දරුවකු පැහැරගෙන යාම එදා ලංකාවේ සමාජයට නුහුරු අත්දැකීමක් විය. අන්තිමට ප්‍රශ්නය පාර්ලිමේන්තුවටද ගියේ ය. එවකට අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ළමයා සොයා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නේ යැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේ ඉන්පසුවය.

පැහැරගත් කුලසිරි දරුවාගේ පියා සිරිසේන නම් විය. අවසානයේ ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව දෙන්නට සිදුවිය. එදා සිරිසේන මහතාගේ නිවසට පොලිස් ආරක්ෂාව දීම ‘ජනතා’ පුවත්පත වාර්තාකොට තිබුණේ මෙසේය.ආයුධ සන්නද්ධ පොලිස් හමුද්‍රවත්, රහස් පොලිසියේ විශේෂ පොලිස් හමුදාවත් සිරිසේන මහතාත්, ඒ මහතාගේ පවුලත් රැකීමේ විධි විධාන වහාම සලසන ලදින් සිරිසේන මහතාත් පවුලේ සියලු දෙනාත් වෙනත් යම්කිසි රහස් ස්ථානයක් කරා ඉතා සුළු වේලාවක් තුළදීම ගෙනයනු ලැබ සිටිති.

මේ රහස් ස්ථානයට පිවිසෙන මාර්ගයට පවා යාමේ අවසරයක් කිසිම කෙනකුට නැත. ආයුධ ගත් පොලිස් භටයන් ඇතුළු උසස් නිලධාරින්ගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් දැන් මේ ස්ථානය ආරක්ෂා කිරීමේ යෙදී සිටී. ජගත් කුමාර පැහැරගෙන යාමේදී පළමුවෙන්ම පාවිච්චියට ගන්නා ලදැයි සැකකොට පොලිස් භාරයට ගනු ලැබූ කුලී මෝටර් රිය හා රියැදුරාත් පානදුර උසාවියට ඉදිරිපත් කරන ලදී.

1958 වන විට ටයිම්ස් ලංකාදීප මෙහෙයවන ලද්දේ ඩී. බී. ධනපාලයන් විසින්. ලේක්හවුසිය පාලනය කරන ලද්දේ එස්මන්ඩ් වික්‍රමසිංහයන් විසිනි.

එස්මන්ඩ් යනු රනිල් වික්‍රමසිංහගේ පියා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලකාවේ ප්‍රථම ළමා කොල්ලය වාර්තා කිරීමෙන් ධනපාලගේ ‘ලංකාදීපය’ ලේක්හවුසියට පැහැදිලි අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.
ධනපාල, තම පත්තර වාර්තාකාර සගයන් පැය 24 පුරා සීරුවෙන් තබමින් පැහැරගෙන ගිය ළමයා සොයා ගන්නට මෙහෙයුමක් දියත් කළේ ය. මීට වසර 61 කට පෙර 1958 පෙබරවාරි 13 වැනි සිකුරාදා අලුයම උදාවන්නේ මේ අතරය. ඒ වන විට හොරණ ජගත් කුලසිරි දරුවා අතුරුදන් වී දින හතරකි. ග්‍රැන්ඩ්පාස්හි තිබූ බවර් පෝර කොම්පැනියේ වැඩ කළ කේ. ඊ. පී. පෙරේරා මහතා අලුයම 2.30 ට තම වැඩ මුරය නිම වී පයින් ගමන් කරමින් සිටියේය. ඔහු තමන්ගේ අත්දැකීම විස්තර කොට ඇත්තේ මෙසේය.

‘‘අද අලුයම 2.10 ට ග්‍රෑන්ඩ්පාස් වීදියේ බබාපුල්ලේ දිස්පැන්සරිය පසුකොට මම ගමන් කරමින් සිටියෙමි. දිස්පැන්සරිය ගේට්ටුව ඇතුළත ළමයකු හඬමින් සිටිනු මම දුටුයෙමි. ගේට්ටුව වසා තිබුණෙන් ළමයාට එළියට එන්නට මඟක් නොතිබුණේය.
ගේට්ටු පලු දෙක එකට තුවායකින් බැඳ තිබුණ නිසා ළමයා ඉන් පිටවන්නට බැරිව අඬ අඬා සිටියේය.
ඒ අතර තවත් කෙනෙක් එතැනට පැමිණියහ. මේ අතර ඩිස්පැන්සරිය තුළ වූ අයද එළියට ආහ. ළමයා පිළිබඳ විස්තරය පොලිසියට දන්වා සිටියලු. එවිට පොලිසියෙන් අවුත් ළමයා ගෙන ගියේ ය.

අතුරුදන් වූ ළමයා සොයා ගැනීමට බර කරට ගෙන සිටියේ ‘ලංකාදීප’ වුවත්, ප්‍රවෘත්තියෙන් හොඳම ප්‍රතිලාභය නෙළා ගත්තේ ලේක්හවුසියයි. ලංකාදීපයේ ළමයාගේ සොයා ගැනීම පළවූයේ අලුයම මුද්‍රණයේය. දිනමිණේ ද එය වාර්තා විය. නමුත් ළමයා සොයා ගැනීමෙන් පසු එදින දහවල් වනතුරු සිදු වූ සියලු සිදුවීම් වාර්තා කරමින් අලෙවි වාර්තා තැබුවේ එවකට ලේක්හවුසියේ සවස පුවත්පත වූ ‘ජනතා’ පුවත්පතය.

එකල දිනපතා සිංහල පුවත්පතක මිල ශත 15 ක් විය. අද දිනපතා සිංහල පුවත්පතක් මිලදී ගන්නා මුදලින් එදා පුවත්පත් 20 ක් මිලදී ගත හැකිව තිබුණි. 1958 පෙබරවාරි 14 වැනි සිකුරාදා සවස නිකුත් වූ ‘ජනතා’ පුවත්පත එදිනම සිදු වූ සිදුවීම් වාර්තාකොට තිබුණේ මෙසේය.

‘‘පැහැරගත් ළමයා හම්බ වෙයි – ගේට්ටුව ළඟ අඬ අඬා හිටියා’’
‘සිව් දිනකට උඩදී මව්තුරුලෙන් පැහැරගෙන ගිය සිඟිති දරුවා නැවතත් අද උදෑසන මව් තුරුලේ උණුහුම ලැබුවේය. අද අලුයම කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගෙනැවිත් දමන ලද ජගත් කුමාර නමැති තුන්හැවිරිදි දරුවා එවේලේම හොරණ පොලිසිය වෙත යවන ලදී. උදේ 6.30 ට පමණ හොරණ පොලිසියේ දී දරුවා සිය දෙමාපියන්ට භාරදෙනු ලැබීය. සතුටු කඳුළින් පිරී දෙනෙතින් දරුවා වෙතට දිව ආ අම්මා දැඩි ආශාවකින් සියදරුවා සිඹිමින් වැලඳ ගත්තාය.
‘‘කොහේද මගේ පුතා හිටියේ…’’ මව ඇසුවාය
‘‘නැන්දලා දිහා’’ යැයි දරුවා පැවසීය.

හොරණින් අතුරුදන් වූ ජගත් කුලසිරි දරුවා සොයාගත් පසු ඔහුගේ ජීවිතය අබිරහස් එකක් විය. ජගත් කුලසිරි ගැන අප කරුණු සොයන විට දැනගත හැකි වූයේ පසු කලෙක ඔහු දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත් වූ බවය. කොළඹ මායා මාවතේ ඇති සිග්මා ඉන්ස්ටිටියුට් නම් දැවැන්ත අධ්‍යාපන ආයතනය මෙන්ම හොරණ ‘ශිල්ප’ විද්‍යා නිකේතනය බිහිකරන ලද්දේද ඔහු විසිනි.

ජගත් කුලසිරි කිසිදා ජ්‍යොතිෂ්‍යය විශ්වාස කළ පුද්ගලයකු නොවීය. ඔහු තම ආයතනයට ‘සිග්මා’ යන නම තැබුවේ කිසිදු ඝන බැලීමකින් තොරව ඉතාලි භාෂාවෙන් ගත් වචනයකිනි. ඔහු ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන සාධකය ලෙස හැඳින්වූයේ ‘චිත්ත ශක්තියයි’. ජගත් ජීවිතයේ අනිත්‍ය බව නිතිපතා ස්මරණය කළ පුද්ගලයෙකි. ඔහු රාත්‍රියට නිදා ගත්තේ අවසන් ගමන් යන ලෙස අත්දෙක බැඳගෙනය. තමන් අද රාත්‍රි මියගියහොත් පසුදින දහවල් වීමට පෙර ආදාහනය කරන ලෙස ඔහු කියන්නට පටන් ගත්තේ අවසන් කාලයේ රෝගී වීමටත් පෙර සිටය.

ජගත් කුලසිරි විවාහ වූයේ හොරණ මූණගම තම පෙම්වතිය වූ කාන්ති ජයවර්ධන සමගය. ඇය විවාහයෙන් පසු කාන්ති කුලසිරි බවට පත්විය.
‘‘ජගත්ගේ තාත්තයි, මගේ තාත්තයි හොඳම යාළුවෝ. අපි දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. ජගත්ව පැහැරගෙන යනකොට මම ඉපදිලත් නැහැ.’’ අපි දෙන්නම ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලාවේ. ජගත් මට වඩා අවුරුදු 3 ක් වැඩිමල්. එයා උපන්නේ 1954 නොවැම්බර් 03 වැනිදා…’’
ජගත් ගැන මතකය ඇය අපට කිව්වේ දැඩි හැඟීම්බරවය. ඇය කියනා පරිදි ඇය සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ ජගත් පැහැරගෙන ගිය පුද්ගලයා අභාවයට පත්වී ඇත. ජයසිංහ නම් වූ ඔහු ජීවත් වූයේ කොහුවලය. ජගත් එම මළගෙදරට ද සහභාගි වී ඇත. ජගත් කාන්ති යුවලට සඳුන් නමින් පුතකු සහ අනුෂි සහ මධුෂි නමින් දියණියන් දෙදෙනකුද උපන්නේ 80 දශකයේදීය.

‘‘දැන් ඉතිං ඔය මතුගම සමන් කුමාර පැහැරගෙන ගියෙත්, අසූ ගණන්වල නේද? එතකොට සමන් කුමාර ගැන ජගත් මොකද කිව්වේ’’ යැයි මම ඇගෙන් විමසුවෙමි.

‘‘ජගත් ඔය සමන් කුමාරගේ සිද්ධිය අහලා වෙව්ලන්න පටන් ගත්තා. කොහොමත් එයා හැමදාම පත්තර ඔක්කෝම ගන්නවා. සමන් කුමාර මරපු වෙලේ එයා කම්පා වුණා ‘‘මටත් පිස්තෝලේ ඔළුවට තිබ්බම මම එ්ක ඉල්ලුව සෙල්ලම් කරන්න. ඒවා සෙල්ලම් ඒවා නෙවෙයි කියලා මං දැනන් හිටියේ නැහැ. මාව මරාගන්න බැරිවුණා. ඒත් සමන් කුමාර මරපු එක ගැන මට හරි දුකයි’’ කියලා මහත්තයා කිව්වා.’’

මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ ජගත්ගේ පුත් සඳුන්වද පැහැරගෙන යෑමට වරක් පිරිසක් උත්සාහගෙන තිබීමය. 2017 ජනවාරි 01 වැනිදා තම නිවසට ගොඩ වූ ඔහු සියල්ලන්ටම සංග්‍රහ කොට කතාවක් කළේ ය.
‘‘මැරෙන බවට සේයාවක් වත් නොවූ කලෙක ඔහු මරණය ගැන කතා කළේ ය. ‘‘මට තනියෙන් මැරෙන්න ඕන. නැත්නම් ඒකට කාන්තිත් (බිරිඳ) එයි’’ යි කියූ ජගත් ඒ කියූ පරිදිම මාසයකුත් දින 26 කට පසු 2017 පෙබරවාරි 26 වැනි දා දිවි ගමනෙන් සමුගත්තේ ඔහු කියූ පරිදිම තනිවමය.