ගොසිප්

රීති අත්හිටුවා විශ්වාසභංගය ගෙනඒමට හැකි බව එ.ජ.නි.ස පිළිගෙන තිබේ

14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැුස්වීමට පක්ෂ නියෝජිතයින් සියලූ දෙනාම පැමිණ සිටියහ. ”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය. ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාශභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ නායක රැුස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත‍්‍රය තීරණය කිරීම මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය.

මේ අතර පක්ෂ නායක රැුස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ඇමතිවරයෙක් අනුරට කියා සිටියේ ”ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවල විශ්වාශභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා” ලෙසය.

14වෙනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අත්සනින් විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත් වූ නිසා ජවිපෙ නායාකයා විසින් විශ්වාසභංගය කියවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු එයට ඉඩ නොදුන්හ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැගී යන බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත‍්‍රීවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත‍්‍රීවරුන් 122කගේ අත්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්ෂට සහය පළකළ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාසභංගයට අත්සන් කිරීමය. මෙයින් රාජපක්ෂ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බහුතරය නැති බව දැන් සනාථ වී හමාරය.