ගොසිප්

රෝහිතගේ වෙඩිමෙන් පක්ෂ ගැස්සේ

බ්‍රහස්පතින්දා අගමැති අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ රෝහිත රාජපක්ෂගේ විවාහයට අගමැතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වීම පිළිබඳ කතා බහක් ඇති විය.

‘‘ඔබතුමාගෙ අගමැතිකමයි අපේ ආණ්ඩුවයි මහදවල් කොල්ලකාපු රාජපක්ෂලාගෙ මඟුල්ගෙදර යෑම ගැන යූඇන්පී කාරයො විරුද්ධයි. අපරාදෙ රනිල් වෙනුවෙන් පත්තු කරපු රතිඤ්ඤා කියලත් සමහරු කියනවා” රංජන් රාමනායක බෝම්බයක් පත්තු කළේය.

”ඔයා තමයි ඒ මඟුල් ගෙදරට ගිය එකට විරුද්ධ” යැයි අගමැතිවරයා කීවේ කොක්හඬලමිනි.
”නෑ නෑ මම විතරක් නෙවෙයි යූඇන්පී කාරයො හුඟදෙනෙක් විරුද්ධයි. සමාජ මාධ්‍ය බැලුවොත් ඔබතුමාට වැටහේවි” රංජන් කීවේද සිනාසෙමිනි.

”ඒ මඟුල් ගෙදර ගිය කෙනාට වඩා ආරාධනා කරපු අයයි එහෙම නම් වැඩියෙන්ම ලැජ්ජ වෙන්න ඕනෑ. ආරාධනා කරපු නිසානේ මඟුලට වුණේ” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි. ”මහින්දයි – චන්ද්‍රිකයි දෙන්නම මගේ මඟුලට ආවා. තරහ මරහ තිබුණත් මඟුල්ගෙවල් මළගෙවල්වලට යාම ලංකාවෙ සිරිතයි. අනික වෙන මඟුල්ගෙවල්වලදි මහින්දයි මමයි ගොඩක් වෙලාව අරන් වැදගත් දේවල් කතාකරන අවස්ථාත් තියනවා” අගමැතිවරයා කීවේ සැහැල්ලුවෙනි.

”මහ ලොකු සිංහල බෞද්ධ හා දේශප්‍රේමී අය. ඒ මනමාලි බුද්ධාගමට ගන්නෙ නැතුව කතෝලික පල්ලියේ කසාද බැන්දා. ඒව ජනමාධ්‍යවල ප්‍රසිද්ධ කළෙත් නෑ. ඒක බැලන්ස් කරන්න ඊට පස්සෙ කෝවිල් ගානෙත් යනවා. ඒ එක්කම කතෝලික පල්ලියේදි ඩාන්ස් කරන්න ඉඩදීලලු. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලාලු” හේෂා විතානගේ කීවේ තමාට ලැබුණු තොරතුරු මතය.

”ජනාධිපතිතුමා සිංගප්පූරු ගිහින් අර්ජුන් මහේන්ද්‍රන් ගැනත් අහල කියල ආරංචියි. ලංකාවේ බැඳුම්කර කොමිෂන් වාර්තාවත් ඒ අගමැතිට දුන්නා කියල බොරු ප්‍රවෘත්තියක් ලංකාවෙ බෙදාහැරල තිබුණා. එහෙම වාර්තාවක් දුන්නෙ නෑ කියලා අපේ විදේශ ඇමති මාරපනත් තහවුරු කරල තිබුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.