විශේෂාංග

ලංකාවේ පහෙන් එකකට බුලත් විට තහනම්!

ඊයේ රාත්‍රී නමයට විතර ගණන් කරලාම පුවක් ගෙඩි සීයක් කපලා දැම්මා. පාන්දර හතර විතර වෙන කොට, යාන්තම් විටක් කන්න එක පුවක් කෑල්ලක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ’, රත්නපුරේ ගිලීමලේ පැත්තේ මළ ගෙදරක උදව්වට පැමිණ සිටි වැඩිහිටියෙක්, අලුයම් යාමයේ බුලත් විටක් කන්නට නැතිකම ගැන නෝක්කාඩු කීවේ එසේය.

ගමට මුල් ඇති මිනිසුන්ට කාන්සියට, මාන්සියට මෙන් ම, පුරුද්දට ද ඉතින් බුලත් විටය. විශේෂයෙන් ම ගම්බද පෙදෙස්වල, රාත්‍රී කාලයේ මළ ගෙවල්වලට තනි රකින්නට එන උදවිය අතර වැඩි දෙනෙක් ‘බුලත් විට මරුවන්’ය. රටේ ක්‍රියාත්මක වන අණ-පනත්වල හැටියට නම් දැන් රජයේ සියලුම ආයතනවල බුලත් විට කෑම හෝ විකිණීම ද තහනම් ය. තහංචි කොතෙක් පැවතිය ද, බුලත් විට කෑමේ පුරුද්ද නම් මහජනයා වෙතින් ගිලිහී නො යන තරම් ය.

ආණ්ඩුව බුලත් විටට එරෙහිව තහංචි පැනවීම ඇරඹුවේ, සෞඛ්‍ය අමාත්‍යංශය 2018 වසරේ මාර්තු 20 වැනි දා නිකුත් කළ චක්‍රලේඛය ඔස්සේ ය. එයින් රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍යයට සම්බන්ධ ආයතනවල බුලත් විට කෑම සහ විකිණීම තහනම් කෙරිණි. ඉන් පසුව රජයේ සියලු ආයතනවල ද බුලත් විට කෑමට තහංචි පැනවිණි.

ආණ්ඩුව බුලත් විට කෑමට එරෙහිව තහංචි දැමුවේ එයින් මුඛ පිළිකා ආදී මාරාන්තික රෝගී තත්ත්වයන් බහුලව ඇතිවිය හැකි නිසා ය. ඔවුන් එවන් තීරණයකට එළඹුණේ, බුලත් විටට ගන්නා පුවක්, හුනු සහ දුම්කොළ ආදී ද්‍රව්‍යවල පිළිකාකාරක රැසක් ඇති බවට පර් යේෂණ මගින් හෙළිකර ගැනීමත් සමගිනි. තහංචිය පැනවුණු දිනවල නම්, ඒ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් ඇති විය. ඊට එරෙහිව මත පළ කරන්නන් මෙන් ම, පක්ෂව මත පළ කරන්නන් ද එකල සිටියහ. ආණ්ඩුව බුලත් කෑමට එරෙහිව තහංචි දැමුව ද, මහජනතාව තවමත් බුලත් හැපීමෙන් ම පෙනී යන්නේ, පැනවූ කොන්දේසියට ඔවුන් එකඟ නැති බවයි.

බුලත්-පුවක් සහ බුලත් විට කෑම අපේ රටේ සංස්කෘතික පුරුද්දකි. එසේම, ඒ පිටුපස මනුෂ්‍ය ජීවනෝපාය මාර්ගයක් සහ මහා පරිමාණ ආර්ථික ක්‍රියාවලියක් ද පවතිනු පෙනෙයි. එයට අමතරව, ‘මුඛ පිළිකා’ ඔස්සේ මහජන සෞඛ්‍යයට බලපාන කාරණයක් ද එහි සැඟව ඇති බව පැහැදිලි ය.

සිංහලයන්ගේ ජනශ්‍රැති සහ අභිචාර පිළිවෙත් අනුව, ‘බුලත්’ යනු උසස් ම දෙයකි. ඒවා මෙලොවට ගෙනාවා යයි කියන්නේ ‘නාග ලෝකයෙනි’. බුලත දේශීය පාරම්පරික වෛද්‍ය චිකිත්සාවෙහි දී හැඳින්වෙන්නේ ‘තාම්බූල’ යනුවෙනි. දේව පූජා සහ එවන් ඇදහිලිවල දී බුලත් යනු ‘දළුමුර’ ය. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, දනට, බණට මෙන් ම පිරිතට ද ඇරයුම් කරන්නේ බුලත් පුවක් ආදිය ඇතුළත් ‘දැහැත් වට්ටියක්’ පිළිගැන් වීමෙනි. පැරණි රජවරු ද නිතරම කටයුතු කළේ රට බත-බුලතින් සරුසාර කරන්නට ය. මහජනයාගේ ප්‍රධාන ආහාරයවූ ‘බත’ ළඟින් ම තිබුණේ ‘බුලත’ ය. ‘බුලත් විට’ ය. බුලත සහ බුලත් හැපීම ඉපැරණි ජන සංස්කෘතික භාවිතාවක් බව එයින් ම පෙනේ.

බුලත් විටට ගැනෙන බුලත් සහ පුවක් බහුලව වැවෙන්නේ වාර්ෂිකව වැඩි වර්ෂාපතනයක් ලැබෙන දිවයිනේ තෙත් කලාපයේ ය. එබැවින් ලංකාවේ තෙත් කලාපීය පෙදෙස්වල බුලත් විට කෑමේ පුරුද්ද බෙහෙවින් වැඩි ය.

‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ නම් පැරණි කියමන බිහිව ඇත්තේ, තෙත් කලාපයට අයත් ශ්‍රීපාද කඳු පාමුල පිහිටි ‘ගිලීමලේ’ ගම් වැසියන්ගේ බුලත් කෑම ගැන උපහාසයෙන් යුතුව විස්තර කරන්නට ය.

‘ගිලීමලේ’, රත්නපුරා පාරෙන් සිරිපා වඳින්නට යන විට හමුවන ගමකි. වර්තමානයේ සිරිපා වන්දනා මාර්ගය කාර්නිය වත්ත හරහා ‘සිරිපාගම’ දක්වා දිවුන ද, අතීතයේ සිරිපා වන්දනා මාර්ගය පැවතියේ ගිලීමලේ ‘රන්කොත් රජමහා විහාර භූමිය’ ඔස්සේ ය. පැරණි ව්‍යවහාරයේ හැටියට, රන්කොත් රජමහා විහාර භූමිය සිරිපා වන්දනාකරුවන්ගේ නවාතැන් පොළකි. එකල ශ්‍රීපාද වන්දනාවාරයක් ළං වෙද්දී, ගිලීමලේ ගම් වැසියෝ පන්සල් භූමිය සහ අවට ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කරති. වන්දනාවකට ගැළපෙන ආකාරයට කොඩි දමා, තොරණ ගසා, සරසති. දන්සැල් පවා සංවිධානය කරති.

ඒ අතර, පන්සල් භූමිය ඔස්සේ සිරිපා වඳින්නට යන වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස විශාල ප්‍රමාණයේ ‘බුලත් විට වට්ටි’ තබති. ගම්වාසීන් එක්ව උදේටත්, සවසටත් ඒවාට අවශ්‍ය බුලත් පුවක් ආදී අඩුවැඩිය සරි කරති. මේ බුලත් පුවක් නො මිලේ ය. වන්දනාකරුවන්ට කෑමට ය. අවශ්‍ය නම්, පොදි ගසා ගෙන ගමනට රැගෙන ගොසින්, මගට කන්නට ය. ගිලීමලේ ප්‍රදේශයේ ඕනෑ තරම් බුලත් පුවක් තිබුණු බැවින්, ගම්මුන්ට මේ සත්කාරය අපහසුවක් නො වීය. ගිලීමලේ වැසියන් ද බොහොම ජයට ම බුලත් විට කන පිරිසක් වන බැවින්, එකල එහි ‘දත සුද්දන්’ නො සිටි තරම් ය.

බොහොම අතීතයේ දී නම් බුලත් විටට තිබුණේ බුලත්, පුවක්, එනසාල්, හිඟුරු පියලි, මූණමල් පොතු, රට කරල් ආදී විෂ රහිත අඩුවැඩිය ය. ඒවා කටට රස ය. මුවට සුවඳ ය. එහෙත් ලංකාව විදෙස් ආක්‍රමණවලට නතු වුණු ක්‍රිස්තු වර්ෂ 15 වැනි සියවසේ පටන්, හුනු සහ දුම්කොළ ද බුලත් විටට එකතු විය. මුවට දමා හපන බුලත් විටට රත් පැහැය එක් වුයේ ‘හුනු’ නිසා ය. එයින් දෙතොල් පවා රත් පැහැ වෙයි.

2003 වසරේ කෙරුණු ‘ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය’ අනුව, අවුරුදු 34-44 වයස් කාණ්ඩයේ පුද්ගලයන් ගෙන් සියයට 34 දෙනෙකු ද, අවුරුදු 65-74 වයස් කාණ්ඩයේ පුද්ගලයන් ගෙන් සියයට 47.7 දෙනෙක් ද බුලත් විටට ලොල්ව සිටිතියි අනාවරණය විය.

2015 වසරේ දී අපේ සෞඛ්‍ය අමාත්‍යංශය, ‘බෝ නො වන රෝගවලට බලපාන අවදානම් සාධක සම්බන්ධයෙන් සමීක්ෂණයක් (STEPS Survey) පැවැත්වූයේ ය. එයින් හෙළිවුණු ආකාරයට, වයස අවුරුදු 18-69 අතර පිරිමින් ගෙන් හතරෙන් එකකට වඩා (සියයට 26ක්) දුම්කොළ භාවිතා කරන බව (මෙය දුම්පානය නොවේ) අනාවරණය විය.

එම වයස් කාණ්ඩයේ කාන්තාවන් අතර දුම්කොළ භාවිත කරන පිරිස සියයට 5.0ක් බව ද එයින් හෙළි විණි. දුම්පානයෙන් තොරව දුම්කොළ භාවිත කරනවා යන්නෙහි අරුත, බුලත් විට කෑම බව කිව හැකි ය. මෙහි තේරුම, පිරිමින් කාන්තාවන්ට වඩා බුලත් විට භාවිතයට නැඹුරුව සිටින බවයි. එසේම, දැන් මුළු රට ම පාහේ ‘එකසිය ගණනට’ බුලත් විටෙන් සප්පායම් වෙමින් සිටින බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට, මේ තරම් බුලත් විට කෑම යහපත් තත්ත්වයක් නොවේ. බුලත් විටේ අඩුවැඩිය සමග තිබෙන පුවක්, හුනු සහ දුම්කොළ යනු පිළිකාකාරක බව, සෞඛ්‍ය අංශ මගින් හෙළිකර ගෙන තිබීම, ඊට හේතුවයි. බුලත් විටට කන පුවක්වල, පිළිකාකාරක හයක් ඇති බව පසුගිය කාලයේ කියැවිණි.

2011 වසරේ සෞඛ්‍ය සංඛ්‍යාලේඛන අනුව, එම වසරේ වාර්තා වුණු පිළිකා රෝගී පිරිමින් ගෙන් සියයට 18ක්ම, මුඛ, තොල් සහ ග්‍රසනිකාව ආශ්‍රිතව පිළිකා රෝග වැළඳුණු තැනැත්තන් ය. කාන්තාවන් අතර එම සංඛ්‍යාව සියයට පහකි. 2014 වසරේ දී මෙම සංඛ්‍යා තරමක් පහත වැටිණි. එම වසරේ මුඛ, තොල් සහ ග්‍රසනිකාව ආශ්‍රිතව පිළිකා රෝග වැළඳුණු පිරිමින් සංඛ්‍යාව සියයට 15.8ක් විය. කාන්තාවන් සංඛ්‍යාව සියයට 4.0ක් විය. මුඛ පිළිකා රෝග ඉලක්කම් පහත වැටුණු තත්ත්වයන් යටතේ වුව ද, රටේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ මුඛ, තොල් සහ ග්‍රසනිකාව ආශ්‍රිතව පිළිකා රෝගවලට ගොදුරුව සිටින බව මෙයින් පෙනී යන කාරණයයි. එහි අනෙක් පැත්ත නම්, රටෙන් පහෙන් එකක්වත් බුලත් විටට ඇබ්බැහි වී සිටින බවයි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, බුලත් විට කෑම, මුඛ පිළිකාවලට හේතුවක් බවයි.

බුලත් විට කෑම ඔස්සේ මුඛ පිළිකා වැලඳෙන බව ඇත්තකි. එහෙත් ලංකාවේ බුලත් සහ පුවක් යනු විශාල ආර්ථික විභවයක් ඇති අපනයන භෝගයන් ය. රට තුළ නිපැයෙන බුලත් සහ පුවක් පලදාවෙන් වැඩි කොටස අපනයනය කෙරේ. ඉතිරිය, දේශීය පරිභෝජනය සඳහා වෙන් කෙරේ. මතුපිටට නො පෙනුණ ද, බුලත් විට සාදා විකිණීම දීප ව්‍යාප්ත විශාල වෙළෙඳ කර්මාන්තයකි. එය කෙරෙන්නේ ගෘහස්ථ පදනමිනි. කොළඹ නගරය ගත් විට, ත්‍රි රෝද රථ හෝ බට්ටා ලොරි රථ මගින් බුලත් විටි තොග බෙදා හරින උදවිය හමුවේ. කොළඹින් දුර බැහැර නගරවල මෝටර් සයිකල් මගින් බුලත් විට තොග බෙදා හැරේ. මුඛ පිළිකා කොතෙක් වැලඳෙතැයි කීව ද, ඊට ඇබ්බැහි වූවන් බුලත් කෑම අත්හරින්නේ නැත. එබැවින් ඒවාට ඇති වෙළෙඳපොළ ඉල්ලුම විශාල ය. රටේ විශාල පිරිසක්, බුලත් විට සෑදීම සහ විකිණීම ජීවනෝපාය කර ගෙන සිටිති.

සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් කියැවෙන්නේ, බුලත් කෑම මුඛ පිළිකාවලට අත වනන බැවින් එය අත්හැරිය යුතු බව ය.

බුලත් විට ලෝලීන් කියන්නේ, තමන්ට එය අවශ්‍ය බව ය. මේ දෙපාර්වශ්ය ම, එකිනෙකාට පරස්පර මත පළ කරමින් විවාදාපන්නව සිටිනු පෙනෙයි. එහෙත් කිසිවෙක්, විෂ නැති, පිළිකා නො වැලඳෙන, අලුත් බුලත් විටක් නිපදවන්නට කල්පනා කරන්නේ නැත.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර