පිනි පලස

රේඛාවෙන් ඉරණම් රේඛාව ලියාගත් අයිරාංගනී සේරසිංහ

ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය කියන්නේ දේශීය සිනමාවේ අතිදක්ෂ අද්විතීය සම්මානිත රංගධාරිනියක්, ඒ වගේම අපේ කලාවට අපේ රටට ඉන්න අගනා සම්පතක්. මනුස්සකමින් පිරිපුන් ඇය සැමටම සිත්ගන්නා සුළු චරිතයක්. තවමත් පොත පත පරිශීලනය කරමින් ගතකරන මේ ජීවිතය තරුණ පරම්පරාවට ගෙන එන්නේ අපූරූ ආදර්ශයක්. මේ ඇයගේ සිනමා ගමනේ ප්‍රවේශය.

මට දැන් අවුරුදු 92ක් වෙනවා. දැන් නම් මතක ශක්තියත් ටිකක් අඩුයි.

කලාවට සම්බන්ධවෙලා නම් අවුරුදු හැත්තෑවකට වැඩියි. අපේ සිනමාවේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා තමයි මාව සිනමාවට ගෙනාවේ එතුමා නැත්නම් මම අද සිනමාවේ නෑ.

මගේ ගම මදුගමුව, රුවන්වැල්ලෙන් කෑගල්ල ප්‍රදේශයට හැතැක්මක් විතර යද්දී තමා මදුගමුව ගම් ප්‍රදේශය තියෙන්නේ. මදුගමුවේ මීදෙණිය වළව්වේ මී දෙණිය රටේ මහත්තයාගේ මද්දුම දියණිය මම. මගේ මුල් නම අයිරාංගනී රොක්සානා මීදෙණිය. අම්මයි, තාත්තයි, මමයි, අක්කයි, මල්ලියි, නංගියි අපේ පවුලේ හිටියේ.

මම පාසල් ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට මගේ නැන්දාලාගේ (ඇඩ්ලින් මොලමුරේ) ගෙදර ඉඳගෙන. ඒ පාසලේ අවුරුද්දක් විතර ඉගෙනගෙන පස්සේ බිෂෝප් විද්‍යාලයට ඇතුළත් වුණා. ඊටත් පස්සේ නුවර හයිස්කූල් එකට ගියා. විශ්වවිද්‍යලයට යන්න අවස්ථාව ලැබුණත් මුලින්ම තාත්තා කැමැති වුණේ නැහැ, හැබැයි මට අද වගේ මතකයි විශ්වවිද්‍යාලයට යන්න ඕනමයි කියල මම ගෙදර පෙරළි කළා. ඩී.එස්. සේනානායක අගමැතිතුමා කියන්නේ අපේ ළඟම හිතවතෙක්. ඔහු තමයි එදා තාත්තට කීවේ මාව විශ්වවිද්‍යාලයට යවන්න  දැන් ගෑනු ළමයිනුත් හොඳට ඉගෙන ගන්න ඕන කියලා. ඊට පස්සේ තමා මට විශ්වවිද්‍යාලයට යන්න අවසර ලැබුණේ.

මම ගියේ කොළඹ විශ්වවිද්‍යාලයට. ඉතින් ඔය කාලේ මාත් එක්ක  විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා සුමිත්‍රා පීරිස්ගේ මල්ලී. ඔහුයි මායි දෙන්නම කලා උපාධිය හැදෑරුවා. ආ ඒ වගේම තමා මම පාසල් කාලයේ සිටම ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රඟපෑවා, ඒ  නිසා විශ්වවිද්‍යාලයේදීත් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. “ඇන්ටගනී”, “ට්වින්ස්”, “ගෝස්ට් “, “ද ත්‍රී සිස්ටර්ස්” වැනි වේදිකා නාට්‍යය.

ඉතින් අපි ඒ කරන නාට්‍ය බලන්න එනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා එහෙම. ඒ දවස්වලම තමයි එතුමා එංගලන්තයේ ඉඳලා ඇවිත් තිබ්බේ. ඉතින් මගේ නාට්‍ය රඟපෑම් දැකලා එතුමා කළ පළමු වාර්තාගත චිත්‍රපටයට මාව තෝරා ගත්තා. එතැනින් තමයි මම මේ සිනමාවට එන්නේ. ඒ තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ පළමු සිනමාපටය වන රේඛාවේ කැත්රිනා චරිතය හරහා.

ඒ වගේම පසුකලෙක මම එංගලන්තයට ගොස් රංගනය ශාස්ත්‍රාලයීය වශයෙන් හැදෑරුවා. මොකද  ඕනේ වුණා රංගනය ගැන විදෙස් හැදෑරීමක් – පුහුණුවක් ලබාගන්න. එංගලන්තයේ ‘බ්‍රිස්ටල් ඕල්ඩ් වීක් තියටර් ස්කූල්’ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ස්පීච් ට්‍රේනිං ඇන්ඩ් ඩ්‍රිමටික් ආට්’ එකේ තමා මම ඒ හැදැරීම් කළේ. පසුව ලංකාවට ඇවිත් මම ටයිම්ස් සඟරාවේ කාන්තා පිටුවේ කර්තෘවරිය ලෙසත් කාලයක් වැඩකළා. මම විවාහ වුණේ වින්ස්ටන් සේරසිංහ එක්ක, විවාහයෙන් පසුව තමයි අයිරාංගනී සේරසිංහ වුණේ.

සිනමාව ගත්තම සංදේශය (කාන්තා ඔත්තුකාරියක්), දෙළොවක් අතර (නිශ්ශංකගේ මව), රන්සළු, බක්මහ දීගේ (කුමාරිහාමි), ද ගෝඩ් කින්, සාගරයක් මැද,  වෑකන්ද වළව්ව (කැත්රින්), සුදු සෙවණැලි, පෝරිසාදයා, ලොකු දුව (පුන්නාගේ මව), දෙවැනි ගමන (සමන්ගේ මව),  පොරොන්දුව (රඹුක්වැල්ල මැතිනිය) වගේ චිත්‍රපට හතළිහකට වඩා මම රඟපා තිබෙනවා. දැන් ඉතින් ඒ ඔක්කොම එකින් එක මතක් කරන්න සිහි කල්පනාව මදියිනේ ඒ නිසා ඔක්කොම මතක නැහැ. මෑත භාගයේ ද “අබා”, “කල්පාන්තයේ සිහිනයක්”, “මචං”, “සිකුරු හතේ” “සුළඟ අප රැගෙන යාවි” වැනි සිනමාපටවල රඟපෑවා.

ටෙලිනාට්‍යය ගත්තම නම් මම යශෝරාවය, දූ දරුවෝ වගේ ටෙලිනාට්‍යවල රඟපෑම ගොඩක් අය අතර කතාබහට ලක්වුණා. ඒවායෙහි රංගනය ගැන නම් අදටත් මිනිස්සු කතා වෙනවා. ඒවගේම මෑතභාගයේ “අමන්දා”, “සල්සපුනා” වගේ ටෙලිනාට්‍යවල රඟපෑවා.

“කලා කීර්ති” සම්මානයෙන් මෙන්ම තව ඉතින් සිනමාව වෙනුවෙන් සම්මාන බොහොමයක් ලැබිලා තියෙනවා,
මේ දවස්වල නම් මම ගෙදර වැටිලා ඇඳට වෙලා ඉන්නේ, වැඩක් පලක් කරගන්න බැරිව ජීවත් වෙනවට වඩා නම් මැරෙන එක හොඳයි කියලා හිතෙනවා. ජීවිතේ ගැන නම් කිසිම පසුතැවීමක් නැහැ මට. කුඩා කාලයේදී බොහොම සැප සම්පත් බුක්ති වින්දා.  ඉන් පසුවත්  වින්ස්ටන් සේරසිංහ සමග විවාහ වෙලා  පුතුන් දෙදෙනකුගේ මවක ලෙස සතුටෙන් ජීවිතය ගත කළා. හැබැයි අදටත් මට වේදනාවක් ගෙන එන්නේ  ලොකු පුතාගේ හදිසි වියෝව. සිනමාවට කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන නම් සතුටුයි.

අනූෂා රණසිංහ