විශේෂාංග

රිළවුන්ට මරණ දඬුවම!

තමන්ට එරෙහි සෙසු පාර්ශ්වයන්ගෙන් එල්ල වන තර්ජන, ගර්ජන, අසාධාරණකම්වලට එරෙහිව සාමූහිකව නැගී සිටීම පොදු මිනිස් ගතියකි. ඒ අනුව මීට මාස කිහිපයකට ඉහත මහනුවර දිස්ත්‍රික්කයේ තලාතුඔය නගරයේ ද එවැනි ජනතා විරෝධයක් දියත් කෙරිණි. තලාතුඔය අවට හේවා හැට ප්‍රදේශයට අයත් බව්ලාන, මුදුනකඩේ, ගොඩමුන්න, කපුලියැද්ද ඇතුළු ගම්මානවල වැසියන් එසේ නගරයට පැමිණ වීදි බසින ලද්දේ තම ගම්මානවලට කඩා පැන බෝගවගාවන්ට ගෙවතු වගාවන්ට හානි පමුණුවන අතරේ නිවෙස්වල ඇති ආහාර ද්‍රව්‍ය මංකොල්ලකන සහ සොරා කන රිළා ආක්‍රමණිකයන්ට එරෙහිවය. එමෙන්ම තම ගෙවල් දොරවල්වලට සහ ගෘහ භාණ්ඩවලට පවා හානි පමුණුවන එම රිළවුන් තම නිවෙස්වල වෙසෙන කුඩා දරුවන්ට ‘‘චණ්ඩිකම් පෑමට’’ පවා පෙලඹී සිටින බව එම උද්ඝෝෂණයට එක් වූ පිරිස් කියා සිටියහ.

තලාතුඔයදී වීදි බසින ලද ජනතාව සෘජු ලෙස දෝෂාරෝපණය කරන ලද්දේ මෙම උවදුර පිටුදැකීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දක්වන උදාසීනත්වටය. තමන් මෙම උවදුරට ලක් වී ඇති බවය. 2009 අංක 22 දරන වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත (සංශෝධන) අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන එම පනත මගින් ආරක්ෂා නොවන ක්ෂීරපායී හෙවත් මැමේලියා (mammalia) විශේෂ අතරට රිළවාද ඇතුළු කොට තිබේ. ඒ අනුව වන අලින්ගෙන් සිදුවන වගා දේපොළ සහ ජීවිත හානි වෙනුවෙන් දෙපාර්තමේන්තුව ඉටු කළ යුතු රාජකාරි වගකීම් රිළා හානි වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය නොවන බවක් පෙනේ. කෙසේ හෝ එම රාජකාරි සීමාවෙන් පිටතට ගොස් හෝ මෙරට ජන ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරන රිළවුන් අල්ලා කූඩුවලට දමා ස්වාභාවික වනාන්තර වෙතට ගෙන ගොස් මුදා හැරීමටත් දෙපාර්තමේන්තුව නොයෙක් වර කටයුතු කර තිබේ.

දත්තයන්‌ගේ නිවැරදි බව කෙසේ වෙතත් අප රටේ කෘෂිකාර්මික අස්වැන්නෙන් සියයට හතළිහකට පමණ වන සතුන් නිසා හානිවන බවත් පොල් ඇතුළු රටේ බොහෝ කෘෂි නිෂ්පාදනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට එම තත්ත්වය හේතු වී ඇති බවත් පසුගිය කාලයේ ප්‍රකාශ ක​ෙළ්ය. ජනාධිපතිවරයා එහිදී ඔහු වැඩිදුරටත් අප බෞද්ධයන් වශයෙන් සිතිය යුතුද යන ප්‍රශ්නයද තමන් තුළ පැන නැගී ඇති බවක් ද කීය. ඒ වගා හානි කරන වන සතුන් ඝාතනය කිරීම පිණිස ගොවීන්ට වායු රයිෆල් අඩු මිලට ලබා දීමේ වැඩසටහනට මුල පිරෙන අවදියකදීය.

ශ්‍රී ලංකාවේ වෙසෙන රිළවා ටෝක් මෙකාක් (togue macaque) සහ මැකාකා සින්කා (macaca sinica) යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. කඳුකර, තෙත් සහ වියළි දේශගුණික කලාප අනුව මොවුන්ගේ උප විශේෂ තුනක් හඳුනාගෙන ඇති අතර එම උප විශේෂයන් ශ්‍රී ලංකාවේ පමණක් ආවේණික බව නොරහසකි. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ මෙරට වනාන්තර බදව සේම මිනිස් ජනාවාස ආශ්‍රිතව ජීවත් වූ මෙම සතුන් සහ මිනිසුන් අතර යම් සංහිඳියාවක් පැවැති බව පනින රිළවුන්ට ඉනිමං බැන්දා වාගේ, යන ජන පිරු‌ලෙන් පැහැදිලි වෙයි. එමෙන්ම අතීතයේ රිළා රංචු ගමන් ගත් වෙනම තුරුලිය ආශ්‍රිත මංපෙත් තිබූ අතර ඔවුන් ආහාර ලබා ගැනීමද එම තුරුලිය මංපෙත් ආශ්‍රිතව පමණක් සිදුවිණි. එහෙත් පසුගිය දශක කිහිපය පුරා සංවර්ධනයේ නාමයෙන් අප රටේ සිදුවූ ස්වාභාවික වන සංහාරය සහ ඊට සමගාමීව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ශීඝ්‍ර ජනාවාසකරණය නිසා මෙරට රිළවුන් ඇතුළු වන ජීවීන් බොහෝමයකට වසර දහස් ගණනක් තිස්සේ තමන් ජීවත් වූ ස්වාභාවික වාස භූමි සහ එම ආහාර රටා අහිමි වූ බව අප පිළිගත යුතුය. ඒ අනුව වර්තමානයේ වායු රයිෆල් උණ්ඩයෙන් අකල් මරණ දායාද කර දීමට සැරසෙනුයේ එලෙස වන සංහාරයෙන් උන්හිටි තැන් සහ ආහාර අහිමි වූ සරණාගතයන් පිරිසකට බවය.

ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත රිළා ගහනයම ගම්වැදී නැත. වාසස්ථාන සහ ආහාර අහිමිව දැනට ජනාවාස ආශ්‍රිතව ජීවත් වනුයේ ශ්‍රී ලංකාවේ වෙසෙන රිළවුන්ගෙන් යම් ප්‍රතිශතයක් පමණි. එහෙත් ඉදිරියේදී සිදුවන වන විනාශයන් අනුව මේ ප්‍රතිශතය තවත් ඉහළ නැංවීම වැළැක්විය නොහැක. ඒ අනුව අප මෙහිදී පළමුව පිළිගත යුතු සත්‍යයක් තිබේ නම් මෙහිදී සැබවින්ම සිදුව ඇත්තේ අප විසින් කැලෑ කපා එහි සිටින රිළවුන් පාදා මතු කර ගැනීමක් මිස කැලයේ සිටින රිළවුන් සංවිධානාත්මක ලෙස බලහත්කාරයෙන් ගම් වැදීමක් නොවන බවය. උන්ගේ ජීවත් වීම පිළිබඳ ස්වාභාවික යුක්ති ධර්මය අප පිළිගත යුත්තේ එබැවිනි.

අනෙකුත් සතුන්ගේ සේම රිළවුන්ගේද චර්යාවන් තමන් ජීවත් වන පරිසරයට සාපේක්ෂව වෙනස් වේ. තමන් ජීවත් වන පරිසරයට අනුගත වීම කෙරෙහි සෙසු බොහෝ සතුන් අබිබවා රිළවුන් දක්වන සංවේදීතාව පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ පවා අවධානයට ලක්ව තිබේ. නිදසුනක් ලෙස අත්තනගලු ඔය (දඬුගම් ඔය) මීගමු කලපුවට වැටෙන සීමාවේ මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව ජීවත් වන රිළවුන් ඔයේ පාවී යන ඇතැම් දේ දුටු සැණින් ගස් මත සිට දියට පැන පීනා හෝ කිමිද ඒවා රැගෙන දිය ගසා දමමින් යළි ගස් මතට නගින දර්ශනය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් පිනවන්නකි.
එමෙන්ම මිනිස් ජනාවාස ආශ්‍රිතව ජීවත් වන රිළව් තම චර්යා රටාවන් එම ජනාවාසයේ මානව ක්‍රියාකාරකම්වලට සාපේක්ෂ ලෙසින් සකස් කර ගැනීමට ගජ හපන්නුය. මහජනතාව වැඩිපුර ගැවසෙන පුදබිම ආශ්‍රිතව වැඩි රිළා ගහනයක් වාර්තා වීමට හේතුව නොවිධිමත් කසළ අපහරණයයි. එවන් ස්ථානවල ඔවුන්ගේ චර්යාවන් ඒක කේන්ද්‍රීය වන නිසා වනයට සාපේක්ෂව ඔවුන් මුහුණ දෙන ගැටලු විවිධාකාරය. විශේෂයෙන් පුදබිම් ආශ්‍රිතව ඉවත දැමෙන මල් පලතුරු සහ ආහාර ද්‍රව්‍ය විෂයෙහි ඔවුන් කඩාපනින අයුරු සේම එකිනෙකා මරා ගන්නා අයුරුද අතිශය සුලබ දසුනකි. මෙවන් පරිසරයන් තුළ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවන් සම්බන්ධ තත්ත්වයද එලෙසමය. එම ප්‍රදේශවල සුවිසල් රිළා ගහනයක් දැකිය හැක්කේ එබැවිනි.

නමුදු මෙලෙස පූජා භූමි ආශ්‍රිතව වැඩිවන රිළා ගහනයට සාපේක්ෂව ඊට තදාසන්න ප්‍රදේශවල ගහනය අඩුවීමක් එමගින් ඒ අවට ගැමියන්ට මුහුණ පෑමට සිදුවන ආපදා අවම වීමත් අපට නොයෙක් වර නිරීක්ෂණය වී තිබේ. මෙය පර්යේෂකයන්ගේ අවධානයට ලක් විය යුත්තකි.

පූජනීය ස්ථාන ආශ්‍රිතව රැඳී සිටින රිළා ගහනය එක සමාන වුවද වන්දනාකරුවන්ගේ පැමිණීම වරින් වර ඉහළ පහළ යාම මුල් කොට ඔවුන්ගේ චර්යා රටාවන්ද සංකීර්ණතා දැකිය හැක. එහිදී වන්දනාකරුවන්ගෙන් සිඟාකෑම්, සොරකම් කිරීම් සහ මංකොල්ලකෑම්ද දක්නට ලැබෙන අතර එකම ආහාරයක් හෝ රිළවියක වෙනුවෙන් රිළවුන් දෙදෙනකු අතර සිදුවන උග්‍ර සටන්ද එහි වෙසෙන්නන්ට දුලබ දසුනක් නොවේ.

රිළා සාමූහයාගේ මෙම ත්‍රාසය භීතිය, කුතුහලය සේම හාස්‍ය සහ විනෝදය දනවන ක්‍රියාකාරකම් විදේශීය සත්ත්ව විද්‍යාඥයන්ගේත් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත් අවධානයට වූ අවස්ථා බොහෝමයකි. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවල ප්‍රතිඵල මීට දශක කිහිපයක සිට ලෝක ජනමාධ්‍යයට පවා වරින් වර එක්ව තිබේ. මේ අයුරින් ජාත්‍යන්තරයට ගිය ‘‘ශ්‍රී ලංකාවේ රිළවා’‘ දැක බලා ගැනීමටත් ඔහු පිළිබඳ නිරීක්ෂණය කිරීමටත් පැමිණෙන විදේශිකයන්ගේ ප්‍රමාණය මේ වන විට කොතෙක් ඉහළ නැංවී තිබේද යත් අද වන විට පොළොන්නරුව ආශ්‍රිතව වානර නිරීක්ෂණය සහ වානර කඳවුරු සම්බන්ධ සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර ප්‍රවර්ධනයක් ද දක්නට ලැබේ. වගා පාළුවලට සාපේක්ෂව ජනතාවගේ දෙස් දෙවොල්වලට ලක්වන සහ පොළොන්නරුව ප්‍රදේශයෙන්ම මරණ වරෙන්තු නිකුත් කෙරෙන රිළවා ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරය මුල් කොට නිතිපතා විශාල විදේශ විනිමය ප්‍රමාණය උපයා දෙන්නකු බවද ඉහත සඳහන් පාර්ශ්වයන් දැන නොසිටීම වෙනම ඛේදවාචකයකි.

මානව ජනාවාස ආශ්‍රිතව ජීවත් වන රිළවුන් සහජ බුද්ධිය උපයෝගි කර ගනිමින් මිනිස් ක්‍රියාකාරකම් කෙරෙහි කෙතරම් සංවිඥානශීලී වන්නේද කිවහොත් කරාම හැර දිය බීම වැනි කටයුතුද ඔවුන්ගේ සාමාන්‍ය දෛනික චර්යාවන්ට එක්ව තිබේ. එමෙන්ම තමන්ට අනතුරු සිදු කිරීමට හැඩිදැඩි පිරිමින්ට ඇති හැකියාව කාන්තාවන්ට වියපත් පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට නොමැති බව වටහා ගන්නා රිළවා ඒ එක් එක් පාර්ශ්වයන්හි ක්‍රියාකාරකම්වලට ගැළපෙන ප්‍රතිචාර දැක්වීමට උපන් හපන්නුය. එමෙන්ම කුඩා දරුවන් යුවතියන් කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු වෙයි.

හේන් සහ බෝගවගාවන්වලදී ඒවා රැක බලා ගන්නා පුද්ගලයා ඉන් ඉවත් වන බව තම සගයන්ගෙන් ලැබෙන සියුම් සංඥා මගින් දැන ගන්නා මොවුහු එවන් වගාබිමක් විනාඩි කිහිපයක් තුළ වැනසීමට තරම් උපායශීලී වෙති. පදිංචිකරුවන් නිවසේ හිඳින විට අවට ගස්වල අතු අතරේ සැඟවී නිසොල්මන්ව සිටින මෙම රිළා රංචුවක් පදිංචිකරුවන්ගේ වාහනය ගේට්ටුවෙන් පිට වූ සැණින් නිවසට පැන යකා නැටූ සිදුවීමද වාර්ථා වී ඇත. බියට තැති ගැන්මට, කම්පනයට පත් කොට රිළවුන් පලවා හැරීම මූලික පොදු විසඳුමක් වුව එමගින් ඔවුන් වෙනත් මානව ජනාවාසයක් වෙත සංක්‍රමණය වීමට ඇති හැකියාවද ඉහළ මට්ටමක පවතිනුයේ මිනිසුන් සිදු කොට ඇති වන සංහාරය නිසාය.

එක් දහස් නවසිය හතළිහේ 45%ක්ව පැවැති මෙරට ස්වාභාවික වනාන්තරය මේ වන විට 20%කටත් වඩා අවම වී ඇති බවක් පැවසෙයි. මානව ජනාවාස ආශ්‍රිත තුරු වැස්ම ඊට වඩා තරමක් පුළුල් පරාසයක පැතිර ඇතැයිද කියනු ලැබේ. එසේ නොමැතිව රිළවුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම මරණ දඬුවම හිමි කළ යුතු ඔවුන්ගේ වරදක් සේ සලකා ඒ කෙරෙහි යොමු වීම ලොව දියුණුම සත්ත්ව වර්ගයා වන අපගේ බුද්ධි පරිණාමය අපගේ ‘‘රිළා ඥාතිවර්ගයා’’ තෙක් ආපස්සට ඇද ගැනීමකි.

තිලක් සේනාසිංහ