කතුවැකි

රාජ්‍ය අංශය රාමුවෙන් පිට හිතුවොත් නරකද?

වෙළෙඳ අමාත්‍යාංශය දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව ඉතා ඵලදායී කටයුත්තක් ආරම්භ කරන්නට සැලසුම් කර තිබෙන බව දැන ගන්නට ලැබී තිබේ. සතොස ඇතුළුව පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන රාජ්‍ය ආයතනවල වෙළෙඳ කුටියක් හෝ කිහිපයක් දුම්රිය ස්ථානවල ආරම්භ කිරීමය. ඇත්තෙන්ම මෙය කිහිප ආකාරයකින්ම වටිනා වැඩපිළිවෙළකි.

අපේ දුම්රිය සේවාව ගැන මගීන්ගේ පැහැදීමක් නැතත්, තවමත් අති විශාල පිරිසක් දුම්රියෙන් සිය ගමන් පහසුව සලසා ගනිති. මේ අතරින් වැඩි පිරිස රජයේ සේවකයෝය. උදේ රැයින් බත් මුලක් බැඳගෙන රාජකාරියට එන මේ අය යළි තමන්ගේ නිවෙස් වෙත යන්නේ අඳුරත් සමගය. ඔවුන්ට සතියේ වැඩකරන දිනයක තමන්ට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්, දරුවකුට අවශ්‍ය පෑනක්, පැන්සලක් හෝ මිලදී ගන්නට අවස්ථාවක් නැත. මේ නිසා ඔවුන් කරන්නේ වැඩකරන කාලය තුළ රාජකාරිය බල්ලට දමා නගරයේ කඩ සාප්පු ගානේ යමින් හාල්, පිටි, සීනි වැනි පාරිභෝගික භාණ්ඩ එකතු කිරීමය.

එහෙත් අනෙකුත් රාජ්‍ය ආයතන කෙසේ වෙතත් සතොස හා රාජ්‍ය ඔසුසල වැනි ආයතනවල අලෙවි කුටි හෝ දුම්රිය ස්ථානවල ආරම්භ කළහොත් දුම්රිය මගීන්ට කරදරයකින් තොරව තමන්ට එදිනෙදා අවශ්‍ය වන ඖෂධයක් හෝ වෙනත් පාරිභෝගික භාණ්ඩයක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. මේ නිසා රජයේ සේවකයන් රාජකාරි කාලය තුළ පොල්, බිත්තර හොයන්නට යෑම වැළකී යෑමෙන් රජයේ සේවයේ ඵලදායීතාව ඉහළ නැංවීමට ​හේතුවනු ඇත.

එසේම නගරවල සතොස, ඔසුසල වැනි රාජ්‍ය ආයතන ආශ්‍රිතව අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළකී යන්නට හේතුවක් විය හැකිවා සේම දුම්රිය මගීන් නොවන ජනතාව දුම්රිය ස්ථාන වෙත ඇදී එන්නට ඉඩ තිබේ.

දුම්රිය ස්ථානවල රාජ්‍ය ආයතන අලෙවි කුටි ආරම්භ කරන්නට කටයුතු කිරීම නිසා දුම්රිය මගීන්ට හා අනෙකුත් ජනතාවටත් වඩා ප්‍රතිලාභ අත් කරගත හැක්කේ දුම්රිය දෙපාර්තමේන්තුවට හා එකී රාජ්‍ය ආයතනයන්ට බවද කිව යුතුය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන්නේ මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයයි. එහෙත් එම සේවාව රටේ ප්‍රවාහන අවශ්‍යතාව සුතටුදායක ලෙස සපයන්නට අසමත් වන අතරම මේ නිසා හෝ තවත් හේතු නිසා එම දෙපාර්තමේන්තුව සැලකෙන්නේ පාඩු ලබන හෝ අඩු ආදායම් ලබන රාජ්‍ය ආයතන ලෙසය. මෙවැනි තවත් රාජ්‍ය ආයතනද තිබේ. එසේ වුවත් අපේ රාජ්‍ය ආයතනවල ඇති දුර්වලතාවක් වන්නේ තමන්ගේ සේවා විවිධාංගීකරණයකට ලක් කිරීමකින් හෝ ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරන්නට කටයුතු නොකිරීමය.

දුම්රිය ස්ථානවල සතොස වැනි රාජ්‍ය ආයතනවල අලෙවි කුටි ආරම්භ කිරීම සැලකිය හැක්කේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්ම සතොස වැනි රාජ්‍ය ආයතනවල ද සේවා විවිධාංගීකරණයක් ලෙසිනි. දිවයින පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ඇති අතර, එම දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණය අක්කර දහහතර දහසකට ද වැඩිය. මේ සම්පත් අලෙවිසල් විවෘත කිරීම වැනි සේවා සඳහා ලබා දීමෙන් අමතර ආදායමක් උපයාගත හැකි වනු ඇත. මේ ආකාරයට දුම්රිය ස්ථාන මගී ප්‍රවාහනය හැරුණු කොට තවත් කොතරම් නම් මහජන සේවා සැපයීම සඳහා යොදාගත හැකි දැයි සොයා බැලීම දුම්රිය බලධාරින්ගේ වගකීමකි.

කෙසේ වෙතත් සතොස අලෙවිසල් දුම්රිය ස්ථානවල අරඹන්නට වෙළෙඳ අමාත්‍යාංශය කල්පනා කරන්නේ නම් ඊට පෙර කල්පනා කළ යුතු කාරණා කීපයක්ම තිබේ. සතොස ද දුම්රිය සේවය මෙන්ම උපන්නාට වැනෙනවා සේ ආරම්භ කර ඇති නිසා පවත්වාගෙන යන ආයතනයකි. රටපුරා සතොස අලෙවිසල් ඇතත් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්නට සමත් වී නැත. මේ බොහෝ සතොස අලෙවි සලක අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හෝ නැත. තිබුණත් ඒවා බලු වටින්නේ නැත. මේ නිසා පාරිභෝගිකයා සතොස අලෙවිසලකට යන්නේ නොගොසින්ම බැරි නම් පමණකි. පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසලක කිසියම් භාණ්ඩයක් නොමැති නම් පමණකි. පාරිභෝගිකයා සතොස අලෙවිසල් වෙත නොයන්නට ඒවායේ කාර්ය මණ්ඩලවල සුහදශීලී නොවන ආකල්පයද හේතු වී තිබේ.

සතොසේ දක්නට ඇති මෙම දුර්වලතා පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන බොහෝ රාජ්‍ය ආයතනවලටද පොදු ඒවාය. මේ නිසා මෙම ආයතනවල අලෙවිකුටි දුම්රිය ස්ථානවල විවෘත කරන්නේ නම් ඊට පෙර මෙම දුර්වලතා මගහරවා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ දුම්රිය ස්ථානවල විවෘත කෙරෙන සතොස වැනි අලෙවි කුටිද රටේ අනෙකුත් ස්ථානවල ඇති සතොස අලෙවි කුටි මෙන්ම මැස්සන් ඇහිරෙන ඒවා බවට පත් වීමය.

මෙම වැඩපිළිවෙළ තුළ මෙවන් දුර්වලතා ඇතිවිය හැකි නමුත් එය සාර්ථක වුවහොත් එය රාජ්‍ය අංශයට තවත් ආකාරයකින් අලුත් අත්දැකීමක් වනු ඇත. සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය සේවයේ බොහෝ ආයතන තවත් ආයතන සමග එක්ව ව්‍යාපෘති දියත් කිරීම සිදුවන්නේ කලාතුරකිනි. ආයතන දෙක තුනක් සම්බන්ධ වන වැඩසටහන්වලදී පවා මේ ආයතන කටයුතු කරන්නේ වම් අත කරන දේ දකුණු අතට නොදැනෙන්නට දෙන්නා සේය. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ මාර්ග අලුත්වැඩියාව හා ජලනළ එළීමය. මේ කාර්යයේදී ජල සම්පාදන මණ්ඩලය හා පළාත් පාලන ආයතන ගමන් කරන්නේ රේල් පීලි දෙකක් මෙනි.

දැන් දුම්රිය ස්ථානවල අලෙවි කුටි ආරම්භ කිරීම සාර්ථක වුවහොත් එය රාජ්‍ය ආයතන එකකට වැඩි සංඛ්‍යාවක් එකට එක් වී එකිනෙකාගේ සම්පත් හා ශක්තීන් බෙදා ගනිමින් වැඩක් කරන්නේ කෙසේද යන්නට හොඳ ආදර්ශයක් සපයනු ඇත.

රාජ්‍ය අංශයේ භාණ්ඩ හා සේවා අංශය සේවා සැපයීමෙන් මෙන්ම ලාභ ඉපයීමෙන්ද සිටින්නේ පෞද්ගලික අංශයට පසුපසිනි. මේ නිසා මහජනතාවට ප්‍රශස්ත සේවාවක් නොලැබී යන අතරේ මෙම සේවා නඩත්තු කිරීමට සිදුව ඇත්තේද ජනතාවටය. මෙවන් රාජ්‍ය ආයතන දියුණු කිරීමට, ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නොයෙකුත් උත්සාහ ක්‍රියාත්මක වන නමුත් ඒවා එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවක් පෙනෙන්නට නැත. ඊට ප්‍රධානම හේතුව අන් කිසිවක් නොව මේ සියලු උත්සාහයන් දරන්නේ එම ආයතන පවතින රාමුව තුළම නිසාය. එසේ එවැනි පාඩු ලබන හෝ අකාර්යක්ෂම ආයතන දියුණු කිරීමට රාමුවෙන් පිට (Out Of The Box) වැඩ සටහන් ක්‍රියාත්මක වුවහොත් වඩා ඵලදායී විය හැකිය. වෙළෙඳ අමාත්‍යාංශය, දුම්රිය ස්ථානවල රාජ්‍ය ආයතන අලෙවිසල් විවෘත කිරීමට සැලසුම් කිරීම සැලකිය හැක්කේ එලෙස රාමුවෙන් පිට සිතුවිල්ලක් ලෙසය.