අතන මෙතන

රු.1000 සටන ඉදිරියටත්

වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000/=ක් දක්වා වැඩිකර ගැනීමේ සටන පුළුල් සහභාගිත්වයකින් පැවතුනත් වතු වෘත්තීය සමිති නියෝජනය කරන, ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරයෙක් වන වඩුවෙල් සුරේෂ් සහ තොණ්ඩමාන් හිටපු ඇමතිවරයාගේ පාර්ශවයන් විසින් රු.700/= එකඟතාවකට පැමිණ සටන දියාරු කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ සටන අතනොහැර ඉදිරියට ගෙන යෑමට ජවිපෙ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජවිපෙ වෘත්තීය සමිති නායකයින් සහභාගි වූ රැස්වීමකදී කතාබහට ලක්විය. ”වතුකම්කරුවන්ට රුපියල් 1000/= දිනාගැනීමේ සටන් පාඨය ගෙනාවේ අපේ වෘත්තීය සමිති. රාජ්‍ය සේවකයින්ට රු.10,000ක් දිනාගැනීමේ සටනට සමගාමීව තමයි වතුකම්කරු සටන අපි පටන් ගත්තේ. ඒ වෙලාවේ දෛනික වැටුප් 450යි. හැමෝම කිව්වා 1000 සටන් පාඨය වැඩියි කියලා. 10,000 සටනටත් ඒකම තමයි කිව්වේ. නමුත් අපේ වෘත්තීය සමිති වැඬේ අතහැරියේ නෑ. ඒ සටන තමයි අද වර්ධනය වෙලා ඇවිත් තිබෙන්නේ.” ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත කියා සිටියේය.

”පාර්ලිමේන්තුවේ ජවිපෙන් ගෙනාපු රුපියල් 1000 සටන ගැන කල්තැබීමේ විවාදය ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඒ වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් අයත් පිළිගත්තා දිනක වැටුප 1000ක් කිරීම සාධාරණයි කියලා.

නමුත් ආණ්ඩුවේ ඉන්න වෘත්තීය සමිති නායකයින් කියාගන්නා ඇමතිලා සටන පාවා දුන්නා රු.700ට.” සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් කීවේය. ”අපි සටන අතහරින්න ඕනෑ නෑ. අපි මේ සටන දිගටම ගෙනියන්න ඕනෑ. දැන් අයවැයත් එන නිසා මේ සටන් පාඨය අපි අතහරින්න හොඳ නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ සටනත් අපි තීව‍්‍ර කරන්න ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පැවසීය.