Uncategorized

‘රෙඩ්බුල්’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස පත්වෙයි

ලොව සුපතළ ශක්තිජනක පාන සමාගමක් වන ‘රෙඩ්බුල්’ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්තිජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් ‘රෙඩ්බුල්’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වූ ගිවිසුම අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම පසුගියදා සිදුවිණ.

වසර 3ක කාලයක් බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරටදී පැවැත්වෙන ද්විපාර්ශ්වික ජාත්‍යන්තර තරගවලදී දෙපිලේම නිලශක්ති ජනක පානය සපයන්නා ලෙසින් ‘රෙඩ්බුල්’ කටයුතු කරනු ඇති බව 2020 සැප්තැම්බර් මස 30 වැනිදා කොළඹදී පැවැති උත්සවයේදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, රෙඩ්බුල් විශ්වවිද්‍යාලාන්තර ක්‍රිකට් තරගාවලියේ ගෝලීය තරගාවලි අධ්‍යක්ෂ බ්‍රෙන්ඩන් කුරුප්පු, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ රෙඩ්බුල් සන්නාම තානාපති ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහභාගි විය.

මීට අමතරව අදාළ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් මූල්‍යමය වශයෙන්ද ‘රෙඩ්බුල්’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායකත්වය ලබා දෙනු ඇත.