කතුවැකි

රාජ්‍ය ඇමැතිවරු බකං නිලාගෙන

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් පවරා ඊට අදාළ ආයතන නම් කළ යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූයේ පසුගිය මස 12 දාය. ඒ තීන්දුව ගෙන මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් තමන් විසින්ම අනුමත කළ තීන්දුව ක්‍රියාත්මක කර ඇත්තේ ඇමැතිවරුන් කිහිප දෙනකු පමණකි. මේ නිසා රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට උඩ බලාගෙන සිටීමට සිදුව තිබේ.

වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 15 කි. රාජ්‍ය අමාත්‍යවරුන් 38 ක් සිටිති. ඊයේ සවස්වන විටත් තමන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් ගැසට්කර පවරා දී තිබුණේ අමාත්‍යවරුන්ගෙන් අඩක් පමණ පිරිසකි. මේ අතරින්ද වැඩි දෙනෙකු ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ ඊයේ සවසය. මේ නිසා ‌රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනා අතුරින් වැඩි දෙනෙකුම වැඩ නැති ඇමැතිවරු වී සිටිති.

අමාත්‍යවරුන් ගණන සීමිත වීම නිසා දැන් අමාත්‍යවරයකුට විශාල විෂය පථයක් ලැබී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් වෙන්කර දී ආයතන ගැසට් කරන්නට තීරණය කර ඇත්තේ විශාල විෂය පථයක් එක් අමාත්‍යවරයකුට අධීක්ෂණය කළ නොහැකි නිසාය. නමුත් ජනාධිපතිවරයාගේ තීන්දුව ඇතැම් අමාත්‍යවරුන් ක්‍රියාත්මක නොකිරීම නිසා එම අමාත්‍යාංශ යටතේ ඇති ආයතන කටයුතුවල ප්‍රමාදයක් සිදුව තිබේ. ඇතැම් ආයතනයකට ප්‍රධානීන් හෝ පත්කොට නැත. ඇතැම් ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලය පත්කොට අවසන් නැත.

කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව අවම කොට ඇත්තේ ඇමැතිවරුන් නඩත්තු කිරීමට යන අධික පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. එහෙත් ඉන් රටේ කටයුතුවලට බාධාවක් සිදු නොවිය යුතුය. රාජ්‍ය ඇමතිවරුන්ට විෂය පැවරීමට එයද හේතුවකි.

රාජ්‍ය අමාත්‍යවරුන්ට මේ අන්දමට විෂයයන් පැවරීමට තීරණය වී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරටය. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කෙරී ඇතත්, ඔවුනට නිශ්චිතව වගකීමක් පැවරුනේ නැත. රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති ධුර යනු හුදෙක් මන්ත්‍රීවරුන්ට ඇමැති වරප්‍රසාද භුක්ති විඳීම සඳහා ලබාදුන් පට්ටමක් පමණකි. මෙවර ඒ සම්ප්‍රදාය වෙනස් කරමින් රාජ්‍ය අමාත්‍යවරුන්ටද නිශ්චිත වගකීමක් පැවරීමට ගත් තීරණය අගය කළ යුත්තකි. මේ තීරණය අනාගත දේශපාලනයට වටිනා ආයෝජනයකි. මේ තුළින් තරුණ, නවක මන්ත්‍රීවරුන්ට පවා අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට පෙර පුහුණුවක් ලැබෙන බැවිනි.

එහෙත් අමාත්‍යවරුන්ට මේ සාධනීය කරුණු කිසිවකින් පලක් නැති බවක් පෙනෙන්නට නැත. ඒ නිසා ඔවුන් දොඩංගොඩ සේ සියල්ල බදාගෙන සිටිති. දොඩං ගොඩක් බදා ගන්නට නොහැකි බවත් ගෙඩි එක දෙක බිම පතිතවන බවත් ඔවුන් නොදන්නා සේය. දැන ගත්තත් ඔවුන්ට එයද වගක් නැත්තේ එසේ ගිලිහී යන්නේ ඔවුන්ගේ වරප්‍රසාද නොව, ජනතාවට ඉටුවිය යුතු සේවය බැවිනි.

දේශපාලකයන් යනු ජනතාවගේ මුදලෙන් සුරසැප විඳින කොට්ඨාසයක්ය යන අදහස ජනතාව තුළ පවතින්නේ කලක සිටය. ජනතාව අතර එවැනි මතයක් ඇතිවන්නට ඕනෑතරම් සාධාරණ හේතුද තිබේ. 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව දිසා ඇමැතිවරුන් යැයි අලුත් ඇමැතිවරුන් පිරිසක් බිහි කළේය. රාජ්‍ය ඇමැති යන තනතුර ඇති කරනු ලැබුවේද එම ආණ්ඩුව විසිනි. ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් පසු දිසා ඇමැති තනතුරු අහෝසි වී ගිය නමුත්, පසුව පත් වූ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනමන්නට කටයුතු කළේය. ඊට අමතරව ඇතැම් විටෙක කැබිනට් නොවන අමාත්‍ය යැයි තනතුරක්ද ඇති කළ අවස්ථා තිබේ. මේ සියලු සිල්ලර ඇමැති තනතුරු ඇති කෙරුණේ දුසිම් ගණනක් වන කැබිනට් ඇමැති තනතුරුවලට අමතරවය.

කෙසේ වුවත් රාජ්‍ය, කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැති තනතුරු හුදෙක්ම ආණ්ඩුවේ බහුතරය තබා ගැනීමට හෝ මන්ත්‍රීවරුන් සතුටු කිරීම සඳහා දුන් තනතුරු මිස ඒවායෙන් රටට හෝ ජනතාවට සේවයක් සිදු වූයේ නැත. එහෙත් මේ සියලු දෙනා නඩත්තු කිරීමේ බර දරන්නට වූයේ ජනතාවටය. මේ රටේ ජනතාව දේශපාලනය පිළිකුල් කරන්නට එයද හේතුවක් විය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට සීමා කිරීමට යෝජනා වූයේද ඒ අනුවය. එසේ වුවත් එය අවංක උත්සාහයක් නොවූයේ ජාතික ආණ්ඩුවකදී කැබිනට්, කැබිනට් නොවන සේම නි​යෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු යැයි ව්‍යතිරේකයක්ද ඒ සමගම ඇතුළත් කර තිබූ බැවිනි. පසුගිය යහපාලන ආණ්ඩුව සිය අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගත්තේද මේ ව්‍යතිරේකයට මුවා වෙමිනි.

19 වැනි සංශෝධනය මගින් පනවා ඇති 30 සීමාවට හෝ නොයා ඉන් අඩක් දක්වා අමාත්‍ය ධුර සංඛ්‍යාව 15 කට සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගැනීම ජනතාවගේ පැසසුමට ලක් වූයේ මේ නිසාය.

එසේ වුවත් ජනාධිපතිවරයා රටට හඳුන්වා දුන් නව ආදර්ශයන් ඔස්සේ ගමන් කිරීමට අමාත්‍යවරුන් සූදානම් නොමැති බවක් පෙනී යන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පැවරීමට ඔවුන් දක්වන මැළිකම නිසාය. වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ද පෙර සිටි ඇමැතිවරුන් මෙන්ම කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයාගේ උත්සාහය ගඟට කැපූ ඉණිමෙන් වනු ඇතැයි සැකය රටේ යහපත ගැන සිතන කාටත් ඇතිව තිබේ.

වත්මන් රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල නොදී කටයුතු කිරීමට අමාත්‍යවරුන් කල්පනා කරන්නේ නම් සිය අමාත්‍යාංශවල කිසිදු අඩුපාඩුවක් ඇති නොවීමට ඔවුන් වගබලාගත යුතුය. ඇමැතිවරුන් එලෙස අකුරටම තම රාජකාරිය ඉටු කරන්නේ නම් රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බලන්නට ආයතනයෙන් ආයතනයට යන්නට ජනාධිපතිවරයාටද සිදු නොවනු ඇත.