අතන මෙතන

රාජිතට එල්ලවූ අනපේක්ෂිත මහජන විරෝධය

ඉකුත් බ්‍රහස්පතින්දා උදේ මීගමුවේදී රාජිත සේනාරත්නට ද අනපේක්ෂිත මහජන විරෝධයකට මුහුණ දෙන්නට සිදු විය.

ඒ මීගමුව මහ රෝහලේ ‘විවෘත කිරීමකට’ ගිය අවස්ථාවේදී ය. රෝහල් පරිශ්‍රයට රැස්ව සිටි ප්‍රදේශවාසීන්, ‘‘රටට ජාතියට ද්‍රෝහී වන, රට විකුණන මේ වගේ ඇමතිවරු පන්නන්න ඕන…’’ යැයි කියමින් කෑ ගැසුවේ, ‘රාජිතයා අපට එපා…’ වැනි අවලාද ද නඟමිනි. කෙසේවෙතත්, එම උත්සවයට රාජිත ඇමැතිවරයා පැමිණෙන බැවින්, ඊට ඇරයුම් ලැබූ කිසිදු භික්ෂූන්වහන්සේ නමක් වැඩම කර නොතිබීම ද විශේෂත්වයක් විය.

කෙසේවෙතත්, රට තුළත්, ආණ්ඩුව තුළත් මෙවැනි අලකලංචි බහුල වූ පසුගිය සතියේ, ඒ කිසිවක් ‘ඒ තරම් ගණන් නොගන්නා බව’ පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තජිකිස්ථානය බලා පිටත්ව ගියේ ය. ඒ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ය.

ඒ අනුව පසුගිය සතිය අවසන් වන විට එකිනෙ’කා නෝක්කාඩු වූ ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම දිවයිනේ නොසිටියහ. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර යළි හමුවීමක් සිදුවීමට ඉඩ ලැබෙනු ඇත්තේ අදට යෙදෙන ‘පොසොන් පොහොය’ ට පසුව ය.