කතුවැකි

රාජ්‍ය ආයතනවල දූෂණ වංචාවලට පිළියමක් ඇත්තේම නැද්ද?

රේගුව, දේශීය ආදායම් හා සුරාබදු යන දෙපාර්තමේන්තු සිය රාජකාරිය ඉටු කිරීමේදී කොයිතරම් නොසැලකිලිමත්ද, පාරදෘශ්‍යභාවයෙන් තොරද, වංචාවන්ට ඉඩ සලසන්නේද යන්න තේරුම්ගත හැකි කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව උපුටා දක්වන පුවතක් ඊයේ අප පුවත්පතද වාර්තා කළේය. එයින් කියැවුණේ රේගුව, දේශීය ආදායම් හා සුරාබදු යන ආයතනවල පරිගණක පද්ධති ඒකාබද්ධ කරන ලෙස කෝපා කමිටුව මීට පෙර දුන් උපදෙස් එකී ආයතන විසින් පැහැර හැර තිබෙන බවය.

රේගුව, දේශීය ආදායම් හා සුරාබදු යන දෙපාර්තමේන්තු රාජ්‍ය ආදායමෙන් සියයට 90ක පමණ ප්‍රමාණයක් උපයා දෙන්නට දායක වන ආයතනය. එහෙත් කෝපා කමිටු වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙම ආයතන විශේෂයෙන්ම රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තු කටයුතු කරමින් සිටින්නේ විශාල වශයෙන් රාජ්‍ය ආදායම අහිමිවන ආකාරයෙනි.

2010-2019 අතර කාලයේදී පමණක් වාහන ආනයනය කිරීමේදී සිදුව ඇති වක්‍ර වංචා නිසා රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 4කටත් වැඩිය. වාහන ආනයනයේදි පමණක් මෙතරම් බදු වංචා සිදු කර ඇත්නම් වෙනත් ආනයනවලදී නිසි පරිදි රජයට අයිති විය යුතු බදු අයකර ගන්නේ යැයි විශ්වාස කළ හැකිද?

දේශීය ආදායම් දෙපාර්ත​මේන්තුව ගත් කල එහි ක්‍රියාත්මක බදු අභියාචනා ක්‍රමවේදය සකස් වී ඇත්තේ රජයට බදු අයකර ගැනීමට නොව බදු අහිමි කිරීමට බව කෝපා කමිටුව පෙන්වා දී තිබේ. මෙම අභියාචනා කටයුතු මාස හයක කාලයක් ඇතුළත නිම කළ යුතු බව කමිටුව නිර්දේශ කර ඇත. ඉන් පෙනී යන්නේ දැනට පවතින අභියාචනා ක්‍රමවේදයට මාස හයකටත් වඩා කාලයක් ගත වන බවය. වැදගත්ම කාරණය වන්නේ මෙම සම්පූර්ණ කාලය තුළම ගණනය කරන ලද බදු මුදලින් සතයක් හෝ නොගෙවා සිටීමට බදු ගෙවන්නන්ට ඉඩ ලැබීමය. ඉන් කියැවෙන්නේ ඒ තරම් දිගු කාලයක් රජයට අයිති විය යුතු බදු මුදල් නොලැබී තිබෙන බවය.

රේගුව, දේශීය ආදායම් හා සුරාබදු වැනි ආයතන පරිගණක පද්ධති ඒකාබද්ධ කිරීම සිදු නොවන්නේ කුමක් නිසාදැයි ඉහත කරුණු අනුව පැහැදිලිය. සත්‍යයම තතත්වය වන්නේ මේ ආයතනවල පරිගණක පද්ධති සම්බන්ධීකරණය කිරීම තබා ඇතැමෙකු තම ආයතනය ඒවා සියයට සියයක්ම පරිගණකගත කරනවාටද කැමැති නැත. එසේ වුවහොත් ආණ්ඩුවට ලාබ වුවත් තම තමන්ට පාඩුවන නිසාය.

තම ආයතන පරිගණක ගත කරනවා තබා අවශ්‍ය තරම්, සේවක පිරිස් බඳවා ගැනීමට හෝ මෙම ආයතන උනන්දුවක් දක්වා නැති බව කෝපා වාර්තාව පෙන්වා දෙයි. 2020 වසරේ ජුලි 31 දින වන විට දේශීය ආදායම් දෙපාර්ත​මේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට දහයක එනම් පුරප්පාඩු 281 ක් තිබුණත් ඒවා පිරවීමට කටයුතු කර නැත. පුරප්පාඩුව පැවැති තනතුරු 281න් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජ්‍යෙෂ්ඨ තනතුරුය.

සුරාබදු දෙපාර්තමේන්තුවේද 2020 ජුනි 30 දිනට පුරප්පාඩු 292ක් තිබී ඇති අතර ඉන් 35ක්ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු සඳහාය. වැදගත්ම කාරණයක් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනයකට අත්‍යවශ්‍යම තනතුරක් වන නීති නිලධාරී තනතුර සඳහා කිසිවකු බඳවා ගැනීමට කටයුතු නොකර තිබීමය. රේගුවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබියදීත් නීති නිලධාරී තනතුර සඳහා පත් කිරීමක් සිදු කර නැත.

මෙම ආයතන දෙකටම නීති නිලධාරීන් පත් කරගැනීමට නොහැකි වී ඇත්තේ මේ රටේ නීති උපාධිධාරීන්ගේ හිඟයක් නිසාද? නැතහොත් නීති නිලධාරීන් පත් කර ගැනීම අනවශ්‍ය කරදරයක් නිසාද? මෙම ආයතනවල පුරප්පාඩු පැවැතීම රජයේ මුදල් අවභාවිත කිරීමට පෞද්ගලික පාර්ශ්වයන්ට ඉඩ ප්‍රස්ථා ලබාදීමට වක්‍රකාරයෙන් ඉවහල් විය හැකි බව කෝපා කමිටුව නිරීක්ෂණය කර තිබේ.

ඕනෑම ආයතනයකින් රාජකාරි ඉටු කිරීමේදී සියයට සියයක්ම නිවැරැදි හා අවංකවම එම සේවාවන් ඉටු වන්නේ යැයි අපේක්ෂා කළ නොහැකිය. එහෙත් රේගුව දේශීය ආදායම් හා සුරාබදු යන ආයතන ත්‍රිත්වයේ වංගු ගැසීම පහසුවෙන් නොතකා හැරිය නොහැක්කේ මේ රටේ ආදායමෙන් සියයට 90ක්ම උපයා දෙන්නේ මෙම ආයතන නිසාය. මේ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කල්පනා කරන කෙනකු ඇත්නම් මෙම ආයතනවල හොරකම්, දූෂණ, වංචා නවත්වා ගැනීමට කල්පනා කළ යුතුය.

මෙම ආයතනවල රාජකාරිය අකුරට ඉටු කරවා ගැනීමේ මූලික වගකීම ඇත්තේ එම ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ ඒවායේ ඉහළ කළමනාකාරීත්වයටය. එහෙත් අවාසනාව වන්නේ මෙම ආයතනවල ඉහළ පුටුවලට පත්වන අයද රැල්ලේම යමින් සිටිනවා මිස පවතින දූෂිත ක්‍රම වෙනස් කිරීමට කල්පනා නොකිරීමය. මෙම ආයතනවල පුරප්පාඩු පිරවීම වැනි කටයුතු පවා නිසි කලට සිදු නොවීමෙන් ඒ බව පැහැදිලි වන්නේ නොවේද?

රාජ්‍ය ආයතන දූෂණ, වංචා අක්‍රමිකතා නොමැතිව පවත්වාගෙන යෑමේ මූලික වගකීම එකී ආයතන ප්‍රධානීන්ට ඇතත් දේශපාලකයන්ටද එහිදී වගකීමක් තිබේ. තම තමන් යටතේ ඇති ආයතනවල කටයුතු නිවැරැදිව සිදුවන්නේ දැයි සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම ඇත්තේ ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන්ටය. එහෙත් බොහෝ විට සිදුවන්නේ දේශපාලකයන්ද නිලධාරීන් සමග එක්ව හවුලේ කුඩු කෑමය. මේ නිසා දේශපාලකයන් දූෂිතයන් බවට හංවඩු ගැසී නිලධාරීන් ශුද්ධවන්තයන් බවට පත්වීමය.

දූෂිත දේශපාලකයන් වසර පහකට වරක් හෝ ගෙදර යැවීමට ජනතාවට අවස්ථාව ඇතත් දූෂිත නිලධාරීන්ව එසේ ගෙදර යවන්නට ජනතාවට හැකියාවක් නැත. මේ නිලධාරීන් කරන්නේ ආණ්ඩු මාරු වූ පසු ටයි පටිය මාරු කරමින් තමන්​ගේ සුපුරුදු ඒකාධිකාරය පවත්වාගෙන යෑමය.

කෝපා කමිටුව හෝ කෝප් කමිටුව වැනි පාර්ලිමේන්තු කාරක සභා කුමන නිර්දේශ කළත් ඵලක් නොවන්නේ මේ නිසාය. මේ දක්වා කාරක සභාවල නිර්දේශ හා නිරීක්ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් රාජ්‍ය ආයතනවල වැරැදි නිවැරැදි වී ඇත්නම් ඒ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් විය යුතුය. මෙම කාරක සභාවල නිර්දේශ හෝ නිරීක්ෂණ ඇත්තෙන්ම රාජ්‍ය ආයතනවල නිවැරැදි ක්‍රියාකාරීත්වයක් හා රටේ යහපැවැත්මට හේතුවක් වීමට නම් එම නිර්දේශ හා නිරීක්ෂණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒවා නිසි කලට නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහතික වන කිසියම් දැඩි වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එවැනි වැඩපිළිවෙළක් ආරම්භ නොවන තාක් මෙම කාරක සභා වාර්තාද හුදු වාර්තා පමණක් වනු ඇති අතර රාජ්‍ය ආයතන ද තව තවත් වළපල්ලටම ගමන් කරනු ඇත. ඉන් සිදුවනු ඇත්තේ වසරින් වසර අයවැය හිඟය පියවීම සඳහා ගන්නා ණය ප්‍රමාණය වැඩිවීම පමණය.