ක්‍රීඩා

රුපියල් 66000ක් ගෙවා මැච් පුස්සක් බැලුවෙමි

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරඟය නැරඹූ ක්‍රිකට් ලෝලියෙකු ලියයි

අද ජූලි 7 සෙනසුරාදායි (සටහන ලියන මොහොතේ). ඉන්දියා ශ්‍රී ලංකා මැච් එක ඇරඹෙන්නට ඇත්තේ තව පැය කිහිපයකි. මම අන්තර්ජාලයෙන් ටිකට් දෙකක් ගන්නට තැත් කළෙමි. බුදු අම්මේ, ඉන්දියන්කාරයෝ ලාභ ටිකට් ඔක්කොම අරගෙනය. ඉතිරිව ඇත්තේ සුපිරි පන්තියේ ඉහළම ටිකට් කීපයක් පමණි. ඉන් එකක් පවුම් 50කි. එය ලංකාවේ මුදලින් රු.33000කි.

“පුතේ රු. 66000ක් දීලා මේ මැච් එක බලන්න යන එකේ තේරුමක් නැහැ. අපි ගෙදර ඉඳන් TV එකෙන් බලමු.” මම මගේ දෙවෙනි පුතා ‘දිනුම්’ට යෝජනා කළෙමි. දිනුම්ගේ මුහුණ කළු වෙයි. “අයියෝ තාත්තේ ලසිත් මාලිංගගේ අන්තිම මැච් එක බලන්න බැරි නම් එංගලන්තේ ඉන්න එකෙත් තේරුමක් නැහැනේ. අනික මාලිංග තාත්තාගේ පරණ ඉස්කෝලේ මහින්දෙන් බිහිවුණු විශිෂ්ටම ‌ටෙස්ට් ක්‍රීඩකයා නෙවි ද?”

පුතාගේ කීමෙන් මට ලජ්ජාවක් ඇති විය. මම වහා රු.66000කට සරිලන මුදලක් ගෙවා ටිකට් දෙකක් ගතිමි. එහෙනම් පුතේ මැච් එක බලන්න යන්න ඇඳගන්න. හැබැයි මෙච්චර සල්ලි වියදම් කරපු බව අම්මාට නම් කියන්න එපා. මගේ ඔළුවත් එක්ක කයි.

අපි දවල් 10 වෙනකොට ‌හෙඩින්ග්ලි පිටිය ඉදිරියේය. මා සමග ආනන්දයේ ඉගෙන ගත් මිතුරන් පිරිසක් සමග අපි ද එකතු වී පිටියට ඇදුණෙමු.

කාසියේ වාසිය දිනූ ලංකා සිංහයෝ බැට් කරන්න සැරසෙති. පිට්ටනිය වටේ සිටින දස දහසක් ශ්‍රී ලාංකිකයන් දැන් හිතන්නේ එකම දෙයක් බව මම දනිමි. දැන් බැට් කරන්න එන්නේ කඩවර දෙවියන්ද… කඩවර යක්‍ෂයන් ද?

අපගේ ජයඝෝෂා අත්පුඩි හඬ ඔස්සේ දිමුත් හා කුසල් පිට්ටනියට එති. ලෝක කුසලානයේ ගෞරවාන්විත සමු ගැනීම සඳහා ඔවුන් අද හොඳ අත්තිවාරමක් දමනු ඇතැයි මට සිතේ. ඉන්දියාව පැරදවීමේ ප්‍රධාන වගකීම ඔවුන් අතේය. පළමු ඕවර දෙකටම ඔවුන් තට්ටු දමති. ලකුණු එක දෙක එකතු කරති. “අපේ ප්ලෑන් එක බුම්රා ටිකක් මහන්සි වෙනකල් ඉඳලා දිගට හරහට ගහන්නයි.” මගේ මිතුරෙකු ඔවුන් වෙනුවෙන් නිදහසට කරුණු කියති.

අහෝ ඛේදයකි! බුම්රාගේ බෝලයකට දිමුත් අවුට් වෙයි. විනිසුරු ඇඟිල්ල උස්සන්නත් කලින් ඔහු ආපහු ගමන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සපෝටර්ස්ලාට හොඳටම අප්සැට් ය.

කොදෙව් තරගයේ ශතකලාභියා අවිෂ්ක පිට්ටනියට එන එක අපිට අලුත් බලාපොරොත්තුවකි. අපි දැන් ගාට ගාටා ලකුණු 40ට පැමිණ ඇත. කුසල් එක්ක එකතු වෙලා අවිෂ්ක 50ක් ගත්තොත් වැඩේ හරිය. ඒත් දෙයියනේ පොල් අඩි ගසන්නට ගොස් කුසල් පෙරේරා දෝනිට කැච් එකක් දී ආපහු ගමන් කරයි. අපේ මුහුණු මැළ වී ගෙන එයි. කවුද ඊළඟට එන්නේ? කවුරුත් පැවිලියන් එක දෙස බලා සිටිති.

ශ්‍රී ලංකා පිලේ කුසල් මෙන්ඩිස් තම කණ්ඩායම බේරා ගැනීමට පැමිණෙන්නේ ඉන්දියන් ක්‍රිකට් ලෝලීන්ගේ ජය ඝෝෂා මැදය. මෙන්ඩිස් ගැන ඔවුන් අපටත් වඩා දන්නා සෙයකි.

මේ ලෝක කුසලානයේ දී කුසල් මෙන්ඩිස් තරම් ලාංකිකයන්ගෙන් බැණුම් ඇහූ වෙනත් ක්‍රීඩකයෙකු නොමැත. මැද පෙළේ “ආවා ගියා” නාඩගමේ කප්පිත්තා ඔහුය. ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ මැච් හයෙන්ම ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 140කි. නමුත් මැච් තුනක් විතරක් සෙල්ලම් කොට ඇති ඔහුගේ පිටියේ සගයා අවිෂ්ක ලකුණු 180ක් ලබා ගෙන ඔහුට ඉදිරියෙන් සිටී.

කුසල් මෙන්ඩිස් අද 100ක් ගහලා රටත් තමුනුත් බේරා ගන්නවා ෂුවර්. මම ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා පවුලට කීවෙමි. ඔවුන් බක බක ගා හිනැහෙන්නේ ඇයි දැයි මට නොතේරෙයි.

මෙයට අවුරුදු 4කට පෙර පල්ලෙකැලේදී ඉනිමකින් දිනන්නට ගිය ඔස්ට්‍රේලියාව තනියම පරාජය කළ වීරයා කුසල් බව මට මතක් වෙයි.

“ඔයාලා ඒ කොල්ලාට අපහාස කරන්න එපා. ඔන්න බලන්න අද මිනිහා බොහොම පරිස්සමෙන් සෙල්ලම් කරලා 100ක් ගහලා අපේ ලකුණු පුවරුව 350ටත් ඉහළට ගෙන යන්නේ නැද්ද”

පිට්ටනිය වටේ 35000ක් ඇසිපිය නොහෙළා බලා ඉඳිද්දී කුසල් බෝලෙට තට්ටුවක් දමා ලකුණක් ලබා ගනියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලයින් ජයඝෝෂා නඟමින් කුසල්ට අත්පුඩි ගසති- “මං කිව්වේ නැද්ද කලින් මැච්වල පිස්සු නටපු කඩවර කොල්ලා නෙවි ඔය අවිෂ්ක එක්ක ඉන්නේ” මම මගේ පුතාට ආඩම්බරයෙන් කියමි.

කුසල් හා අවිෂ්ක ලකුණු පුවරුව 50 දක්වා ගෙන යයි. මෙච්චරකල් කුසල්ට පලු යනකන් බැණපු අපේ ක්‍රිකට් ලෝලයින්ට කුසල් අද හොඳ පාඩමක් උගන්වනවා ඇත. ජ‌ඩේජාගේ බෝලෙකට හයක් ගහන්න අඩි හතරක් කුසල් මෙන්ඩිස් ඉදිරියට පනියි.

මොනවා! හත් දෙයියනේ. බෝලය අඩියකින් විතර මිස් වී කුසල් මෙන්ඩිස් පිච් එක මැද අතරමං වෙද්දී M.S. දෝනි හිනා වෙමින් විකට්ටුව කඩයි. මේ සිදු වුණේ කුමක්දැයි අදහා ගත නොහැකි ලංකා ක්‍රිකට් ලෝලයින් වචනයක්වත් කතා කර ගත නොහැකිව ගොළු වී බලා සිටිති.

අද ශ්‍රී ලංකාවේ ගැලවුම්කාරයා වන්නට හිටි මෙන්ඩිස්තුමා ලකුණු 3ට දැවී යයි. ‘‘අස්පයා,” ‘‘බූරුවා,” ‘‘ගොන් හරකා” පිට්ටනිය වටෙන්ම ලාංකිකයින් කෑ ගසති. “අහවල් මඟුලකට ද පොල් අඩි ගහන්න ගියේ?” මගේ මිතුරෙකු මොර දෙයි.

විකට් දෙකක් වැටුණ මොහොතේ පරිස්සමින් ඉනිම ගොඩනගමින් තම පිල බේරා ගත යුතුව තිබූ මෙන්ඩිස් කිසි ගාණක් නැතිව අපි ළඟින්ම පැවිලියන් එකට එන හැටි.

ලාංකික අපේ එරවිලි ගෙරවිලි මැද්දේ කුසල් නොපෙනී යයි. “දෙතුන් සැරයක් ෆේල් වෙච්ච මිනිහා මේ මැච් එකට තියාගත්තේ හතුරුසිංහට ඔල්මාද වෙන්න ඇති.” අසල සිටින නිලන්ති දොස්තර නෝනා තරහෙන් පුපුරයි.

අවිෂ්ක හා තිරිමාන්නගේ උදව්වෙන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ නම්බුව බේරා ගැනීමේ උදාර සටනේ යෙදී සිටියි.

ඉතිරි ඕවර ගණන මදි වේගෙන යන නිසා ඇන්ජලෝ මැතිව්ස් පැන පැන පහර දෙයි. පිටිය වටේටම හතරේ පහරවල් ගලා යයි. මැතිව්ස් ඉතා විශිෂ්ට ශතකයක් ලබා ගනිද්දී අපි පමණක් නොව පිටිය වටා සිටින දහස් ගණනත් ඉන්දීය හා ඉංග්‍රීසි ක්‍රිකට් ලෝලයින් හුන් අසුන්වලින් නැගිට අත්පුඩි ගසති. ශ්‍රී ලංකාවේ ලකුණු 264 හඹා යන එක ඉන්දියන් ටීම් එකට කජු කන්නාක් වැනි වැඩක් බව පෙනේ.

රාහුල් හා රෝහිත් ශර්මා අපේ බෝලර්ස්ලාට හතර දිගටම තලති. ඔවුන් දෙදෙනා ලකුණු එකතු කරන්නේ හරියට කොග්ගල ඔයේ ජොලියට ඔරු පදිනවා වගේ පහසුවෙන්ය.

දැන් මාලිංගගේ අවසාන පන්දුවාරයයි. ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට අති මහත් කීර්තියක් අත්පත් කර දුන් අපේ ගමේ කොල්ලා මාලිංග සමුගන්නා මොහොත දකින විට මට ඇති වන්නේ තදබල කනගාටුවකි.

වැස්ස හරහට නොහිටියානම්, දකුණු අප්‍රිකා මැච් එකේ දී අපේ මැද පෙළට පිස්සු නොහැදුනා නම් මාලිංග ක්‍රිකට්වලට ආයුබෝවන් කියන්නේ ෆයිනල් එකේ දී නොවේ ද?

මාලිංගගේ ඕවර් 10 ඉන්දීය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලයින් තමන්ගේ හදවත දිනා ගත් ලසිත් මාලිංගට අත්පුඩි ගසමින් ගෞරව කරති. Good Luck කියා කියති.

ඕවර් 6ක් ඉතුරුව තිබෙද්දී ඉන්දියාව පහසු ජයක් ලබයි. ඉන්දියානු ක්‍රීඩකයෝ ලසිත් මාලිංගට අතට අත දෙමින් වැලඳගනිමින් ඔහුගෙන් සමු ගනිති.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බෝල හතරට විකට් හතරක් ගත්, ලෝක කුසලානයේ දෙවරක්ම හැට්‍රික් ලබා ගත් එක්දින ටෙස්ට් ලොවේ අසහාය පන්දු යවන්නා ලසිත් මාලිංග ගාලු පුත්‍රයා කඳුළු පිරි දෙනෙතින් ලෝක කුසලානයෙන් සමු ගනී.

ක්‍රිකට් ජීවිතයෙන් ක්‍රීඩකයෙකු සමුගත යුත්තේ ‘‘දැන් ඔයාට විශ්‍රාම ගන්න කාලේ හරි අනේ’’ යයි ක්‍රිකට් ලෝලයින් කෑ ගසන්නට පෙරය. ‘‘අනේ තව අවුරුද්දක්වත් ඉන්න’’ කියා ඔවුන් බැගෑපත් වන අවස්ථාව ක්‍රීඩාවෙන් සමු ගැනීමට හොඳම වෙලාවයි.

ඒ නිසා ලබන වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන වනතුරු නොසිට ලබන මාසයේ බංගලිදේශයේ ප්‍රථම එක් දින තරගයේ දී ලක්‍ෂ ගණනක ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලයින් ඉදිරියේ ලසිත් මාලිංග නැමැති පන්දු වීරයා ගෞරවාන්විත සමු ගැනීමක යෙදෙනු ඇතැයි මට සිතේ.

ජයග්‍රාහී ඉන්දියන් පිල සිනාසෙමින් බස් රථයට නගින්නේ ඉන්දියන් ක්‍රිකට් ලෝලයන්ගේ ජයඝෝෂා මැදිනි. අපේ පරාජයට වගකිවයුතු කුසල් මෙන්ඩිස්ලා, ජීවන්ලා, පෙරේරලා පැවිලියන් එකේ පෑල දොරෙන්ම පලා ගොස් ඇත.

ඉන්දියාව පරදා අද ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලෙස ලෝක කුසලානයෙන් සමු ගන්නවා බලන්නට පැමිණි දස දහසක් ලාංකිකයෝ ඉතා කනස්සල්ලෙන් හා කෝපයෙන් අපේ පිලට බැණ වදිමින් ගෙදර යති.

අද දිනන, හෙට පරදින, අනිද්දා මොන මඟුලක් කරගනීදැයි නොදන්නා ශ්‍රී ලංකා පිලේ කඩවරයන් කී දෙනෙක් බංග්ලාදේශ තරගාවලියට පෙර ගෙදර යැවිය යුතුද?

“පුතේ අදත් අපේ ටීම් එක බන්දේසියක දමලාම ඉන්දියාවට දිනුම දුන්නානේ?” මම පුතාට දුකෙන් කීවෙමි. “අනේ පුතේ මේ පුස්ස බලන්න මම රුපියල් 66,000ක් වියදම් කළා කියලා අම්මාට නම් කියන්න එපා. මට රෑ කෑම එකත් නැතිවෙයි ” මම පුතාට බැගෑපත් වෙමි.

“ඒවා කොහෙද තාත්තේ මට අලුත් බැට් එකක් අරන් දුන්නේ නැත්නම් මම අම්මාට කියනවා” පුතා මාව Blackmail කරයි.

පරදින මැච් එකක් බලන්න ගොස් සල්ලි නාස්ති කළාට ඇය කෑ ගැහුවොත් මම ඇයට මෙසේ කියමි. “නෝනා මට බණින්න එපා. මෙන්න මෙන්න අපෙ මැද පෙළ බෑට්ස්මන්ලගේ ටෙලිෆෝන් නොම්මර හතර අපේ වර්ල්ඩ් කප් එක කෑවට එයාලට හොඳවයින් දෙකක් කතා කරන්න.”

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට ලියයි