ගොසිප්

රාහු අපලෙට බාරවෙන්න දේවාලෙට ගිය ගෑනු ළමයාගේ බඩට දරුවෙකු ඇවිත්

අප රටේ එක් දිනක් තුළ දී ගබ්සා කෙරෙන කලල සංඛ්‍යාව 800 ක් පමණ වේ. ගබ්සා මධ්‍යස්ථාන සොයා හිස් ලූ ලූ අතේ දිව යන අම්මාවරුන් ද අසරණය. හැඬූ කඳුලින් යුතුව, ඔවුන් කියන කතා අප රටේ සෑම අම්මා කෙනකු ම, දියණියක ම විසින් කියවිය යුතු ය.

ඇගේ කතාව, ‘වඳින්නට ගිය දේවාලය හිස මත කඩා වැටීම‘ සිහිගන්වන්නකි.
‘‘මම පුංචි කාලෙම, මගේ තාත්තා මැරිලා… ඊට පස්සෙ අම්මා තමයි තනියම මාව හදාගෙන තියෙන්නෙ… තාත්තා මැරෙන කොටත්, අම්මා තරුණ නිසා, ටික කාලෙකින් එයා වෙන කසාදයක් කරගත්තා… මාව ළමා නිවාසෙකට දැම්මා…‘‘ ඇය ඇගේ කතාව පටන් ගත්තේ එතැනිනි.

ඇය කියන හැටියට ‘ළමා නිවාස ජීවිතය‘ ඇයට ‘තිත්ත‘ වී තිබිණි.
‘‘කවුරුහරි ඇවිල්ලා දානෙ දීලා යනවා… අපි පින් දෙන්න ඕන… අපිව පෙන්න පෙන්න ළමා නිවාසෙ අය සල්ලි ගන්නවා… අපට කන්න ටිකක් දෙනවා විතරයි… ඒ හින්දා මම මගේ ආච්චි අම්මා මාව බලන්න ආපු වෙලාවක, එයත් එක්ක ආච්චි අම්මලගෙ ගෙදර ගියා…‘‘

මේ ආකාරයට අවුරුදු 12 දී පමණ මවු පාර්ශ්වයේ ‘මිත්තණිය‘ භාරයට යන ඇය මිත්තණියගේ නිවසේ සිට ‘ගම්පහ‘ ප්‍රදේශයේ පාසලකට ඇතුළත්ව අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන්නීය.

‘‘මට ආච්චි අම්මගෙ ගෙදර ඉන්න දවස්වලත් හිතේ සහනයක් තිබුණෙ නෑ… මොකද, ඒ ගේ වටේ හිටපු මාමලයි, නැන්දලයි, ලොකු අම්මලයි, මගෙන් ‘වැඩකාරකම්‘ කරගන්න පටන්ගත්තු හින්දා… ඔය කාට ළමයෙක් හම්බ වුණත්, මට තමයි, ඒ ළමයි බලාගන්න වුණේ… ඒ ළමයින්ගෙ රෙදි පෙරෙදි හෝදන්න වුණේ… කාට හරි ලෙඩක් හැදුණොත් මාව තමයි ‘ළඟ‘ නවත්තන්නෙ… කාගෙ කාගෙත් ගෙවල්වල කුස්සියේ වැඩ තමයි මට පැවරුණේ… ඉතින් මට ‘ගම්පහ‘ ඉඳිල්ලත් ඉක්මනින්ම එපා වුණා…‘‘ ඇය කීවාය.

‘‘අම්මා ඔයාව බලන්න ආවෙ නැද්ද…?‘‘ අපි ඇසුවෙමු.

‘‘අම්මා මාව බලන්නවත් ආව නම්, මේ දේවල් මේ විදියට සිද්ධ වෙන්නෙ නෑනෙ… අම්මා මාව ළමා නිවාසෙක දාලා වෙන මිනිහෙක් එක්ක ගියා ගියාමයි, අද තව වෙනතුරු දැකලවත් නෑ… රට ගිය ආරංචියකුත් තියෙනවා… ඒත් හරියටම දන්නෙ නෑ…‘‘ ඇය පිළිතුරු දුන්නාය.

‘‘ඉතිං ඊට පස්සෙ මොකද වුණේ…?‘‘ අපි ඇගෙන් ඇසුවෙමු.

‘‘මම සාමාන්‍ය පෙළ විභාගේ කරපු ගමන්ම ගමේ අක්කා කෙනෙක් එක්ක, ‘සුපර් මාකට්‘ එකක වැඩට යන්න පටන් ගත්තා… මාසෙ අන්තිමට අතට පොඩි ගාණක් එන එක ‘මහා මෙරක්‘ වගේ දැනුණා… කාටවත් අතනොපා ජීවත් වෙන්නයි මට ඕන වුණේ… ඒ දවස්වල ආච්චි අම්මගෙ බෙහෙත් වියදම් දුන්නෙත් මම… මොන දේකට වුණත් මටත් හිටියෙ එයා විතරයිනෙ…‘‘ ආච්චි අම්මා සිහිවීම නිසා ඇගේ ඇස්වල ‘කඳුළු‘ ය.

‘‘ඔය රස්සාව කරන අතරෙ ගම්පහම ‘අයිය කෙනක්‘ මගෙන් යාළු වෙන්න ඇහුවා… එයා බොහොම හොඳ කෙනෙක් කියල මට හිතුණා… එයත් ‘ප්‍රයිවට් කම්පනි එකක‘ වැඩ කරන කෙනෙක්… මාස හතක් අටක් විතර අපේ සම්බන්ධෙ තිබුණා… ඊට පස්සෙ ඒක කැඩුණා… මං හිතන හැටියට මම ම තමයි ඒ සම්බන්ධෙ ඉවර කරගත්තෙ… ඒ කාලෙ මගෙ ඔළුවෙ ‘රාහු‘… ආච්චි අම්මා නිතරම කියවන්න ගත්තා, මට හොඳටම අපල කියලා…‘‘ ඇය ඇගේ ජීවිතයට බලපෑම් කළ ‘ග්‍රහයින්‘ ව සිහිපත් කරන්නට ද අමතක නොකළාය.

‘‘ඔය දවස්වල ආච්චි අම්මා මගේ වෙලාව බැලෙව්වා… මට රාහු අපල තියනවා කියලා, දෙවියන්ට බාරයක් වෙලා, පූජාවල් ටිකක් කරන්න කියලා කිව්වා… ඔය අතරෙ මම අර සුපර් මාකට් එකෙන් අයින් වෙලා ‘ගාමන්ට්‘ එකකට යන්නත් පටන් අරං හිටියේ…‘‘

ඊළඟට ඇය කීවේ, ‘අපලයෙන්‘ මිදෙන්නට ලංකාවේ සුප්‍රසිද්ධම දේවාලයක වැඩවසන ‘‘දෙවියන්’’ කෙනකු පාමුලට ගිය බවය.

‘‘අපි දේවාලේ පූජාව ඉවර කරලා, බාර හාර වෙලා, දේවාල මලුවේ තියෙන ‘සමන් පිච්ච‘ වැල් ගාලක් ළඟ වාඩි වෙලා හිටියේ… ආච්චි අම්මට ටිකක් කලන්තෙ ගතියකුත් ආපු හින්දයි, මහන්සි අරින්නත් එක්ක, එතැන වාඩි වුණේ… කොහොම හරි ආච්චි අම්මා මහන්සි අරිනකල්, මම ටිකක් දේවාලෙ වටේ ඇවිදින්න ගියා…‘‘
එතැනදී ය, ඇයට ‘විනේ‘ කැට තිබෙන ‘මාරදූතයා‘ හමුවී ඇත්තේ. විමතියට කාරණය වන්නේ, ඒ ‘මාර දූතයා‘ එදාටත් අදටත් ‘දේව දූතයකු‘ වශයෙන් ඒ ‘මහා දේවාලයේ‘ රාජකාරි කිරීමය.

‘‘එයා ඒ මහා දේවාලෙ තුන්වැනි ප්‍රධාන මොහොට්ටාල නිලමේ… එයා මගේ ‘බාරය‘ ගැනත්, මට තියන ‘අපල‘ ගැනත් අහලා, මං වෙනුවෙන් ‘හොඳම පූජාවක්‘ කරවලා දෙන්නම් කිව්වා… දේවාලෙ කපු මහත්තයා පවා එයාට කතා කළේ, ‘අප්පො‘ කියලා… ඉතින් අවිශ්වාස කරන්න දේකුත් නෑනෙ… මම මගේ ‘මොබයිල් නොම්මරේ‘ පවා එයාට දුන්නා…‘‘ ඇය කීවා ය.

ඇය කියන හැටියට ‘ඇගේ අපලය‘ හොඳින් ම පටිසන් දෙන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය.

‘‘ඒ අප්පොයි, මමයි නිතර නිතර ‘මොබයිල් එකෙන්‘ කතා කළා… මට තේරුණා, එයා මං ගැන උනන්දුයි කියලත්… ‘දෛවය‘ මාව එච්චර දුර දේවාලයක අරං ගියෙත්, එතැනදි ම එයාව මුණ ගැස්සුවෙත් මගේ පිනකට කියලා මං හිතුවෙ… එයා මං වෙනුවෙන්, ‘විශේෂ පූජාවකුත්‘ ලෑස්ති කරලා, දවසක් මාව ආපහු සැරයක් ඒ දේවාලෙට ගෙන්න ගත්තා… එදා ඉඳන් මං එයාගේ වුණා…. ඇත්තටම කිව්වොත්, ඒ දේවාලේ පේන මානේ ගෙදරක එයා මාව නවත්තගත්තා… එයා කසාදෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් කියලත් කිව්වා… මාව කසාද බඳිනවා කියලත් කිව්වා… මාත් ඉතින් ‘කසාද බඳිනකල්‘ බලාගෙන හිටියා…‘‘ ඇය කීවාය.

කෙසේ වෙතත් මේ කියන ‘මධු සමය‘ වසර දෙකක් දක්වා දිග්ගැස්සී තිබුණි. ඔහු ඇයව ‘කසාද බඳින පාටක්වත්‘ පෙනෙන්නට තිබී නැත.

‘‘ඔය අතරෙ 2020 ජනවාරියෙ දි මම ගැබ් ගත්තා මම හිතුවා, එතකොටවත් එයා මාව බඳියි කියලා… ඒත් නැහැ… එයා මට ‘බැල්ලියෙකුට‘ වගේ පයින් ගහලා එළවාගත්තා… මාව බැන්දොත්, එයාගේ අප්පච්චිලගෙ වලව්වෙන් එයාව එළවයි කියලත් කිව්වා… එයාටත් තාම වයස අවුරුදු තිස් තුනයි… කලින් කසාදෙන් වෙන් වෙලා හිටියට ‘දික්කසාදවෙලත්‘ නැද්ද කොහෙද…‘‘

ඇය ‘වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණු‘ විදිය අප සමග කීවේ අපුලිනි.
‘‘මම එක පාරට ම අහසින් පොළොවට වැටුණා වගේ… ආච්චි අම්මා ළඟට යන්නත් බැරි හින්දා, මම ‘ගාමන්ට් එකේ‘ මාත් එක්ක වැඩ කරපු යාළුවෙක් ළඟට ගියා… එයාගෙත් පිහිටෙන් මාස හතක් විතර දරුවත් පරිස්සම් කරගෙන ‘දෙලොවක් අතරෙ‘ හිටියා…‘‘

ඇය කියන හැටියට, පෙර කී ‘අප්පො‘ට ද වරින් වර කතා කරමින්, කසාද බඳින ලෙස ද ආයාචනා කළ ඇයට, ඔහු විසින් ‘පෙති 4 ක්‘ සහ ‘මරණ තර්ජනයක්‘ හැර කිසිම දෙයක් ලැබි තිබුණේ නැත.

‘‘එයාට ගොඩක් සල්ලි තියෙනවා… ඒ වුණාට මගේ අතට සත පහක්වත් දුන්නෙත් නෑ… පෙති හතර බීලා, ළමයාගෙන් නිදහස් නොවුණොත් මරණවා කියලා තර්ජනය කළා… ඒත් මම දරුවා මැරුවෙ නෑ…‘‘

මේ අතරේ එක් දවසක්, ඇය ‘රේල්ලුවට පනින‘ සිතින්, යෙහෙළියගේ නවාතැනෙන් පිටවී එන්නීය.

‘‘මට මේ කරුමයෙන් ගැලවිල්ලක් නෑ කියලා හිතුණා… ඒකයි දිවි නහගන්න ගියේ… දිවි නහගන්න කලින්, ‘ෆේස් බුක් එකේ‘ සටහනක් තියන්න හිතුණා… ඒක ලියන්න ‘ෆේස් බුක්‘ ගියාම අහම්බෙන් දැක්කා, CSC Nation Lanka කියන ආයතනය, මේ වගේ දරුවන්ව භාරගන්නවා කියලා…‘‘

ඉන්පසුව ඇය, එම ආයතනයට කතා කර, දරුවා භාරගන්නට හැකි දැ‘යි විමසුවාය. ආයතනය ඇයට පවසා ඇත්තේ ‘භාරගත හැකි බව‘ය.

‘‘මම ඒ වෙලාවෙ එතනදිම තවත් කෝල් එකක් ගත්තා… ඒ අර ගම්පහ හිටපු මගේ පළමු පෙම්වතාට… මම එයාට මට වෙච්චි හැමදේම කිව්වා… බඩට මාස හතයි කියලත් කිව්වා… එයා මගේ කතාව අහගෙන හිටියා… එවේලෙම මාව බලන්න ඇවිත්, වෙනම බෝඩිමක් අරං මාව එතන නවත්තලා, කන්න බොන්නත් ගෙනත් දුන්නා… ඊට පස්සෙ එයත් එක්කම තමයි මම CSC Nation Lanka එකට යන්නෙ…‘‘
මින් ඉදිරියට ‘ඇගේ කතාවේ නවතම තත්ත්වය‘ අප සමග බෙදාගත්තේ CSC Nation Lanka ආයතනයේ ප්‍රධානී මංජුල උක්වත්තය.

‘‘මේ ගෑනු ළමයා අපි ළඟට ආවෙ, එයාගෙ පළමු පෙම්වතාය කියන ‘අපූරු තරුණයා‘ එක්ක… එයා අපට කිව්වා, මේ ගෑනු ළමයා, ‘බඩට මාසයක් වෙනකොටවත්‘ මේ සිද්ධිය එයාට කිව්වා නම්, එයා අම්මවයි, ළමයවයි දෙන්නම එයාගේ දරුවයි, බිරිඳයි හැටියට එයාගේ ගෙදරට එක්කරගෙන යනවා කියලා… බඩට මාස හතක් වෙන කෙනෙක් ගෙදර අරන් යන්න බැරි බව කියලා, ඒ දරුවා අපට භාරකරනවා කිව්වා… ඊට පස්සෙ එයා මේ ගෑනු ළමයව බඳින්නත් පොරොන්දු වෙලයි ඉන්නෙ… ඒ තරුණයා බොහොම ආදර්ශවත් පෙම්වතෙක්… දැන් මේ දරුවා ලැබෙනකල් ඒ ගෑනු ළමයව බලාගන්න වගකීමත් අරන් තියෙන්නෙ එයා… ඒ වගේම එක්තරා අමාත්‍යංශයක වැඩ කරන මහත්මියක් සහ වරායේ වැඩකරන මහත්මයෙක් ‘මේ දරුවා‘ තමන්ගේ කරගෙන හදාගන්න ඉදිරිපත් වෙලා තියෙනවා… ‘‘

මේ ආකාරයට ‘ඇගේ කතාවේ‘ අවසානයට එකතු වූ ඒ ‘අපූරු තරුණයා‘ සැබැවින් ම ‘වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද වෙසෙන දෙවි දේවතාවුන් වැනි මිනිසෙකු‘ බව අපට ද පසක්විණි.

‘‘මගේ පෙම්වතා දැන් මාව බලාගන්නවා… ‘අප්පොගෙ දරුවට‘ ලැබෙන්න යන දෙමාපියනුත් බොහොම හොඳ වැදගත් අය… ඒ අයත් ‘දරුවා වෙනුවෙන්‘ මට සලකනවා… මගේ ජීවිතේ දැන් ආපහු බලාපොරොත්තු වලින් පිරෙන්න පටන් අරං… ඇත්තම කිව්වොත්, මට මේ දරුවා හදාගන්න ලෝබ කමකුත් නෑ… මොකද එයාගෙ තාත්තා මතක්වෙන්න ගත්තොත්, ජීවිතේ ම අපායක් වෙයි… ඒ හින්දා ඒ දරුවාව ‘අලුත් අම්මාට‘ භාර දෙන එක හොඳයි… එයාලා මේ දරුවගේ අනාගතය භාරගන්නවනෙ… මම කැමතියි, මගේ පෙම්වතාව බැඳලා, එයාගෙන් දරුවො ලබන්න… කවද හරි එහෙම දවසකුත් එයි… මගේ අතීතය ම ‘නරක හීනයක්‘ කියලා හිතාගන්නවා… මගේ පෙම්වතා කියන්නෙත් එහෙම…‘‘
ඇය කියන්නීය.

(නම්ගම් මන:කල්පිතය)
– සුරේඛා සමරසේන