අතන මෙතන

රිෂාඩ් ඇමතිතුමාට පොහොට්ටුවෙ පැත්තට එන්න කියලා ලොක්කො දිගටම කතාකරනවලු

බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වූ අතර එදින පාර්ලිමේන්තු එන ගමන් රනිල්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මෙසේ කීවේ ය.

‘‘21 වැනිදා ප්‍රහාරයයි ඇමති රිෂාඩ්ට විරුද්ධ හා ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයි පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට කලින් තේරීම්කාරක සභාවක් පත්කරලා මේ ගැන කරුණු හොයන එක හොඳයි… තේරීම්කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුළත එළිදක්වන්න පියවර ගන්න කියල මම අද උදේ කතානායකතුමාගෙන් ඉල්ලුවා… ඒක කෙරේවි…’’

‘‘පොහොට්ටුවේ කට්ටිය විශ්වාසභංගෙ දෙනකොට දිනේවත් හරියට දාන්න දන්නෙ නෑ… එකෙ දිනේ දාල තියෙන්නෙ 2018 කියලා… ඒකෙ තියන කරුණුත් ඒ ජාතියේම වෙන්න ඕනෑ…’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.
‘‘තේරීම් කාරක සභාවට පොහොට්ටුව එන්නෙ නෑ කියල මහින්ද මහත්තය කියල තිබුණා… එතුමා නෙවෙයි, මුලින්ම මේ තීන්දු ගන්නෙ වීරවංශයි ගම්මන්පිලයි…’’ දයා ගමගේ කීවේය.

‘‘තේරීම් කාරක සභාවට එන්නෙ නැත්නම් මේව ගැන විවාදයක් මොකටද කියලත් තර්කයක් මතුවෙනවා…’’ නවීන් දිසානායක කීවේය.

‘‘රිෂාඩ් ඇමතිතුමාට පොහොට්ටුවෙ පැත්තට එන්න කියලා ඒකෙ ලොක්කො දිගටම කතාකරනවලු… ඒ අස්සෙ රට රවටන විශ්වාසභංගත් ගෙනැත්… පොහොට්ටුවේ එවුන්ට ලැජ්ජ නෑ…’’ චමින්ද විජේසිරි කීවේය.

‘‘පොහොට්ටුවට එන්න කියලා ආපු දුරකතන ඇමතුම් රිෂාඩ් ළඟ රෙකෝඩ් වෙලා තියෙනවා… ඒව එළියට දාන්න කියල අපි හැමෝම කිව්වා… ඒත් ඒව එළියට දාන්න එපා කියල ජනාධිපති ඉල්ලීමක් කරල තියනව කියලයි ඇමති රිෂාඩ් කියන්නෙ…’’ හේෂා විතානගේ ප්‍රකාශ කළේ ය.

‘‘රිෂාඩ් හා ආණ්ඩුවේ ඉන්න ඒ වගේම ආණ්ඩුකාරධුර දරන මුස්ලිම්වරුන්ට විරුද්ධව අන්තවාදය පෝෂණය කළා කියලා විශාල ජනමතයක් තියනවා… අපිට ඒවත් තේරුම් අරගෙනයි පරිස්සමෙනුයි වැඩ කරන්න වෙන්නෙ…’’ නවීන් දිසානායක කීවේය.

‘‘ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමෙදී හොඳ පළල් තර්ක මතුවීම වැදගත්… රිෂාඩ්ට විරුද්ධව රටේ තියෙන්නේ දේශපාලන මඩ ප්‍රහාරයි, ජනමාධ්‍ය මඩ ප්‍රහාරයි… ඒත් නීතියට අදාළව තාම කවුරුවත් චෝදනා කරල නැහැ… එතුමා ඉල්ලා අස්වෙන්න ඕන තේරීම් කාරක සභාවෙන් යමක් ඔප්පු වුණොත් විතරයි… රවීලට මාරපනලට විරුද්ධවත් කොමිෂන්වල නොයෙක් සටහන් තිබුණ හින්දයි ඒගොල්ලන් ඉල්ලා අස්වුණේ… පස්සේ ඒව නිවැරදි වුණ හින්දා යළිත් තනතුරු ලැබුණා…’’ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ, රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස්වීම ‘අනවශ්‍ය කාරණයක්’ බව ඒත්තුගන්වමිනි.

‘‘දැන් මේ විශ්වාසභංග දෙකෙන් මුලින් ගන්නෙ මොකක්ද?’’ මුජිබර් රහුමාන් අගමැතිගෙන් විමසුවේ එය ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ‘තීරණාත්මක ප්‍රශ්නයක්’ වන බැවිනි.

‘‘දෙකෙන් ඕන එකක් කලින් ගන්න පුළුවන්…’’ අගමැතිවරයා ‘බේරිල්ලේ’ උත්තර දුන්නේය.‘‘කතෝලික මන්ත්‍රීවරුන්ට පල්ලියෙ බලපෑම හා ඒ ජනතාවගේ බලපෑමක් තියන බව අපි දන්නවා… ඒත් මේ තේරීම්කාරක සභාව හින්දා ඒගොල්ලන්ටත් අස්වැසිල්ලක් වෙයි…’’ නවීන් දිසානායක කීවේ කතෝලික මැති ඇමතිවරුන් ‘ෂේප් කරගන්නා’ න්‍යායෙනි.

කතෝලික මැති ඇමතිවරුන් ඊට කිසිවක් නොකී අතර චමින්ද විජේසිරි කතාව වෙනතකට ගෙනගියේ, ඇති වූ මඳ නිශ්ශබ්ධතාවය අතරතුරය.