News

රාජ්‍ය ආයතන 32ක් අන්ත දූෂිතයි අලාභයි

රාජ්‍ය ආයතන 32ක් අන්ත දූෂිතයි අලාභයි

රාජ්‍ය ආයතනවල වූ මහා පරිමාණ දූෂණ වංචා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ දිනවල හෙළිවෙමින් පවතී. එනමුත් ඉතිහාසය පුරා මෙවැනි දූෂණ හෙළිවුවත් වරදකරුවන්ට දඬුවම් ලද බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ කෝප් කමිටුවේ සභාපතිවරයා වන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ලෙසද රාජකාරි කර ඇති වියතෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි චරිත හේරත්ය. වියතෙක් වුවත් ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ සිටින වියත්මගේ තමා සාමාජිකයෙක් නොවන බවය. මේ සතිඅග අරුණ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

කොප් කමිටුවේ විමර්ශනවලට අනුව රාජ්‍ය ආයතනවල වැඩි වශයෙන් දූෂණ, වංචා කර ඇත්තේ දේශපාලනඥයන්ද? රාජ්‍ය නිලධාරීන්ද?

ඒක හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. රාජ්‍ය ආයතනවල තීන්දු, තීරණ දේශපාලනඥයන් ගත්තත් ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. පොදුවේ දූෂිතයා කවුද කියලා කියන්න අමාරුයි. රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේදීත් දූෂණ තියෙනවා. ක්‍රියාත්මක කිරීමේදීත් දූෂණ තියෙනවා.

එහෙම නම් දෙගොල්ලොම වැරදිකාරයෝ වෙනවා නේද?

මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනඥයන් දූෂණ, වංචාවලට සම්බන්ධ නම් ජනතාවට වසර පහකින් තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි නිලධාරීන් සම්බන්ධව එහෙම කරන්න බැහැ. ඔවුන්ගේ දූෂණ හරියටම සොයාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතුයි. නැතිනම් නිලධාරියා රාජ්‍ය යාන්ත්‍රණයේ දිගටම ඉන්නවා. වැරදි තීරණ, තීරණ වැරදියට ක්‍රියාත්මක කිරීම වගේ දේවල් මෙතැන තියෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් රාජ්‍ය නිලධාරියාට දඬුවමක් දෙන්න බැරිද?

දඬුවම් කරන්නෙ කොහොමද කියා පැති ගණනාවක් තියෙනවා. කොප් කමිටුව නිර්මාණය වෙන්නෙ පොදු තර්කයක් මත. රටේ රාජ්‍ය මුදල් සම්බන්ධ අයිතිය තියෙන්නෙ පොදු ජනතාවට. විධායක ජනාධිපතිටත් රාජ්‍ය මුදල්වල බලය නැහැ. ජනතාව බලය වසර පහකට වරක් වෙනස් කරනතුරු එහි වගකීම ජනතා නියෝජිතයින් දෙසිය විසි පහක් දරනවා. පසු විපරමට තමයි කෝප් කමිටුව පත් කරලා තියෙන්නේ.

රාජ්‍ය ආයතනවල දූෂණ හා විෂමාචාර හඳුනා ගත්තොත් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද?

කොප් කමිටුව හඳුනාගන්නා දූෂණ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නියෝග කළ හැකියි. තීන්දුවක් ගැනීමේ බලය ලේකම්වරයාට තියෙනවා. අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් බැලීමේ නිලධාරියා ඔහුයි. නීතිපතිවරයා සමග සාකච්ඡා කර නීත්‍යනුකූල පියවර ගන්නත් ලේකම්වරයාට හැකියාව තියෙනවා. රාජ්‍ය ආයතනයක විෂමාචාරයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. කොප් කමිටුවෙන් හෝ විශේෂ වාර්තාවක් මගින් එය සිදුකළ හැකියි. උදාහරණයක් විදිහට මහ බැංකු බැඳුම්කර වංචාව, ‘ස්ලිට්’ ආයතනය සම්බන්ධයෙන් සභාව තීන්දු තීරණ ගෙන තිබෙනවා. සමාජයේ කතිකාවක් ඇති කරන්න එවැනි දූෂණ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙනවා. මාධ්‍ය බලපෑම ආණ්ඩුවටත් ප්‍රශ්නයක්.

මීට පෙර හිටපු කෝප් කමිටු සභාපතිවරුන් එවැනි තොරතුරු හෙළිදරව් වීම් කළා. නමුත් වැඩක් වුණේ නැහැ. මේ කරන්නෙ මාධ්‍ය සංදර්ශනයක් පමණක්ද?

විෂමාචාර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමත් කෝප් කමිටුවේ වගකීමක්. උදාහරණයක් ලෙස මහපොළ භාරකාර අරමුදලෙන් සැදූ ආයතනයක් ලෙස ස්ලිට් ආයතනය හඳුනාගෙන තිබෙනවා. ආයෝජනය රාජ්‍ය අංශයෙන් ආරක්ෂා වීම සහ කිසියම් කණ්ඩායමක් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම ගැන අපි පෙන්වා දුන්නා. මෙම ආයෝජනය නැවත භාර ගැනීමට මහපොළ භාරකාර අරමුදලට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා. සමාජයේ මේ පිළිබඳ මතයක් ඇති කළා. මාධ්‍ය ප්‍රචාරයක් දුන්නා. කොප් කමිටුවට කිසිදු රාජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පවරන්න බැහැ. නිලධාරීන් ඉවත් කරන්නත් බැහැ. කෝප් කමිටුව කතා සාප්පුවක් නොවේය.

ඔබ දෙන නියෝග පිළිබඳ පසුවිපරමක් කරනවාද?

අනිවාර්යයෙන්ම. රාජ්‍ය ආයතන නැවත කැඳවා කරුණු විමසනවා. ඕන වෙලාවක කැඳවන්න පුළුවන්.

වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වන ඔබට කොප් කමිටුවේ සභාපති ලෙස ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් විරෝධයක් එල්ල වෙන්නේ නැද්ද?

දැනට නම් ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව ඇතුළේ ඉඳිමින් කෝප් කමිටුවෙ ප්‍රශ්න කතා කරන කොට ගැටලු ඇතිවෙන්න පුළුවන්. එහෙම අතීතයේදී වෙලා තියෙනවා. මට නම් ගැටලුවක් ඇතිවෙලා නැහැ. ආණ්ඩුව ඉදිරිගාමී වැඩ කරනවා වගේම පසුවිපරමක් කිරීමද ඉතා වැදගත්.

දූෂණ, වංචා නතර කරන බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා. කෝප් කමිටු සභාපතිවරයා ලෙස එය යථාර්ථයක් වෙයි කියා සිතනවාද?

ජනාධිපතිතුමාගේ අපේක්ෂාව පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම. අපට තියෙන ප්‍රධානතම ජනමතය එයයි. එය යථාර්ථයක් කිරීමට කොප් කමිටු සභාපතිවරයා ලෙස මම කැපවෙනවා. දූෂණ, වංචා අවම කිරීමට නම් තවත් මැදිහත්වීම් අවශ්‍යයි. ජනාධිපතිවරයාගේ කැපවීම පමණක් ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය නිලධාරීන්, ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, ලේකම්වරු ඒ සඳහා කැපවිය යුතුයි. සියලු දෙනාම මහන්සි විය යුතුයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සුදු අලියෙක් බව කොප් කමිටුවේදිත් අනාවරණය වුණා. නමුත් පාඩුව අවම කරගැනීමට කිසිදු පියවරක අරගෙන නැහැ නේද?

ශ්‍රීලන්කන් ගුවන් සමාගම පිළිබඳව අපි විමර්ශනයක් කළා. විශාල මුදලක් වැය කරලා ගුවන් සේවයක් රාජ්‍යයකට අවශ්‍ය දැයි අපි සොයා බැලුවා. වර්තමානයේ පවතින තත්ත්වයන් මත ගුවන් සමාගමක් පවත්වාගෙන යන්න පුළුවන් කියාත් අවධානය යොමු කළා. අවශ්‍යතාවක් තිබුණත් හැකියාවක්ද තිබිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල රාජ්‍යමය වශයෙන් මගී ගුවන් සේවා පවත්වාගෙන යන්නේ නැහැ. නමුත් අපේ රටේ රාජ්‍ය ගුවන් සේවයක් පවත්වාගෙන යනවා. එය විසඳාගත යුතු ප්‍රශ්නයක්. ගුවන් සේවය අලාභයක් දරනවා. වත්මන් රජයත් ඩොලර් මිලියන දෙසීයක් ගුවන් සමාගමට වෙන් කර තිබෙනවා.

ගුවන් සමාගම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු නිර්දේශ දුන්නේ නැද්ද?

අපි නිර්දේශ තුනක් ලබාදුන්නා. රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගුවන් සේවයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබෙනවාද කියා සංචාරක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කළ යුතුයි. එය එක් නිර්දේශයක්. උපක්‍රමික සැලැස්මක්ද ඉදිරිපත් කළ යුතුයි. ගුවන් සමාගම සිය ව්‍යාපාරික සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එය දෙවැනි නිර්දේශයයි. ගුවන් සේවය සම්බන්ධයෙන් ගුවන් ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් වාර්තාවක් ලබාදෙන ලෙසටද අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. මේ වාර්තා තුනම ලැබී තිබෙනවා. වාර්තා මත පදනම්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම ජනවාරි මාසයේදී යළි කෝප් කමිටුවට කැඳවනවා.

ඔබ දකින්නේ ගුවන් සේවයක් පවත්වාගෙන යාම ජාතික අපරාධයක් ලෙසද?

අපට කුලී පදනම මත ගත් ගුවන්යානා විසි දෙකක් තියෙනවා. කුලිය ගෙවිය යුත්තේ ​ඩොලර්වලින්. ගුවන් සේවය නඩත්තු කරන්නේ ඇතැම් විට ගුවන්යානයක් නොදැකපු ජනතාව ගෙවන බදු මුදලින්. මෙය හරිම අසාධාරණයක්. මීට වඩා බුද්ධිමත්ව සොයා බැලිය යුතු බව කමිටුවේ මතයයි. මෙය විකුණන්න හදනවා නොවෙයි, මම නම් හිතන්නේ ණය කන්ද නිසා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගන්න කෙනෙක් නැහැ කියලයි.

වර්තමානයේ දූෂණ, වංචා රාජ්‍ය ආයතන කීයක් විතර හඳුනාගෙන තිබෙනවාද?

කොප් කමිටුව රාජ්‍ය ආයතන 420ක් පමණ විමර්ශනය කර තිබෙනවා. එම ආයතනවලින් ඉතා දූෂිත හා අලාභ ලැබූ ආයතන 32ක් හඳුනාගෙන තිබෙනවා. අලාභය රුපියල් බිලියන 465ක් විතර වෙනවා පසුගිය වසර තුනදී පමණක්. 2018දී ආයතන 32ක රුපියල් බිලියන 193ක් පාඩුයි. 2019 එය රුපියල් බිලියන 158ක පාඩුවක් ලබා තිබෙනවා. 2020 පාඩුව රුපියල් බිලියන 114ක් වෙනවා. මේ ආයතන පවත්වාගෙන යාමට ආණ්ඩුව තවදුරටත් මුදල් ගෙවනවා. මේ ආයතන 32න් ප්‍රධානතම ආයතන හතරක්ද අප හඳුනාගෙන තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම ප්‍රධාන වශයෙන් පාඩු ලබන බව හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසර තුන ඇතුළත සිදුව ඇති සම්පූර්ණ පාඩුවෙන් සියයට හතළිහක් අයිති වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමටයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව කළමනාකරණය වෙනවා.

මෙම ආයතන තිස් දෙකේ පාඩුව අවම කරගැනීමට ඔබ කරන යෝජනා මොනවාද?

මෙම ආයතනවලින් කිහිපයක් පෞද්ගලික අංශයේ තරගකාරීත්වයක්ද තිබෙන ආයතනයි. මෙහිදී රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න විතරයි වියදම් කරන්නේ, ලාභයක් ලැබෙන්නෙ නැහැ. රැකියා ලබාදීම හා සමහර මහජන සේවා වෙනුවෙන් තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. සමහර ආයතන පවත්වාගෙන යන්නේ ඇයි කියා ඇසුවොත් උත්තරයක් නැහැ. සේවකයන් බලාගන්න සමහර ආයතන පවත්වාගෙන යනවා. විසඳුමක් සාකච්ඡා කර ලබාගත යුතුයි.

ඔබ කියන විදිහට රාජ්‍යය පවත්වාගෙන යාම අපහසුද?

රජයේ අමාත්‍යාංශ 28ක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යංශ 40ක් තියෙනවා. දෙපාර්තමේන්තු 98ක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් තියෙනවා. සංස්ථා 240ක් තියෙනවා. රාජ්‍ය සමාගම 125ක් තියෙනවා. රාජ්‍ය බැංකු 08ක්, අරමුදල් 65ක් තියෙනවා. විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 124ක් තියෙනවා. තවත් ආයතන 21ක් තියෙනවා. පළාත් සභා නවයක්, පළාත් පාලන ආයතන 34ක් තියෙනවා. පළාත් සභාවල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු 241ක් තියෙනවා. පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන 64ක් තියෙනවා. මේ සියලු ආයතන එකතුව 2062ක් වෙනවා. මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ අටක් ඉන්නවා. පළාත් සභා සතුව ලක්ෂ තුනක් ඉන්නවා. රාජ්‍ය ව්‍යවසායන් තුළ ලක්ෂ දෙකකට අධික පිරිසක් ඉන්නවා. විශ්‍රාමිකයන් ලක්ෂ හය හමාරක් ඉන්නවා. මේ අනුව බලන කල විශාල රාජ්‍යයක් තමයි පවත්වාගෙන යන්නේ. ආදායමට හා ජනතාවගේ ප්‍රමාණයට උචිත නොවන රාජ්‍යයක් අපි පවත්වාගෙන යන්නේ. මේ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නඩත්තු කරගෙන යාමට නොහැකි රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්නේ. එම නිසා රාජ්‍ය ආයතන පාඩු නොලබන ආයතන බවට පත්කළ යුතුයි. නැතිනම් බදු ගෙවන ජනතාව හා රාජ්‍ය තාන්ත්‍රය අතර ගැටුමක් ඇතිවෙනවා. මේ නිසා රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් හොඳ විගණනයක් අවශ්‍යයි.

ඔබත් වියත්මග සංවිධානයේ සාමාජිකයෙක්ද?

නැහැ. වියත්මග හදන්න කලින් ඉඳලා මම දේශපාලනය කළා. මගේ දේශපාලනයට වියත්මගේ සම්බන්ධයක් නැහැ. තම සංවිධානයේ අය ගැන විතරයි වියත්මග නිර්දේශ පවා ලබාදුන්නේ. මහ මැතිවරණයට මම ඉදිරිපත් වීමට සූදානම් වන විට වියත්මග පුවත්පත් දැන්වීමක් පළ කළා අපේක්ෂකයන් විසි හත්දෙනකු ඉදිරිපත් වෙනවා කියලා. මගේ නමවත් තිබුණේ නෑ. මම අහපුවාම කිව්වා සාමාජිකයකු නොවන නිසා නම දැම්මේ නැහැ කියලා. ඔවුන් කණ්ඩායම ගැන පරිස්සම් වුණා.

මෙවැනි සංවිධාන බිහි වන්නේ ඇයි?

වියත්මග හැදුණේ දේශපාලන ක්ෂේත්‍රයෙ පැවති අවිධිමත් බව, නූගත් බව නිසයි. පසුගාමීත්වයක් තිබුණා. එම නිසා තමයි 2019 වියතුන් පෙරමුණ ගත යුතු බවට සංකල්පයක් ඉදිරිපත් වුණේ. 2015දී යහපාලන සංකල්පයක් ඉදිරිපත් වුණා.

වියතුන් පාර්ලිමේන්තු ආවත් රටේ පවතින ප්‍රශ්නවලට උත්තරයක් ලැබුණේ නැහැනේ…

වියතුන් පාර්ලිමේන්තු ආවා කියලා වියත් දේශපාලනයක් නිර්මාණය වෙන්නේ නැහැ. ආණ්ඩුව ඇතුළෙත් වියතුන්ට බලයක් තියෙනවා නම් තමයි එය වියත් බලයක් වෙන්නේ. වියතුන් දේශපාලන ක්‍රියාකාරිත්වය හා පාර්ලිමේන්තු පැමිණි ප්‍රමාණය අතරත් වෙනසක් තියෙනවානේ. එම නිසා මේ රට බුද්ධිමතුන්ටත් හදන්න බැහැ කියලා තීන්දු ගන්න එක වැරදියි. අපේ රටේ සම්ප්‍රදායික දේශපාලනය වෙනස් විය යුතුයි.

ඉතින් එම වෙනස ඇති කරන්න තමයි නව ආණ්ඩුව බලයට පත් කළේ?

අපේ ආණ්ඩුවෙන් ජනතාව ප්‍රධාන කරුණු තුනක් ඉෂ්ට වෙයි කියා බලාපොරොත්තු වුණා. රටේ ආරක්ෂාව, ආර්ථිකය නංවාලීම, දේශපාලන ප්‍රතිසංස්කරණය එම කරුණු තුනයි. ​කොවිඩ් වසංගතය නිසා මෙම කරුණු පස්සට ගියා. එම නිසා වියතුන්ටත් මෙය කරන්න බැරිද කියා තර්කයක් මතුව ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගමන ගැන සතුටු නොවීම නිසයි. ඇතැම් ප්‍රතිසංස්කරණ ගැන ගත්ත තීරණ හොඳට හිතලා මතලා ගත්ත බවක් පේන්න නැහැ. එම නිසයි තීරණ වෙනස් වෙන්නේ. එම නිසා තමයි සමාජය තුළ විවේචන ඇතිවන්නේ.

ආණ්ඩුව පිළිබඳව ඔබ කනගාටුවෙන් හෝ කලකිරීමෙන්ද ඉන්නේ?

ඇත්තෙන්ම මම කැමැත්තෙන් දේශපාලනයට ආවේ. මම හෙට ගැන ධනාත්මකව සිතනවා. මම දේශපාලනය ගැන කලකිරිලා නැහැ. නමුත් ජනතා බලාපොරොත්තු ඉටු කළ යුතුයි. දේශපාලන ප්‍රතිසංස්කරණත් අවශ්‍යයි. සමාජයේ පවතින තත්ත්වය තේරුම්ගෙන අපි වැඩ නොකළොත් සමාජය අපි පසුකරගෙන යනවා. 2015 වුණෙ එවැනි දෙයක්. එම නිසා ගැළපෙන පරිදි දේශපාලනය කළ යුතුයි. වර්තමානයේ දේශපාලකයා ඉන්නේ වීදුරු කූඩුවකයි. අපි කරන දේවල් ජනතාව දන්නේ නැහැ කියා දේශපාලනය කළොත් අපි අනාථ වෙනවා. දේශපාලනය දැන් විවෘත වෙලා තියෙන්නේ. එය වහන්න බැහැ. දේශපාලන අලුත් වීම අපි තේරුම්ගත යුතුයි. මේ අභියෝගය අපි ජයගත යුතුයි.

උදයජීව ඒකනායක