කතුවැකි

රාජා හෝ මා හෝ ගංගා හෝ

කොළඹ දිස්ත්‍රික්කයේ රෝහලක කොරෝනා වසංගතයෙන් මළ අයකුගේ සිරුරක් භූමදානයට ගෙන යාමට සූදානමින් තිබිණ. රෝගියා ගෙදර ඇඳුම පිටින්ම මෘතදේහය උරයට බස්සවනු දුටු මළ තැනැත්තාගේ පුත්‍රයා හොඳ ඇඳුමක් අන්දා දේහය කනත්තට ගෙන යමුදැයි රෝහලේ සේවකයන්ගෙන් ඇසුවේය. කනත්තට ගෙන යාමට දේහය සූදානම් කරන සෞඛ්‍ය සේවකයා ‘‘ඇඳුම ගෙනත් ඔබම අන්දා ගන්නවා දැයි’’ පෙරළා ඇසුවේ කෝපයෙනි. පියාගේ දේහයට හොඳ ඇඳුමක් අන්දන්නට සූදානම් වූ පුත්‍රයාට කොරෝනා මරණයේ බියකරු බව තේරුණේ එම පිළිතුරෙනි.

කොවිඩ් මෘත දේහ තම ප්‍රදේශයේ ආදාහනාගාරවල පුලුස්සනවාටත් මුලදී ජනතාව මහත් බියක් දැක්වූහ. කොරෝනා වයිරසය​ සෙන්ටි ග්‍රේඩ් අංශක 120 ක උෂ්ණත්වය යටතේ විනාශ වන බවත්, ආදාහනාගාරයේ සිරුර දැවෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1200ටත් අධික බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ ප්‍රදේශවල ජනතාවට පෙන්වා දී ඔවුන්ව සන්සුන් කරගන්නට සිදු විය. බියවෙන්නේ කොරෝනා මෘත දේහ මේ වසංගතය තව තවත් පතුරවන දෙයක් වන නිසාය. ඒ නිසාම කොරෝනා මෘත දේහවලට කළ යුතු හොඳම දේ දැවීම බව ලෝකයම පිළිගෙන තිබිණ. එහෙත් මෙලොව ජීවිතයට වඩා ස්වර්ගයේ ජීවිතය ගැන සිතූ ආගමික අන්තවාදීන් කොරෝනා මරණ වළ දමන්නට ආණ්ඩුව පොලඹවාගෙන දැන් වැඩි දවසක් නැත. එහෙත් ඒ මළ සිරුරු වළලන්නේ ලංකාවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පමණය. එසේම මේ මරණවල ඇති අවදානම නිසාම මරණ චාරිත්‍ර කළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය නිර්දේශ දැන් මෙරට පමණක් නොව ලෝකයේද ප්‍රචලිතය.

කෙසේ වෙතත් මේ නිර්දේශවලට අනුවම අවසන් කටයුතු කෙරුණේ වි.ජ.මු. ලොකුබණ්ඩාර නම් සංස්කෘතික පුරුෂයාගේය. දේශීය වෛද්‍ය අධ්‍යාපන, සංස්කෘතික කටයුතු මතු නොව කථානායකවරයකුද වූ වි. ජ. මු.ගේ දේහය පාර්ලිමේන්තුවේ තබා හරසර දක්වා නිදහස් චතුරස්‍රයේ වුව ආදාහනය කරවන්නට පුළුවන්කම තිබිණ. එහෙත් මේ දේශමාන්‍ය පුද්ගලයා, මහ පඬිරුවන අවසන් ගමන් ගියේ කොරෝනා ඉටි උරයක බස්සවා අවසනට ඇඳසිටි ඇඳුම පිටින්ය.

කොරෝනා මරණයක් සිදු වූ විට ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ වි.ජ.මු. බඳු සංස්කෘතික පුරුෂයනුත්, හුදී ජනතාවත් පමණය. කොරෝනා දෙවන රැල්ල සමයේ වතු කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා නිර්දේශ තුට්ටුවකට මායිම් නොකළ ඔහුගේ පාක්ෂිකයෝ රාජ්‍ය ගෞරව සහිතව අවසාන කටයුතු කළහ. තොණ්ඩමන් මළේ කොරෝනා රෝගයෙන් නොවේ. එහෙත් ඒ අවමඟුලේ නිරෝධායන නීති කඩවෙන ආකාරයද, ආණ්ඩුව එයට ඉඩ දී බලා ඉන්නා ආකාරයද රාජා මහේන්ද්‍රන්ගේ මාධ්‍යයේ විදහ විදහා පෙන්වන්නට විය.

පසුගියදා රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජා ද කොරෝනා රෝගයෙන් මළේය. එහෙත් ඒ මරණය සාර සුබාවට බොරැල්ල කනත්තේ මහා පිරිසක් මැද පැවැත්විණ. මහ රාජාගේ බලු නයිදේද (බල්ලා නොකියා බලු නයිදේ කියන්නේ ඌ මහාරාජාගේ නිසාය.) විපක්ෂ නායකතුමාද ඇතුළු මහ පිරිසක් ඊට අයත් විය.

මේ කාලේ කොරෝනා මරණයක් නොව සාමාන්‍ය මළ ගෙදරක් වුවත් අමුත්තන්ට සංග්‍රහ කිරීම, කෑම බීම දීම තහනම්ය. මළ ගෙදර බත් මුට්ටි පවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙරළති. එබඳු ගෙදරක ගිය සියල්ලෝ නිරෝධායනයේය. එහෙත් මේ මහරාජාගේ බඳු අයගේ මළ ගෙදරවලට එසේ වන්නේ නැත.

මහරජාණෝ තමන් මහරජා කෙනෙකු හැටියටම ආණ්ඩුවද, සිවිල් සමාජයේ උගතුන්, බලවතුන් භාර ගන්නා බව දැන සිටි සේක. රජයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු ශෝක සටහනේ කියා තිබුණේ තමා මහරාජා හමුවට ගිය විට ලංකාවේ නැති කෝපි එකක් බොන්න දී කාරය ළඟට ඇරලවන්නට තරම් මහාරාජා මහා කාරුණිකයකු වූ බවත්, ඔහු ඉන් පසු තමන්ට එළව එළවා පහර දුන්නත් යාළුකම තමා ගෞරවයෙන් සලකන බවය.

මාධ්‍ය ආචාරධර්ම බල්ලට දමා ටොක්කක් ඇන්නත් මහ රාජා කෙනකුගෙන් ලැබීම සනීපය කියන්නේ මේවාටය. එංගලන්තයේ මහාරාජනින් වහන්සේ මෛත්‍රිපාල සිරිසේනට අතට අත දුන්නේ මේස් එක ගලවලාය. ඇය එසේ කරන්නට ඇත්තේ රැජිනක් හැටියට තමාව ලෝකයා පිළිගන්නා බව දත් නිසාය. එංගලන්තයේ රැජන වාගේය මහරාජා සිතුවේ. සැලකීමක් කළ විට එය මහා නම්බුවක් බව නිවටුන් සිතන බව රජවරු දැන සිටිති. කිලී මහරාජා කවදාවත් ප්‍රසිද්ධ සභාවල පෙනී සිටින්නේ නැත. ජනාධිපති කැඳවන මාධ්‍ය හිමිකරුවන්ගේ සභාවලටත් ඔහු නොඒ. එය මහා රාජාණුභාවයක් ජන මනසට ගෙන එන්නේය. එබඳු පුද්ගලයකුගේ මරණ ගෙදර නිරෝධායන නීති රකින්න පී.එච්.අයි. එයිද?

ජනාධිපතිවරයාද, මහරාජලා ලංකාවේ නැහැ. ඒ අය ඉන්නේ ඉන්දියාවේ යැයි කියා දැන් වැඩි කලක් නැත. එහෙත් මහරාජාගේ මළ ගෙදර කොරෝනා ව්‍යාප්ත කෙරේදැයි සොයන්නට බලන්නට සමතෙක් නැත. මහ රජා මහ රජාමය.

ජනතාවට සිදුවන්නේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියා නහයට උඩින් කොරෝනා ගඟ ගලනතුරු බලා ඉන්නය.